ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

 ඡායාරූපය:

ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

මිනිසෙකු වටින්නේ ඔහු සතු ගුණ හා නැණ යන දෙක නිසා බව 'සුභාෂිතය' ලියූ සිංහල කවියා කියයි. 'නැණ' යනු කුමක් ද? 'නැණ' යන පදය සිංහලයට ආවේ 'ඥාන' යන සංස්කෘත පදයත් 'ඤාණ' යන පාලි පදයත් අනුසාරයෙනි.'ඥාන' යන පදය යෙදෙන සැටි මේ ලිපියෙහි දැක්වේ.

ඥානය ඇත්තා 'ඥානවන්ත' ය. 'නැණවත්' ය. 'වන්ත' හා 'වත්' යනු තද්ධිත ප්‍රත්‍ය දෙකකි. එහි අර්ථය 'එයින් යුක්ත' හෝ 'එයින් හෙබි' යන්න යි.

ඥානවන්ත

'ඥානවන්ත' යන සංස්කෘත ප්‍රකෘතියට පරව 'ආ' එක්' ‘අකු' ‘එකු' 'ඔ' හා 'අන්' යන රූප ප්‍රත්‍ය එක් කිරීමෙන් පහත දැක්වෙන සංයුක්ත නාම පද සැදේ.

ඥානවන්තයා ඥානවන්තයෙක්

ඥාවන්තයකු ඥානවන්තයෙකු

ඥානවන්තයෝ ඥානවන්තයන්

නැණවත්

'නැණවත්' යන සිංහල ප්‍රකෘතියට පරව 'ආ' 'එක්' 'අකු' 'එකු' 'උ' හා 'උන්' යන රූප ප්‍රත්‍ය එක් කිරීමෙන් පහත දැක්වෙන සංයුක්ත නාම පද සැදේ.

නැණවතා නැණවතෙක්

නැණවතකු නැණවතෙකු

නැණවත්තු නැණවතුන්

ඥානාලෝක

'ඥානය' ආලෝකයක් වැන්න. ‍මේ 'ආලෝකය' හැඳින්වීමට 'ඥානාලෝක' යන පදය යෙදේ. එය සිංහලයට නැඟෙන්නේ 'නැණලු' යනුවෙනි. පූජ්‍ය කෝදාගොඩ ඥානාලෝක නාහිමියෝ සිය නාමය ඇතැම් විට 'කෝදාගොඩ නැණලු' යනුවෙන් ද ලියූහ. 'නැණලු' යන්න සැදෙන්නේ 'නැණ' හා 'අලු' යන දෙපදය සන්ධි කිරීමෙනි.

ඥානාදර්ශය

ඥානය කැටපතක් වැන්න. කැටපත හැඳින්වීමට 'ආදර්ශ' වන පදයත් යෙදේ. ඒ අනුව ඥානය නමැති කැටපත 'ඥානාදර්ශ' නමි. දහනවවැනි සියවසෙහිදී සිංහලයෙන් පළ වුණු විශිෂ්ටතම සඟරාව 'ඥානාදර්ශය' නම් විණ. ව්‍යවහාර වර්ෂයෙන් 1896 දෙසැම්බර් මාසයෙහිදී ආරම්භ වුණු මේ සඟරාව එවක විශිෂ්ට විද්වතෙකු වුණු ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර මහතා විසින් සැලසුම් කරන ලද්දකි. මෙය ආරම්භ කළේ 'වික්ටෝරියා මහරැජන සිහිකිරීම පිණිස' බවත් කියවේ.

මේ සඟරාව ආරම්භ කළේ 'සිංහල ජනයාගේ ඥානය හෙවත් දැනගැන්ම දියුණු කිරීම පරමාර්ථ කර ගෙන' බව සංස්කාරකවරයා කියයි. "ශාස්ත්‍රීය කෝෂයක් වන හැටියට විවිධ කරුණු ඇතුළත් කරමින් සකස් කළ මෙම සඟරාව මේ දක්වා සිංහලෙන් සකස් වුණු උසස් ම සඟරාව යයි කිවද වරදක් නැතැ'යි මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල කියයි. (සිංහල සාහිත්‍ය වංශය 759 පිට)

මා කොළඹ අානන්දයේ ඉගෙන ගන්නා සමයෙහිදී එහි පුස්තකාලයෙහි නිතර කියවූ එක් සඟරාවක් වූයේ මේ ඥානාදර්ශය යි. එහි සිංහල භාෂාව අලළා පළ වුණු රසවත් ලිපි කියවූ මා බසට නැඹුරු වීම පුදුමයට කරුණක් නොවේ.

ඥානාර්ථ ප්‍රදීපය

කතෝලික ආගමට අනුබද්ධව 1886 ජූනි 7 වැනි දින ආරම්භ වුණු 'ඥානාර්ථ ප්‍රදීපය' නම් සඟරාව විශිෂ්ට වාර්තාවක් පිහිටවූ වාර ප්‍රකාශනයකි. සිංහල පුවත්පතක් වශයෙන් ආරම්භ කළ දා සිට අද දක්වා ම නොකඩවා පළ කෙරෙන එක ම සඟරාව මෙය වන බැවිනි.

ඥාන කෝෂය

ඥානය ඇතුළත් එක් ග්‍රන්ථ විශේෂයක් 'ඥාන කෝෂ' යන නමින් හැඳින්වේ. ඊට අනුරූප ඉංගිරිසි පදය 'Encyclopaedia' යන්න යි. 'විශ්ව ඥාන කෝෂය' යන නමින් කාණ්ඩ දෙකකින් යුත් කෝෂ ග්‍රන්ථයක් 2002 දී

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ සංස්කාරකත්වයෙන් එළි දැක්විණ.

ඥාන කාණ්ඩය

හින්දු භක්තිකයන්ගේ ශුද්ධ ග්‍රන්ථ අතුරෙහි ලා සැලකෙන 'උපනිෂද්' ග්‍රන්ථවල එක් කාණ්ඩයක් 'ඥාන කාණ්ඩය' නමි. යාග හෝමාදිය වෙනුවට ඥානය උපයෝගි කොට ගෙන සත්‍යය සොයා යන මාර්ගය ඉන් හෙළි කෙරේ.

ඥාන විභාගය

මනුෂ්‍ය වර්ගයා සතු ඥානයේ ස්වභාවය පිළිබඳ විමර්ශනය 'ඥාන විභාගය' නමි. මෙය ඉංගිරිසි දාර්ශනිකයන් හඳුන්වන්නේ 'Epistemology' වන පදයෙනි.

ඥාන වෘද්ධ

නුවණින් පැසුණු මිනිසා 'ඥාන වෘද්ධ' ය. මිනිස්සු නොයෙක් ආකාරයෙන් වෘද්ධ භාවයට පත් වෙති. වයසින් වෘද්ධ භාවයට පැමිණියෝ 'වයෝ වෘද්ධ' ය. ගුණයෙන් පැසුණු තැනැත්තා 'ගුණ වෘද්ධ' හෝ 'ගුණෝපවෘද්ධ' ය.

එසේ ම ඥානයෙන් පැසුණු තැනැත්තා 'ඥාන වෘද්ධ' ය. ඔහුට ඇත්තේ පැසුණු හිසක් ය. 'පැසුණු හිසින් බුහුමන් ලබව' යි සිහිපත් කරනුයේ එහෙයිනි.

මාතෘකා