‘කොඩි’ පොත ‘හදිසි අනතුරක්’

 ඡායාරූපය:

‘කොඩි’ පොත ‘හදිසි අනතුරක්’

මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි

මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලිගේ ‘කොඩි’ නම් අලුත්ම කාව්‍ය කෘතිය මෙම ජූලි 31 වෙනිදා සවස 3.00ට කොළඹ 7, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත වේ. සුරස ප්‍රකාශනයක් ලෙස එළිදැක ඇති මෙම කාව්‍ය සංග්‍රහය පිළිබඳව අප ප්‍රියන්ත කොඩිප්පිලි මාධ්‍ය සගයා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

ඔබේ කෘතියෙන්ම කතාව පටන්ගනිමු?

ඇත්තටම කවි පොතක් කරන්න කල්පනාවක් තිබුණේ නැහැ. පොතක් කරන්න සැලසුමක්වත්, ඉලක්කයක්වත් තිබුණේ නැහැ. මම මුහුණුපොතට ආවෙත් ඉතා මෑතක. මුහුණුපොතට ආවට පස්සේ එහි ටිකක් සැරිසරනකොට අහම්බෙන් වගේ සිද්ධ වෙච්ච වැඩක් මේ කවි ලියන එක. මේක පොඩි ‘හදිසි අනතුරක්’ හැටියට තමයි මම පිළිගන්නේ. පොඩි පොඩි දේවල් සම්බන්ධයෙන් මට පද හතරේ කවි ලියවුණා. ඒක ටිකෙන් ටික වෙනත් තැන්වල කතාබහට ලක්වුණා. ඒක තමයි මේ පොතක් විදියට වර්ධනය වුණේ. නැතුව වෙන කිසිම පොතක් කරන්න සැලසුමක් තිබුණෙත් නැහැ. පොතක් කරනවා කියලා මේක මම ඔළුවේ තියාගෙන කරපු වැඩකුත් නෙමෙයි.

මේ කෘතියේ නම ‘කොඩි’. ඇයි එවැනි නමක් යොදන්නේ?

මේ බොහෝ දෙනෙක් මාව ආමන්ත්‍රණය කරන විදිය.

ඒ වගේම මේ පොතත් මගේ ප්‍රකාශන යම් විදියට එළියට දාන මාධ්‍යයක්. ඒ නිසා මම හිතුවා මේ නම හොඳ වෙයි කියලා. ඒ වගේම මේ නම සම්බන්ධයෙන් අපේ මිත්‍ර සමාගමේ බොහෝ වාද විවාදවලින් පස්සේ තමයි කවි පොතට ‘කොඩි’ කියලා නම යෙදුණේ. නම ඇතුළේ කවිවල තියෙන ලක්ෂණත් එක්ක ඕන කෙනෙකුට ඕනේ විදියකට අර්ථගන්න හැකියාව තියෙනවා.

මේ කවි ඔක්කොම ලියන්නේ සිව්පද ආරෙන්?

මම මීට දශකයකට විතර කලින් නිසඳැස් ආරේ කවි ලියපු කෙනෙක්. මම බොහෝ පුවත්පත්වලට සහ ප්‍රකාශනවලට කවි ලිව්වා. ලංකාවේ දැනට ඉන්න සම්මානනීය තරුණ කවියෝ බොහෝ දෙනෙක් එක්ක මමත් ඒ දවස්වල පත්තරවලට කවි ලිව්වා. ඊට පසුව මම පත්තර රස්සාවට ගියා. ඉරුදින පත්තරේ කටයුතු කරන අතරේ අලුත් කවි පිටුවක් සංස්කරණය කරන්න ලැබුණා ‘නිල්දියවර’ කියලා. ඊට කලින් ඒ පිටුව කළේ ‘කාව්‍ය මණ්ඩපය’ කියලා ජ්‍යෙෂ්ඨ කවියෙක් වෙච්ච තිලකරත්න කුරුවිට බණ්ඩාර. මේ කවි පිටුව සංස්කරණය කරන අතරවාරයේදී මට බොහෝ කවි කිවිඳියන් එක්ක ඇසුරු කරන්න, ඔවුන්ගේ නිර්මාණවලට තැනක් දෙන්න සහ ඔවුන්ව ඉදිරියට ගෙනයන්න අවස්ථාවක් හැදුණා. මේත් එක්කම මගේ කවි ලිවීම අඩු වුණාටත් වඩා නැවතුණා කිව්වා නම් වඩා නිවැරදියි. මේ නිර්මාණකරුවන් එක්ක මට විවිධ වැඩසටහන් කරන්න පටන්ගත්තා. 2008 ‘මකරන්ද’ කියලා වැඩසටහකන් අපි පටන්ගත්තා. ඒ, මමයි අපේ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහත්මයායි. ඒක කවි කිවිඳියෝ සඳහා කරන වැඩමුළුවක්. දැනට මතුවෙලා ඉන්න බොහෝ කවි කිවිඳියෝ ඒ හරහා තමන්ගේ කවිය මුවහත් කරගත්ත පිරිසක්. ඒ අතරේ මගේ කවි ලිවීම නැවතුණා. ඊට පසුව තමයි වෙන තැනකින්, වෙන විදියකින් මුහුණුපොත ඇතුළේ සිව්පද ආකෘතියට කවි එළියට එන්නේ.

කොහොමද මේ සංකීර්ණ සමාජ කාරණා පද හතරකින් කතා කරලා ඉවර කරන්නේ?

ඒක තමයි මේ කවිවල බොහෝ දෙනෙක් දකින සහ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණු ප්‍රධානම සාධකය. ඒ කිව්වේ යම්කිසි දෙයක් හෝ යම්කිසි චරිතයක් පද හතරකට කැටි කරගන්නේ කොහොමද කියලා. ඒක දැන් නම් මට ඉබේම සිද්ධ වෙන දෙයක්. නමුත් ඉස්සරත් මේක කරන්න මම ලොකු ආයාසයක් ගත්තේ නැහැ. හැබැයි ඒක ටිකක් අමාරු වැඩක්. විශේෂයෙන්ම බරපතල දේශපාලන කාරණා, සමාජ කාරණා මේකෙදි කතා කරනවා. මේ හැම කවියකම යථාර්ථය වගේම මගේ දැක්මත් තියෙනවා. සමාජ සවිඥානිකත්වය නැතුව මේ වැඩේ කරන්න බැහැ. විශේෂයෙන් විවිධ චරිත ඉලක්ක කරගෙන මම ලියපු කවි ලිව්වේ ඒ චරිත සම්බන්ධයෙන් මගේ තිබුණු අධ්‍යනයන් එක්ක. විශේෂයෙන් ලංකාවේ සංස්කෘතික කපාලයේ වැඩ කරපු සහ වැඩ කරන ප්‍රවීණයෝ ගැන තමයි මගේ අතින් බොහෝ දුරට ලියවුණේ. ඔවුන්ගේ ජීවිතයම පද හතරකට ගේන්න මට පුළුවන් වුණා. බොහෝ කවි සම්බන්ධයෙන් මට ලැබුණු ප්‍රතිචාරත් එක්ක යම්දුරකට ඔවුන්ගේ ජීවිතය මගේ පද හතරේ ගැබ් වෙලා තියෙනවා කියලා බොහෝ දෙනාගේ පිළිගැනීමක් වුණා.

මේ කවි පොතේ අන්තර්ගතය ගැන විස්තර කළොත්?

විවිධ චරිත ගැන ලියපු කවි වගේම විවිධ සමාජ දේශපාලන කාරණා ගැන ලියපු කවිත් මේ පොතේ තියනවා. මේ පොතට කවි 120ක් විතර එකතු කරලා තියෙනවා. මේ වැඩේ පටන් අරන් ඉතාම සුළු කාලයයි. ඒ කාලය තුළ සෑහෙන්න කවි ප්‍රමාණයක් ලියවුණා. ඒකෙන් විශේෂ තෝරාගැනීමක් කළෙත් නැහැ. පොතේ ප්‍රමාණය සහ අවශ්‍යතාව උඩ යම්කිසි තෝරාගැනීමක් කළා.

මේ කවි මුහුණුපොතේ පළ කරද්දි යම්කිසි විශේෂත්වයක් තිබුණා. කවි පොතටත් ඒ විශේෂත්වය අන්තර්ගත කළාද?

ඔව්. මේ හැම කවියට අදාළ පින්තූරයක් තියෙනවා. ඒක තමයි විශේෂත්වය. ඒ පින්තූරයත් එක්කම තමයි ඒ කවි පළ වෙන්නේ. මුහුණුපොත ඇතුළෙත් ඒක ප්‍රවණතාවක් වුණා. මේකෙන් පසුවත් බොහෝ දෙනා මේ වැඩේ කරන්න උත්සාහා කළා කියලා ඔවුන්ම මට කියලා තියෙනවා. එහෙම දෙයක් වුණු එක ගැන මම සතුටු වෙනවා. හැබැයි ඒක මටත් වඩා සාර්ථකව කවුරුහරි කරනවා නම් තමයි මම මගේ වැඩේටත් වඩා සතුටු වෙන්නේ.

මේ කවිවලට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

මේ කවිවලට හොඳ - නරක ජාති දෙකෙන්ම ප්‍රතිචාර බොහෝමයක් ලැබෙනවා. විශේෂයෙන් යම්කිසි සමාජ දේශපාලන කාරණාවක් ගැන ලිව්වාම තමයි ප්‍රතිවිරෝධතා සහ විවේචන මතු වෙන්නේ. එහෙම නැතුව සංවේදී කාරණා ගැන ලිව්වාම නම් ඉතාම සුබවාදී ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි මම මේ කිසිම ප්‍රතිචාරයකින් ඕනවට වැඩිය උද්දාම වෙන්නේවත් ඕනවට වැඩිය සැලෙන්නේවත් නැහැ. මේ දෙවර්ගයෙම ප්‍රතිචාර සම්බන්ධයෙන් මගේ තියෙන්නේ මැදහත් සිතිවිල්ලක්.

මේ කවිවල ප්‍රකාශන මාධ්‍යය වෙන්නේ මුහුණුපොත. විශාල පිරිසක් ගැවසෙන මුහුණුපොතෙන් ඔබ පොත කියන කුඩා පිරිසක් බලන මාධ්‍යයකට කවිය ගන්නවා. ඒ ඇයි?

මුහුණුපොත විශාල පිරිසක් බලනවා. නමුත් පොත් බලන පිරිසකුත් ඉන්නවා. බොහෝ දෙනෙක් මගෙන් අහපු කාරණයක් තමයි මුහුණුපොතේ ලියපු කවි ඇයි පොතක් විධියට අච්චු ගැහුවේ කියලා. මම හිතන්නේ තාමත් අච්චු අකුරුවලට මේ සමාජයේ වගේම ලෝකේම තියෙන වටිනාකමේ අඩුවක් නැහැ. මොකද මමත් පත්තරකාරයෙක් හැටියට අච්චු අකුරුවලට ආදරේ කරන චරිතයක්. අපි කොච්චර මුහුණුපොතේ සහ සයිබර් අවකාශයේ අපේ අදහස් මුදාහැරියත් ඒවා අච්චු අකුරු හැටියට තැනකට ගන්න එක ගැටලුවක් නැහැ. අනවශ්‍ය විවේචනවල හිරවෙන කෙනෙක් නෙමෙයි මම.

මේ කවි මුහුණුපොතේ පළ කරද්දි අමතක නොවෙන සිදුවීම් වෙලා තියෙනවාද?

එහෙම සිදුවීම් තියෙනවා. උදාහරණයකට කතානායක කරූ ජයසූරිය මහත්තයාගේ දුවගේ පුතා සම්බන්ධයෙන් ලියවුණු කවිය ටිකක් වැඩි අවධානයක් ලැබුණු කවියක්. ඒ සිදුවීම සංවේදී සිදුවීමක්. ඒ පින්තූරෙත් මට එව්වේ හෙරල්ඩ් සේනාධීර කියලා මගේ මිත්‍රයෙක්. මේ පින්තූරේ එවලා කිව්වා " උඹට හොඳ දෙයක් ලියවෙයි" කියලා. ඒ වන විටත් කරූ ජයසූරිය මැතිතුමාගේ දියණිය පිළිකා රෝගයට ගොදුරු වෙලා තමන්ගේ පුතාට නිරෝගී උපතක් දෙන්න ඇය ඖෂධ ගැනීම පවා ප්‍රතික්ෂේප කළා. ඒ නිසාම ඇය ඉක්මණින්ම ජීවිතය හැර යනවා. මේ සිදුවීම දිහා බලද්දී මට ඇති වුණු හැඟීම තමයි මේ කුඩා දරුවා සහ කරූ ජයසූරිය සීයා අතරේ තියෙන මානුෂික බැඳීම. ඒ සිතුවිල්ල තමයි කවියට පාදක වුණේ. මේ කවිය එතුමාගේ මාධ්‍ය ලේකම්තුමා ඔහුට පෙන්වලා තියෙනවා. ඒ පද හතර කියවලා එතුමාගේ ඇස්වලටත් කඳුළු ආවා කිව්වා. ඒක මටත් සංවේදී කාරණාවක් වුණා. එහෙම ප්‍රතිචාර ලැබුණු තවත් කවි තියෙනවා. එකක් තමයි ‘හංසවිලක්’ චිත්‍රපටයේ ඡායාරූපයකට මම ලියපු කවිය. ඒක ධර්මසිරි බණ්ඩාරනායක සහ ස්වර්ණා මල්ලවාරච්චි ඉන්න පින්තූරයක්. ඇත්තටම ඒ ඡායාරූපය හරහා ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් වෙනත් කියවීමක් මගේ අතින් ආවා. ඒ කවියේ අන්තිම පද දෙකේ තිබුණේ,

ඇත්තක් නැත්තේ නෑ විටෙකදී රඟපෑමේ
නෙගටිව් පටිවලත් ඇත පොසිටිව් ප්‍රේමේ

ඒ කවිය දැකපු ධර්මසිරි බණ්ඩාරනායක මහතා පසුව මුණුගැහුණු වෙලාවක මට කිව්වේ “අපිට අදාළව මල්ලි ලියපු පද හතර නම් හරියටම හරි” කියලා. ඒ වගේ ප්‍රතිචාර එද්දි මටත් සතුටක් තියෙනවා.

අද මුහුණුපොතේ බොහෝ තරුණ තරුණියෝ කවි ලියනවා. ඒ ගැන මොකද කියන්නෙ?

මුහුණුපොත හරහා බොහෝ දෙනෙකුට ලියන්න අවකාශය ලැබුණා. ඉස්සර කවියක් සමාජ ගත කරන්න තිබුණේ පත්තර කවි පිටු නැත්නම් කවි පොත්. මුහුණුපොත වගේ සමාජ මාධ්‍ය පුළුල් වුණාට පස්සේ බොහෝ දෙනෙක් කවි ලියන්න ගත්තා. ඒ වගේම තත්ත්වයෙන් බාල ඒවාත් ඒ අතර ලියවුණා. කොහොම වුණත් විවිධ අයට හැඟීම් දැනෙන ආකාරයටයි ලියන්නේ. සයිබරයට තහංචි දාලා එහි අන්තර්ගතය සීමා කරන්න බැහැ. මේක ඇතුළේ හොඳ - නරක, දුර්වල - ගුණාත්මක ආදී බොහෝ දේවල් තියෙනවා. යම්කිසි සමාජ අවධානයක් ලැබෙන්නේ තත්වයෙන් හොඳ දේවල්වලට. ඒ වගේ තැනකට තමන්ගේ ලිවීම ගෙන යන්න මේ අය උත්සාහ කරනවා නම් ඒක තමයි වැදගත්ම කාර්යය කියලා මම හිතනවා.

සාකච්ඡා කළේ [නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා