සිවුරුත් ඇන්ද සමන් දෙව් අඩවිය පාමුල යෝධ නවද ගස

 ඡායාරූපය:

සිවුරුත් ඇන්ද සමන් දෙව් අඩවිය පාමුල යෝධ නවද ගස

 

සබරගමු පළාත හා බස්නාහිර පළාත එකිනෙක වෙන්වන සීමාව

සොබාදහමේ අපූවත්වය විදහා දක්වන සුන්දර ඉසව්වකි. අගලවත්ත, බදුරලිය, අත්වැල්තොට, කලවාන හරහා ‍ගොස් රත්නපුර තිරිවානකැටියේදී බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හා එක්වන B 421 මාර්ගය එම සුන්දරත්වය ලොවට කියා පාන්නාවූ කැඩපතක් බඳුය. මාර්ගයේ වැඩි කොටසක් වන ගහනයෙන් වැසී තිබෙන මෙම මාර්ගයේ ගමන් කිරීමට සංචාරකයන් දක්වන්නේද දැඩි කැමැත්තකි. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් අත්වැල්තොට පසුකර සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය වෙත පිවිසෙන විටම මුණ ගැසෙන කොඩිප්පිලිකන්ද ශ්‍රී සුමන සමන් දේවාලය අසලින් සමන්දෙවි අඩවියට පිවිසෙන සියලු දෙනාම පාහේ තම ගමන මොහොතකට නවතා සමන් දෙවි ආශිර්වාදය ලබා ගැනීමට අමතක නොකරයි. දේවාලයේ අනෙක් පස පිහිටි කඳු ගැටයෙන් ඇද වැටෙන කුඩා දිය ඇල්ල සබරගමුවට ඇතුළුවන්නන් හට සබරගමුව පළාත තුළදී විඳිය හැකි සුන්දරත්වය පිළිබඳ ඉඟිකරමින් පාර හරහා ඇති පාලම යටින් සමන් දේවාලය පසුකර ගලා යයි.

මෙම සමන් දේවාලය නුදුරින් මහා මාර්ගය පසෙක ඇති සුන්දර විසල් වෘක්ෂයක් ගසක වටිනාකම රටට කියාදුන් මිනිසුන්ගේ ගුණ සිහිගන්වමින් නිසොල්මනේ බලා සිටී. කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 195 - E කොඩිප්පිලි කන්ද ග්‍රාම නිලධාරී වසමට අයත් අම්බලමහේන ගම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටන සමන් දේවාලය සහ දැවැත්ත වෘක්ෂය සබරගමු පිවිසුමේ අනන්‍යතාව වී තිබේ. මෙම දැවැත්ත වෘක්ෂය Shorea stipularis යන විද්‍යාත්මක නමින් හඳුන්වන “නවඳ” ශාකයකි. ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂයක් වන නවද ශාක ඉතා ඍජු කඳක් සහිත ඉතා උස්ව වර්ධනය වන විශේෂයකි. මෙම යෝධ නවද ගසද මෙරට හමුවන විශාලම ශාක අතරින් එකක් ලෙස සැලකේ. අඩි 300ක පමණ උසකින් යුත් මෙම ශාකයේ පාමුල වටප්‍රමාණය ආසන්න වශයෙන් වට අඩි 15ක පමණ වටප්‍රමාණයකින් යුක්ත වේ. මෙම ශාකය ජෛව විද්‍යාත්මක වශයෙන් පමණක් නොව පරිසර සහ ශාක සංරක්ෂණය පිළිබඳව මෙරට සමාජයට නව සංස්කෘතියක්ද දායාද කළ ශාකයකි.

අතීතයේදී සමන් දේවාලය හා නවද ගස පිහිටි මාර්ග අංක 482 මතුගම - කලවාන ප්‍රධාන මාර්ගය එතරම් සංවර්ධිත මාර්ගයක් නොවූ නමුත් බස්නාහිර හා සබරගමු පළාත් යා කරන ප්‍රධාන මාර්ගයක් විය. මේ නිසා මෙම මාර්ගය භාවිත කළ පිරිස ක්‍රමයෙන් ඉහළ ගිය බැවින් මෙම මාර්ගය පුළුල් කොට සංවර්ධනය කිරීමේ කටයුතු 1998 වසරේදී ආරම්භ වූ අතර මාර්ගය පුළුල් කිරීමට යෝජිත සීමාවට යෝධ නවද ගසද අයත්වූ බැවින් එය කපා දැමීමට තීරණය විය. මෙවන් වටිනා දැවැන්ත ශාකයක් කපා දැමීමට එරෙහිව පරිසර හිතකාමීන් විරෝධයක් දැක්වුවද එම විරෝධය නොතකා ගස කපා හෙළීමට සූදානම් වී තිබේ. මෙම අවස්ථාවේදී එයට විරුද්ධ වූ කීරන්තිඩියේ පඤ්ඤාසේකර නම් භික්ෂූන් වහන්සේ නමක් ගසට සිවුරු අන්දවා මෙම නවද ගස භික්ෂූන් වහන්සේ නමක් පැවිදි කරන අයුරින් පැවිදි කරවා තිබේ.

භික්ෂූත්වයට සහ සිවුරට මෙරට සමාජය තුළ විශාල ගරුත්වයක් හිමිව තිබෙන අතර ගසක් පැවිදි කළ විටද එම ගසටද භික්ෂුන් වහන්සේ නමකට දැක්විය යුතු ගෞරවය සහ පිළිගැනීම ලබාදීම මගින් ගිහියන් සිව්පසයෙන් භික්ෂුන් වහන්සේලාට ඇප උපස්ථාන කරනවා මෙන්ම මේ ගස්වලට එන කරදර හිරිහැරවලින්ද ගස ආරක්ෂා කරගැනීම සිදුවිය යුතු බව ඒත්තු ගැන්වීම මෙම ගස් පැවිදි කිරීමේ අරමුණ විය. සිවුරට අත තැබීම බරපතල පාපයක් බව සිංහලයන් අතර විශ්වාසයක්ද පැවතුණු අතර මේ නිසා ගස කැපීමේ අදහස අත්හැර ගසට හානියක් නොවන ලෙස මාර්ග සංවර්ධන කටයුතු සිදුකර තිබේ. යළිත් වරක් 2016 වසරේදී මෙම මාර්ගය පුළුල් කොට කාපට් අතුරා සංවර්ධනය සිදු කිරීම කළ නමුත් එය සිදුකිරීමේදීද ගස ආරක්ෂා වන අන්දමින් සිදු කොට තිබේ.

මේ ආකාරයට ගස් පැවිදි කිරීමක් මෙරට සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර එය මෙරට ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවකි. මෙලෙස ගස් පැවිදි කිරීමේ සම්ප්‍රදායක් මෙරට නොපැවති නමුත් තායි බෞද්ධ ස්‌වාමීන් වහන්සේලා විසින් ගස් පැවිදි කිරීමේ සිරිත පවත්වා ගෙනු ලබයි. මෙම අවස්ථාවේදී එම සම්ප්‍රදාය අනුගමනය කරන්නට ඇති බව සැලකේ. පසුව 2008 වසරේදී මාර්ග පුළුල් කිරීමේදී කැපීමට නියමිතව තිබූ බදුලු නගර මධ්‍යයේ ඇති රත්හඳුන් ගස බේරා ගැනීම සඳහාද මෙවැනි ගස් මහණ කිරීමක් සිදුවී ඇති අතර 2014 වසරේ නිල්ගල වනාන්තරයට තර්ජනය එල්ල වූ අවස්ථා වේදී එහි තිබූ ගස් මහණ කිරීම මගින් එම වනය බේරා ගැනීමට හැකිවිය.

Cnemaspis molligodai යන විද්‍යාත්මක නමින් හඳුන්වන “මොල්ලිගොඩගේ දිවාසැරි හූනා” නම් හූනු විශේෂය විද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා මෙම ගසේ ජීවත්වන ගහනය පාදක වූ සඳහන්වේ. මෙවැනි ඓතිහාසික හා ජෛව විද්‍යාත්මක වටිනාකමක් සඟවා ගත් මෙම නවද ශාකය පළාත් මායිම හරහා ගමන් කරන්නන් හට ඉතා පරිසර සංරක්ෂණය වැදගත් පාඩමක් කියා දෙමින් සිටියි. සමන් දේවාලය ඒ සඳහා ආශීර්වාදය ලබාදෙයි. මෙම ජෛව විද්‍යාත්මක සංස්කෘතික උරුමය සදාකල් රැකගැනීම අපගේ යුතුකමකි.

[අසිරු කරුණාරත්න]

මාතෘකා