සොඳුරු ඉසව්වක ඉදිවුණු ප්‍රේමයේ ලසෝ මැදුර රිච්මන්ඩ් කාසල්

 ඡායාරූපය:

සොඳුරු ඉසව්වක ඉදිවුණු ප්‍රේමයේ ලසෝ මැදුර රිච්මන්ඩ් කාසල්

නිවාඩු දවසක පුංචි සවාරියක් යන්න කැමති කාටත් පහසුවෙන් යා හැකි ස්ථානයක් ගැනයි මේ සටහන. ප්‍රේමයට සැමරුම් නැත්තේ කොහෙද? රිච්මන්ඩ් කාසල් මැදුර කියන්නෙත් ප්‍රේමයේ අපූර්වතම සංකේතයක් කිවහොත් නිවැරදියි. ශ්‍රී ලංකාවේ කුඩා ටජ්මහල විදියට හැඳින්විය හැකි රිච්මන්ඩ් කාසල් මැදුර පිහිටා තිබෙන්නේ දකුණු කළුතර නගර මධ්‍යයේ සිට කිලෝමීටර 3ක් පමණ ඇතුළට වන්නටයි. මඟ සලකුණු කියනවා නම්, කළුතර ඔරලෝසු කණුව අසලින් වම් පැත්තට හැරී පලාතොට හන්දියට ගොස් පලාතොට-කෙත්හේන පාර දිගේ යනවිට හමුවන භික්ෂු විවේකාරාමය පහු කරගෙන යනවිට “රිච්මන්ඩ් කාසල්” යනුවෙන් සඳහන් විශාල නාම පුවරුවක් දැකගත හැකියි. එතැන් සිට නැවත මීටර් 500ක් පමණ යන විට කළු ගඟ මායිමේ පුංචි කඳු ගැටයක් මුදුනේ ඉදිකර තිබෙන රිච්මන්ඩ් කාසල් මන්දිරය දැකගත හැකියි. වසර ගණනාවක් පැරණි වුවත් එහි තිබෙන තේජස සහ අභිමානය නම් අදටත් එලෙසමයි.

රිච්මන්ඩ් කාසල් මැදුර ඉදිකොට ඇත්තේ 1910 වසරේදීයි. ඒ එවකට කළුතර දිසාව බාරව සිටි මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලිතුමා විසින්. ඔහුට මෙවැනි මනස්කාන්ත මන්දිරයක් ඉදිකිරීමට අදහසක් පහළ වී ඇත්තේ ඉන්දියාවේ සංචාරයකට ගිය අවස්ථාවක දුටු එරට මහරාජා කෙනෙකුගේ මහා මන්දිරයක් නිසයි. ඒ වගේම තමා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි යුවතියගේ පවුලේ අය පුදුම කර ඔවුන්ගේ සිත් දිනාගනිමින් තම ප්‍රේමය දිනාගැනීමටත් ඔහු මෙවැනි මන්දිරයක් ඉදිකිරීමට අදහස් කර තිබෙනවා.

නමුත් එය එතරම් පහසු කටයුත්තක් වී නැහැ. මන්දිරය ඉදි කිරීමට අවශ්‍ය බොහෝ අමුද්‍රව්‍ය ගෙන්වීමට සිදුවී ඇත්තේ විදේශ රටවලින්. දේශීය අමුද්‍රව්‍ය ලෙස භාවිත කර ඇත්තේ හුනු, වැලි සහ කළුගල් පමණක් බව පැවසෙනවා. එපමණක් නොව ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද උළු, ගඩොල්, කිරිගරුඬත් එංගලන්තයෙන් ගෙන්වූ රවුම් තරප්පු සහ සිවිලිම් තහඩුත් බුරුමයේ රැන්ගුන් නුවරින් ගෙන්වන ලද තේක්ක ලීවලිනුත් මෙම මන්දිරය හැඩවී තිබෙනවා. ස්වාභාවික සිසිලස ගෙතුළට ගලාගෙන එන විදියට සාදා ඇති කවුළු, මැද මිදුලේ ඇති වතුර ගලන සිංහ කට ආදී සුවිශේෂී ගෘහ නිර්මාණ ලක්ෂණ මේ මැදුරේදී දැකගත හැකියි. මෙම අමුද්‍රව්‍ය කොළඹ වරායේ සිට කළුතරට නැව් මඟින් සහ එතැන් සිට කළු ගඟ ඔස්සේ බත්තල් මඟින් මන්දිරය ඉදිවන භූමිය වෙත ගෙන එනු ලැබූ බව පැවසෙනවා.

මන්දිරයේ සම්පූර්ණ උළුවහු ප්‍රමාණය 99ක් වන අතර ජනෙල් ප්‍රමාණය 38ක්. පහත මාලයේ හා උඩු මහලේ කාමර ප්‍රමාණය 14ක් වන අතර ඒ අතර බිම් මහලේ කාමර 5ක්, කන්තෝරු කාමර 2ක්, පින්තූර කාමරයක් හා නැටුම් ශාලාවක්ද වනවා. මීට අමතරව පෝටිකෝවක්, බැල්කනියක්, මැද සාලයක් හා මැද මිදුලක් එහිදී දැකගත හැකියි. උඩුමහලේ කාමර 6ක්, නාන කාමර සහිත වැසිකිළි 4ක්, බැල්කනියක් සහ තවත් හිස් අවකාශයක්ද වනවා. උඩු මහලට නැඟීමට තරප්පු පේළි දෙකක් තිබෙන අතර ඉන් එකක් සේවකයන්ගේ භාවිතය සඳහා වෙන්කොට තිබෙන්නක්. උඩුමහලට නඟින තරප්පු පෙල මඳක් ඉහළට වන්නට ඇති කොටසේදී දෙපසට බෙදී යන අයුරින් තනා තිබෙනවා. නිදන කාමරවල බිත්ති, ශබ්ද පිටතට හා ඇතුළතට ගලා ඒම වැළකෙන අයුරින් ඉදිකර තිබීමද විශේෂත්වයක්. ඒ අනුව එම බිත්තියක් අඩියකට වඩා පළල් වන අතර එහි මධ්‍යයේ හිස් අවකාශයක් රැඳෙන පරිදි ලෑලි කූඩුවක් සකස් කොට ඒ මත බදාම යොදා සකස් කර තිබෙනවා. උයන මැද ඇති පොකුණ මේ මහා මන්දිරයට ගෙනදෙන්නේ අපමණ සුන්දරත්වයක්. ග්‍රීක කැටයම් ශිල්පයට සමාන වූ කිරිගරුඬෙන් නෙළන ලද ප්‍රතිමා දොළහක්, මුදලිතුමාගේ සහ බිරිඳගේ නිදන කාමරයට මුහුණලා පිහිටි කුඩා දරුවන් සත් දෙනකුගේ හා එය මධ්‍යයේ දරුවකු නළවන මවකගේ ප්‍රතිමාවක්ද එහි ස්ථාපිත කර තිබෙනවා. ආතර් ද සිල්වා මහමුදලිතුමා විසින් එතරම් පරිශ්‍රමයක් දරා ඉදිකරනු ලැබූ මෙම රිච්මන්ඩ් කාසල් මැදුරට ඔහු ගෙවැදී ඇත්තේ 1910 වර්ෂයේ මැයි 10 වැනි දින පැවැත්වූ සිය විවාහ මංගල්‍යය සමඟ බවයි වාර්තා වන්නේ. එනම් තම සිත දිනූ ආදරණීය යුවතිය සිය බිරිඳ කරගනිමින්. එම විවාහ උත්සවය ඉතා මනහර උත්සවශ්‍රීයකින් යුතු එකක් බවද වාර්තා වනවා.

එතරම් සුන්දර අපූර්වතම මහ මන්දිරයක වාසය කළද අවාසනාවකට මෙන් ආතර් මුදලිතුමාගේත් ඔහුගේ බිරිඳ මැටිල්ඩා සූරියබණ්ඩාර මැතිණියගේත් ආදර කතාව නම් එතරම් සොඳුරු එකක් නොවූ බවත් පැවසෙනවා. එය අවසාන වී ඇත්තේ ශෝකාන්තයකින්. සිය කුල ගෙදරට දරු සම්පත් අහිමි වීම නිසා ඔවුන් කල්ගතකොට ඇත්තේ විශාල සිත් තැවුල් අතරේ. රිච්මන්ඩ් කාසල් මැදුරේ ගෙවත්තේ ස්ථාපිත කොට ඇති කුඩා දරුවන්ගේ සුන්දර ප්‍රතිමාවලින් හෝ ඒ වේදනාව පහ කරගැනීමට මේ ධනවත් යුවතිපතින්ට හැකිවී නැහැ.

කෙසේ වෙතත් වර්ෂ 31ක් රිච්මන්ඩ් කාසල් මන්දිරයේ දිවි ගෙවූ ආතර් ද සිල්වා මහමුදලිතුමා කිසියම් හේතුවක් මත 1941 ජූලි මස 4 වැනි දිනදී නොතාරිස් එස්. ජේ. එස්. කදිරගාමර් ඉදිරිපිටදී අත්සන් කොට රිච්මන්ඩ් කාසල් ඇතුළු තමා සතු සියලු වත්කම්

ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා දී තිබෙනවා. ඒ, මෙම මන්දිරය ඔහුගේ ඇවෑමෙන් අනතුරුව අනාථ දරුවන් වෙනුවෙන් රැකවරණය සලසන ස්ථානයක් බවට සහ අනෙකුත් වතුපිටිවල ආදායම එම දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වෙන්විය යුතු බවට අවසන් කැමැත්ත ප්‍රකාශ වන පරිදිය. එවැනි ශෝකාකූල ඉතිහාසයක් සඟවා ගත් රිච්මන්ඩ් කාසල් මැදුර අදත් පෙර පුරුදු තේජසින්ම විරාජමාන වුවත් ඒ තුළ සැඟවී ගත් ප්‍රේමයේ අමරණීය රිදුම එහි සැරිසරන ප්‍රේමණීය හිතකට නම් දැරිය නොහැකිය. මහමුදලිතුමාගේ අවසන් කැමැත්ත අනුව මේ වනවිට මහා භාරකාර මණ්ඩලය යටතේ පාලනය වන මෙම මහ මැදුර පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර මහජන ප්‍රදර්ශනය සඳහාද විවර කොට තිබෙනවා. නිවාඩුදිනෙක ඔබටත් එහි ගොස් මේ පුංචි ටජ්මහලේ සුන්දරත්වය දැකබලා ගත හැකියි.

[ශ්‍යාමලී නිශාන්ති]

මාතෘකා