ආදරවන්තයකුගේ හුදෙකලාව බාවා උද්‍යානය

 ඡායාරූපය:

ආදරවන්තයකුගේ හුදෙකලාව බාවා උද්‍යානය

ප්‍රේමය සුන්දර වුවත් විරහ වේදනාව තුළින් බිහිවන නිර්මාණ ඊටත් වඩා සුන්දර බව කිවහොත් ඇතැම් විට ඔබද ඊට එකඟ වනු ඇත. ඊට හේතුව ලොව පුරා තිබෙන ඇතැම් විස්මයජනක සුන්දර කලා නිර්මාණ බිහිවීමේ කතා පුවත පසුපස සැඟවී ඇත්තේ ප්‍රේමයේ විරහ වේදනාවෙන් හදවත බිඳගත් ආදරවන්තයන් වන නිසාය. මෙවර පිනි පලසේ දිගහැරෙන්නේ එවැනි හුදකලා ආදරවන්තයකු විසින් මෙරට නිර්මාණය කළ සොඳුරු උද්‍යානයක් පිළිබඳවය. ඒ, බෙන්තොට බාවා උද්‍යානයයි.

එම උයන ගැන නොදැන සිටියත් 'බාවා' යන නම නම් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට නුහුරු වූවක් නොවේ. ඊට හේතුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ දියවන්නා ඔය ඉස්මත්තේ ඉදිකොට ඇති දැකුම්කලු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගෘහනිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා නිසාය. කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජෙෆ්රි බාවා මෙන්ම ඔහුගේ සොහොයුරු බේවිස් බාවාද ජෙෆ්රි බාවා හා සමානවම ගෘහ නිර්මාණ ශිල්පයේ අති දක්ෂයෙකි. එපමණක් නොව ප්‍රකට චිත්‍ර ශිල්පියකු සහ භූ දර්ශන නිර්මාණ ශිල්පියකුද වූ ඔහු සිය සොහොයුරු ජෙෆ්රි බාවා මෙන් වෘත්තීයමය වශයෙන් ඒ කිසිදු කාර්යයක නියැලි බවක් නම් දැනගන්නට නැත.

එහෙත් ඔහු අපූර්වතම ආදරණීය හදවතක් තිබූ අයකු ලෙස ප්‍රකටය. පාබල හමුදාවේ මේජර්වරයකු ලෙස කටයුතු කළ ඔහු සෝල්බරි සාමිවරයාගේ හා හෙන්රි මුවර් යන ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ පරිවාර නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ. තේජවන්ත හා සුවිශේෂි පෙනුමින් යුතු හෙතෙම තම හමුදා සේවය වෙනුවෙන් වැටුපක් නොගත් බවද පැවසේ. බොහෝ දෙනකු අතර ඔහු ප්‍රකටව සිටියේ ඉතා උස පුද්ගලයකු ලෙසටය. වයස අවුරුදු 12 වන විටද ඔහුගේ උස අඩි 6 අඟල් 4ක් වූ බව කියැවේ. පාසල් සිසුවකු ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී පවා ඔහු එම අසාමාන්‍ය උස සහිත ඉතා කඩවසම් තරුණයකු ලෙස ප්‍රකටව සිටියේය. නව යොවුන් වියේදී මේ කඩවසම් තරුණයාට වංශවත් පවුලක රූමත් යුවතියක හමුවී ඇති අතර ඔවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවක් ඇතිවී තිබේ. එහෙත් හදිසියේම ඇය ඔහු හැරයෑම හේතුවෙන් දැඩි සිත් තැවුලට පත්වූ ඔහු හමුදා සේවයෙන් පවා ඉවත් වී හුදෙකලා ජීවිතයක් ගතකරන්නට පටන් ගෙන ඇති බව කියැවේ. බෙන්තොට බාවා උද්‍යානය බිහිවීමට මඟ සැකසෙන්නේ ඔහුගේ ඒ හුදෙකලා ජීවිතයත් සමඟය.

පෙම්වතියගේ හැරයෑමත් සමඟ ඔහුට බොහෝ අවමන් විඳින්නට සිදුවූ බවද පැවසේ. සංවේදී හිතැත්තකු වූ බේවිස් බාවා මිනිසුන් එල්ල කළ අභූත චෝදනා සහ කටකතාවලින් රිදුණු හිත සනසාගත්තේ හුදෙකලා ජීවිතයකට හුරු වීමෙනි. ඔහු සිය පවුලට අයත්ව තිබූ බේරුවල කාලවිල ප්‍රදේශයේ ඉඩමක නිවසක් සහ උද්‍යානයක් නිර්මාණය කරමින් සිය ලෝකය තුළ හුදෙකලා වන්නට විය. පසුකලෙකදී එය 'බාවා උයන’ නමින් මෙරට තෙවැනි විශාලතම මල් උයන ලෙස විරුදාවලි ලබන්නට තරම් සුවිශේෂී විය.

හරිත පැහැයෙන් දිදුලන එම සුන්දර උද්‍යානය පුරා විවිධ කලා නිර්මාණ රැසක් තැනවූ ඔහු ඒ තුළින් තම විරහ වේදනාව සංසිඳුවා ගන්නට උත්සාහ දරන්නට ඇතැයි සිතිය හැකිය. එහෙත් ප්‍රේමයට පිටුපාමින් තම හදවත රිදවූ යුවතිය ඇතුළු කාන්තාවන් කෙරෙහි ඔහුගේ සිතේ සියුම් වෛරයක් තිබුණා දැයි සිතෙන්නේ ඔහුගේ මැදුරේ සහ උද්‍යානයේ තිබෙන මූර්ති සහ චිත්‍ර අතර තිබෙන එකම ගැහැනු රුව ඔහුගේ මවගේ රුව පමණක් වීම නිසාය. කෙසේ හෝ ජීවිතය පුරාවට සිය මැදුර සහ උද්‍යානයට පමණක් සීමාවූ ජීවිතයක් ගතකරමින් හුදෙකලාව කලාවක් කරගත් ඒ පරාජිත ආදරවන්තයා ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේදී ඔහු පණ මෙන් සුරැකි මන්දිරය, මල් උයන සහ අනෙකුත් දේපළ සිය සේවක පිරිස අතර බෙදාදෙන්නටද අමතක නොකළේය.

1992 සැප්තැම්බර් 08 වැනි දින බේවිස් බාවා නම් මේ අපූර්වතම පුද්ගලයා මියයන්නේ සිය ජීවිතයේ 84 වැනි සැතපුම් කණුව පසුකරමිනි. බේවිස් බාවා මෙන්ම ඔහුගේ සොහොයුරු වූ අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස කීර්තියට පත්ව සිටි ජෙෆ්රි බාවා යන දෙදෙනාම අවිවාහකව දිවි ගෙවා මියගියේ අසහාය නිර්මාණ ශිල්පී පරපුරකට අවසන් තිත තබමිනි. මරණයෙන් පසුව පරිසරය හා බැඳි සොබාදහම තුළම තම භෂ්මාවශේෂ තැන්පත් කිරීම බේවිස් බාවාගේ ආශාව වූ ඔහු ජීවත්ව සිටියදීම ඒ සඳහා ස්ථානයක්ද තෝරාගෙන තිබිණ. ඒ අනුව ආදාහන කටයුතුවලින් අනතුරුව බාවා උයනේ සුවිසල් ඇහැල ගසක් යට ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කෙරුණේ ඔහුගේ කැමැත්ත ඉටුකරමිනි.

අලුත්ගම යටදොල බස් මාර්ගයේ සැතපුම් 5ක් පමණ ගිය පසු මෙම සොඳුරු බාවා උයන හමුවන අතර එම උද්‍යානය බේවිස් බාවා විවිධ රටවල උද්‍යාන දැකබලා ගනිමින් ලබාගත් දැනුම හා අත්දැකීම් ඇසුරින් නිර්මාණය කර තිබේ. 1929දී බාවා විසින් එම උද්‍යානයේ පළමු වරට සිටුවූ අරලිය ගස අදටත් මෙම උයනේ සුරක්ෂිතව තිබෙන අතර විවිධ වර්ගවල අරලිය ගස් 12කට වඩා අදටත් මෙම උයනේ දක්නට ලැබේ. විවිධ රටවලට ආවේණික උද්‍යාන ක්‍රමද එහිදී දැකගත හැකි අතර ඉතාලි සහ චීන ගෘහ අලංකරණ ඒ අතර විශේෂ වේ. දෙස් විදෙස් ගස් වර්ග 100කට අධික ප්‍රමාණයකින් යුතු අතර ඇතැම් ඒවා ඉතා දුර්ලභ ඒවාය. පාරිසරික වශයෙන් පමණක් නොව අධ්‍යාපනික වශයෙන්ද වැදගත් උද්‍යානයක් ලෙස සැලකෙන බාවා උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධියක් උසුලයි. අලංකාර මල්වලින් සුසැඳි පොකුණුවලින් වඩාත් සුන්දර වූ මෙම බාවා උයන මෙරට පවතින සුන්දරම උයනක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.

1970 වසරේ සිට මහජනයා සඳහා විවෘතව ඇති මෙම උද්‍යානය අක්කර 20ක භූමි ප්‍රමාණයක පැතිරී තිබේ. උද්‍යානය මෙන්ම එහි ඉදිකර තිබෙන බේවිස්ගේ මන්දිරයද කලාත්මක නිර්මාණ රාශියකින් සමන්විත සුන්දර ස්ථානයකි. උදෑසන 8 සිට සවස 5 දක්වා මෙම උද්‍යානය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව තිබෙන අතර කුඩා දරුවන් සෑම විටම වැඩිහිටියන් සමඟ පැමිණීම සුදුසුය. උද්‍යානයේ සහ මන්දිරයේ තිබෙන පෞරාණික මූර්ති සහ චිත්‍ර කිසිවක් ස්පර්ශ කිරීම හෝ එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට අවසර නැති බවද මතක තබාගත යුතුය. උද්‍යානය සහ මන්දිරය නැරඹීම සඳහා වෙන වෙනම ප්‍රවේශපත්‍ර මිලදී ගත යුතුය.

ඉතින් විවේකී දිනක ඔබත් මේ සුන්දර උයන දැකගන්නට යන්න. එහි කිසිවකට හානි නොකරමින් ඒ සුන්දරත්වය දෑසින් විඳ සතුටු වන්න. එය ඒ සුන්දර උයන තැනූ හුදෙකලා ආදරවන්තයාගේ කලාකාමී හදවතට කරන නිහඬ උපහාරයක් වනු ඇත.

[දෙව්දුනි මධුෂිකා]

News Order: 
0
මාතෘකා