නාච්චිමලේ සිහිලැල් ඇල්ලට සවාරියක්

 ඡායාරූපය:

නාච්චිමලේ සිහිලැල් ඇල්ලට සවාරියක්

වේලාව උදෑසන හතට පමණ ඇත. අපේ නඩය සිව්දෙනකුගෙන් සමන්විතය. අපි ඉංගිරියේ සිට නාච්චිමලේ ආරණ්‍ය සේනාසනයට යන මඟ ගමන් කරමින් සිටියෙමු. කතාව දෝලාවෙන් ගමන පයින් යන කියමන අප සිව්දෙනා පිළිබඳව සලකන විට සැබෑවකි. නමුත් පිනි වියන යටින් යන ගමනට මේ කතාවේ රසය එක් වූ කල දැනෙන වෙහෙසක් නම් නැත. මේ ගමනෙහි අරමුණු කිහිපයකි. නාච්චිමලේ ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගැනීම ඉන් ප්‍රමුඛතම අපේක්ෂාවයි. නමුත් මේ ආරණ්‍ය සේනාසනය අසබඩ වන නාච්චිමලේ ඇල්ලේ පිනිසළු ගෙත්තමේ හැඩ නෙත තැවරීම මගේ අරමුණයි. "අන්න අන්න සමනලයෙක්." එකකුගේ හඬින් අපගේ කතා දෝලාව මඳකට නවතී. අමුතු ගමන් ලතාවෙන් යුතු ක්ලිපර් සමනලයෙක් අප ඉදිරියෙන් තරමක් ඉහළින් පියාසලයි.මේ සමනල රුව දෙස මඳක් නැවතී බලා සිටි අපි ඒ මිත්‍රයා නොපෙනී ගිය පසු යළි ගමන ඇරඹීමු.

නාච්චිමලේ ආරණ්‍ය සේනාසනය "දොස්තර හාමුදුරුවෝ" යන අන්වර්තිත නාමයෙන් හඳුන්වන රංවල සද්ධාතිස්ස හිමියන් විසින් අරඹන ලද්දකි. එය ආරම්භ කර ඇත්තේ 1948 වසරේදීය. සසර සරසවියේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ප්‍රඥා පාරමිතා පෙළහර පා ප්‍රඥා උපාධිය ලබාගත් ගෞතමයන් වහන්සේලා පවා සොබාදහමේ පහස ලැබුවෝ වෙති. උන්වහන්සේලා අනුදත් මඟ යමින් දිවියේ අරුත් සොයන යෝගාවචරයන් වහන්සේලාගේ එම නිර්මල කටයුත්ත උදෙසා මේ වන අරණ එදා මෙන්ම අදත් භාවිත වේ. සොබාදහමේ චමත්කාරය තුළින් මතුවන ශුන්‍යත්වය දකිමින් ජීවිතයේ උත්කෘෂ්ට පරමාදර්ශයන් සොයා උන්වහන්සේලා වෙහෙසෙති. ඒ යෝගාවචරයන් වහන්සේලාට බාධා නොවන සේ වන්දනා මාන කටයුතු කළ අපි ඇල්ල අසලට පිය මැනිමු.

ඉංගිරිය නාච්චිමලේ ඇල්ල ලංකාවේ වන දිය ඇලි නාමකරණය හා සසඳා බලන විට එක්තරා සිදුවීමක් මුල් කර ගනිමින් නම් ලද දිය ඇල්ලක් සේ හඳුනාගත හැකිය. මෙම දිය ඇල්ල හැඳින්වීමට යොදා ගැනෙන සියලු නම් තුළ මෙකී ලක්ෂණය දක්නට ලැබෙයි.

අතීතයේදී මේ දිය දහර ආශ්‍රිත වනගත පෙදෙසක ජීවත් වූ වියපත් ස්ත්‍රියක් දිය දහර ආශ්‍රිතව වූ ඒ දණ්ඩකින් එගොඩවීමට ගොස් පහළට වැටී මිය ගියාය. මේ සිදුවීම මුල් කර ගනිමින් දිය දහර "ආච්චි මළ දොළ සේ ” නම් ලැබීය. පසුකලෙකදී එය ගැමි දන මුවඟට එක් වූයේ "නාච්චි මලේ "යනුවෙනි. මෙම සිදුවීමෙන් පසු මිත්තණිය වැටී මිය ගිය දිය දහර 'නාච්චි මලේ දොළ' ලෙසත් එම දොළෙන් ජීවය ලබන ඇල්ල 'නාච්චි මලේ ඇල්ල' ලෙසත් හඳුන්වා ඇත.

පරෙයිතොට ඇල්ල මෙම දිය ඇල්ල හැඳින්වීම සඳහා වහරෙහි ඇති තවත් නාමයකි.මෙම නාමය බිහිවීමේ උපත් කතාව ගම්පොළ රාජධානි සමය තෙක් දිව යයි. ගම්පොළ රාජධානි සමයේදී පණිවුඩ යැවීමේ ක්‍රමයක් ලෙස පරවියා යොදා ගැනිණ. මේ රාජකීයන්ගේ රාජකාරිවල නිරත වූ පරවියන් මෙම ඇල්ල ආසන්න ස්ථානයක් වෙත සංදේශ රැගෙන ආ බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ. මේ ජන විශ්වාසයට අනුව මෙම ස්ථානය පරෙයිතොට සේ නම් ලබා තිබේ. මේ නාමකරණයට අනුගත වෙමින් පරෙයිතොටේ ඇල්ල 'පරෙයිතොට ඇල්ල' ලෙස වහරට එක්ව ඇත.

මෙබඳු ජනප්‍රවාද පිළිබඳව සොයා බැලීමේදී ඒවායෙහි යම් සත්‍යතාවන් මෙන්ම අධ්‍යනයන්ට බඳුන්විය යුතු කරුණු කාරණාද වන බව මගේ අත්දැකීමයි. නමුත් මෙබඳු කරුණු පිළිබඳව අවධානය යොමු නොවීම හේතුවෙන් ඉතිහාසයේ යම් පරිච්ඡේද අපෙන් සැඟව ගොස් ඇති වග නොරහසකි. මෙරට නිරිතදිග තෙත් කලාපයේ වන දිය ඇලි හා ඒවා රජ දවස හා දක්වන සබැඳියාවන් පිළිබඳව සලකා බලන විට බොහෝ දිය ඇලි ආසන්නව සිදුකරන ලද කටයුතුවලට මුල් වී ඇත්තේ ඒ හා බැඳි ආරක්ෂිත ක්‍රමෝපායන්ය. මෙම දිය ඇලිවල පිහිටීම පිළිබඳව සලකා බලන කල ඒවා ගිරිදුර්ග හා වන දුර්ගයන්ගෙන් සුසැදි ස්ථානයන්හි පිහිටා ඇති වග නිරීක්ෂණය වෙයි. එදා ස්වදේශිකයන්ට ආරක්ෂාව සැපයූ ප්‍රධානතම සාධකය බවට පත්ව ඇත්තේ මෙම දුර්ගයන්ය. එබැවින් මෙබඳු දිය දහරාවන්හි වන නාමකරණයන් පිළිබඳව සැහැල්ලුවෙන් සිතා නොසලකා සිටීම ඉතිහාසයට කරන මදි පුංචිකමකි.

නාච්චිමලේ ඇල්ලෙහි උස මීටර් හයකට ආසන්නය. පළල මීටර් පහළොවක් පමණ වේ. ලබුගම ජල පෝෂක ප්‍රදේශයේ දිය කඳුරුවලින් සුපෝෂණය වන මෙම දියදහර නාච්චිමලේ ආරණ්‍ය සේනාසනය අසලදී දිය ඇල්ලට ජීවය සපයයි. හරිත වර්ණයෙන් යුතු වන වියන යටින් ගලා එන දිය දහර ඇලි හිස මුදුනෙහි වන ගල් කුලක හැපී දෙපසට විහිදෙයි. මේ ගල් කුලට පහළින් ඊට සරල රේඛීයව කඩින් කඩ විහිද ඇති තවත් ගල්කුළු කිහිපයකි. මේ නිසා දිය දර ගලා හැලීමේදී සෑම දිය බිඳුවක්ම අපමණ වෙහෙසට පත්වන සැටියකි. ඒ වෙහෙස තුළින්ම නිමැවෙන දසුන අපූරු චමත්කාරයක් දනවයි. දිය ඇල්ලේ පහළ සිට දිය ඇල්ලට මුහුණලා සිටින විට එහි දකුණු ඉවුරේ වන ගල් කුල සොබාදහමේ අපූරු නිමැවුමකැයි සිතේ. මේ දිය දහරේ ඇරඹුමේ සිට වසර දහස් ගණනක් පුරා දිය දහර ගලා යෑමෙන් එය ඛාදනය වී ඇත්තේ ගල් වඩුවකුගේ අතින් සිදුවන තරමේ සියුම් නිමැවුමක් තරමට මටසිළිටිවය. මෙම දිය දහර දුම්බර නම් ස්ථානයේදී කළු ගං කොමලිය සමඟ අතිනත ගනී.

දිය ඇල්ල ආසන්නයේ වනපෙත තුළදී ප්‍රමාණයෙන් විශාල මියගිය සලබයෙකු අපට හමුවිය. සලබයාගේ ළා දුඹුරු පැහැ පියාපත් තද දුඹුරු පැහැයෙන් යුතු පුල්ලිවලින් හැඩ වැඩව තිබිණ. සලබයා මෙරට පියාසර කෘමීන් අතර සිටින සවිස්තරාත්මක තොරතුරු අවම සත්ව විශේෂයකි.සමනලයා හා සසඳන කල සලබයන්ගේ දැකිය හැකි ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම වෙයි. සමනලුන්ගේ ආහාරය මල් පැණි වන අතර සලබයාගේ ආහාරය වන්නේ ශාක යුෂයි. සලබයා යමක වසා සිටින විට පියාපත් තිරස්ව තබා ගන්නා අතර සමනලුන් යමක වසා සිටින්නේ පියාපත් සිරස්ව සිටිනා පරිද්දෙනි. එමෙන්ම සලබයන්ගේ ස්පර්ශකවල සියුම් කෙඳි වැනි ස්වරූපයක් දක්නට ලැබේ.මෙම ස්පර්ශක පොල් අත්තක හැඩයෙන් යුතුය. නමුත් සමනලයාගේ ස්පර්ශකවල මෙබඳු ස්වරූපයක් දක්නට නොලැබේ. සමනලුන් දිවාසැරි වන අතර සලබයා බොහෝ විට නිශාචරය.

නාච්චිමලේ ඇල්ල අවට වනපෙතහි වන තුරු මණ්ඩපය අතරෙහි ඊපෙත්ත, නැටව්, හොර, අළුබෝ, ගොඩපර, වලුකීන වැනි ශාක ව්‍යාප්තව තිබේ. මේ අතරින් අළුබෝ සහ හොර ශාක සිරිලකට ආවේණික වෙයි. එමෙන්ම දිය දහර අවට වන පෙතෙහි ව්‍යාප්තව ඇති බට පඳුරුද වෙයි. මෙම බට ශාකය අතීතයේදී කූඩා සෑදීම වැනි කරුණු සඳහා ගම්මුන්ට ප්‍රයෝජනවත් විය.

බට පිළිබඳව වන අපූරු කතාවක් මැණික් ගැරීමේ කටයුතුවල නියැලී සිටි ගැමියෙක් වරක් මා සමඟ පැවසීය. මැණික් ගැරීමේ කටයුතු උදෙසා වට්ටියක් සැකසීමට බට ගස් පැලූ හෙතෙම මේ බට ගස්වල පුරුක් අතර වන කපුරු කුඩු වැනි සියුම් කුඩු ටිකක් අත්ලට ගෙන එහි රස බලන්නට සිතුවේලු. හෙතෙම ඉන් තරමක ප්‍රමාණයක් මුවට ගෙන එහි රසයක් නොමැති බැවින් යළි බැහැරට වීසි කර තිබේ. අවසානයේ තම කටයුතු නිමවූ හෙතෙම පසුදා යළි වැඩ අරඹා ඇත. දවසේ කටයුතු ඇරඹීමට පෙර බුලත් විටක් සැපීම ඔහුගේ පුරුද්දකි. ඒ අනුව පුවක් කැබැල්ලක් මුව රුවා එය සැපීමත් සමඟ මුවෙහි වූ දත් කිහිපයක් බුරුල් වී ඇත. අවසානයේදී දින දෙකක් තුළ මුවෙහි වූ දත් ගණනාවක්ම මෙලෙස ගැලවී ගොස් තිබේ. මෙය බටපුරුක් අතර වූ කපුරු මුවෙහි ලෑමෙන් වූ අකරතැබ්බයක් බව ඔහුගේ විශ්වාසයයි.

නාච්චිමලේ ඇල්ල තවමත් සිය නොනවතින ලැසි ගමනින් යුතුව ගලා යයි. කුඩා බටු පිළිහුඩුවකු මේ දිය දහර ගලා එන නිම්නය ඔස්සේ දිය දහරට සමාන්තරව ඉහළට පියඹා යන්නේ නිල් හීසරයක් ලෙසිනි. කොහේදෝ සිට පැමිණි රිළවකු ඇල්ලට ඉහළ තුරු වියන අතරින් එබී බලන්නේ වනපෙතට නුහුරු පිටස්තරයන් කවුරුන්දැයි හරි හැටි විමසන්නට මෙනි.ගල්කුළුවල ගැටෙමින් පහළට ගලා යන දිය දහරේ නාදය නොනවතින සංගීතයක් බඳුය.

නමුත් කුඩා වර්ෂාවකදී පවා මෙම දිය ඇල්ලේ පැහැය අව පැහැයට හැරේ. එහි ජල පෝෂක ප්‍රදේශයන්හි සිදුවන විවිධ මානව ක්‍රියාකාරකම් ඊට හේතු වෙයි. මේ බොර පැහැය ආර්ථික බෝග වගාව සඳහා සිදුවන වන හරණය, නිසි පාංශු සංරක්ෂණ ක්‍රමවේද භාවිත නොකිරීම ආදී කරුණු හමුවේ ස්වාභාවික පාංශු සංරක්ෂණ ක්‍රියාවලියට සිදුවන බාධාවේ තරම ගොලු බසින් පවසන දර්ශකයකි. මෙලෙස මිහිතලයේ සාරය ඇගේ ක්ෂීර ධාරවන් බඳු දිය දහරාවන් ඔස්සේ සමුදුර වෙත සේදී යෑම කනගාටුවට කරුණකි. ඔප්පු, තිරප්පු, බලපත්‍ර ආදී දහසකුත් දෑ පෙන්වමින් දිය දහරාවන් ආශ්‍රිත වන වියන විනාශ කිරීමට තරම් මිනිසුන් අකාරුණික වී තිබේ. තේ වගාව වැනි වගා කටයුතු හමුවේ දොළ මායිම තෙක්ම වන වන වියන එළි පෙහෙළි කර ඇත. මෙබඳු කටයුතු හමුවේ සොබාදහමේ හෙට දවස අවිනිශ්චිතය. නමුත් ඒ කෙටි කාලසීමාවකටය. සොබාදම වැනසීම මානව ශිෂ්ටාචාරයේ වැනසීමට හේතුවන බැවිනි.

සටහන [දුමින්ද ජයවර්ධන]

මාතෘකා