මගේ පොතක් හතර දෙනෙක් සංස්කරණය කරනවා

 ඡායාරූපය:

මගේ පොතක් හතර දෙනෙක් සංස්කරණය කරනවා

කපිතාන් එල්මෝ ජයවර්ධන

ඉංග්‍රීසි බසින් නිර්මාණකරණයේ යෙදෙන සම්මානලාභී ශ්‍රී ලාංකික ලේඛක කපිතාන් එල්මෝ ජයවර්ධන ඉංග්‍රීසි සහ සිංහල පාඨක පිරිස් අතර කිසියම් ප්‍රසාදයක් හිමි කරගෙන සිටින්නෙකි. ඔහු රචනා කළ ‘සෑම්ස් ස්ටෝරි’ (Sam’s Story) නමැති නවකතාවට ග්‍රේෂන් ත්‍යාගය හිමි වූ අතර එය ‘සැමීගේ කතාව’ නමින් සිංහල භාෂාවටද පරිවර්තනය විය. එසේම ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ රසවත් කතා පුවතක් ප්‍රබන්ධයක ස්වරූපයෙන් ඉදිරිපත් කරමින් ඔහු රචනා කළ ‘ද ලාස්ට් කින්ඩම් ඔෆ් සිංහලේ’ (The Last Kingdom of Sinhalay) නමැති කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි විය. එසේම ඔහුගේ ‘රේන්බෝස් ඉන් බ්‍රේල්’ (Rainbows in Braille) නමැති කෘතිය සිංගප්පූරු සාහිත්‍ය ත්‍යාගය සඳහාද නිර්දේශ විය.

ඔහුගේ නවතම කෘතිය ‘කැකියන්’ (Kakiyan) නමින් ප්‍රකාශයට පත්ව ඇත. ‘කාකයෙකුගේ කතාව’ (The Story of a Crow) යන තේමා පාඨය සහිතව නිකුත් වී ඇති මේ කෘතිය රචනා වී ඇත්තේ කපුටකු විසින් ඉදිරිපත් කරනු ලබන වෘත්තාන්තයක් ලෙසය. ගුණසේන ප්‍රකාශනයක් වන මේ කෘතිය පිළිබඳව අප පසුගියදා කපිතාන් එල්මෝ ජයවර්ධන සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

ඔබේ අලුත්ම කෘතිය හඳුන්වා දිය හැක්කේ කුමන ආකාරයටද?

මේ පොතේ නම ‘කැකියන්’ (Kakiyan). සමහරු ඕක ‘කාකියන්’ කියලා වැරදියට කියවනවා. ඒ නම කියවෙන්න ඕන කැකියන් කියලයි. කැකියන් කියන්නෙ කාක්කෙක්. එතකොට කවුරු හරි අහන්න පුළුවන් මොකටද මේ කාක්කෙක් ගැන පොතක් ලිව්වෙ කියලා. මට තියෙන වෙලාවෙන් මම මොනවා හරි පොතක් ලියනවා නම් ඒකෙ අර්ථයක් තියෙන්න ඕන. ලීලයි, කමලයි, චම්පයි, රේඛයි ගැන ලියලා වැඩක් නැහැ. මම ලේඛකයෙක් විදියට හැමවිටම උත්සාහ කරන්නෙ මොනව හරි අමුතු දෙයක් ලියන්න. එහෙම අමුතු දෙයක් ලියන්න ඕන කියලා හිතමින් ඉන්න අතරෙ මගෙ හිතට ආපු අදහසක් අනුව ලියැවුණු පොතක් විදියට මේ කෘතිය හඳුන්වන්න පුළුවන්.

කාක්කො ගැන අමුතු කතාවක් ලියන්න පුළුවන් කියන අදහස මගෙ ඔළුවට ආවෙ දැනට අවුරුදු හත අටකට ඉහතදියි. කාක්කා කියන්නෙ අමුතු චර්යාවන් පෙන්නුම් කරන පක්ෂියෙක්. කාක්කන්ගෙන් අපට ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා කියලා මට හිතෙනවා. කාක්කො අතරෙ පුදුම එකමුතුවක් තියෙනවා. උදාහරණයක් විදියට එක කාක්කෙක් මොනවා හරි කෑමක් දැක්කාම ඌ මුලින්ම කරන්නෙ අනෙක් කාක්කන්ට ඇහෙන විදියට කෑගහන එක. ඒ කියන්නෙ ඌ අර කෑම තනියෙන් කන්න යන්නෙ නැතුව අනෙක් කාක්කොත් එක්ක ඒක බෙදාගන්නවා. උන්ගෙ එකෙක් මැරුණමත් එහෙමයි. දාලා යන්නෙ නැහැ. ඇවිල්ලා කෑ ගහලා දුක පිට කරලා තමයි යන්නෙ. ඔය විදියට කාක්කන්ගේ ලෝකයේ හරි අමුතුම ගති පැවතුම් තියෙනවා. මුලින්ම නිවාස සංකීර්ණවල හිටියෙත් කාක්කො මිසක් අපි නෙවෙයි. උන් ගිහිල්ලා ඔය ඕන ගහක නැවතිලා ඉන්නෙත් නැහැ. කොහේ රවුම් ගහලා ආවත් උන් නවතින්න යන්නෙ එක ගහකටයි. කාක්කො ගැන ඔය වගේ අමුතු අමුතු දේවල් එකතු කරලා තමයි මම මේ කතන්දරේ ලිව්වෙ. මගේ මේ පොත සංස්කරණය කළේ මහාචාර්ය යැස්මින් ගුණරත්න. ඇය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඉහළම දැනුමක් තියෙන මහාචාර්යවරියක්. ඇය මේ පොතට කොච්චර කැමති වුණාද කියනවා නම් ඇය ‘කැකියන්’ ගැන වෙනම ඉංග්‍රීසි කවියක් ලිව්වා. මේ ළඟදි ඇය පොත ගැන විචාරයකුත් ලියලා එව්වා.

මෙය මුළුමනින් පරිකල්පිත කෘතියක්?

ඔව්. මේක අමුතුම කතන්දරයක් වෙන්නෙත් ඒ නිසා. හැබැයි මේ වගේ කතාවක් ලියනකොට කිසියම් ආකාරයක බරක් තියෙන්නත් ඕන. ඒ වගේම කතාව ඇතුළෙ දුක, කනගාටුව, සතුට සහ හාස්‍යය වගේ දේවල් තියෙන්නත් ඕන. ඒ බොහෝ දේවල් මේ කතාවට මුසු වෙලා තියෙනවා. ඒ හැම එකක්ම මගේ පරිකල්පනය සහ උපකල්පන ඔස්සේ ගොඩනඟපු දේවල්. මට කාක්කො ගැන හිතෙන අමුතු දේවල් මේ කතාව තුළ හමු වෙනවා. උදාහරණයක් විදියට කාක්කො මිනිස්සුන්ගේ ඇඟට ජරා කරන එක ගැන මට හිතෙන දේවල් මේ කතාවේ තියෙනවා. කාක්කෙකුගේ ජරාව ඇඟට නොවැටුණු කෙනෙක් මේ ලෝකයේ නැති තරම්. මම හිතන්නෙ මේ විදියට මිනිස්සුන්ගෙ ඇඟට ජරා කරන එක උන්ගෙ ක්‍රීඩාවක් කියලයි. මේවා මම හිතන දේවල් පමණයි. මම මේ කරන්නෙ නිර්මාණශීලී රචනයනෙ. ඒ නිසා මට එහෙම හිතන්න නිදහසක් තියෙනවා. බොහෝ වෙලාවට මිනිස්සු එහා මෙහා යන පාරවල් අයිනෙ ගස් උඩ, කම්බිවල එහෙම කාක්කො ලැගගෙන ඉන්නෙ උන්ගෙ ක්‍රීඩාව කරන්නයි. පාරෙ එක පැත්තක එක කණ්ඩායමකුයි, අනෙක් පැත්තෙ කම්බියක තව කණ්ඩායමකුයි ඉන්නවා. යටින් ඇවිදගෙන යන මිනිස්සුන්ගෙ ඇඟට උන් ජරා කරනවා. ඒ ජරාව මිනිහෙකුගෙ කරට දැම්මොත් ලකුණු දෙකයි, ඔළුවට දැම්මොත් ලකුණු තුනයි, කටට දැම්මොත් ලකුණු පහයි වගේ ලකුණු ක්‍රමයකුත් උන්ට තියෙනවා. මිනිහෙකුගේ කටට ලේසියෙන් ජරා කරන්න බැහැනෙ. මුලින්ම ඔළුවට දාලා, උඩ බැලුවොත් ආයි කටට දානවා. ඔන්න ඔය වගේ කතන්දර තමයි මේ පොතේ තියෙන්නෙ.

පාර අයිනෙ දේශපාලන ලොක්කන්ගේ පිළිම හදලා තියෙනවනෙ. ඔය හැම එකකටම කාක්කො ජරා කරනවා. ඒ මොකද දන්නවාද? උන්ගෙ ක්‍රීඩාව පුහුණු වෙන්න. සමහර වෙලාවට කාක්කො වට කරගෙන එක කාක්කෙකුට කොටනවා. ඒ උන් වරදකට දඬුවම් දෙන විදිය. එහෙම කරන්න උන්ට නීති පද්ධතියක් තියෙනවා. මේවා මන:කල්පිත කතා වුණාට මිනිස්සුන්ට ඉගෙන ගන්න දේවල් මේ අතර තියෙනවා. උන්ගෙ නීති පද්ධතිය නියම ආකාරයෙන් ක්‍රියාත්මක වෙන නිසා උන්ට ඕන ඕන විදියට නටන්න බැහැ. අපට වෙලා තියෙන්නෙ අපේ නීති පද්ධතිය නියම ආකාරයට ක්‍රියාත්මක නොවන එකනෙ. කාක්කන්ට එහෙම බැහැ. එකෙක් වැරැද්දක් කළොත් අනෙක් උන් වට කරගෙන ඌට කොටනවා.

මේ කෘතිය ලියන්න ඔබ කපුටන් ගැන අධ්‍යයනයක් කළාද?

මම කාක්කො ගැන අධ්‍යයනයක් කළා. හැබැයි කාක්කො ගැන වෙන අය ලියපු දේවල් ගැන නම් මම හෙව්වේ නැහැ. අනෙක් අය ලියපු ඒවා මමත් ලියලා වැඩක් නැහැනෙ. අවුරුදු ගාණකට කලින් මම මේ පොත ලියන්න පටන් ගත්තාම මගේ නෝනා කොළඹ පොත් සාප්පුවකින් පොතක් අරගෙන ඇවිල්ලා මට දුන්නා. මම ඒ පොත අතින් ඇල්ලුවේවත් නැහැ. හැබැයි මම එළිමහනට ගිහිල්ලා කාක්කො දිහා හොඳට බලාගෙන ඉඳලා තියෙනවා. හවසට ව්‍යායාම කරන්න දුවන්න ගියාමත් මම පැත්තකට වෙලා කාක්කො දිහා බලාගෙන ඉන්නවා. උන්ට මොකක් හරි චර්යා රටා පිළිවෙළක් තියෙනවා ඇති කියලා මට හිතුණෙ උන් දිහා එහෙම දිගින් දිගට බලාගෙන ඉන්නකොටයි. ඇත්තටම උන්ගෙ හැසිරීම් රටාවල කිසියම් ආකාරයක පිළිවෙළක් තියෙනවා කියලා මට හිතෙන්න ගත්තා. එහෙම බලනකොට මිනිස්සු හැටියට අපේ චර්යා රටාවල ඒ විදිහෙ පිළිවෙළක් නැහැයි කියලත් මට හිතුණා. සමහර තැන්වලදි උන්ට වඩා අපි කොච්චර වැරදිද කියලත් මට හිතුණා. දළ වශයෙන් අවුරුදු පන්දාහක් ගත්තොත් අපි ඇරෙන්න වෙන එක සතෙක්වත් මේ ලෝකයට හානි කරලා නැහැ. ඒ එක සතෙක්වත් ස්වාභාවික ලෝකයේ තියෙන කිසි දෙයක් වෙනස් කරලා නැහැ. උන් කවුරුත් කැලේ ගස් කැපුවෙත් නැහැ, ඉඩම් ගොඩ කළෙත් නැහැ. එහෙම බලනකොට මේ ලෝකය කාලා විනාශ කරලා තියෙන්නෙ අපි විතරයි. මොළේ තියෙනවායි කිව්වට අපිම තමයි ලෝකය විනාශ කරලා තියෙන්නෙ.

දුප්පත්කම අපට ලොකු ප්‍රශ්නයක්නෙ. නැතිකමයි, ඇතිකමයි කියන්නෙ අපට මහා ලොකු ප්‍රශ්නයක්. හමේ පාට අපට ලොකු ප්‍රශ්නයක්. හැබැයි කාක්කන්ට එහෙම නැහැ. උන්ට තියෙන්නෙ එක පාටයි. අපට කාලයක ඉඳලම තියෙන ලොකුම ප්‍රශ්නයක්නෙ පාට. මේ රටේ ඉන්න මිනිස්සු පාට හින්දා සෑහෙන ලොකු ප්‍රශ්න ඇති කර ගන්නවා. කාක්කන්ට ඒ වගේ ප්‍රශ්න නැහැ. කාක්කො ගැන මගේ අධ්‍යයනයෙන් හොයාගන්න ලැබුණු තොරතුරු අනුව ඔය වගේ බොහෝ දේවල් ගැන මගේ නිදහස් අදහස් සහ උපකල්පන ගොඩ නගාගන්න මට පුළුවන් වුණා.

මේ කෘතිය කිසියම් ආකාරයක සංස්කරණයකට ලක් වුණාද?

ඔව්, මේ පොත සංස්කරණය කළේ ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙන් ඉහළම පරිචයක් තියෙන මහාචාර්ය යැස්මින් ගුණරත්න. මම හිතන විදියට සංස්කරණයේ ආකාර දෙකක් තියෙනවා. ඒ අනුව මුලින්ම සංස්කරණය කරන්නෙ භාෂාවේ ව්‍යාකරණයයි. ලේඛකයෙකු විදියට මම ලියන්නෙ අදහස්. ඉංග්‍රීසි වචනවලින් මම ඒ අදහස් ලියනවා. මගේ පොත්වල තියෙන ඉංග්‍රීසි වචන ඉතාම සරලයි. මගේ කෘතියක මුල්ම සංස්කරණය කියලා කියන්නෙ ව්‍යාකරණ නිවැරදි කිරීමයි. මගේ ව්‍යාකරණ සංස්කාරකවරයා බැංකුවක සේවය කරලා විශ්‍රාම ලබපු කෙනෙක්. ඔහු ඉංග්‍රීසි භාෂාව හොඳටම දන්නවා. මේ සංස්කරණයේදී ඔහු මගේ කතන්දරේ වෙනස් කරන්නෙ නැහැ. ඔහු කරන්නේ ඉංග්‍රීසි භාෂාව නිවැරදි කිරීම පමණයි. ඉන් පසුව ඒ පිටපත මගේ බිරිඳ කියවනවා. ඇගේ ඉංග්‍රීසි දැනුම ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම ඕනම දෙයක් සම්බන්ධයෙන් විචාරාත්මකව අදහස් දක්වන්නත් ඇයට හැකියාවක් තියෙනවා. ඇය මේ පිටපත කියවලා යම් යම් සංශෝධන යෝජනා කරනවා. හැබැයි ඇය ඒ සංශෝධන යෝජනා කරන්නෙ කැමති නම් කරන්න කියලායි. මට ඕන නම් ඒ සංශෝධන නොකර ඉන්නත් පුළුවන්. ඉන් පසුව මම ඒ පිටපත වෘත්තීය සංස්කාරකවරයෙකුට යොමු කරනවා. අවසාන වශයෙන් පිටපත මුද්‍රණයට භාරදෙන්න කලින් මම ඒ පිටපත එංගලන්තයේ ඉන්න මගේ දුවට යවනවා. එයාගෙ ඉංග්‍රීසි දැනුම ඉතාම හොඳයි. ඒ නිසා දුව ඒ පිටපත ලස්සනට සකස් කරනවා. ඒ අනුව මගේ පොතක සංස්කරණයට හතර දෙනෙක් සම්බන්ධ වෙනවා.

ඔබ ලියන්නේ ඇයි?

මම ලියන්නෙ ආසාවට. ඇත්තම කියනවා නම් පොතක් ලියන්න හැම කෙනෙකුටම ආසාවක් තියෙනවා කියලා මම හිතනවා. ලේඛකයෙක් වුණාම ලිවීම කියන ගමන රස විඳිනවා මිසක් ගමනාන්තය ගැන හිතන්න අවශ්‍ය නැහැ කියලයි මම විශ්වාස කරන්නෙ. මම ලියන පොත්වලට පාඨකයො කැමති නම් ඒ ගැන මම සතුටු වෙනවා. මම ලියපු මේ පොතටත් පාඨකයො කැමති නම් මම හරි ආසයි.

ඔබ විශ්වාස කරන ආකාරයට සාහිත්‍යයට සම්මාන වැදගත්ද?

ඔව්. සම්මාන ඉතාම වැදගත්. සමහර වෙලාවට සම්මානයත් එක්ක ලැබෙන මුදලත් ලේඛකයෙකුට වටිනවා. ඒ වගේම පොතත් විකිණෙනවා වැඩියිනෙ. තමන්ගේ පොතකට සම්මානයක් ලැබෙනවාට කවුරුත් කැමතියි. ඕන කෙනෙක් පොතක් ලිව්වාම හිතන්නෙ මේක තමයි ලෝකයේ තියෙන හොඳම පොත කියල. ඒ වුණාට එහෙම වෙන්නෙ නැහැනෙ. සම්මාන අනුව පොතක හොඳ - නරක තීරණය කරන ප්‍රවණතාවකුත් දැන් ඇති වෙලා තියෙනවා. හැබැයි සම්මාන ලැබෙන හැම පොතක්ම හොඳයි කියලා කියන්න බැහැ. මගේ පෞද්ගලික මතය නම් සම්මාන ලබන පොත්වලට වඩා හොඳ පොත් සම්මාන නොලබන පොත් අතර තියෙන බවයි. උදාහරණයක් විදියට මම නොබෙල් ත්‍යාගලාභී ලේඛක ජේ. එම්. කොඑට්සි ලියපු ‘ඩිස්ග්‍රේස්‘ (Disgrace) කියන නවකතාව කියෙව්වාම මට හිතුණෙ ඒ පොතට නොබෙල් ත්‍යාගය දුන්නෙ මොකටද කියලයි. මට එහෙම හිතෙන්නෙ සමහර විට මගේ අඩුපාඩුවක් නිසා වෙන්න ඇති. රොහින්ටන් මිස්ට්‍රි ලියපු ‘අ ෆයින් බැලන්ස්’ (A Fine Balance) කියන පොතත් මම කියෙව්වා. ඒ පොතට මොනම සම්මානයක්වත් ලැබුණේ නැහැ. හැබැයි ඒක මම කියවපු ලස්සනම පොතක්. ඒ මම පොත් දිහා බලන විදිය. අපි කැමති පොතකට තව කෙනෙක් කැමති නැහැ.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා