වතුරේ යන්න තැනෙන රුවලේ වරුණ

 ඡායාරූපය:

වතුරේ යන්න තැනෙන රුවලේ වරුණ

රුවල් හදන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් ආයෝජනය කරයි

ජලය හා ගොඩබිමේ ධාවනය කෙරෙන බෝට්ටු නිෂ්පාදනයටත් සූදානම්

ප්‍රවාහනයේදී හා ගමනාගමනයේදී ජලයෙන් එගොඩ වීම මිනිසාට අභියෝගයක් විය. ඒ සඳහා ලී කොට එක්කර තනා ගත් ‘පහුර’ නාවික ප්‍රවාහනයේ ආරම්භක පියවරක් විය. ඇළ, දොළ, ගංගා තරණයට ලී පහුර යොදාගත් අතර පසුව ඔරුව වැනි නිර්මාණ බිහි විය. සාගර තරණය සඳහා මීට වඩා දියුණු ක්‍රමවේදයන් කෙරේ මිනිසාගේ අවධානය යොමු කෙරිණි. වසර ලක්‍ෂයකටත් ඉහත හෝමෝසේපියන්වරු ලොව පුරා පැතිර යද්දී සාගරය තරණය කළ බවට විශ්වාස කෙරේ. ඒ සඳහා මිනිස් බලය (හබල් ගෑම) සුළං බලය (රුවල්) යොදා ගන්නට ඇතැයි උපකල්පනය කළ හැක.

වසර ලක්‍ෂයකටත් ඉහත නාවික කාර්යන් සඳහා යොදාගත් රුවල් නැව් මේ වන විටත් ජනයා අතර ප්‍රචලිත නාවික ප්‍රවාහන මාධ්‍යයක් වී ඇත. එය පරිසරයට ළෙංගතුකමක් දක්වන ඉහළ සමාජ ස්ථරයක් විසින් සාගර සංචාරය, පරිසර ගවේෂණය යන කාර්යයන් සඳහා රුවල් නැව් උපයෝගී කර ගනී. රුවල් නැව් නිෂ්පාදන කර්මාන්තය විශාල ලාභ උපදවන වැඩි ඉල්ලුමක් පවතින කර්මාන්තයකි. විශේෂයෙන් යුරෝපා රටවල මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.

දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතා වෙනුවෙන් රුවල් බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කොග්ගල අපනයන සැකසුම් කලාපයේ බෆ් පොලිමර් පෞද්ගලික සමාගමට හැකි වී ඇත. කොග්ගල මූලික කර ගනිමින් නිෂ්පාදන කටයුතු කරන මෙම කර්මාන්තශාලාව අම්බලන්තොටද නිෂ්පාදන කර්මාන්තශාලාවක් පවත්වාගෙන යයි. වර්ග අඩි 6,000ක වපසරියකින් යුතු ප්‍රධාන නිෂ්පාදන කර්මාන්තශාලා දෙකක් කොග්ගල සතු වේ. අම්බලන්තොට මේ වන විටත් වර්ග අඩි 1,500ක කර්මාන්තශාලාවක නිෂ්පාදන කටයුතු සිදුකරමින් පවතී. තවත් එවැනිම කර්මාන්තශාලාවක් ඉදිවෙමින් පවතින බව සාමාන්‍යාධිකාරී සමන් වීරවර්ධන මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කළමනාකාර චමින්ද සංජීව මහතා පවසන්නේ,

උතුරු ප්‍රදේශය ආවරණය කරමින් කයිට්ස්හි නවතම කර්මාන්තශාලාවක් සහ පුහුණු පාසලක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කාර්යයන් සිදුකර අවසන් බවයි.

බෆ් පොලිමර් පෞද්ගලික සමාගම වසරකට විශාල ප්‍රමාණයේ බෝට්ටු 6ක් සහ කුඩා ප්‍රමාණයේ බෝට්ටු 10ක් පමණ නිෂ්පාදනය කරන බව චමින්ද සංජීව මහතා කියා සිටියි. මෙම බෝට්ටුවක් ඩොලර් ලක්‍ෂ 5ත් 8ත් අතර වන බවත් පාරිභෝගික අවශ්‍යතා මත මිල ගණන් වෙනස්වන බවත් හෙතෙම පවසයි.

බෙල්ජියම් ආයෝජනයක් වන මෙම සමාගම මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක පමණ මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇත. සේවක සේවිකාවන් 250කට අධික පිරිසක් සේවයේ යෙදී සිටිති. ඉදිරියේදී මෙම ආයෝජනය තවදුරටත් වර්ධනය කරමින් දකුණු ආසියානු හා යුරෝපීය වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු වී ඇත.

2020දී ජලය හා ගොඩබිම ධාවනය කළ හැකි අධික මිලකින් යුත් නවතම බෝට්ටු නිෂ්පාදනය සඳහා ඇණවුම් ලැබී ඇත. ප්‍රංශයේ අවශ්‍යතාව මත නිපදවන මෙම බෝට්ටු නිෂ්පාදනයට අවශ්‍ය නවීන තාක්‍ෂණය ලබා ගැනීමට ප්‍රංශ සමාගමක් සමඟ ගිවිසුම්ගතව සිටී. මෙම බෝට්ටු නවතාලීමට වරායක් අවශ්‍ය නොවේ. නිවසේ සිට ගොඩබිම හා ජලය යන මාර්ග දෙකෙහිම ගමන් කළ හැකි මෙම බෝට්ටු පැයට කිලෝමීටර් 90ක උපරිම වේගයෙන් ධාවනය කළ හැකිය.

මාර්ග තදබදයට විසඳුමක් ලෙසත් කාල කළමනාකරණයට යහපත් අස්වැසිල්ලක් ලෙසත් මෙම බෝට්ටු හඳුන්වා දී ඇත. මේ වන විටත් වාර්ෂිකව රුපියල් මිලියන 120ක පමණ විදේශ විනිමයක් මෙම සමාගම මෙරටට රැගෙන එයි. ඉදිරියේදී නව නිෂ්පාදන සඳහා යොමු වීම තුළින් එය දෙගුණ තෙගුණ කළ හැකි බව සමාගමේ සාමාන්‍යාධිකාරී සමන් වීරවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පහසුකම් යටතේ ආරම්භ කර ඇති බෆ් පොලිමර් පෞද්ගලික සමාගම ඉන්ස්ටියුෂන් තාක්‍ෂණය යටතේ රුවල් බෝට්ටු නිපදවන දකුණු ආසියාවේ පළමු සමාගමයි. යුරෝපයේ භාවිත කරන මෙම තාක්‍ෂණය ආසියාවට හඳුන්වා දීමේ ගෞරවය බෆ් පොලිමර් පෞද්ගලික සමාගමට හිමි වේ. මෙම තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් බරින් අඩු ශක්තිමත් බෝට්ටු නිපදවීමට සමාගමට හැකි වී ඇත. සාමාන්‍යයෙන් අඩි 50ක් දිග බෝට්ටුවක බර ටොන් 30ක් පමණ වේ. එම බෝට්ටුවම ටොන් 15ක පමණ අඩු බරකින් යුතුව නිෂ්පාදනය කිරීමට මෙම සමාගම භාවිත කරන ක්‍රමවේදයන්ට හැකියාව ලැබී ඇත. බෝට්ටුව සැහැල්ලු වුවද ශක්තියෙහි අඩුවක් නොමැති බවට ඔවුහු සහතික වෙති. බර අඩු වීම නිසා ධාවනයට යොදන ශක්තීන් අඩු වීමෙන් විශාල ප්‍රතිලාභයන් රැසක් එක් කරයි.

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය සඳහා බෆ් පොලිමර් පෞද්ගලික සමාගමේ රුවල් බෝට්ටු උපයෝගී කරගත හැක. මිරිස්ස මූලික කර ගනිමින් තල්මසුන් නැරඹීමේ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතිය හඳුන්වාදීමේ ගෞරවයද බෆ් පොලිමර් ෙපෟද්ගලික සමාගමට හිමි වේ. ශ්‍රී ලංකව සතු ගොඩබිම් ප්‍රමාණය මෙන් විශාල ප්‍රමාණයේ මුහුදු ප්‍රමාණයකට හිමිකම් කියයි. මෙරටට පැමිණෙන සංචාරකයන් සාගරය ආශ්‍රිත විනෝදාස්වාද ගවේෂණ සහ සංචාරක කටයුතු සඳහා එක් කර ගන්නේ නම් අමතර දින ගණනක් මෙරට රඳවාගත හැකිය.

කොරල්පර නැරඹීම, පෞරාණික නාවුක නටබුන් ගවේෂණය, ඩොල්ෆින් හා තල්මසුන් නැරඹීම වැනි සාගරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ගණනාවක් ප්‍රවර්ධනය කළ හැක. ඒ සඳහා මෙම රුවල් බෝට්ටු භාවිත කළ හැකිය. පරිසර හානියද අවම වන මෙම භාවිතය කෙරෙහි සංචාරකයෝ වැඩි රුචිකත්වයක් දක්වති.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවා.

“රටක ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් එම රට තුළ නිෂ්පාදන කර්මාන්ත ඉහළ නැංවිය යුතුය. එසේම වර්තමාන ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් නිෂ්පාදන කේෂ්ත්‍රය විවිධාංගීකරණයද විය යුතුය. මෙරට ශ්‍රම බළකායට නව රැකියා උත්පාදනය වන කේෂ්ත්‍ර කෙරේ වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්. ඒ සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කිරීමට සිදු වේ. රජයකට අනෙකුත් සුබසාධක කාර්යන් සිදු කරගෙන යන අතරම මෙම ක්ෂේත්‍රයන්ට ආයෝජනයන් සිදු කිරීම අපහසුය. එමෙන්ම වර්තමාන ගෝලීය වෙළෙඳපොළට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේදී ලෝකය තුළ භාවිත වන නූතන තාක්‍ෂණයද අප සතු විය යුතුය. ඒ සඳහා එකම විසඳුම වන්නේ සෘජු විදේශ ආයෝජන රට තුළට ගෙන්වා ගැනීමයි.

බෆ් පොලිමර් පෞද්ගලික සමාගම 2008 වසරේ සිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කොග්ගල අපනයන සැකසුම් කලාපය තුළ රබර් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතියක් පවත්වාගෙන යන කීර්තිමත් සමාගමකි. 2012 වසරේ සිට රුවල් බෝට්ටු නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ මෙම සමාගම ගිවිසුම්ගත විය. මේ වන විට තත්ත්වයෙන් හා මිලෙන් ඉහළ, ඉතාමත් ඉහළ තාක්‍ෂණයෙන් හෙබි ගුණාත්මක බවෙන් පිරි බෝට්ටු නිෂ්පාදනයට ඔවුන් සමත් වී ඇත. ප්‍රංශය, බෙල්ජියම සහ නවසීලන්තය ආදී රටවල් තුළින් මේ සඳහා ඇණවුම් ලැබී ඇත.

බෆ් පොලිමර් පෞද්ගලික සමාගම තවදුරටත් ප්‍රසාරණය වෙමින් අම්බලන්තොට සහ කයිට්ස්හි නව නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන්ගේ පුහුණු පාසල් මඟින් ක්‍ෂේත්‍රයන්ට අවැසි වෘත්තිකයන් පුහුණු කිරීමද අගය කළ යුතු කරුණකි.

ශ්‍රී ලංකාවට ආධුනික රුවල් බෝට්ටු නිෂ්පාදනය, ඊට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම තුළින් විශාල විදේශ විනිමයක් රට තුළට ගෙන ඒමට මෙම සමාගම සමත් වී ඇත. මෙවැනි ආයතන සඳහා අවශ්‍ය පහසුකම් හා මඟපෙන්වීම් ලබා දීමට නිරතුරුවම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇප කැප වන බව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පවසයි.

(ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ

මාධ්‍ය හා ප්‍රචාරණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ඇසුරිනි)

[ශ්‍යාමලී නිශාන්ති]

News Order: 
7
මාතෘකා