කුකුළේ ගං නිම්නයේ යකුන්ගේ යුවතිය

 ඡායාරූපය:

කුකුළේ ගං නිම්නයේ යකුන්ගේ යුවතිය

සුවපහසු සයනයෙහිම වැතිරෙන්නෝ පිදුරු ගොඩක වැතිර නුබ ගැබෙහි පාව යන වලා කැටිති දෙස බලා සිටීමෙහි සුවය නොදනිති. එමෙන්ම නල දියෙන් සැනසෙන්නෝ කඳු මුදුනක සිට ගලා එන සුදෝ සුදු දිය දහරක පහස කොපමණ සුවදායකදැයි නොහඳුනති. සියලු දෙනා නොපෙනෙන නිමාවක් නැති ගමනාන්තයක් සොයා හැල්මේ දිව යති. නොනවතින ජීවන අරගලයෙහි යෙදෙමින් විවිධාකාර වූ ව්‍යාධීන්ට ගොදුරු වෙති. නමුත් ඉන් මඳ ඉසිඹුවක් ගෙන නිර්මල සොබාදහමෙහි සුවය විඳීමට අවස්ථාවක් ලදහොත් එය මඟ නොහැරිය යුත්තකි. එබැවින් විවේකයක් ලද සැණින් සොබා යුවතියගේ සියුම් අතැඟිලි තුඩෙහි පහසින් ජීවිත වීණාවේ තත් සුසර කිරීමට මම හුරු පුරුදු වී සිටිමි. එබඳු මිහිරක් විඳිය හැකි නිදහසක් නූතන පරපුරට නැතිවා සේය. එවන් නිමල දිය දහරක සුවයත් ගැමි හදවත්හි වන අපමණ ළෙන්ගතු බවත් සොයා ලත්පඳුර හන්දියෙන් ඇරඹෙන කෙලින්කන්ද මඟ දිගේ කෙලින්කන්ද ජනපදය වෙත මම ගමන් ඇරඹුවෙමි. මෙවර මගේ ගමන් සගයා

යතුරුපැදියකි.

ලත්පඳුරේ සිට කෙලින්කන්ද දක්වා වැටී ඇති මඟ මනරම්ය. මාරගහදෙනිය, ගලහිටිය, කොස්ගුලන ආදී පෙදෙස් අතරින් මේ මඟ දිවෙන්නේ දිගු නාගයකු සේය. එදා සුදු අධිරාජ්‍යවාදී සමයේදී මෙම පෙදෙස්වල රබර් වගාව වඩ වඩාත් ව්‍යාප්ත විය. ඉන් පසුව කුකුලේ ගඟ ජලවිදුලි බලාගාරයේ කටයුතු ඇරඹීමත් සමග මෙහි පරිසර සාධක සේම ජන ජීවිතයද විවිධ වෙනස්වීම්වලට ලක් විය.නමුත් ඒ සියලු සංවර්ධන කටයුතු මඟින් මෙම පෙදෙස් හි සිදුවූ පාරිසරික හායනයන්ද අපමණය. කුකුළේ ගං නිම්නය ආශ්‍රිතව එකල ශ්‍රී ලංකා සත්ත්ව උද්‍යානයේ උරග අධ්‍යයන ඒකකය බාරව සිටි හියසිත් මොල්ලිගොඩ මහතා විසින් පර්යේෂණයක් කර නව හූනන් විශේෂයක් විදු ලොවට අනාවරණය කරනු ලැබීය. මෙම හූනන් විශේෂය “නෙමපීස් මොල්ලිගොඩයි” යනුවෙන් ජෛව විද්‍යාත්මකව නම් කර ඇත. එය මෙම පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය පිළිබඳව තහවුරු වන එක් අවස්ථාවක් පමණි.

මගේ මේ ගමනේ ඉම සනිටුහන්ව ඇත්තේ කෙලින්කන්ද ජනපදයෙහි වන ‘යකා වැටුණු ඇල්ල’ අසලිනි. නමුත් මඟතොට සිරිය ගමනාන්තය වෙත මා රැගෙන යෑම තව තවත් පමා කරයි. කොස්ගුලන පාසල ඉදිරිපස වන වැල් පාලම මේ ගමනේදී හමුවන කදිම නවාතැනකි. මේ පාලම යොදා ඇත්තේ කුකුළේ ගඟ මතිනි. ගඟේ වම් ඉවුර අයත් වන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයටය. ගඟේ දකුණු ඉවුර අයත් වන්නේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයටය. එබැවින් කොස්ගුලන පෙදෙසේදී කුකුළේ ගඟ, දිස්ත්‍රික් මායිමත් පළාත් මායිමත් සනිටුහන් කරන සීමාව බවට පත් වෙයි. වැල් පාලමේ මැදට පිවිසෙන්නකුට කුකුලේ ගං නිම්නයේ චමත්කාරය මනාව විඳගත හැකිය. පාලම සැමවිටම කලබලකාරී වූවක් නොවේ. ඒ හිමිදිරි උදෑසන මම පාලම මතට වී යාන්තමට පිනි සළුව උනන ඈත නිම්නයේ නිල් කඳු වැටි දෙස බලා සිටියෙමි. කුරුල්ලෙක් අහස් තලය මත තටු නොගගසා පාව යන්නාක් බඳු මිහිරි හැඟුමක් සිතට නැඟෙයි. උදෑසන සිසිලැති නැවුම් සුළං පොදක් නාස් පුඩු අතරින් ළය මඩලට රිංගා ගනී. ජීවත් වීම යනු වාතය උත්තරීතරව රසවිඳීම යැයි හැඟෙන්නට නම් මෙවන් තැනකදී නැවුම් සුළං රැල්ලකින් ළය සැහැල්ලු කර ගත යුතුමය.

කෙලින්කන්ද ජනපද ප්‍රාථමික විදුහලේ විදුහල්පති ශාන්ත මහතා මගේ පැමිණීම අපේක්ෂාවෙන් සිය නිවසේ රැඳී සිටියේ තවත් හිතවතුන් දෙතුන් දෙනෙකු සමගිනි. මඟතොට විසිතුරු විඳිමින් ගිය මගේ පමාව පිළිබඳව ඔහුට වූයේ තරමක නොඉවසිල්ලකි. “අපි ඒත් මේ බලන් උන්නේ කතා කරගත්තු විදිහට එන්න බැරි වුණාවත්දෝ කියල." මා පිළිගනිමින් ශාන්ත මහතා සිය හඬ අවදි කළේය. ඔහුගේ නිවසින් ලද මඤ්ඤොක්කා, පොල් හා කොච්චි සම්බෝලයත් කුසගින්නට විරාමය තැබීය. "එහෙනං ඉතින් පිටත් වෙමු. සුනංගු වෙන්න කාරියක් නෑ" යැයි පවසමින් ශාන්ත මහතා පෙරමුණ ගත්තේය. අපි ඔහුට අනුගත වීමු. යකා වැටුණු ඇල්ලට යා යුත්තේ ඔහුගේ ගෙවත්ත මායිමෙන් ඇරඹෙන අඩි පාර ඔස්සේය.

මීට දශකයකට දෙකකට මත්තෙන් මෙම පෙදෙස් හි වන ගහනය අදට වඩා ඉහළ මට්ටමක පැවතිණ. මේ නිසාම පරිසරය හා බැඳි ජන විශ්වාසයන් හා ඒ කෙරෙහි වඩා ගෞරව සම්ප්‍රයුක්ත බවක් එදා මේ ගැමි ජනයා තුළ විය. වනය ඔවුන් ජීවත් කරවන සම්පත බවට පත්ව තිබිණ. කිතුල ඔවුන්ගේ අත මිට සරු කළේය. බෙරලිය, දුම්මල, සිංහල දෙල් ආදී දහසකුත් වනජ ද්‍රව්‍ය ඔවුන් හා වනය අතර වූ සබැඳියාව නොනසා පවත්වා ගැනීමට රුකුල් සැපයීය. වෙදකමට මෙන්ම බලි තොවිල් කටයුතුවලදීද ඊට අවැසි අඩුමකුඩුම සපයමින් වනය ඔවුනට පිහිට විය. ඊනියා සංවර්ධනය මේ ගම් බිම් වෙළා ගැනීමත් සමඟ පාරම්පරිකව පැවත ආ ඒ ඥාණ සංකතන ක්‍රියාවලිය බිඳවැටිණ. පරපුරක් සතු දැනුම අද වන විට වියැකී ගොසිනි. එහි නෂ්ටාවශේෂ පමණක් අතරින් පතර ඉතිරිව ඇත.

කතාබහත් සමඟ අපි යකා වැටුණු ඇල්ල අසලට සේන්දු වීමු. වන ගැබ මැදින් නිසසලව ගලා එන දිය දහරක් ශෛලමය වේදිකාවකට පිවිසී පහළට ඇද වැටී දිය ඇල්ලක් නිමවයි. කළුතර දිස්ත්‍රික්කයේ ඇති දිය ඇලි පිළිබඳව සලකා බලන විට මෙම දිය ඇල්ල මැදි උසකින් හා ජල පරිමාවකින් යුතු ඇල්ලක් සේ හඳුනාගත හැකිය. දිය ඇල්ල ගලා හැලෙන ශෛලමය බිත්තියෙහි අපිළිවෙළට විසිරුණු ගල් කැබලි මෙම දිය ඇල්ලට අමුතු සිරියක් රැගෙන එයි. සෑම දිය බිඳුවක්ම ඇලි හිස මුදුනේ සිට මේ සා ගල් කුළුවල හැපෙමින් බාධක මැද මල් පුබුදමින් ගලා හැලෙන්නේ සොබා යුවතියට මනා සේද සළුවක් ගෙත්තම් කරනු පිණිස යැයි ඒ දෙස බලන කවරකුගේ වුව සිතට නැඟෙන අදහසයි.

දිය දහර ගලා හැලෙන තටාකය තරමක ගැඹුරකින් යුතුය. එය දිය ඇල්ල ගලා හැලෙන ස්ථානයේ සිට ක්‍රමයෙන් පුළුල් ස්වභාවයක් ගනී. ඊට ඔබ්බෙන් වන ගල් කුළු මේ සොබා සිරිය නැරඹීමට පැමිණෙන්නන්ට පැනවූ ආසන බඳුය.

අතීතයේදී මෙම තෙත් කලාපීය වනගත පෙදෙසෙහි යක්ෂ ගෝත්‍රිකයන් වාසය කර ඇතිද යන්න විමසුමට බඳුන් විය යුතු කරුණකි. කළුතර දිසාවේ ස්ථාන හා ග්‍රාම නාම වන යකුපිටිය, යක්ගිරි ලෙන, යකා විද්දගල, රාස්ස දොළ ආදී නාමයන් ඊට දෙස් දෙයි. වරක් එවකට පාලින්දනුවර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරියාව සිටි ජනක ජයසිංහ මහතා සමඟ කළ සොයා බැලීම්වලදී ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස මෙම ප්‍රදේශයේ ව්‍යාප්තව තිබූ වගට යම් යම් සාක්ෂි විමසා බැලීමට අපට හැකියාව ලැබිණ. එබැවින් නිසි අවධානයක් නොමැති වීමෙන් සැඟව ගිය අතීතයක වං හුං මෙම ස්ථාන නාම පිළිබඳව විමසා බැලීමෙන් හෙළිදරව් විය හැකිය. එමෙන්ම එය මෙරට ඉතිහාසයේ සැඟවුණු කාලසීමාවන් පිළිබඳව තොරතුරු ගවේෂණය කරන්නකු හට සිය ගවේෂණයට මනා තෝතැන්නක්ද වනු ඇත.

කෑදර මිනිසුන්ගේ නෙත් නොගැටීම නිසාමදෝ මෙම ඇල්ල අවට පොලිතින්, ප්ලාස්ටික්, මත්පැන් බෝතල් හෝ අන් යම් අපද්‍රව්‍යවලින් අපවිත්‍රව නැත. දහසක් තුරුමුල්වල සාරය කැටිව එන මේ නිමල දිය දහරේ කෙතරම් ස්වභාවික ඖෂධ සංඝටක කැටිව ඇතිද? සොබාදහම නිරතුරුවම ඇගේ ආදර දරු දැරියන් සුවෙන් සනීපයෙන් යුතුව තැබීමට අපමණ වෙහෙස වෙන්නීය. නමුත් ඇතැම් මිනිසුන් ඇගේ සුන්දරත්වය කෙලෙසීමට තරම් කුරිරුව ඇත.

මේ සුදෝ සුදු දිය දහර තවමත් නොකඩවා ඇගේ සේද සළුව ගෙත්තම් කරමින් සිටින්නීය. අපි ඒ සේද සළුවේ පහස පතා දහසක් තුරු මුල් සිඹ ගලා එන සිසිල් දියෙන් සැනසුනෙමු. ගත රැඳි විඩාවත් ව්‍යාධිත් සියල්ල පහව යන්නට ඇත.

සටහන හා ඡායාරූප දුමින්ද ජයවර්ධන

News Order: 
0
මාතෘකා