සකපෝරුවේ කැරකෙන පාලුගමේ දිගැසියෝ

 පෝරණුවේ පිලිස්සෙන මැටි වළං ඡායාරූපය:
. පෝරණුවේ පිලිස්සෙන මැටි වළං

සකපෝරුවේ කැරකෙන පාලුගමේ දිගැසියෝ

ලාංකිකයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තය සමඟ විවිධ හස්ත කර්මාන්තද සමාන්තරව මනා සහසබඳතාවකින් යුතුව පැවති බව ඒ පිළිබඳව විමසන විට පැහැදිලි වේ. ගෘහ කර්මාන්තයක් වූ ඒ හස්ත කර්මාන්තය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් වැනිය. ගොවියා බත සැපයූ අතර, හස්ත කර්මාන්ත ශිල්පියා මුළුතැන්ගෙට හා ගොවිපළට අවශ්‍ය උපකරණ හා මෙවලම් සම්පාදනය කළේය. බොහෝ විට සිය නිෂ්පාදන කැටයම් හෝ චිත්‍ර මගින් අලංකාර කිරීමට එම ශිල්පීහු අමතක නොකළහ. ඒ සඳහා අවශ්‍ය කුසලතාව, ඉවසීම හා කාලය ඔවුනට නොඅඩුව තිබිණි. එම නිසා සෑම මෙවලමක්ම, උපකරණයක්ම කලාවට නෑකම් කියන්නට විය. මෙයින් පැරණි ශිල්පීන්ගේ සෞන්දර්යාත්මක චින්තනය පැහැදිලි වේ.

මේ අතුරින් කුඹල් හෙවත් මැටි වළං කර්මාන්තයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ගල් යුගයේ සංචාරක දඩයම් ජීවිතයෙන් ඈත් වූ මිනිසා ගෘහස්ථ ගොවි ජීවිතයට සංක්‍රමණය වීමත් සමඟ කුඹල් කර්මාන්තය ආරම්භ කර ඇත. මෙසේ සිදු කළ මැටි ආශ්‍රිත නිෂ්පාදන ආහාර එකතු කර තබාගැනීම, ආහාර පිසීම සහ ආහාර අනුභව කිරීම ආදිය සඳහා භාවිත කරන්නට විය. ඒ ගල් යුගයේ අවසාන කාලයේ සිටය. මෙම සාම්ප්‍රදායික කලාවට වර්තමානයේ ප්‍රාණ වායුව පිඹීමට වෙහෙසෙන ගල්ගමුව, “පාලුගම” ගමේ මැටි වළං නිෂ්පාදකයින් මුණගැසීමේ අවස්ථාව ඉකුත් දිනක උදා විය. කළගෙඩියේ සිට හට්ටි, මුට්ටි, ඇතිලි, මඩක්කු, කොරස්, නෑඹිලි, ගුරුලේත්තු, මල් බඳුන්, දර උදුන් ආදී මෙකී නොකී එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය බොහොමයක් භාණ්ඩ සකසා, සපයා දුන් මේ ගැමියන්ගේ කතාව ආයාචනා සපිරි එකකි. ඔවුනගේ ජීවිත නේක කඳුළින් පිරී ඇත. මේ ගම්මැද්දේ සකපෝරු කරකවමින්, දහදිය හෙළමින් කර්මාන්තයේ නියැලෙන ලියන්ගේ දසුන ජීවිත ආසාව වඩවයි. මැටි කපා ගෙනැවිත්, පාගා පදම් කොට, ගල්මුල් අපද්‍රව්‍ය ඉවත් කොට, රළු මැටි පිඬ සකපෝරුව මත තබා සුරුවම් වළඳක් බවට පත් කරන්නේ හරි අපූරුවටය. එහෙත් එම වළඳ මඳ පවනේ ‍වේලා පෝරණුවේ දමා පුලුස්සා වෙළෙඳපොළ දක්වා ගෙන යන ගමන ඉතා දුෂ්කර කටයුත්තකි. පාලුගමේ ජේ.ඒ. කුමාරි ඔවුනගේ ජීවිත අතෑර නොයන කම්කටොළු ගැන අපට මුලින්ම කීවාය.

මැටි පදම් කිරීමේ යන්ත්‍රය අබලන්ව ඉවත දමා ඇති අන්දම

“අපිට ස්ථිර මඩුවක් හදාගන්න වත්කමක් නැතිකම තමයි ලොකුම ප්‍රශ්නය. පොල් අතු වහලා හදාගත්ත මඩු දෙකම දිරලා තියෙන්නේ. තහඩු ටිකක් ගහගන්නත් කියලා හිටියා. ඒත් තියෙන ප්‍රශ්නත් එක්ක ඒක කරගන්ඩ බැරි වුණා. අපි හැමදේම කරගන්නේ මේ හම්බ කරන කීයෙන් හරියි. එදිනෙදා ජීවත් වුණාම අමතර දෙයක් කරගන්ඩ හරිම අමාරුයි. එහෙන් ලෙඩ දුක්. ඉතිං කවුරි හරි මේ කර්මාන්තේ දියුණු කරගන්ඩ මොකක් හරි උදව්වක් කරනවා නම් ඒක ලොකු දෙයක්. තහඩු ටිකක් ගන්ඩ කීයක් හරි ඉතුරු කරගෙන ඉන්න කොට මොකාක් හරි කරදරයක් එනවා.”

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 77 කැලේගම ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටි පාලුගම මෙම කලාපයේ ඇති සාම්ප්‍රදායික ගමකි. මෙහි ඉතිහාසය සියවස් ගණනාවක් එපිටට දිවෙන බව ප්‍රදේශයේ ගැමියන්ගේ විශ්වාසය වී තිබේ. විවිධ අවශ්‍යතා සඳහා පොළොව කැනීමේදී මීට යාබද ගම් කිහිපයකින්ම පාෂාණගතව ඇති වළං කැබැලි හමු වීම ගැමියන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කරවයි. එනයින් බලන කල්හි එවැනි ඉතිහාසයක් සහිත කුඹුල් කර්මාන්තයට ප්‍රකට තවත් ගමක් මේ කලාපයේ නැති තරම්ය.

ගල්ගමුව නගරයට කිලෝමීටර් පහක් පමණ ඔබ්බෙන් ගම පිහිටා ඇත. මෙහි පවුල් එකසිය අනූදෙකත් හත්සියපනහත් අතර පිරිසක් විවිධ කම්කටොළු සමඟ දිවි ගෙවති. සකපෝරු කරවමින් මෙහි ලියෝ වැඩි දෙනෙක් ජීවන බරට උරදෙති. ජේ.ඒ. කුමාරි පැවසුවාක් මෙන් මේ වහින කාලේ හොඳ මඩුවක් නැතිනම් වළං හදනු බොරුය. ලී දඬු මඩුව හෙවිළූ පොල්අතු සුළඟට ඉගිල යයි. දිරාගියා පොල් අතු අතරින් දිය බිඳු බේරෙයි. නේක මැටි නිෂ්පාදන සඳහා නිපුණතාවක් ඇති ජේ.ඒ. සුභාෂිනි සියලු උපද්‍රව සමඟ කර්මාන්තයෙන් යම් ප්‍රගතියක් ලැබු තැනැත්තියකි. ඇය හඬ අවදි කළේ මෙසේය.

පෝරණුවෙන් ඉවතට ගත් පුළුස්සන ලද වළං

“ඇත්තටම අපි හදන වළංවලින් ලොකුම ලාභය ගන්නේ අතරමැදි වෙළෙන්දෝ. ලොකු කළගෙඩියක් අපෙන් රුපියල් එකසිය පනහකට විතර අරගෙන ඒගොල්ලෝ රුපියල් තුන්සිය පනහකට විතර විකුණනවා. අපටම මේ දේවල් විකුණගන්ඩ මොකක් හරි සාධාරණ ක්‍රමයක් හදන්ඩ පුළුවන් නම් අපේ දරුවන්ට වෙන රස්සා ඕන නෑ.”

“දැන් මේ වහින කාලේ රස්සාව කරන්නේ කොහොමද?”

දුබල මඬුවල අරුමය මම ඇගෙන්ද ඇසුවෙමි.

“ඒක තමයි ප්‍රශ්නේ. ගමේ ගොඩක් අය රස්සාව කරන්නේ එහෙන් මෙහෙන් හදාගත්ත මඩු ඇතුළේ ඉඳගෙන. වළං පුච්චන පෝරණුව තියෙන්නෙත් ඒ මඩුව ඇතුළේ. වැහි කාලෙට මඩු දෝර ගලනවා. එහෙන් හිරිකඩ. වහිනකොට වළං නොතෙමී තියාගන්න විදිහක් නෑ. එතකොට රස්සාව අතෑරල දාන්ඩ තමයි වෙන්නේ. පායන කොට අව් රස්නෙට හදන වළං පුපුරනවා. කවුරු හරි හොඳ මඩු හදාගන්න උදව් කරනවා නම් ඒක ලොකු හයියක්. සමහරුන්ට එදිනෙදා ජීවත් වෙනවා ඇරෙන්ඩ තහඩු ටිකක් ගන්ඩවත් කීයක් හරි ඉතුරු කරගන්න එක ලේසි නෑ.”

ජේ.ඒ. සුභාෂිණි එසේ පවසන්නීය. හැඩට, පිළිවෙළට මඩුවක් හදාගන්නට ගැමියන්ගේ අතමිට සරු නැත. හොඳ මඩුවක් තිබේ නම් ඔවුන්ගේ සියලු කටයුතු පවත්වා ගැනීමට පහසුවකි. නිසි මඩුවක් නැතිකම නිසාම මහ වැසි ඇද වැටෙන විට කර්මාන්තයෙන් ඈත් වන්නට ඔවුනට සිදු වේ. එහෙයින්ම වැස්ස මොවුනට ගෙන එන්නේ අහේනි කාලයකි. මේ අමාරු කාලයේත් ජීවිත සටන අතහරින්නට ඔවුනට ඉඩක් නැත. නේක හැඩයෙන්, නිමාවෙන් යුතු වළං පොඩි සුභාෂිණි මට පෙන්වයි. ගමේ බොහෝ දෙනෙකුට නැති, විදුලියෙන් ක්‍රියා කරවිය හැකි සකපෝරුවක්ද ඈ සතුව ඇත. ඒ මත මැටි පිඩක් තැබූ ඇය සුරුවම් වළං පොඩියක් හදා පෙන්වයි. එය අපුරු කුසලතාවකි. විදුලි සකපෝරුවේ වැඩ යම් පමණකට පහසුය. එය කාලය සහ වෙහෙස පිරිමහයි. එහෙත් රුපියල් හතළිස්දහසක් තරම් මුදලක් එකවර දැරිය හැක්කේ මේ ගැමියන්ගෙන් කීයෙන් කී දෙනාටද?

“මොනවද ඔය ගෑස් වළං කියන්නේ.”

මම හිටිහැටියේ මතක් වූ පැනයක් ඇය වෙත යොමු කළෙමි.

“ගෑස් වළං කියන්නේ අච්චුවලින් හදන වළංවලට. දැන් කළගෙඩි, මුට්ටි ඇරුණාම අනෙක් හැම එකක්ම හදන්ඩ අච්චු තියෙනවා. ඒක ඉතිං ලේසියි. කර්මාන්තය ගැන වැඩිය නොදන්න කෙනෙකුට උනත් අච්චුවෙන් වළං හදන්ඩ පුළුවන්. හැබැයි ඉතිං හරියට මැටි පදං කරගන්ඩ ඕන. අච්චු ගන්ඩත් ඕන සල්ලි තමයි. සහන ක්‍රමේකටවත් හම්බවෙනව නම් ලොකු දෙයක්.”

“මොකක්ද ඔය වළං දෙවර්ගය අතර තියෙන වෙනස?”

“එකම වෙනස අච්චුවල හදන වළං ඝනකම අඩුයි. ඒ කියන්නේ තුනීවට හදන්නේ. අතින් හදන වළංවල ඝනකම වැඩියි. අච්චුවෙන් හදන වළංවලින් දර ළිපේ උයන්ඩ අමාරුයි. තුනී වැඩි නිසා පුපුරන්ඩ බලනවා. අතින් හදන ඝනකම වැඩි වළංවලින් ගෑස් ළිපේ උයන්ඩ ගියහම ගෑස් වියදම වැඩි වෙනවා. ඇයි වළඳ රත්වෙන්ඩ ටිකක් වෙලා යන නිසා.”

සුභාෂිණි අම්මා සිනහවකින් මුව සරසයි.

අතීතයේ ගොවියා මෙන්ම හස්ත කර්මාන්ත ශිල්පියාද පසසා විවිධ ඇගයීම් සිදු කොට තිබේ. එකල්හි මෙරට හස්ත කර්මාන්ත වර්ධනයට බෙහෙවින්ම උපකාරී වී ඇත්තේ මෙම රාජ්‍ය අනුග්‍රහය බව පිළිගැනීමට සිදු වේ. කිසියම් රටක හස්ත කර්මාන්ත යනු ආර්ථික ක්‍රියාවලියක් පමණක්ම නොව එමගින් එරට අනන්‍යතාවද පිළිබිඹු වේ. ලංකාවේ හස්ත කර්මාන්තය වටාද මෙපරිද්දෙන් මානව සිතුම් පැතුම්, සංස්කෘතිය, ශික්ෂණය, ඉවසීම ආදීය ගැබ්ව තිබේ. මෙරට හස්ත කර්මාන්ත සාතිශය බහුරයක් පරිසර හිතකාමී බවින් යුතු වීම එහි වටිනාකම තවත් ඔප දමයි. එහෙත් කවර අර්ථයෙන් බැලුවද වර්තමානයේ මෙරට ග්‍රාමීය කුඩා කර්මාන්ත බොහෝමයක් අද අලුක්කාල් ගණනට වැටී තිබේ. ඒ පිරිහීම ක්‍රමික ගමනක ප්‍රතිඵලයකි. පාලුගමේ පොළොව මත ඇසෙන සහ දකින සාධක ඒ සඳහා නොඅඩුව දෙස්දෙයි. ගැමියන්ගේ කර්මාන්තයේ පහසුව සඳහා 2003 වර්ෂයේදී ගම තුළ ඉදිකොට ඇති මැටි පදම් කිරීමේ යන්ත්‍රය සහ ගොඩනැඟිල්ල මුළුමනින්ම විනාශ වී පණ අදිමින් තිබේ. ඒ නිසි නඩත්තුවක් නොවීම හේතුවෙනි. එහි වරද ගැමියන්ගේද වෙනත් වගකිව යුත්තෙකුගේද යන්න නිරවුල් නැත. එහෙත් සිය කර්මාන්තයට අත දිය හැකි නිල දරන්නවුන් කිසිවෙකු කලකින් ගමට නොපැමිණි බව නම් ගැමියන්ට හොඳන්ම මතක තිබේ. ජේ.ඒ. චන්ද්‍රලතා මහත්මිය සකපෝරුවේ කැරකෙන දිවිසැරිය ගැන කීයේ මෙවැනි කරුණුය.

මද පවනේ වියළීමට දැමූ වළං

“මට මතක හැටියට 2003 අවුරුද්දේ චන්ද්‍රිකා නෝනාගේ ආණ්ඩුව කාලේ ලාල් කාන්ත මහත්තයා ඇමති වෙලා ඉන්න කාලේ තමයි අපිට මැටි පදං කරන මැෂින් එකක් ගමට දුන්නේ. දැන් ඒක කැඩිලා අවුරුදු ගානක් වුණා. මේ වෙනකන් ඒක හදලා දෙන්ඩ කවුරුවත් මැදිහත් වුණේ නෑ. කුඩා කර්මාන්ත සංවර්ධන එකෙන් ඉස්සර නම් නිලධාරි ගමට ආවා. දැන් අවුරුදු ගානකින් කිසි කෙනෙක් ආවේ නෑ.”

“මැටි පදං කරන්ඩ මැෂින් එකක්ම ඕනද ?”

මා නොදන්නා කමට ඇසුවෙමි.

“අනේ එහේම කියන්ඩ එපා. ඇත්තටම මැටි පදං කරන මැෂින් එක කැඩිච්ච එක ගමට ලොකු පාඩුවක්. හරියට මැටි පදං කරගන්න බැරි වුණොත් පුච්චනකොට වළං පුපුරනවා. මුළු මහන්සියම අපතේ යනවා. හොඳ මැටි හොයාගන්න එක ලේසි නෑ. වළං පුච්චන්න දර, පොල් ලෙලි, පොල්පිති, දහයියා වගේ දේවල් ගන්නෙත් සල්ලි දීලා. දර මිලත් එන්ඩ එන්ඩ වැඩි වෙනවා. කනබොන එකේ ඉඳලා අනිත් හැමදේම කරගන්නෙත් මේ හම්බ කරන කීයෙන් හරි. ඉතුරුවක් කරගන්න එක ලේසි නෑ. ඉතිං ඔය ඔක්කොම දේවල් ඉවරයි නේද හරියට මැටි පදං කරගත්තේ නැත්නන්.”

විදුලි සකපෝරුවේ හැඩවෙන වළං පොඩියක්

චන්ද්‍රලතා එසේ විමසයි.

“ඉතිං දැන් ඇත්තටම මැෂින් එකක් ගමට නෑනේ” මම ද අත්නොහැර යළි අසමි.

“නෑ තමයි. තිබ්බා නම් හැම අතින්ම ලේසියි. කාලෙත් ඉතුරුයි. එහෙමයි කියලා අපිට මේක අතඅරින්නත් බෑ. එතකොට ජීවත් වෙන්න විදිහක් නැතිව යනවා. අතේ කීයක්වත් නැති වුණාම තියෙන අමාරුව කියලා වැඩක් නෑ.”

ඇය අසරණ ලීලාවෙන් පවසන්නීය. වළං පෝරණු සමඟ ගැටෙන වළං කර්මාන්තකරුවන් විවිධ ගැටලු හේතුවෙන් දවසින් දවස එකා දෙන්නා කර්මාන්තය අතහැර යයි. එහෙත් දුකම සතුට කොට විඳින පාලුගමේ වැසියෝ තවමත් එකාවන්ව ජීවන හුස්ම රකින්නට මැටි වළං සමඟ ඔට්ටු වෙති. කර්මාන්තයේ රස, නීරස අත්දැකීම් සමඟ වයසට ගිය ජේ.ඒ. කරුණාවතී අම්මා වචන එකතු කළාය. අනේ! ඇය සකපෝරුවටම දියවූ සෙයකි.

“ගමට එන්ඩ තියෙන ඇතුළේ පාරවල් ඔක්කොම කැඩිලා. ඒකත් මේ රස්සාව කරන අපිට ලොකු කරදරයක්. මේ වළ ගොඩැලි උඩින් වළං අරගෙන යනකොට සමහර වෙලාවට බිඳෙනවා. වෙළෙන්දොත් ගමට එන්ඩ වැඩි කැමැත්තක් නෑ මේ හින්දා. කාටවත් බරක් නැතිව කරන මේ දෑතේ රස්සාව ලොකු නිදහසක්. ඒත් අපෙන් පස්සේ නම් මේ කර්මාන්තේ කරගෙන යන්ඩ කෙනෙක් ඉතුරු වෙන එකක් නෑ. අපි විඳින දුක විඳගෙන දරුවෝ කැමැති නෑ මේ රස්සාව කරන්ඩ. මේ ගමෙත් වළං රස්සාව කරපු සමහරු මේ කරදර හින්දම වැඩ අතඇරලා දාලා තියෙන්නේ. මොනව හරි දෙයක් කරනවා නම් හොදයි. අපේ නම් දැන් කාලේ ඉවරයි.”

මේ දුක හිතෙන කතාවේ එක් අන්තයක ඇත්තේ අප සැවොම අනවරතව යෙදෙන ජීවන අරගලයයි. අනෙක් අන්තයේ එල්ලී ඇත්තේ පණ අදින සාම්ප්‍රදායික කර්මාන්තයකට පණ දෙන්නට වෙහෙසෙන කඳුළින් ජීවිතය වියන මිනිසුන්ගේ ශෝකාලාපයයි. හිරු සැඟව ගිය අහස යට අඳුර රජයමින් තිබේ. පාලුගමේ මැටි වළං සඳහා පස් කපාගන්නා වැව් කොටුව පසුකොට මම මහමඟට පිවිස සිටිමි. අතෝරක් වාහන ශබ්ද අතරේ කුමාරිලා, චන්ද්‍රලතාලා, සුභාෂිණිලා, කරුණාවතී අම්මලා කරකවන සකපෝරු සද්දේ තවමත් දෙසවන අසල ඇසෙන්නාක් මෙනි.

තඹුත්තේගම විශේෂ [ඩබ්ලිව්. ප්‍රදීප්]

News Order: 
2
මාතෘකා