සබරගමුවට නම දුන් පීලිතුඩ ඇල්ල

 ඡායාරූපය:

සබරගමුවට නම දුන් පීලිතුඩ ඇල්ල

 

අත්වැල්තොට කළුතර දිස්ත්‍රික්කයේ ඇති සුන්දර ගම් පියසකි. කළුතර දිස්තික්කයත් රත්නපුර දිස්ත්‍රික්කයත් වෙන්වන සීමාවේ එනම් බස්නාහිර පළාතත් සබරගමු පළාතත් වෙන් කෙරෙන පළාත් සීමාවේ මේ ගම පිහිටා ඇත. මතුගම සිට රත්නපුර දෙසට ගමන් කරන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇරඹුමත් කළුතර දිස්ත්‍රික්කයේ අවසානයත් සනිටුහන් වන්නේ අත්වැල්තොට ග්‍රාමයේ කෙළවරිනි. අතීතයේදී ඉතා ඉහළ වන ගහනයකින් යුතු වූ අත්වැල්තොට වර්තමානයේදීත් සැලකිය යුතු තෙත් කලාපීය වනාන්තරයන්ගෙන් සුසැදි බිම් කඩකි. එමෙන්ම මේ වනාන්තර මෙරට ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තර සේ සැලකේ. අත්වැල්තොට සිට වන මං ඔස්සේ සිංහරාජය වෙත පිවිසීමේ හැකියාව අදටත් පවතී.

අත්වැල්තොට පීලිතුඩ ඇල්ල මේ ගම්මානයට ඇති සොබාදහමේ තිළිණයකි. පීලි තුඩක ස්වරූපය සිහි ගන්වමින් ගලා හැලෙන නිසා මෙය "පීලිතුඩ" ඇල්ල සේ නම් ලබා ඇත. පසුගිය වසරේ සිදු වූ විශාල නාය යෑමකින් අත්වැල්තොට ඇල්ලට දියවර සපයන දිය දහරට බාධා සිදුවුවද වර්තමානයේදීත් අත්වැල්තොට පීලි තුඩ ඇල්ලේ සුන්දරත්වය පහව ගොස් නැති වග එහි යනෙන කාහට වුවත් දක්නට ලැබෙයි. මිනිසාට සිදුවන මහ විපත්වල කටුක මතකයන් කාලයාගේ ඇවෑමෙන් සුවපත් වන්නා සේම සොබාදහමට ස්වාභාවිකව සිදුවන මහ විනාශයන්ද කාලයාගේ ඇවෑමෙන් සුවපත් වන්නේ ලෝ දහමට අනුකූලවය. නාය යෑමෙන් පසුත් පීලිතුඩ ඇල්ල අදටත් ගලා හැලෙන්නේ මේ දිය දම්වලට එකඟවය.

අත්වැල්තොට පීලිතුඩ ඇල්ල නිමවන්නේ අත්වැල්තොට ගඟ ලෙස නම් ලද මහ ජලකඳක් ගල්තලාවකින් ගලා හැලීමෙනි. විශාල තටාකයක් බඳු කොටසක නිසොල්මනේ ගලා එන දිය දහර එක්වරම තටාකයේ දකුණු කෙළවරින් පහළට ගලා හැලීමෙන් මේ දිය ඇල්ල උපත ලබයි. එසේ ගලා හැලෙන දිය දහර ශෛලමය දොරුවක් දිගේ මීටර් දහයකට ආසන්න දුරක් ගලාවිත් යළි පොකුණක් බඳු දිය තටාකයක ලැගුම් ගනී. දිය ඇල්ල ගලා හැලීමෙන් ඇතිවන සිහින් පිනි සළුව සුළඟේ විසිරී යන්නේ අවට වන පෙත මේ සුසිනිඳු පිනි සළුවේ දවටා ගැනීමෙන් අනතුරුවය. ඇල්ල ගලා හැලීමෙන් අනතුරුව යළි දිය දහර ගලා එන දිය තටාකය රත් වී ඇති තෙල් බඳුනක් සිහියට නංවයි. එහි නැගෙන සුදු පෙණ කැටි දිය ඇල්ල නිර්මාණය වූ දා සිට අද දක්වාම නොනැවතී නැගී බිඳෙයි.

දිය ඇල්ල ගලා හැලීමෙන් පසු දිය දහර ගලා එන පෙර සඳහන් කළ පෙණ කැටිවලින්ම සුසැදි ගල් පොකුණ "පෙණ වල" ලෙස හැඳින්වෙයි. ඉන් පසුව දිය දහර බෑවුමැති නිම්නයක් ඔස්සේ ගලා යයි. මේ ශෛලමය නිම්නයේ කිලෝමීටරයක දිගින් යුතු කොටසේදී දිය දහර ශෛලමය පොකුණු කිහිපයක ලැගුම් ගනී. මේ පොකුණු ඒවායේ හැඩයට අනුකූලව නම් ලබා ඇති සැටියෙන් ශිෂ්ටාචාරයේ අතීත හිමිකරුවන්ගේ අවියෝජනීය පාරිසරික බැඳීම කෙතරම්ද යන වග මනාව පැහැදිලි වෙයි. පිළිවෙළින් පෙණ වළ, පොකුණේ වල, ඔරු වළ ,ලාච්චු වළ, බේසම් වළ, යකුන්ගේ වල ආදී ලෙස මේ දිය තටාක නම් ලබා තිබේ. ”ලාච්චු වළ” නැමති ස්ථානය සොබාදමේ සුවිශේෂී නිමැවුමකි. ගල් තලාව දිගේ ගලා එන දිය දහර ස්වාභාවිකව නිමවු ගල් ලාච්චුවක් බඳු කොටසක් තුළට ගලා හැලේ. මේ නිසා එය ලාච්චු වල ලෙස වහරට එක්ව ඇත.

පෙණ වලට පහළින් ඇති “පොකුණේ වළ” සුවිශේෂී ස්ථානයකි. පොකුණේ වළ අතීතයේ මෙහි පාලකයා වූ වීදිය බණ්ඩාර විසින් ජලස්නානයට යොදා ගත් ස්ථානයක් බවට ජන විශ්වාසයක් වෙයි .මේ පොකුණ දිය දහර සුලලිතව ගලන සමයට ළා කොළ පැහැති පළිඟුවක් සේ බබළයි. උදා හිරු කිරණ වැටී බබලන මේ පළිඟුවේ නෙත තවරන යම් කෙනකු වේද හෙතෙම සිය නෙතෙහි වන යම් දොසක් වේ නම් එය ඒ මොහොතේම දුරු කර සුවපත් බවට පත්වන්නේය යන සිතිවිල්ල ඒ මොහොතේ මසිතට නැගිණ.

මේ පොකුණේ වළ සීමා වන එක් ගං ඉවුරු කොනක සෑදුණු සුවිශේෂී ගල් පර්වතයකි. එම පර්වතයේ ඇති ගුහාවක් තුළ වීදිය බණ්ඩාර කුමරුගේ ආරක්ෂකයන් රැඳී සිටි වග ජනප්‍රවාදයෙහි සඳහන් වෙයි. පසු කලෙක මෙහි තිබී තුවක්කුවක් හමු වූ වගත් එය වීදිය බණ්ඩාර යුගයට අයත් වූවක්ය යන අදහසත් පවසන පැරැන්නෝ අදටත් මේ ගම්මානයේ වෙසෙති.

එමෙන්ම පීලි තුඩ ඇල්ලට පහළින් වන දිය දහරේ එක් ස්ථානයක තිබී ගැමියකුට පැරණි කුඩා සෙම්බුවක් ලැබුණු බවත් එය ඔහු සතුව තබා ගැනීමෙන් ඔහුට විවිධ උපද්‍රවයන්ට මුහුණ පෑමට සිදුවූ වගත් මා සමග පැවසුවේ පීලි තුඩ ඇල්ල ආසන්න ගමක් වන අඹේගොඩ විසූ ගැමියෙකි. පසුව මේ උපද්‍රවයන්ගෙන් මිදීමට හෙතෙම ඒ සෙම්බුව ඇල්ල ආසන්නව ඇති විහාරස්ථානයකට ගෙනැවිත් බාරදුන් වගටත් ප්‍රවාදයක් පවතී.

පීලි තුඩ ඇල්ල වාර්ෂිකව නර බිල්ලක් ගන්නා බවට අත්වැල්තොට මෙන්ම අවට ගම් තුලානවලද පැතිරී ඇති විශ්වාසයකි. ඇල්ලට වැටී අනතුරට පත් ජීවිත ගණනද මේ වන විට දහය ඉක්මවයි. ඇල්ලේ සුන්දරත්වය විඳින අටියෙන් ඇල්ල අසලට ගොස් අනතුරට පත් වූවෝ මෙන්ම ඇල්ලට ඉහළ තටාකයේ දිය නෑමට ගොස් අනතුරට ලක්වූවෝද වෙති. මෙය බොහෝ විට මත් වතුර පානයෙන් අනතුරුව සිදුකරන අපරික්ෂාකාරී කටයුතු හේතුවෙන් සිදුවන අනතුරු බව ඒ පිළිබඳව සොයා බැලීමෙන් වටහා ගත හැකිය.

අත්වැල්තොට පීලි තුඩ ඇල්ලේ බිලි ගැනීම පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමට මා පෙලඹුණේ ගමේ අයකු කිසිදා ඇල්ලට බිලි නොවේය යන අදහස ගම්මු තුළ වන බැවිනි. ඇල්ල ගලා හැලීමෙන් පසු දිය දහර ගලා එන ශෛලමය කොටස "ඇලිමුණ"ලෙස ගම්මු හඳුන්වති. මේ ඇලිමුණ අසලින් නියං සමයට නැගෙන “ඇල්ල කෑ ගැසීමේ හඬ" බිලි ගැනීමට සූදානම් වගට පෙර ඉඟියකැයි ගම්මු විශ්වාස කරති.

එහෙත් "ඇල්ල කෑ ගැසීම” යනු ඇල්ලේ හඬ වෙනස් වීම බව මම අත්දැකීමෙන් අවබෝධ කර ගතිමි. නියං සමයට දිය ඇල්ල ශෛලමය දොරුවට ගලා හැලීමෙන් මේ කෑ ගැසීම ඇති වේ. නියං සමයට දිය දහර ගලා යන නිම්නයේ ප්‍රතිවිරුද්ධ දෙසට හමා යන සුළං ධාරා දිය ඇල්ලත් එය ගලා එන දොරුවේත් ගැටීමෙන් ඇති වන හඬ ඇල්ල කෑ ගැසීම සේ හැඳින්වේ. මෙවන් නියං සමයට පිට පළාත්වලින් පැමිණෙන මේ පරිසර පද්ධතිය පිළිබඳව අවබෝධයක් නැති පිරිස් මෙහි ස්නානය කරති. එවන් අයකු නොදැනුවත්වම දිය ඇල්ලේ ඇළි හිස මත වන තටාකයේ කෙළවරට ගසාගෙන එයි. එවන් විටෙක ඇළි හිස මත වන දිය දහරේ පීඩනය දරා සිටීමට කිසිවකුත් සමත් නොවේ. දිය දහරේ ගසා ගෙන යන ඔහු ඇළි හිස මුදුනින් පහළට ඇද වැටේ. මේ සංසිද්ධිය පිළිබඳව ගම්මු වඩා සංවේදී වෙති. ඇල්ලේ කෑ ගැසීම ඔවුනට වඩා ප්‍රවේශම් වීමට කරුණකි. මේ පරිසර සංවේදීත්වය ඔවුන් අනතුරින් මුදාලන ප්‍රබලතම සාධකයයි.

අත්වැල්තොට ඇල්ල පිළිබඳව තතු විත්ති විමසා බැලූ විට ඒ හා බැඳි රසවත් තොරතුරු රැසක් මට හමුවිය. එකල මේ ඇල්ල අවට සුරඟනන් විසූ බවත් දිනක් මේ සුරඟනන් දිය කෙළියට මෙහි සපැමිණි වගත් සඳහන් වන ජනශ්‍රැතියකි. සුරඟනන් දිය කෙළියට වන් කළ කිලිටි වූ කාන්තාවක දියට බැසීමෙන් දිය දහර අපිරිසුදු විය. සුරඟනෝ වහා අතුරුදන් වූහ. දියට බට කාන්තාව දියේ ගසාගෙන ගියාය. මේ සිදුවීමන් පසු පීලි තුඩ ඇල්ල බිලි ගන්නා ඇල්ලක් බවට පත්වූයේ එසේය. එදා මේ සුරඟනෝ දිය කෙළියට බට ස්ථානයේ තම ආභරණ උනා තැබූහ. කාන්තාව බැසීමෙන් අපිරිසුදු වූ දිය දහර වේගයෙන් ගලා විත් මේ අභරණද දියෙහි පාව යන්නට විය. එදා ඒ පාව ගිය අභරණ හමුවී ඇත්තේ සබරගමුවෙනි. ජනප්‍රවාදයට අනුව එදා "අභරණ හමුව" අද "සබරගමුව" සේ වහරට එක්ව තිබේ.

චන්ද්‍රසේන සමරනායක මේ ඇල්ල අසලදී මට හමු වූ ගැමියෙකි. හෙතෙම මේ ඇල්ල හා බැඳුණු රසවතෙකි. ඇල්ලත් ඒ පිළිබඳව වග විත්තිත් අතැඹුලක් සේ කියන්නට ඔහු සමතෙකි. චන්ද්‍රසේන විසින් කලකට ඉහතදී ඇල්ල පිළිබඳව ලියන ලද කවි කිහිපයකින් හෙතෙම මට සංග්‍රහ කළේ සිය කවි පිළිබඳව වන සියුම් ආඩම්බරයකින්ද යුතුවය.”බලා ඉන්න බැරි සිත බීතවනා - ගල ගලා එන්නේ ජල කඳ වේගයෙනා - සිත ලොලා වඩන මේ ඇල්ලේ වරුණා -කොයි කලා කියා නිම කරනුද ඉතිනා" යනු ඉන් එක් කවියකි.

අත්වැල්තොට අවට වනපෙත තවමත් විදු ලොවට නව සොයා ගැනීම් එක් කළ හැකි ඉසව්වකි. දීපාල් වරකාගොඩ විසින් විදු ලොවට හඳුන්වා දුන් "පඬුවන් බස්සා" ලොවට අනාවරණය වූයේ අත්වැල්තොට වන වියනෙනි. එබඳු වටිනාකම්වලින් යුතු තවත් ශාක හා සත්ත්ව විශේෂ මේ වන පෙතේ කොතෙකුත් සැඟව ඇතුවාට සැක නැත.

නමුත් කනගාටුවෙන් වුවත් කිව යුතු කරුණක්ද තිබේ. එම පක්ෂියා ලොවට හඳුන්වා දුන් මුල් කාලපරිච්ඡේදයේදී මෙහි පැමිණි ඇතැම් දේශීය සංචාරකයන් "අර මේ පැත්තෙන් ඇල්ලුවයි කියන බකමූණා කොහිදැයි?" මෙහි වෙසෙන ගම්මුන්ගෙන් විමසූ අවස්ථා නැතුවාම නොවේ. එම බස්සා බලන්නට දිවා කල ඔවුන් පැමිණ ඇති සැටි අපූරු යැයි මේ සිදුවීම පිළිබඳව අත්වැල්තොටදී ගැමියකු පැවසුවේ තරමක උපහාසයකින්ද යුතුවය.

ශිෂ්ටාචාරය විසින් පවරන ලද මේ සොබා උරුමයන්ගේ වර්තමාන බාරකාරිත්වය උසුලන්නේ වර්තමාන පුරවැසියන් වන ඔබත් මමත්ය. එබැවින් අප මෙකී සොබා උරුමයන් සුරක්ෂිත කළ යුත්තේ. මතු පරපුරේ පැවැත්ම සඳහා පමණක් නොව අපගේ පැවැත්ම උදෙසාද මේ සොබා සම්පත් සුරැකීම කාලීන අවශ්‍යතාවක් බවට පත්වී තිබෙන නිසාය.

සටහන හා ඡායාරූප [දුමින්ද ජයවර්ධන]

මාතෘකා