කෝපිකාලේ නම රැඳුණු එළමලේ හන්දිය

 ඡායාරූපය:

කෝපිකාලේ නම රැඳුණු එළමලේ හන්දිය

කෝපිකාලෙදි බිහිවූ සොබාදහමේ අපූරු චමත්කාරය තුරුලුකොට ගත් හන්දියකි එළමලේ හන්දිය. මෙම ගම්මානය ඉස්මත්තෙන් මිහිදුමෙන් වැසී ගිය පිදුරුතලාගල කඳු වැටියත්. අනෙක් පසින් හෙල්මළු ක්‍රමයට සකස් කළ ලියදි තුළ සරුවට වැඩුණු එළවළු වගාවන් මෙන්ම වී වගාවන්ද දැකිය හැකිය. වඩාත් ජනාකීර්ණ නොවූ එළමලේ හන්දිය කුඩා කඩමණ්ඩියකින් සමන්විත අතර කඩමණ්ඩිය ආරම්භයේම කඳු මුදුනට දිවෙන මාර්ගයක් දැකිය හැකිය. ප්‍රදේශයේ ඇති දුෂ්කර තේ වගා බිමක් වන කබරගල වත්ත දක්වා එය ගමන් කරනු ලබයි.

අතීතයේදී සුදු ජාතිකයන්ගේ සරුසාර තේ වගා බිමක්ව පැවති මෙම ප්‍රදේශයේ අයිතිය තිබී ඇත්තේ ත්‍රෙසියා ‍සමාගමටය. එකල මෙම ප්‍රදේශය එළමල් අරාව ලෙස හඳුන්වා ඇති අතර පසුව එය එළමලේ බවට ව්‍යවහාර වන්නට ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

කෝපි කාලේ

අපි නම් කෝපි කාලේ මිනිසුන් නොවන බව බොහෝ දෙනකු පැවසුවද මේ කෝපි කාලේ පිළිබඳව මේ කිසිවකුට එතරම් අවබෝධයක් නොමැති බව නම් සැබෑවකි. “ඒ දවස්වල සුද්දො තේ වවන්න ඉස්සර වෙලා කෝපි වැව්වා ඒ කාලෙට තමයි කෝපි කාලේ කියන්නෙ. අපේ සීයාත් කෝපි කාලේ තමයි පිළියන්දල ඉඳලා මෙහෙට ඇවිත් තියෙන්නෙ කොන්ත්‍රාත් කරන්න.” හන්දියේ තතු සොයා යන ගමනෙදි හමුවූ හේමචන්ද්‍ර කපුකොටුව මහතා අප සමඟ දොඩමළු වෙමින් පවසයි.

පරම්පරා හතරකින් ඇරඹි ගම

එළමලේ හන්දිය ආශ්‍රිත ප්‍රදේශයට දීගලහින්න යන නමද භාවිතා වන අතර එය පුරාණයේ සිට මෙම ප්‍රදේශයට භාවිත කරන ලද නාමයයි. හෙමචන්ද්‍ර මහතා පවසන අකාරයට මීට වසර දෙසීයකට පමණ ඉහතදී ඉඩම්පිටියේ සිට පැමිණි සිව් දෙනකු මෙම ප්‍රදේශයේ කැළෑ එළිපෙහෙ‍ළි කොට තම නවාතැන් සකස් කොට ඇති අතර එම පරම්පරාවෙන් පසු මෙම ප්‍රදේශය ක්‍රමයෙන් ජනාවාස සහ ජනාකීර්ණ වෙමින් අද දක්වා සංවර්ධනය වී ඇත.

දිවියා දුන්න නම

එළමලේ නැත්නම් දීගලහින්න යන නම එකල මෙම ප්‍රදේශයට ලැබී ඇත්තේ දිවියකු නිසාය. එකල කඩමණ්ඩියට පහළින් ගලා බසින ඇළ පහරේ දිය දහරාව අතර තිබූ ගලක දිවියකු ඊතලයක් සමඟ කැටයම් කොට තිබී ඇත. එම නිසා එකල මෙම ප්‍රදේශයට දිවි ගල ලෙස හඳුන්වා ඇති අතර පසුව එය ජනවහරේ ව්‍යවහාරයත් සමඟ දීගලහන්න වූ බව ගැමියෝ පවසති.

නොමිලේ දුන්නු කම්බි ලෙන්සුව

දීගලහින්න ප්‍රදේශය ක්‍රමක්‍රමයෙන් ජනාවාස වීමත් සමඟ පදියපැල්ලෙ සිට දීගලහින්න දක්වා ප්‍රථමයෙන් මාර්ග පද්ධතිය ඉදිව ඇති අතර පසුව මන්දාරම්නුවර ප්‍රදේ‍ශය දක්වා මාර්ග ඉදි කරනු ලබන්නේ තේ වගාවන් නිසාය. ඒ කෙසේ වෙතත් මෙම හන්දිය ආශ්‍රිතව එකල තිබූ එකම වෙළෙඳසැලේ හිමිකාරිත්වය තිබී ඇත්තේ සම්බු‍ සෙට්ටියාර් නම් වූ ඉන්දීය ජාතිකයකුටය. ඒ දවස්වල රුපියල් දහයක බඩු ගත්තම කම්බි ලෙන්සුවක් නිකන් දෙනවා. අපි ඒකෙන් තමයි ගත්ත බඩු ටික ගැට ගහගෙන යන්නෙ.” හේමචන්ද්‍ර මහතා සිනාසෙමින් පවසයි.

කිලෝමීටර් පහට ලාභය සතයයි

ඉන්දියන් ජාතිකයාගේ වෙළෙඳසැලට අමතරව ත්‍රිකුණාමලයේ සිට පැමිණි සාමෙල මුදලාලිටත් හන්දියේ කඩයක් තිබී ඇත. එකල ප්‍රදේශයේ තිබුණු පාලම් සඳහා ලෑලි දමා තිබී ඇති අතර බොහෝ විට ගමන් බිමන් ගොස් ඇත්තේ දෙපා වාරුවෙනි. තවද ‍අද නුවරඑළිය දක්වා ගමන් කළ හැකිව තිබෙන මාර්ග පද්ධතිය එදා මෙම ප්‍රදේශය දක්වා පමණක් තිබී ඇති අතර මන්දාරම් නුවර සිට ප්‍රවාහනය කළ යුතු බඩු බාහිරාදිය හිස මතින් එළමලේ දක්වා රැගෙන විත් එතැන් සිට තවලම් හෝ ගැල් මඟින් ප්‍රවාහනය කොට ඇත. එසේම ඉඩම්පිටියට වඩා වෙළෙඳසැල්වල බඩු බාහිරාදිය සතයක් මිල අඩු නිසාම එම ඇත්තන් කිලෝමීටර් පහක මඟක් ගෙවා එළමලේට බඩු ගැනීමට පැමිණි බව ගැමියෝ පවසති.

මනා බටයෙන් අකුරු කළ අතීතය

“මම මැටිබිම්බේ ඉස්කෝලෙට ගියේ 1955 අවුරුද්දේ. මගේ ඇතුළත් වීමේ අංකේ 992. ඒ දවස්වල සරමයි ෂර්ට් එකයි තමයි ඉස්කෝලෙට දාගෙන ගියේ. ඉතින් අපි අකුරු කළේ ගල් ලෑලිවල. මට මතක විදිහට ඒ දවස්වල ගල්ලෑල්ලක් සතපහයි. ගල්කූරක් සත තුනයි. තලයක් සත එක හමාරයි. කුරු පෑනක් සත තුනයි. තීන්ත බෝතලයක් සත පහයි. අපි කරන්නේ තීන්ත බෝතලයක් අරගෙන මනා බටයක් ගහගෙන ලියනවා. ඉස්කොලෙත් ඩෙස් එකේ රවුමක් කපලා තිබුණා තීන්ත බෝතලේ තියන්න. ඒ දවස්වල කුමාරෝදයයි, මව්බසයි, එක පොතකුයි විතරයි ඉස්කෝලෙට අරන් යන්නේ.” දශක හතකට පමණ ඉහතදී තිබුණු අධ්‍යාපන රටාව පිළිබඳව විවරණයක යෙදෙමින් හෙමචන්ද්‍ර මහතා පවසයි.

හීනටි හාලේ බත පමණක් කාපු අතීතය

ඒ දවස්වල අපි කළු හීනටි, රත්කුන්ඩ, මහත්තයා වී, බටදැල්, රත් කැදැල්, හීනටි වගේ වී ජාති විතරයි අපේ කුඹුරුවල හැදුවේ. පස්සේ එච් හතර ආවා. ඒකාලේ අපි කෑමට ගත්තේ හීනටි හාලේ බත් විතරයි. අපේ ලොකු අත්තාගේ කුඹුර මැද තමයි ඒ දවස්වල වී බිස්ස තිබුණේ. හන්දියේ තතු කීමට අප හා එක්වූ වයි. කේ. කරුණාරත්න මහතා අතීත ජීවන රටාව සිහි කරමින් පවසයි.

කරත්ත ගමන

වී වගාවට අමතරව මෙම ප්‍රදේශයේ එළවළු ගොවිතැනද එකල සිදු කොට ඇති අතර මෙම ගැමියන් තම අස්වැන්න අලෙවි කොට ඇත්තේ මහනුවර මැනිං වෙළෙඳපොළටය. එකල තම අස්වැන්න කරත්ත මඟින් මහනුවරට යවා පසුව ගොස් තම බිල්පත රැගෙන ඒමට ගැමියන් පුරුදුව ඇති අතර එකල ඔවුන්ගේ අස්වනු විකිණී ඇත්තේ සත ගණන්වලටය. තවද මේ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලැබූ කරත්ත පදනම් කොටගෙනද අපූරු සංස්කෘතියක් එකල බිහිව තිබී ඇත. එළමලෙන් ගමන් අරඹන කරත්තය තේ පානය සඳහා මයිලපිටියෙදී නවතා ඇත. එසේම එකල කරත්තකරුවන් එක් එක් ප්‍රදේශ හැඳින්වීමට නොයෙක් නම් භාවිතා කොට ඇත. “බත්දෙන බූවැලිකඩ, අඹරා බදින හාරගම, පොල්දෙන මයිලපිටිය, ගැටකපන කන්දේ හන්දිය, ස්ටයිල් හඟුරන්කෙත, රස්තියාදු රිකිල්ලගස්කඩ, කසගහාන දෙනිකේ, දුන්කාචිචි කදුරුකඩේ වගේ නම් කරත්තකාරයෝ ඒ තැන්වලට කිව්වා.” කරුණාරත්න මහතා පවසයි.

කම්බිලි ඔන්නු කරුප්පු කම්බිලි ඔන්නු

“මන්දාරම් නුවර මෙන්ම කඹරගල ප්‍රදේශයේ එකල තිබූ සරුසාර තේ වගා බිම් සඳහා ඉන්දීය ද්‍රවිඩ කම්කරුවන් පැමිණ ඇති අතර කඹරගල සිටි මෙම කම්කරුවන් හට තම අවශ්‍යතාවන් සපුරාගන්ට තිබූ එකම කඩමණ්ඩිය එළමලේ කඩමණ්ඩියයි. ඒ දවස්වල කඩවල කම්බිලි තිබුණා. මිනිස්සු ගොඩ‍දෙනෙක් ඇන්දේ කම්බිලි. ගොඩාක් දෙමළ අය. ඒ දවස්වල හන්දියේ කඩවල මුදලාලිලා දෙමළ අය කම්බිලියක් ගත්තාම කම්බිලි ඔන්නු කරුප්පු කම්බිලි ඔන්නු කියලා බිලට දාලා කම්බිලි දෙකකටම සල්ලි ගන්නවා. ඒ දවස්වල පඩිය සත තිස්පහයි නේ.” කරුණාරත්න මහතා පවසයි.

හන්දියේ තේ කඩේ

“මම 1972දි වගේ තමයි මෙහෙට ආවේ. ඒ දවස්වල මහත්තයාගේ තාත්තට මෙතන තේ කඩයක් තිබුණා.‍ ඒ දවස්වල එළවළු ගෙනියන්න එන ලොරි ඔක්කොම නවත්තන්නෙ මෙතන. වටපිටාවේ ගම්වල මිනිස්සු එළවළු මෙතෙනට ගෙනත් ලොරිවලට දෙනවා. ඒ දවස්වල ගමේම තිබුණේ ගෙවල් දහසයක් විතර.” හන්දිය ආසන්යේ දිවි ගෙවන විශ්‍රාමික ඖෂධ සංයෝජකවරියක් වන ඒ. එම්. කුඩා මැණිකේ මහත්මිය පවසයි.

එකයි විස්සේ පඩිය

කුඩා මැණිකේ මහත්මිය මෙන්ම ඇයගේ ස්වාමියාද එක්දාස් නවසිය හැත්තෑවේ සිට ආයුර්වේද ඖෂධ සංයෝජකවරුන් ලෙස සේවය කොට ඇත. එකල ඔවුන්ගේ වැටුප දිනකට රුපියල් එකයි සත විස්සකි.

“අපි දෙන්නාම එකම ජොබ් එක කළේ. අපි කසාද බැන්දේ නුවරඑළිය කච්චේරියට ගිහින්. අපි කාර් එකක් අරගෙන ගියේ නුවරඑළියටම රුපියල් පහකට. ඒ දවස්වල අද වගේ පාරවල් එහෙම හැදිලා තිබුණේ නැහැනේ. දැන් නම් පාරවල් හැදිලා, මේ පැත්ත දියුණු වෙලා. තව කඹරගලටත් බස් එකක් වැඩ කරනවා. පිටිනුත් කට්ටිය ගොඩාක් මෙහෙට එනවා.” කුඩා මැණිකේ මහත්මිය පවසයි.

සුන්දර දිය ඇලි

“අපේ ගම වටේටම තියෙන්නෙ වතුර පාරවල්. අපි ඉන්නේ පිදුරුතලාගල කඳු පාමුල. මේ පැත්තේ පරිසරය හරිම ලස්සනයි එක නිසා ගොඩදෙනෙක් දැන් මේ පැත්තටත් එනවා සංචාරය කරන්න. මන්දාරම් නුවර තියෙන කොළපතන ඇල්ල වගේම මෙහේ තියෙන ඇතිනි වැටුණු ඇල්ල බලන්න තමයි ඒ අය වැඩිපුර එන්නේ. දැන් නම් කඹරගල තේ ෆැක්ටරිය හෝටලයක් කරලා නිසා එකටත් ගොඩාක් අය එනවා. ඉස්සර මම මෙතන කඩයක් කළා. ඒක වහලා දාලා දැන් අවුරුදු දහයක් විතර වෙනවා.” හන්දියේ තතු සොයන්නට අප හා එක්වූ රොහණ සම්පත් පවසයි.

සුන්දර පරිසරය

මන්දාරම් නුවර මෙන්ම එළමලේ හන්දිය අශ්‍රිත ප්‍රදේශය සොබාදහමේ අපූරු දායාදයකි. මෙම හන්දිය ඉස්මත්තෙන් ඇති කඩක් මීදුමෙන් වැසීගිය පිදුරුතලාගල කඳුවැටිය මෙන්ම සුන්දර දියඇලි මෙන්ම ගැමි පරසරය සංචාරකයන්ගේ ආකර්ෂණයට නතු වෙන්නේ නිතැතින්ය. නුවරඑළියට පැමිණෙන සංචාරකයන් බොහෝ දෙනකු මෙම ප්‍රදේශයට පැමිණෙන්නේ මෙම මනරම් පරිසර පද්ධතිය නිසාමය.

[චන්දන තිලක් ද සිල්වා][චන්දන තිලක් ද සිල්වා]

News Order: 
6
මාතෘකා