‘යුලිසීස්’ සහ සදාචාරවාදය

 ඡායාරූපය:

‘යුලිසීස්’ සහ සදාචාරවාදය

ජේම්ස් ජොයිස් (1882 පෙබරවාරි 2 -1941 ජනවාරි 13) නමැති අයර්ලන්ත ජාතික විශිෂ්ට ලේඛකයාගේ ‘යුලිසීස්’ (Ulysses) නවකතාවේ සිය වැනි සංවත්සරය මේ වසරේදී සමරනු ලැබිණි. මේ නවකතාව ප්‍රථම වරට පළ වූයේ ‘ලිට්ස් රිවීව්’ (Little Review) නමැති සාහිත්‍ය වාර ප්‍රකාශනයේය. ඒ එහි පළ වීමත් සමඟ බොහෝ පාඨකයන්ගේ, විචාරකයන්ගේ අවධානය ඊට යොමු විය. අනතුරුව එය ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ටතම සම්භාව්‍ය කෘති කිහිපයෙන් එකක් බවට පත් විය. මේ මොහොත වන විට එහි වැදගත්කම නැවත ඉස්මතු වී ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධවල මන්දිරය පිළිබඳව මයිකල් වොල්ෆ් විසින් රචනා කරන ලද ‘ෆයර් ඇන්ඩ් ෆියුරි : ඉන්සයිඩ් ද ට්‍රම්ප් වයිට් හවුස්’ (Fire and Fury: Inside the Trump White House) නමැති කෘතිය සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වයත් සමඟය.

සැබැවින්ම ‘ෆයර් ඇන්ඞ් ෆියුරි’ කෘතිය තහනම් කිරීමට ට්‍රම්ප් ගත් උත්සාහය ව්‍යර්ථ වීමට ‘යුලිසීස්’ කෘතිය සම්බන්ධයෙන් කලකට ඉහත ක්‍රියාත්මක වූ නීතිමය තත්ත්වය යම්තාක් දුරකට බලපෑවේය. වසර සියයකට පෙර ‘යුලිසීස්’ කෘතිය පළ වීමත් සමඟ එහි ඇතුළත් ඇතැම් ලිංගික කරුණු සභ්‍යත්ව සීමාව ඉක්මවා යන්නේ යැයි චෝදනාවක් එල්ල විය. එහෙත් ඇමෙරිකාවේ සහ එංගලන්තයේ සදාචාර නීතියට අවනත වෙමින් සිය කෘතිය සංස්කරණය කිරීමට ජොයිස් එකඟ නොවීය. ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ නීතිය මඟින් ලේඛකයාගේ ප්‍රකාශන අයිතියට ගරු කළ යුතු යැයි යන තීන්දුව දෙනු ලැබිණි.

‘යුලිසීස්’හි නව්‍යශීලීත්වයෙන් සහ අපූර්වත්වයෙන් යුතු ඇතැම් ගද්‍ය පාඨ ඉතාම ආකර්ෂණීය ස්වභාවයක් දැරීය. එය මුල් වරට කියවීමට ලැබුණු අවස්ථාවේදී ‘ලිට්ල් රිවීව්’ නමැති ඇමෙරිකානු සඟරාවේ සංස්කාරකවරියන් වූ මාගරට් ඇන්ඩර්සන් සහ ජේන් හීප් යන දෙදෙනාම ඉන් මහත් විස්මයට පත්ව ඇත. උසස් රසවින්දනයක් ලබාදෙන මෙවැනි සියුම් සාහිත්‍ය රචනා මඟින් සිය ජීවිත වෙතට ගැඹුරු දැක්මකින් යුතුව එබී බැලීමට ජනතාවට හැකියාව ලැබෙන බව තරයේ විශ්වාස කළ ඇන්ඩර්සන් එකහෙළාම පවසා ඇත්තේ කවර අවදානමක් දැරීමට සූදානමින් වුව මේ නවකතාව සිය සඟරාවේ පළ කළ යුතු බවය. ඒ අනුව දෙවරක් නොසිතාම එය ‘ලිට්ල් රිවීව්’ සඟරාවේ පළ කෙරිණි.

එය පළ වීමත් සමඟම ඔවුන් අපේක්ෂා කළ පරිදිම විවිධ පිරිස් වෙතින් මේ අමුතු නවකතාවට විරෝධතා එල්ල වන්නට විය. නිව්යෝර්ක් නුවර සමාජ සත්භාවයන් වෙනුවෙන් පෙනී සිටි සංගමයක් විසින් සඟරාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලැබිණි. එම සඟරාවේ පළ වන අලුත් නවකතාවේ විස්තර කෙරෙන එක්තරා සිද්ධියක් සභ්‍යතා සීමාවන් ඉක්මවා යන තරම් අශ්ලීල බවින් යුතු බව පවසමින් නඩුවක් ගොනු කළ එම සංගමය ඉල්ලා සිටියේ වහාම එය පළ කිරීම නවතන ලෙසය. ඔවුන්ගේ අවධානය යොමු වී තිබුණු සිද්ධියට අදාළ විස්තරයට අනුව එම නවකතාවේ ගර්ටි මැක්ඩොවෙල් නමැති කාන්තාව සිය යට ඇඳුම නිරාවරණය කරන අයුරු දකින නවකතාවේ ප්‍රධාන චරිතය වූ ලියෝපෝල්ඩ් බ්ලූම් සුරතාන්තයට පත් වෙයි. සංගමය විසින් ඉදිරිපත් කරන ලද චෝදනාවට අනුව එය බරපතළ ලෙස සභ්‍යතා සීමාව ඉක්මවා යන දරුණු ලිංගික අපරාධයකි. සිය චෝදනාව ප්‍රබල බවත්, ඒ වන විට පැවැති නීතිය අනුව ලිංගික හැඟීම් අවුස්සන ඕනෑම ලියවිල්ලක් සභ්‍යතා සීමාව ඉක්මවා යන්නේ යැයි සැලකිය හැකි බවත් පිළිගැනිණි. එය කෙතරම් රමණීය රචනයක් වුවද, නීතියට ඒ රමණීයභාවය අදාළ කරගත යුතු නැති බවද පිළිගැනිණි.

සඟරාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූ ජෝන් ක්වින් අයර්ලන්ත ඇමෙරිකානු විනිසුරුවන්, දේශපාලනඥයින් සහ ව්‍යාපාරිකයින් වැනි විවිධ පිරිස්වල අවශ්‍යතා පරිදි කටයුතු කරන ආකාරයේ අයෙකු වූ අතර, ඔහු ‘ලිංගික සාහිත්‍යය’ පිළිබඳ හසළ දැනුමක් ඇති අයෙකු ලෙස පිළිගැනීමට ලක්ව සිටි අයෙක්ද නොවීය. ඔහු ඉදිරිපත් කළ තර්කය වූයේ ජොයිස්ගේ නවකතාව උසස් බුද්ධිමය අගයක් සහිත ලේඛන ශෛලියකින් ලියැවී නැති නිසා කිසිවෙකුට එමඟින් හානියක් සිදු නොවන බවය. එවැනි පසුබිමක් තුළ සඟරාවේ සංස්කාරකවරියන් වැරදිකාරියන් බවට පත් කර දඩයකට යටත් කෙරිණි. ඒ සමඟම ‘යුලිසීස්’ නවකතාව තවදුරටත් සඟරාවේ පළ කිරීමද අත්හිටුවනු ලැබිණි. නවකතාව පළ කිරීමට සුදුසු තත්ත්වයට සංස්කරණය කරමින් වාරණ නියෝගයන්ට අනුකූලව එය යළි රචනා කරන ලෙස නිව්යෝර්ක් නුවර සහ ලන්ඩනයේ ප්‍රකාශකයින් ජොයිස්ගෙන් ඉල්ලා සිටි නමුදු එය කිසි ලෙසකින් වෙනස් කිරීමට ඔහු එකඟ වූයේ නැත. සිය නවකතාව එසේ වෙනස් කරන්නේ නම් තවදුරටත් එය සාර්ථක නිර්මාණයක් ලෙස නොපවතිනු ඇතැයි ඔහු දැඩිව කියා සිටියේය. තමා රචනා කර ඇති සියලු කොටස් ඒ අයුරින්ම ඇතුළත් නොවන්නේ නම් එය පළ කිරීමෙන් ඵලක් නැතැයිද, ඒ නිසා එහි කිසිදු කොටසක් සංශෝධනය කිරීමට තමා සූදානම් නැතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සිදුවීමෙන් කාලයකට පසු, 1933 වසරේදී රැන්ඩම් හවුස් නමැති ප්‍රකාශන සමාගමේ නිර්මාතෘ බෙනට් සර්ෆ් විසින් ‘යුලිසීස්’ නවකතාව නිව්යෝර්ක් නුවරදී ප්‍රකාශයට පත් කරනු ලැබූ විටද ජොයිස් ඒ ස්ථාවරයේම රැඳී සිටියේය. ඒ අවස්ථාවේදී නඩු විභාගය පැවැත්වූ ප්‍රධාන විනිසුරුතුමන් වූ ජෝන් වූල්සේ ජොයිස්ගේ ලේඛන ශෛලියෙහි අපූර්ත්වය හඳුනාගැනීමට සමත් විය. මිනිස් විඥානය තුළ සැඟව ඇති සැබෑව ඉදිරිපත් කිරීමට ලිඛිත වදන්වලට ඇති හැකියාව ජොයිස් විසින් යොදාගෙන ඇති ආකාරය අවබෝධ කරගත් ඔහුගේ තීරණය වූයේ මේ නවකතාව මඟින් සභ්‍යතා සීමාව ඉක්මවා යෑමක් හෝ අසභ්‍ය ප්‍රකාශනයක් පළ කිරීමක් සිදුව නැති බවය. සාහිත්‍ය විධි ක්‍රමයක් ආශ්‍රිත විශ්ලේෂණයක් මත පදනම්ව නීතිමය ගැටලුවක් සම්බන්ධයෙන් දෙන ලද එම තීන්දුව සාහිත්‍ය සහ ප්‍රකාශන ක්ෂේත්‍රයට නව මානයක් එක කරන්නට සමත් විය. සිය ලේඛන ශෛලිය ඔස්සේ අත්හදාබැලීමක් කරමින් නව සාහිත්‍ය ශානරයක් නිර්මාණය කිරීමට ජොයිස් උත්සාහ දරා ඇති බව වූල්සේ පැවැසීය. නවකතාවේ චරිත හැසිරෙන සැබෑ ස්වරූපය ඉදිරිපත් කිරීමට ජොයිස් විසින් දරන ලද අවංක උත්සාහයක් ලෙස එය පිළිගත හැකි බව ද වූල්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වූල්සේ විසින් ලබා දෙන ලද එම තීන්දුව 1934 වසරේදී අභියාචනා අධිකරණයක් මඟින් පිළිගනු ලැබූ අතර, ඒ සමඟම එයට පෙර පැවැති ‘ලිංගික හැඟීම් අවුස්සන ආකාරයේ ඕනෑම ලියැවිල්ලක් අසභ්‍ය යැයි සැලකිය යුතුය’ යන අදහස ප්‍රතික්ෂේප විය. එයින් පසුව, 1957 වසරේදී පැවැති සභ්‍ය - අසභ්‍යවාදය සම්බන්ධ තවත් නඩු විභාගයකදීද ‘යුලිසීස්’ කෘතිය අලළා දී තිබූ එම තීන්දුව සැලකිල්ලට ගනු ලැබිණි.

මේ වසරේ මුල් භාගයේදී ජනාධිපති ට්‍රම්ප් සහ ධවල මන්දිරය පිළිබඳ අප්‍රකට තොරතුරු හෙළිදරව් කරමින් ප්‍රකට මාධ්‍යවේදියකු වන මයිකල් වොල්ෆ් විසින් රචනා කරන ලද කෘතිය පළ කිරීම අත්හිටුවීමට ට්‍රම්ප් ඇතුළු බොහෝ ප්‍රබල පිරිස් විසින් දරන ලද උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වූයේද මෙවැනි නීතිමය පසුබිමක් තුළය. ට්‍රම්ප් විසින් මයිකල් වොල්ෆ් සහ ඔහුගේ පොත පළ කළ ප්‍රකාශකයා වූ හෙන්රි හෝල්ට් යන දෙදෙනාටම එරෙහිව නීතිමය පියවර ගෙන තිබුණේ එමඟින් නිසැකවම අදාළ කෘතිය පළ කිරීම වළක්වාගත හැකි වනු ඇතැයි යන විශ්වාසයෙනි. එහෙත් කරුණු සලකා බැලූ අධිකරණය තීරණය කළේ එවැනි කෘතියක් මඟින් රාජ්‍ය නිලධාරියකුට හෝ දේශපාලනඥයකුට සිදු වන හානිය වළක්වාගත හැකි වන්නේ කිසියම් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අදාළ කෘතියෙන් ඉදිරිපත් කර ඇති කරුණු අසත්‍ය හා පදනම් විරහිත වන බව සාක්ෂ්‍ය සහිතව ඔප්පු කළ හැකි නම් පමණක් බවය. එහෙත් අදාළ කෘතිය මඟින් ඉදිරිපත් කර ඇති තොරතුරු කිසිවක් අසත්‍ය යැයි ඔප්පු කිරීමට ට්‍රම්ප් හෝ ඔහුගේ අතවැසියන් සමත්ව නැත. ‘ෆයර් ඇන්ඩ් ෆියුරි’ කෘතිය මේ වන විටත් ලොව පුරාම විවිධ රටවල ඉතා ඉහළ ලෙස අලෙවි වෙමින් පවතින්නේ එබැවිනි. පසුගියදා එහි පිටපත් මෙරට පොත්හල්වලද අලෙවිය සඳහා තබා තිබෙනු දැකගත හැකි විය. එය නිරුපද්‍රිතව තවමත් වෙළෙඳපොළේ අලෙවි වන්නේ වසර සියයකට පෙර ‘යුලිසීස්’ නමැති විශිෂ්ට සාහිත්‍ය කෘතිය ආශ්‍රිතව ගොඩනැගුණු සාධනීය නීතිමය තත්ත්වයන්ද හේතු කොටගෙන වීම විශේෂ කරුණකි.

[අජිත් නිශාන්ත]

මාතෘකා