ලෝකයේ දිගුම ගුවන් ගමනට හිමිකම් කියන කොග්ගල පුරවරයේ අසිරිය

 ඡායාරූපය:

ලෝකයේ දිගුම ගුවන් ගමනට හිමිකම් කියන කොග්ගල පුරවරයේ අසිරිය

 

නෙත පිනවන සුවහසක් සොඳුරු දසුන් අතරේ තවමත් ඔබේ නෙත නොගැටුණු සොඳුරු දසුන් කොතෙක් නම් ඇත්දැයි නිකමට හෝ ඔබට හැඟී තිබෙනවාද?

නෙතට රසඳුනක් වූ එවැනි අති සුන්දර මනස්කාන්ත පරිසරයක් තුළ එක දිගට දිවෙන මහා මාර්ග පහක් එකට එකතු වන අති දුර්ලභ ස්ථානයක් ගැනයි මේ සටහන. එම සුන්දර ස්ථානය දැකබලා ගැනීමට නම් ඔබ පිවිසිය යුත්තේ A-2 නැමැති කොළඹ-කතරගම මහා මාර්ගයේ ඓතිහාසික කොග්ගල පුරවරයටයි.

ගාල්ලේ සිට මාතර බලා යන ගමනේදී හබරාදූව මංසන්ධිය පසු කරන විටම ඔබට හමුවන්නේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශුරීන් විසින් ලියනු ලැබූ ඔබ නැවත නැවතත් කියවන ගම්පෙරළිය පොතේ පළමු පරිච්ඡේදයෙහි එන පීත්ත පටියක් සේ දිවෙනවා යැයි කියන ස්ථානයයි.

එහිදී ඔබේ නෙත එක්වරම ගැටෙන්නේ කුඩා කඳු ගැටයක් මත දිස්වන සුන්දර දෙවොලකි. ඒ අනෙකක් නොව හිරු සඳු ඇදහූ යුගයේදී මිනිසුන් විවිධ පුද පුජා පවත්වමින් හිරු දෙවියන් නැමදූ හිරුගල් දේවාලයයි. එවිටම ඔබ ළංවන්නේ මවිසින් පෙර සඳහන් කරනු ලැබූ ලොවේ වෙනත් තැනකින් බලාගත නොහැකි වනු ඇතැයි විශ්වාස කරන මාර්ග පහක් එකට එක්වන නමුත් එය එකවර ඇස නොගැටෙන අපූරු මංසන්ධියයි.

මේ තොරතෝන්චියක් නැතුව වාහන දිවෙන ඒ-2 මහා මාර්ගයයි. අපි කුඩා කාලයේ අඟුරු කකා වතුර බිබී යකඩ යකා කොළඹ දුවනවා යැයි කියූ රේල් පාරයි. සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් වගෙයි කියා මහින්ද හිමියන්ගේ කවි නෙතට රසඳුනක් වූ අහස් කුසින් දිවෙන ගුවන් මාර්ගයයි. ක්‍රිස්තු පුර්ව යුගයේ සිටම චීන හා අරාබි ජාතිකයන් සිය නාවික වෙළෙඳ මාර්ගයක් කරගත් සේද මාර්ගයක් වැටී තිබූ ජාත්‍යන්තර මහා නාවික මාර්ගයයි. මේ සියල්ලෙන්ම බේරි නිවී සැනසිල්ලේ එහා මෙහා යන්නට හැකිවන සේ හදා ඇති මගී මහ පාරයි. අනාදිමත් කාලයක සිට එකට එකතු වන, එකට මුණ ගැසෙන එදා සිට මෙදා දක්වා එකිනෙකට ඇනකොටා නොගත් මේ සුන්දර මංසන්ධිය ඔබ විසින්ද දැකබලා ගත යුතු ස්ථානයක් බව නම් නොකියාම බැරිය.

මේ පස් මහා මංසන්ධිය එසේ මෙසේ මංසන්ධියක් නම් නොවන්නේමය. එහි අපූර්වත්වයට තවත් වටිනාකමක් එක් කළ අපුරු සිදුවීමක්ද වේ. එනම් ලෝකයේ මෙතෙක් දිගුම ගුවන් ගමන සිදුකර ඇත්තේද මේ කොග්ගල සිටය. එය බොහෝ දෙනකු නොදන්නා කරුණක් බවට සැක නැත. දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පාක්ෂික හමුදා ගුවන් යානයක් මෙම කොග්ගල ප්‍රදේශයේ සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දක්වා එක දිගට ගමන් කර ඇති අතර එය ලෝක වාර්තාවක් වී ඇත්තේය. මෙහි ඇති ආගමික, සංස්කෘතික, සමාජමය සහ සංස්කෘතිකමය වටිනාකම් මෙන්ම ඓතිහාසික වටිනාකම්ද පසක් කර දෙන්නේ ඒවා මෙතැනින් හැර දිවයිනේ හෝ ලොව වෙනක් කිසිදු ස්ථානයකින් දැකගත නොහැකි බවය.

හෙළදිව වර්තමාන මහා සාහිත්‍ය සංස්කෘතික පුනරුදයේ ගිනි පුළිඟුව මතුවුණේ සව්සත්දම් වාදයෙනි. එම වාදයේ තිඹිරිගෙය මතුකළ කොග්ගල ගුරුන්නාන්සේ නොහොත් කොග්ගල පඬිතුමාගේ උපන් නිජ භුමිය පිහිටියේ මේ ඉදිරිපස බිම්කඩකය. එපමණක් නොව ලංකාවේ පළමු අමද්‍යප ව්‍යාපාරය ඇරඹූ කොග්ගල පියදිගමගේ අබන්චි ද සිල්වා මහතාගේ නිවස ඇත්තේද මෙම හන්දිය ඉදිරියෙනි. එපමණක් නොව මෙරට බුදු සසුනෙහි උපසම්පදාව නැතිවී ගිය යුගයක එය නැවත ඇතිකිරීම සඳහා කොග්ගල ධම්මානන්ද හරුමල්ගොඩ නාහිමියන් ඇතුළු පස් නමක් උපසම්පදාව රැගෙන ඒම සඳහා බුරුම රටට ගියේ මේ මංසද්ධිය පිහිටි ස්ථානයේ ඇති ඉපැරැණි කොග්ගල වරායෙනි. එපමණක් නොව එදා දෙවන ලෝක යුද්ධයේදී ජපනා ලංකාව ආක්‍රමනය කරන්නට ආ ගමනේදී ඒ බවට පළමුව ඔත්තුව දෙනු ලැබුවේද මේ ගුවන් තොටුපොළින් ඔත්තු බැලීමට උඩු ගුවනට ගිය මිත්‍ර පාක්ෂික හමුදාවේ බර්චෝල් නම් සෙනවියා විසිනි. එදා ඔහු ඒ ඔත්තුව මේ කොග්ගල සිට ලබා නොදුන්නේ නම් ජපනා අපේ රට අල්ලාගෙන ඉන්දියන් සාගරයම දිග් විජය කොට මුළු ලොවම නාසිවාදයට යටත් කරගන්නට වුවද බැරි කමක් නොතිබිණ. ඒ අනුව බලන කළ දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂය වුයේද මේ පස්මහා හන්දිය බව සිහිපත් කළ යුතුය.

අපේ රට විශ්ව සාහිත්‍යයට එක්කොට ඒ තුළින් සමස්ත ලෝකය පුරාම ශ්‍රී ලංකාව යන නාමය පතළ කළ කොග්ගල මහා ප්‍රාඥයාගේ නිවස ඇත්තේද මේ මේ මනරම් ඓතිහාසික පස්මහා හන්දිය කේන්ද්‍ර කොටගෙන බව මුලින්ද සඳහන් කළෙමි. එපමණක් නොව මේ කොග්ගල ආශ්‍රිත භුමි භාගය තරම් උගතුන්, වියතුන්, මහා සාහිත්‍යධරයන් සහ කවියන් බිහිකළ වෙනත් ගමක් මේ ප්‍රදේශයේ නැති බව අපගේ විශ්වාසයයි. එමෙන්ම ලංකාවේ ඇති එකම ජන කෞතුකාගාරය වන මාර්ටන් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයද මෙම චාරිකාවේදී ඔබට දැකබලාගත හැකි වටිනා ස්ථානයකි.

මෙම සුන්දර ඓතිහාසික ස්ථානය වඩාත් සුන්දර කරන කුරුළු දූව, මඩොල් දුව වැනි දූපත් සමුහයක් ඇති ඓතිහාසික කොග්ගල පුරවරයේ වටිනාකම කියා නිමකළ නොහැකිය. මෙවැනි ස්වාභාවික දූපත්වල සංචාරය කරන ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ එම ස්ථානවල තිබෙන අලංකාරයට සහ ස්වාභාවිකත්වයට හානියක් නොකර දෙනෙතින් පමණක් එහි සුන්දරත්වය විඳගැනීමටය. එසේ කළහොත් අපගේ අනාගත පරපුරටද මෙවැනි සුන්දර ස්ථාන දැකබලා ගැනීමේ අවස්ථාව නිතැතින්ම හිමිවනු ඇත.

[නන්දසිරි වැලිගමගේ] ගාල්ල දිසා සමුහ

 

මාතෘකා