හෙවන්ගල පාමුල සොබාදම් සුරතලියගේ අසිරිය

 ඡායාරූපය:

හෙවන්ගල පාමුල සොබාදම් සුරතලියගේ අසිරිය

සොබාදහම කමනීය කමලාවකි. මනාව ගෙත්තම් කරන ලද දුහුල් පිනි සළුවක් වරෙක ඈ සිය ගත දවටා ගන්නීය. තවත් වි‍ෙටක ඇගේ ගත හැඩ වන්නේ නීල වර්ණයෙන් සුසැදි තුරු ලතාවන්ගෙන් සැදුම්ලත් නිල්වන් වියමනකිනි. ඈත නිල් අහස සිඹින කඳු වැටියකින් විවරණය වන්නේ ඇගේ තුඟු ළය මඩලෙහි අනුපමේය රූ සොබාවයි. ගඟක් වක් වී ගලන තැනකදී ඈ සිය පුළුල් නිතඹෙහි අනන්ත ලාලිත්‍යයත් සදාතනික සෞන්දර්යයත් පිළිබඳව ඉඟි කරයි. මේ සියලු සෞන්දර්යයන්ගෙන් සමලංකෘත වන සොබා ලලනාව තමා සමඟ උණුසුම් වීමට සැමට ඉඩ නොදේ. ඒ සඳහා ඈ සමඟ විශ්වාසයෙන් සහ ළෙන්ගතුව විසිය යුතුය. පාලින්දනුවර වලකඩ ග්‍රාමයේ වෙසෙන්නෝ ඈ සමඟ දිගු කලක් පුරා නොබිඳෙනා සෙනෙහසකින් යුතුව වාසය කළ පිරිසකි. ඒ නිසාම උදේ හවා මේ කමනීය ලලනාවගේ පහස ලබන්නට ඔවුහු භාග්‍යවන්තයෝ වෙති. වලකඩ ග්‍රාමයට ළඟා වීමට ඇත්තේ එකම මඟකි. කුකුළේ ගං නිම්නයේ කළුතර දිසාවට අයත් කොටසට මායිම්ව ඇති වලකඩ ගම්මානයට සේන්දු විය යුත්තේ මෝල්කාවේ සිට කෙලින්කන්ද දෙසට යන විට මුණගැසෙන කඳුකර මඟෙහි හෝරාවකුත් මිනිත්තු කිහිපයක් ගමන් කිරීමෙනි.

මේ ම‍ෙඟහි ගමන් කරන්නකුට වෙහෙසක් නොදැනේ. ඈත නිල්වන් කඳු වැටි සිප හමා එන පවන් රැලි ඒ වෙහෙසට විරාමය කැඳවයි. තුරු ලතාවන්ගෙන් සෙවණ වූ මඟ, ඈතින් නෙත ගැටෙන කඳු පන්ති, නොදන්නා ඉසව්වකින් ඇරඹී ගලා එන සිහින් දිය දහරාවන් දක්වන ළෙන්ගතුකම්, කුරුලු රුවක මිහිර, සමනල තටුවක හැඩ යනාදී සියල්ල එක්ව ජීවනදායක අමෘතයකින් ගතත් සිතත් සුවපත් කරයි. මේ සියල්ලේ පහස ලබන වලකඩ ගම් පියස නෙතින් දකිනා කවරකුගේ වුව මනසට නැංවෙන්නේ "රසෙයි අමා රසමය ඒ පියස දුට" යන සිතිවිල්ලයි. හෙවන් ගල, ඒ වටා වන දිය ඇලි, වීදිය බණ්ඩාර දවස දා සිදුවී ඇති සිදුවීම්, ගැමි ජීවිතවල ආස්වාදනීය මතක සැමරුම් ආදී නොයෙක් දෑ පිළිබඳ විත්ති සොයා මම මේ ගම්මානය වෙත සේන්දු වීමි.

ඒ දුටු දෑ අතුරින් නිල් වන් තුරුපත් පියස්සෙන් සෙවණ සදන 'ඔලියා මළ ඇල්ලේ' අනුපමේය සුන්දරත්වය මේ මොහොතේ පවා සිතින් සියවර විඳිය හැකි කවියක් සේ මගේ සිත තුළ නින්නාද වෙයි.

"ඒ කාලෙ මේ මණ්ඩියේ මහ බැද්ද. එදා ගමේ උන්නු අය මේ මහ බැද්ද එක්ක ඔට්ටු වෙලා තේ කුරුඳු වවලා තමයි මේ ගම්මානෙ දියුණු කළේ." වලකඩ ගමේ පැරැන්නකු මා සමඟ පැවසීය. තේ වගාවත් කුරුඳුත් අදටත් මේ වැසියන්ගේ අත මිට සරුකරයි. එය ඔවුන්ගේ පළමු ආදායම් මාර්ගයයි. මේ විත්ති විමසමින් මම ඔලියා මළ ඇල්ල වෙත ගමනාරම්භ කළෙමි. වලකඩ ගමේ එක් ඉසව්වක් සීමා වන්නේ ඔලියා මළ ඇල්ල සිය ඇකයේ හොවාගෙන සිටින වන පියසෙනි. ඇල්ල තෙක් ගමන් කිරීමට මේ වන පියස මැදින් විහිදුණු අඩි පාරක් හෝ නොවේ. එබැවින් යා යුතු ඉසව්ව පිළිබඳව මඟ සලකුණු දැක්වීමට ගමේ තරුණයකු ඉදිරිපත් විය.

අපි ඇල්ලට ජීවය දෙන දිය දහර ඔස්සේ ගමනාරම්භ කළෙමු."මේ දවස්වල දොළ සැරයි. හැමදාම හවසට ඩිංගක් හරි වහිනවනෙ. ගල් ලිස්සනවා, පරිස්සමට යමු." ඒ මඟපෙන්වන්නාගේ පළමු අවවාදයයි.

“වතුර අඩු කාලෙට නං හැන්දැකොරේ වුණත් අපි මේ දොළේ යනවා. ඉස්සො අල්ලන්න.බෙරලිය, ගොරක එහෙම තියෙන කාලෙට මේ ගමන වරදින්නේ නෑ." දිය දහරේ එක් තැනක වූ අලි පිටක් බඳු ගල් කුළක් මත විඩා හරින මොහොතක ගමන් සගයා පැවසීය. දැන් දැන් දිය දහර සානුවක් ඔස්සේ ගලා එයි. මේ දිය ගලා එන මඟ තැනින් තැන විසිර ඇති ගල් කුළු සමූහයකි. දිය දහරත් ඊට සෙවණ සදන නිල් වන පියසත් එක්ව නිමවන චමත්කාරය නෙත ගැටීමෙන් මිස මානව නිර්මාණයක් වන භාෂාවකින් විස්තර කිරීමට යෑම අනුවණකමකි.

ඈත වනපෙතෙන් නැඟි සමනල රුවක් සෙමෙන් අප ඉදිරියට පාව එන්නේ මේ සෙනෙහැති වන බිමට ජීවය සපයන්නට මෙනි. නැළවෙන පාවෙන ආකාරයකින් යුතු ඒ ගමනේ ඇති රිද්මයානුකූල බව තව තවත් ඒ රුවට වශී වන්නට අපට ඇරයුම් කරයි. සුදු පැහැයෙන් යුතු මේ සමනලයාගේ ඉදිරි හා පසුපස පියාපත් යුගලයන් කළු පැහැති පැල්ලමින් හැඩ වැඩව ඇත. 'නිම්ෆාලිඩේ' කුලයට අයත් මේ සමනලයා 'ට්‍රී නිම්ප්' යන නාමයෙන් හැඳින්වෙයි. 'රජතපති' සහ 'පාවෙන්නා' යන සිංහල නාම මේ සමනලයා හැඳින්වීමට භාවිත වේ. උදෑසන නවය සහ දහය අතර කාල සීමාවන්හිදී මේ සමනලුන් පියාසැරියට වඩා කැමති වගත් දිය ඇලි හා වනගත ප්‍රදේශයන්හිදී වැඩි වශයෙන් දැකගත හැකි වගත් පතපොතෙහි සඳහන් වේ.

“පුංචි කාලෙ සීයයි මමයි අනන්තවත් මෙතනට එනවා. බෙරලිය, ගොරක, හල් ඇහිඳින්න කැලේ ගියොත් සීයා මෙතනට එන්න වරද්දන්නේ නෑ. ඇල්ල පහළින් නාලා දොළ ඉවුරෙන් කැරං කොකු මිටියකුත් කඩාගෙන තමයි අපි ආපහු යන්නේ" දිය ඇල්ල අසලදී මඟපෙන්වන්නා මතක ආවර්ජනයක යෙදෙයි. නිම්න මඟක ගලා එන දිය දහර ඇලි හිස මුදුනේදී මෙතෙක් ගලා ආ වේගය පරයා පහළට ගලා හැලෙයි. ඒ ගමන වඩා වේගවත්ය. මේ නිසාම ඇල්ල පාමුල නිමැවුණ තටාකයකි. එය හැඳින්වෙන්නේ කළුවල යනුවෙනි. නමේ අරුතටම මනාව ගැළපෙන ඖචිත්‍යමය ගුණයක් මේ තටාකයට වෙයි. එය බොහෝ ගැඹුරු වග තතු දන්නෝ පවසති.

මෙම දිය ඇල්ල 'ඔලියා මළ ඇල්ල' සේ නම් ලැබීම පිටුපස වන අපූරු ජනශ්‍රැතියකි. අදද ඒ කතාව වලකඩ ගමේ පැරැන්නකුගේ මුවට නැඟෙන්නේ මනා කතා රසයකින් යුතුවය."ඒ කාලේ ඒ කියන්නේ වීදිය බණ්ඩාර කුමාරො මෙහෙ එන්නත් කලින්, මේ ගමේ උන්නලු ඔලී කියලා මිනිහෙක්. මේ මනුස්සය දිය මසට හරි අලජ්ජ උන්දැ. ඉතින් හැමදාම හැන්දෑ ජාමෙට උන්දැ එනවලු ඔය ඇල්ල ගාවට. ඒ ඇවිල්ලා ඉනේ තියෙන හැඹිලියෙන් බුලත් විටක් එහෙම ඒදගෙන ඇම් පණුවෙක් ගහල පිත්තෙ යොත දානව ඔය ඇල්ල පාමුල කළුවලට. ඉතින් හෝහපුටුවන්ට දෙස් තිය තිය පිත්ත දොක්කන් ඉඳලා කොහොම හරි ඔය හොරපොලයෙක්, ඉපිල්ලෙක් ගොඩ ඇදගන්නවා. මේ උන්දැ කොයිතරම් මේ වැඩේට හුරු පුරුදු වුණාද කියනව නම් ටික කලක් යද්දි උන්දැට ඇල්ල ළඟ ගල්තලාව ගෙදර වගේ වුණා. ඉතින් දවසක් උදේ හවහ මදින කිතුලෙන් හොඳ හැටි සප්පායම් වුණු මේ උන්දෑ තමන්ගෙ පුරුදු රාජකාරියට මේ ගල් තලාව උඩට ආවා. පිත්තෙ යොත වතුරට දැම්මට මොකෝ මිනිහට ඇහැ පියවුණා. නිදිමතත් එක්ක රාජකාරිය හරි හැටි කරන්න වෙන්නේ නැති නිසා මිනිහ මොකද කළේ, යොත වතුරට වීසි කරලා පිත්තෙ කෙළවර කකුලේ ගැටගහගෙන ගල් තලාවෙ දිගාවුණා, ඩිංගිත්තක් ඇහැ පියා ගන්න. එදා උන්දැ දිගාවුණා දිගාවුණා ම තමයි. මේ කළුවලේ උන්නු මහ ආඳෙක් ඇවිල්ල යොතේ තිබුණු ඇම කෑවා. ඒ වුණාට පිත්ත ගොඩ අදින්න ගල් තලාවේ බුදියගෙන උන්නු මේ මිනිහට සිහියක් නිනව්වක් තිබ්බේ නැහැ. ඉතින් ආඳ දිය යට ගියා. නිකම්ම නෙමෙයි, පිත්ත කකුලෙ ගැට ගහගෙන උන්නු මේ ඔලියවත් ඇදගෙන. ඔය කළුවලට වැටුණම උන්දෑ ආයෙ බත් කනවා බොරු. කළුවලේ ආඳා මිනිහගෙ ඉරණම විසඳුවා. ඔන්න ඔය සංගදියෙන් පස්සේ තමයි මේ ඇල්ලට මිනිස්සු ඔලියා මළ ඇල්ල කියල කියන්න ගත්තෙ. අදත් ඉතින් ඒ නම කිව්වම වලකඩ උන්දැල කොයි කාටත් ඒ ඔලියව මතක් වෙනව."

දිය ඇල්ල ආශ්‍රිතව ගල් තලාවේ පිහිටි ස්වභාවිකවම නිමැවුණු ගල් වනයකි. මේ පරිසර පද්ධතියෙන් වෙන්ව සෑදුණු වෙනමම පරිසර පද්ධතියක් ඒ තුළ වෙයි. මේ කුඩා තටාකයේ දිය මත, දිය රූටන්නෝ ඔබ මොබ සරති. එහි පතුල තුළ බිහිව ඇති ඊටම ආවේණික වූ ජලජ ශාක පද්ධතියකි. මේ සියල්ලේ එකතුව දිය ඇල්ල ආශ්‍රිත පරිසර පද්ධතියේ පද්ධති විවිධත්වය වඩා ඉහළ තැනකට ගෙන එයි. ඒ ඔස්සේ ඇල්ල සහ ඒ අවට වනපෙත ඉහළ ජෛව විවිධත්වයෙන් යුතු කලාපයක් බවට පත් වේ. එමෙන්ම මේ පරිසර පද්ධතිය ජාන සංචිතයක් ලෙසද ඉතා ඉහළ අගයකින් යුතු වෙයි.

දිය ඇල්ල අසල පිහිටි 'හෙවන් ගල' මේ සංචාරයේදී පිවිසිය යුතුම ස්ථානයකි. හිරු අවරට යන විට මේ විසල් ගල් කුෙළ් සෙවණැල්ලෙන් මුළු ගම්මානයම සෙවණ ලබයි. මේ නිසාම එය පෙර කී නාමයෙන් හැඳින්වෙයි. සිරිලක් පොෙළාවේ සිට දෙව්ලොවට ඇත්තේ දෙගව්වක පමණ දුරකයැයි කියමනක් වෙයි. මේ හෙවන් ගල ඒ දෙගව්ව නැඟීමට සාදන ලද පියගැට දෙකෙහි පළමු පියගැටය බඳුය. ඒ මත සිට අවට බලන්නකුට මොහොතකට හෝ ඉහළ අහසේ සරන පක්ෂියකුගේ දෙනෙතක් හිමි වූවා යැයි සිතුනහොත් එය පුදුමයට කරුණක් නොවේ.

මේ ගම්මාන තුළ රසවිඳිය හැකි සහ තොරතුරු සොයා බැලිය යුතු කරුණු කාරණා රැසක් වෙයි. කෙම් ක්‍රම, ශාන්තිකර්ම විධි, ජන විශ්වාස ආදී කරුණු ඒ අතරින් සුවිශේෂී වෙයි. ඉසඹුවක් ලද මොහොතක යළි මේ ගම්පියසේ පහස ලබන්නට තබාගත් බලාපොරොත්තුවකින් යුතුව මේ අමා රස දෙන පියසෙන් මම සමුගතිමි.

සටහන සහ ඡායාරූප- [දුමින්ද ජයවර්ධන]

News Order: 
8
මාතෘකා