වල් ස්ට්‍රෝබෙරි වැවුණු පාර දිගේ ගිය . . .

 ඡායාරූපය:

වල් ස්ට්‍රෝබෙරි වැවුණු පාර දිගේ ගිය . . .

සීතල අඹේවෙල සිට පට්ටිපොළට රේල්පාරේ....

සති ගණනක් පුරා කොළඹ වැසියන්ගේ ගතට වෙහෙසගෙන දුන් දැඩි අව් රශ්මිය පහවෙලා ගිහින් වැහි වැටෙන්න පටන් අරන්. මාසයක විතර ඉඳලා කරපු සැලසුම වතුරෙ ගහගෙන යන්න නො දී මොරසූරන වැස්සට යටින් ගමනට නියමිත හැම දෙනාම මරදාන දුම්රිය පොළට ආවේ රාත්රී තැපැල් දුම්රිය අල්ලගන්න. සිකුරාදා දවස ටිකක් විතර සෙනඟ වැඩි දවසක් වුණත් දුම්රිය නවත්තන මොහොත වන විට ගොඩක් දෙනා දුම්රියට ගොඩ වෙන්න තෙරපුණේ නැත්තේ නොනවතින වැස්ස බොහෝ දෙනාගේ කටයුතු අඩාල කරලා තිබ්බ නිසා වෙන්න ඇති. විනාඩි දහයක පහළොවක පමාවෙන් පස්සේ කිටි කිටියේ තදවෙන තරමට දුම්රියට නැඟුණු පිරිසත් සමඟ බදුල්ලට යන දුම්රියේ ඉදිරියට ඇදුණු අපි යළි යළි ඇහැරෙන කුක්කුට නිද්‍රාවන් කිහිපයක සුවයකින් පස්සේ අලුයම පහ විතර වෙද්දි අඹේවෙලට ළඟාවුණා. දුම්රිය ස්ථානාධිපතිතුමාගේ අවසරයෙන් විවේක කාමරයට වෙලා බිමට එළිය වැටෙනකම් ගතකරපු අපි උදේ හයට විතර දවසේ වැඩ ආරම්භ කළා.

ලංකාවේ දුම්රිය ධාවනය වන සීමාවේ ඉහළින්ම පිහිටි දුම්රිය ස්ථාන අතර දුම්රිය පාර දිගේ ගවේෂණ චාරිකාවක් යෑම තමයි අපේ අරමුණ වුණේ. ඒ අනුව අඹේවෙළ දුම්රිය ස්ථානයේ සිට පට්ටිපොළ ඔහිය පහුකරගෙන දුම්රිය පාර දිගේ පයින්ම යාම තමයි අපේ බලාපොරොත්තුව. මේ දුරෙන් වැඩි කොටසක් වැටී තිබෙන්නේ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යාන සිමාව දිගේ. දිවියා සහ ගෝණා කියන දුර්ලභ සිව්පා සතුන්ට අමතරව නෙක නෙක සමනලුන්, පක්ෂීන් ගැවසෙන සුන්දර පරිසර පද්ධතියක යන මේ ගමනෙදි මෙරට තිබෙන සමස්ත දුම්රිය බිංගෙවල් ගණනාවක්ම පසුකරන්නටත් නියමිතයි.

උදෑසනින් බදුල්ලේ සිට කොළඹ බලා යන දුම්රියෙන් අප සමඟ එක්වන්නට තවත් සාමාජිකයන් දෙදෙනකු එනතුරු මීදුම් වලාවන් පලවා හරින ළාහිරු එළියේ ඔබ මොබ ඇවිදිමින් ගත කරන අපට දුම්රිය මාර්ගයේ වැවී තිබෙන අපූරු පැළැටියක් දක්නට ලැබුණා. සාමාන්‍ය ස්ට්‍රෝබරි ගෙඩියකට පෙනුමෙන් සමාන - එහෙත් ප්‍රමාණයෙන් කුඩා මේ ගෙඩි ගොටුකොළ සේ වැල් අදෙන පැළෑටියක තැනින් තැන ඵලගෙන තිබුණා.

"මේ ස්ට්‍රෝබෙරිද?" කෙනෙක් ඇහුවා.

"නෑ මේ වල් ස්ට්‍රෝබෙරි - මේවා මිනිස්සු කන්නේ නෑ - ඒ වුණාට සත්තු - කුරුල්ලෝ නම් කනවා" පිළිවදන් දුන්නේ අපේ කණ්ඩායමේ චමත්.

Fragaria virginiana කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වල් ස්ට්‍රෝබෙරි කඳුකරයේ බොහොම සුලබ පැළැටියක් බව දුම්රියපොළ අසල තේ කඩයේ ජයසිංහ මුදලාලි පසුව අප හා පැවසුවා. අතීතයේ නම් මේවා බෙහෙතට යොදාගත් බව සඳහන් වුණත් වල් දෙල් - වල් අල - වල් පැල සේම වල් ස්ට්‍රෝබෙරිත් දැන් භාවිතයෙන් අයින් වෙලා.

දුම්රිය ස්ථානය අසල වැවී තිබූ වල් ස්ට්‍රෝබෙරි ගොමුව පසුකර ප්‍රධාන පාර දෙසට ගිය අපි දැනට අලුත්වැඩියා කර ඇති පසුගිය දවසක නාය ගිය දුම්රිය මාර්ග කොටස බැලීමටද අමතක කළේ නෑ. අඩි 30ක් පමණ ගැඹුරට අඩි 50ක් පමණ දුරට සේ දී ගිය මෙම ස්ථානය දැන් ගල් කුට්ටි පසෙකින් අතුරමින් පස් පුරවා ශක්තිමත්ව සකස් කරනවා. උදේ හතට වගේ වුණත් වැඩකරන සේවකයන් එතැනට ඇවිත් වැඩ පටන් ගන්න සූදානම් වෙලා තිබුණා. මෙයාලා දෙපාර්තමේන්තු සේවකයන් නොවේ. කොන්ත්‍රාත් සේවකයන්.

"මෙහෙම වුණේ ඇයි?"

නුවරඑළියට යන උදේ බස් එක එනකම් අඹේවෙළ කඩමණ්ඩියේ හිටපු වයසක මාමා කෙනෙක්ගෙන් අපි එහෙම ඇහුවා. මාමා නම් දෙමළ. ඒත් කැඩිච්ච සිංහලෙන් මේ ටික කිව්වා.

"පුතා සුද්දා කඳු කපල කෝච්චිය උඩහට හැදුවට මෙහෙට වහින විදිය, කන්දෙන් පහළට වතුර ගලන විදිය ගැන හොඳ අවධානයෙන් තමා වැඩේ කළේ. ඒ වෙනුවෙන් කානු හැදුවා. වැටි බැන්දා. බෝක්කු බැන්දා. ඒත් අපේ අය වැඩේ බාරගත්තාට පස්සේ පාර ගැන විතරයි බැලුවේ. අර අතුරු ඉදිකිරීම් ගැන බැලුවේ නෑ. ඒ නිසා තමයි මේ දේවල් වුණේ...."

මාමාට දෙන්න අපි ගාව පිළිතුරක් නොතිබුණත් පැහුණු කෙසින් යුතු ඒ මිනිසාගේ දැක හුරුවෙන්, දැන හුරුවෙන්, කළ හුරුවෙන් පැවැසූ දේ බොරු යැයි බැහැර කරන්න හිතට ඉස්පාසුවක් ලැබුණෙත් නෑ.

දුම්රිය හරස් මාර්ගයෙන් පහළට ගමන් කරන හෝර්ටන්තැන්න මාර්ගයේ ඉදිරියට ගිය අපි ලොරි තට්ටුවක හදපු පුංචි හෝටලයකට ගොඩවෙලා උණු උණු පරිප්පු හොදි සමඟ පාන් අපේ පාතරසය කර ගත්තේ දිගු පා ගමනකට අවශ්‍ය ශක්තිය හා ජවය ලබාගන්න. (ඇත්තටම ඒ හෝටලේ පාන් හැර කන්න වෙන යමක් තිබුණෙ නෑ.) අපි පාන් කන අතරතුරේ බදුල්ලේ සිට කොළඹ යන උදෑසන උඩරට මැණිකේ දුම්රියත් අඹේවෙළට ළඟා වුණා. හපුතලේ සිට අපේ වැඩසටහනට එක්වන සොයුරන් දෙදෙනාත් ඒ දුම්රියේ ඇවිත් අපිත් සමඟම උදෑසන ආහාරය ගන්න එකතු වුණා. කෑමෙන් පස්සේ හොඳ ඝනකමින් හැදුණු කෝපි කෝප්පයකින් ඇඟ උණුසුම් කර ගත් අපි අපේ වැඩසටහන ආරම්භ කළා.... දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කලාපය බාර දිස්ත්‍රික් ඉංජිනේරුවරයාව දැනුවත් කර තිබුණු අපි පට්ටිපොළ හා ඔහිය කලාප බාර දුම්රිය ස්ථීර මාර්ග පරීක්ෂකවරුන්ගේ අවසරය මෙම දුම්රිය පාගමන වෙනුවෙන් ලබාගත්තා. ලංකාව තුළ දුම්රිය පාර දිගේ පාගමනින් යෑම නීතිවිරෝධි වැඩක් වුණත් ලෝකයේ බොහෝ සුන්දර දුම්රිය මාර්ග ප්‍රදේශවල පාගමනින් සංචාරයේ යෙදෙන දුම්රිය ලෝලීන් නම් සුලබයි. අපේ රටේ දුම්රිය මාර්ගවලත් පාගමන් යන දෙස් විදෙස් දුම්රිය ලෝලීන් ගණනාවක් ඉන්නවා. නමුත් අපේ වැඩසටහන නම් දුම්රිය මාර්ගයේ පාගමනින් යන අතරම මේ මාර්ගයේ සහ දුම්රිය සේවයේ සුවිශේෂතා අධ්‍යයනය කිරීමත් ඇතුළත් වුණා. ඒ වෙනුවෙන් රටේ විවිධ ප්‍රදේශවලින් එකතු වුණු තරුණ ජවයෙන් පිරි සාමාජිකයන් එකොළොස් දෙනකු අපිත් සමඟ සිටියා.

අඹේවෙළ දුම්රිය ස්ථානය, කොළඹ ඉඳන් කිලෝමීටර් 221.5ක් දුරින් තමා පිහිටා තියෙන්නේ. මේ මාර්ගයේ දෛනිකව ගමන් කරන සියලු දුම්රියන් නවත්වන ප්‍රධාන දුම්රියපොළක් වෙන අඹේවෙළ දුම්රියපොළ අතුරු මාර්ග කිහිපයකින්ද සමන්විත, පහසුකම් සහිත දුම්රියපොළක්. අතහැර දමන ලද බඩු ගබඩා ගොඩනැඟිල්ලක්ද දුම්රියපොළ හා සම්බන්ධයි. අඹේවෙළ දුම්රියපොළ අසලම මිල්කෝ කිරි සැකසුම් කම්හල සහ තවත් කිරි ගොවිපොළවල් දෙකකට පිවිසුම් මාර්ග සහිතයි. ලංකාවේ දුම්රියපොළ අතරින් දෙවැනියට උසින් පිහිටි දුම්රියපොළ තමයි අඹේවෙළ. උස මුහුදු මට්ටමේ සිට මීටර 1827.3ක්.... නුවරඑළියේ මීපිළිමාන හරහා හෝටන් තැන්නට යන මාර්ගයේ එල්ජින් දිය ඇල්ලටත් ආසන්නයේ තමා මේ දුම්රියපොළ පිහිටා තිබෙන්නේ.. ..

අඹේවෙළ ඉඳලා පා ගමනින් යන අපිට හමුවන මීළඟ දුම්රිය නැවැතුම් පොළ පට්ටිපොළ. ඒ තවත් කිලෝමීටර් 3.5කින්.... මේ මඟ දෙපස තියෙන්නේ සරුසාර එළවළු වතු.... ඒ එළවළු වතුවලට ඔබ්බෙන් රතුම රතු මහරත්මල් පුරෝගත්තු ගස් යායක මායිමෙන් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ සිමාව සටහන් වෙලා තිබුණා. නුවරඑළියේ හෝ කොළඹ වෙසෙන පුද්ගලයන් වෙත අයිතිය තිබූ මෙම එළවළු වතුවල සේවය කරන සේවකයන් පවා පැමිණ තිබෙන්නේ දුර බැහැරින්. අඹේවෙළ කඩමණ්ඩිය හැරුණු විට දුම්රිය මඟ ආසන්නයේ වෙනත් ජනාවාස නොතිබුණු තරම්.... ඒ නිසා දෛනිකව ගොවිබිම්වල වැඩට සේවකයන් පැමිණ තිබුණේ බැහැරින්. ඒත් ඒ හැම ගොවිබිමකම සේවක වාඩියක් නොවැරදීම ඉදිවී තිබුණා. අක්කරයක දෙකක මේ ගොවිබිම් බොහොම පිළිවෙලට ක්‍රමානුකූලව සකසලා තිබුණා. කොළඹ රටේ රස කරමින් කන කැරට්, බීට්, ගෝවා, රාබු වෙනුවෙන් සීතල අඹේවෙල දී දහඩිය හෙළන ගොවීන්, ගෙවිලියන් වගේම, එළවළු කඩවල, සුපර් මාකර්ට්වල පහතරට එළවළුවලට වඩා පෙනුමෙන් වැජඹෙන්න ඕන නිසාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රසායනික දියරවලින් නැහැවෙන කැරට්, බීට්, ගෝවා, රාබුත් අපි දැක්කා....

දුම්රිය මාර්ගය දිගේ අඹේවෙළ ඉඳන් පට්ටිපොළට යද්දි බිංගෙයක්, පාලමක් වගේ කිසිදු සුවිශේෂී ඉදිකිරීමක් හමුවන්නේ නෑ. හමුවෙන්නේ ගල් බැම්මෙන් බැඳපු පුංචි බෝක්කු කිහිපයක් විතරයි. ඒත් හෝර්ටන්තැන්නේ සීමාව නිසා හොඳ ජෛව විවිධත්වයක් නම් මේ කොටසෙදි දකින්න පුළුවන්. අපේ පිරිවර තව ටිකක් උදෑසනින් අඹේවෙළින් පිටවුණා නම් ඒ නිරීක්ෂණ වෙනුවෙන් වැඩි ඉඩකඩක් ලැබෙන්න තිබුණා. ඒත් එහෙමයි කියලා අපිට හමුවුණු පුංචි සත්තුන්ගෙත් වටිනාකමේ අඩුවක් තිබුණෙ නෑ. ඝ්‍රීන් ගර්ඩෙන් ලිzඅර්ඩ් නමින් හඳුන්වන පළාකටුස්සාත් තවත් ගෙඹි විශේෂ කිහිපයකුත් ගොළුබෙලි විශේෂයකුත් අපේ නිරීක්ෂණවලට නතු වුණා....

ටිකක් දුර යන කොට උඩු හුළඟත් එක්ක නාස් කුහර පුරෝගෙන එන යෝගට් සුවඳක් දැනුනා.... ඒ එක්කම දුම්රිය පාරේ දකුණු අත පැත්තෙන් සුදු පැහැති විශාල උස් ගොඩනැඟිල්ලක් ඇස් මානෙට මතුවුණා.... ඒ තමයි රටටම හයිලන්ඩ් කිරි නිෂ්පාදන සපයන මිල්කෝ කර්මාන්ත ශාලාව. අතීතයේ හොඳ නිෂ්පාදනයක් කෙරුණත් වත්මනේ නම් තරඟකාරී නිෂ්පාදන රාශියක් සමඟ පොරබදිමින් කලින් කලට පත්වන රජයයන්වල ඇමැතිවරුන්ගේ තීරණ මත අබල දුබලව ක්‍රියාත්මක වෙන මිල්කෝ ආයතනය නවීකරණය වෙමින් පවතින බවක් තමා පෙනුනේ. කටට කෙළ උනන කිරි සුවඳට ඉව අල්ලමින් උස් වැටකින් දුම්රිය පාරට සිමාවුණු මිල්කෝ නිෂ්පාදනාගාරය පහුකරගෙන ආවා.... ආයෙමත් අපි ඉදිරිපිට මහරත්මල් යායක්.....

Rhododendron arboreum යන විදු නමින් හඳුන්වන මහරත්මල් පිපෙන්නේ අවුරුද්දේ එක කාලයකට විතරයි. ඒ මැයි ජූනි මාසවල..... මහරත්මලේ උප විශේෂ කිහිපයකුත් තියෙනවා.... පොදුවේ මහරත්මල ලංකාවට ආවේණිකයි. මධ්‍යම පළාත් පුෂ්පය වන මහරත්මල මුහුදු මට්ටමේ සිට මීටර් 1700 - 2300ට වඩා උසින් පිහිටි හෝර්ටන්තැන්න, ඔහිය, පට්ටිපොල, සීතාඑළිය, සඳතැන්න ආදී නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවල හොඳින් වැඩෙනවා. නිතර ලැව් ගිනිවලට ලක්වෙන හෝර්ටන් තැන්නේ එම ගිනිවලට ඔරොත්තු දෙමින් නැවත නැවත වැවෙන මහරත්මල ශාකයේ පත්‍ර මිලිමීටර් 110 -50 ඝනකමින් යුතු වන අතර පත්‍රවල යටිපැත්තේ දුඹුරු පැහැ කෙඳි දකින්න පුළුවන්.

මහරත්මල් ගොමුව පසුකරන විට තරමක් ළඳු සහිත ප්‍රදේශයක්.... වේලාව උදේ දහය වෙද්දිත් ළා හිරු එළියට වියළි නොගිය පින්නෙන් පිරුණු මීවන පඳුරු යායක් දුම්රිය පාර අයිනෙම හැදිලා තිබුණා. අපි ඉදිරියෙන් වූ වන ගොමුවෙන් අපිට මීටර් සියයක් විතර දුරින් විශාල කළු ගුළියක් රේල් පාර හරහා ක්ෂණයෙන් මාරු වුණා. වල් ඌරා, ගෝනා, දිවියා දෑසින් දකින්න හීන මවපු අපේ හීනය සැබෑවෙලාද කියන ත්‍රාසය මිශ්‍ර බැල්මෙන් එක තැන නැවැතුණු අපි තවත් තත්ත්පර ගණනාවක් හිටිවනම හිටියා. ටික වේලාවකින් වම් පස ගස් ගොමුවෙන් ඇසුණු "බුකුං බුකුං" නාදය අපේ ත්‍රාසය මකා හීන් හිනාවක්ද, ලැජ්ජාවක්ද සිත් තුළ ජනිත කළා....

"කළු වඳුරා" හඬ අවදි කළේ චමත්....

"මේකා ලංකාවට ආවේණිකයි" ආයෙමත් චමත්....

"ඒත් පුදුමය ඒක නොවෙයි - හැට පැන්නත් බිම යන්නෙ නෑ කියන වඳුරා රේල් පාර හරහා ගියේ බිම දිගේනේ...." මම කිව්වා....

අඹේවෙළ ඉඳන් දුම්රිය මාර්ගය දිගේ යද්දි ඊළඟට අපිට හමුවුණ සුවිශේෂී ස්ථානය තමයි, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පට්ටිපොළ ඔසු උයන. දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඔසු උයන් අතරින් විශාලත්වයෙන් තෙවැනි තැන ගන්න මෙම ඔසු උයන, අක්කර 25ක් විශාලයි.

කලින් වෙන්කරගෙන නවාතැන්ගත හැකි සංචාරක බංගලාවකින්ද සමන්විත මෙහි හෙළ ඔසු සඳහා භාවිතවන කඳුකර ශාක හා ජලජ ශාක ආදර්ශ වගාකර සංරක්ෂණය කර තිබෙනවා. අපේ අරමුණ ඔසු උයන නැරඹීම නොවුණු නිසා ඔසු උයන පසුකරමින් රේල් පාර දිගේ යන අපිට ඊළඟට දක්නට ලැබුණේ දිය පීල්ලක්. දේශීය විදේශීය සංචාරකයන් අතර ජනප්‍රිය මේ දිය පිහිල්ලට කියන්නේ "කූල් ගටර්" කියලා. නැත්නම් පට්ටිපොළ දිය පිහිල්ල කියලා. අපි එතැනින් එද්දි වේලාව උදේ 11ට විතර ඇති. එවෙලෙත් හෝර්ටන් තැන්න බලා යන සංචාරකයන් පිරිසක් දිය පිහිල්ල ළඟ නැවතිලා හිටියා....

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමඟ ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමඟ අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව මින්නේරියට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

 

ප්‍රදීප් 076 66 42 607 / 077 90 16 752

දුලිප් 0777 043 804 / 0759 043 804

සටහන - [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ] [email protected]

ඡායාරූප - Eternal Traveller වෙනුවෙන් [ඕදිත වනසිංහ සමඟ ශාලික මධුශංක]

මාතෘකා