ඇස් සරසන හිත සනසන දකුණු ලකේ අසිරිය

 ඡායාරූපය:

 ඇස් සරසන හිත සනසන දකුණු ලකේ අසිරිය

"ශ්‍රී ලංකාව ඉන්දීය වෙරළාසන්නයෙහි පිහිටා ඇති ඒ පරම රමණීය සුන්දර දිවයින, මහාද්වීපය නමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බිඳුවක් ලෙසින් ශ්‍රී ලංකාව සිතියම මත සිත්තම්ව ඇත. ශ්‍රී ලංකාවේ නොයෙක් අපූරු දේ ඇත. වඳුරන්, අලි-ඇත්තු, කෙසෙල්, මුළු ලොවෙහි ම ඇති හොඳම තේ, එතනින් ගියාම නන්විධ පලතුරු, ගස්වැල් එහි ඇති දේ නිමක් නැත්තේ ය. එහෙත් වැදගත්ම දෙය නම් ශ්‍රී ලංකාව උණුසුම් රටක් වීමයි. කොතරම් උණුසුම්ද කිවහොත් මුළු වසර පුරාම කිසිම දිනක සීතලේ ගැහෙන්නේ නැතුව ජීවත්විය හැක. හිම සපත්තු, හිම වැසුම් උණුසුම් පාවහන්, හිම කබා මේ කිසිවක් අවශ්‍ය නැත. උණුසුම ලබනු සඳහා දරද අවශ්‍ය වන්නේ නැත. මොන තරම් අපූරු ප්‍රීතිමත් ජීවිතයක්ද? ඕනෑම තැනක කැමති විදියට ඇවිදින්න, සක්මන් කරන්න, හිරු රැසින් නැහැවෙන්න, උණුසුම වැඩි නම් හෙවණකට ගොස් දාහය නිවන්න, ශ්‍රි ලංකාවේ දවාලත් රැයත් එක සේ උණුසුම් ය.”

ශ්‍රී ලංකාව ගැන ඒ විවිත්‍රවත් හෘදයාංගම වර්ණනාව හමුවන්නේ චිංගීස් අයිත්මාතව් විසින් රචිත ‘ද අර්ලි ක්‍රේන්ස්’ නම් කෘතිය, ඩබ්ලියු. ඒ. අබේසිංහයන් විසින් සිංහලට පරිවර්තනය කරන ලද ‘වේලාසන කොක්කු ඇවිත්’ නමැති කෘතිය තුළින්ය. සේද මාවතේ පිහිටි රමණීය දිවයින වූ ශ්‍රී ලංකාව ගැන ඒ මනස්කාන්ත වර්ණනා කියවන විට දේශානුරාගී හැඟීම්ද නිතැතින්ම අවදිවන්නේය. සුන්දරත්වයෙන් අනූන දිවයිනක් ලෙස වරින් වර ලෝ ප්‍රකට වීමේ භාග්‍යයද නිතැතින්ම හිමිකරගත් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස සහ 2019 වසරේ සංචාරයට ඔබින අංක එකේ රට ලෙස නම්කරනු ලැබිණි. ඉන් නොනැවතී ලොව සියලු රටවලට සාපේක්ෂව කොළඹ නගරය 2019 වසරේදී ඡායාරූපගත වීමේ ඉහළ අවධානයක් සහිත නගරය හෙවත් "ෆොටෝජෙනික්"නගරය ලෙසද පසුගියදා නම් කරනු ලැබිණි.

ලක්මවගේ සුන්දරත්වය ගැන එසේ ඇගයුමට ලක්වද්දී "අප නොදුටු අපේ රටේ ලස්සන කොතරම් ඇත්ද?" යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. සත්තකින්ම අප නොදුටු, නොගිය ඉසව් කොතෙක් නම් සිරිලක පුරා තිබිය හැකිද? ජීවිත කාලය තුළ තමන්ගේ රටේ ලස්සනවත් දැකබලා ගත නොහැකි නම් අසන්නට වන්නේ "ඒ දෑස් කුමකටද?"කියාය.

සිරිලක සොඳුරු තැන් සොයායන ගමනේ පළමු පියවර ලෙස අපි ඔබ ගෙනයන්නේ දකුණු ලකටයි. දකුණ කී පමණින් බොහෝ දෙනකුට 'ගාල්ල' නගරය සිහිවුවත් දකුණට ගාල්ල , මාතර, හම්බන්තොට ප්‍රධාන දිස්ත්‍රික්ක තුනම අයත් වනවා. ඒ සුවිසල් පුරවරයේ තිබෙන සුන්දර ස්ථාන දැකබලාගැනීමේ සෞන්දර්යාත්මක චාරිකාවට ඔබත් හවුල්කරුවකු වන්න.

දකුණේ වෙරළ තීරයේ සුන්දරත්වය ගැන කිසිම විවාදයක් නැහැ. පොල්හේන, උණවටුන, තංගල්ල, මිරිස්ස වෙරළ තීරය වගේම කවුරුත් දන්න රෑමස්සල ජන්ගල් බීච් එකත් ඒ සුන්දරත්වයට කදිම නිදසුන්. රූමස්සල කඳු පාමුළ පිහිටි ඒ වෙරළ තීරයට යන්න වෙන්නේ රූමස්සල කැලේ මැදින් තරමක් දුෂ්කර ගමනකින් වුවත් ඒ වෙරළ තීරය ඉතාම මනස්කාන්තයි. සුදු පාට වැලි තලාව , නිල් පාට නොගැඹුරු මුහුද නිසා කුඩා අයට ආරක්ෂිතව නාන්න පුළුවන්. රූමස්සල කන්ද වගේම උණවටුන මුහුදත් ජෛව විවිධත්වයෙන් පොහොසත් කලාපයක් විදිහට ප්‍රකට අතර, එනිසාම රූමස්සල කන්දත් අවට කොරල් පර සහ මුහුදු වෙරළත් මේ වන විට අභය භූමියක් ලෙස ප්‍රකාශ කොට තිබෙනවා. ඒ වගේම රූමස්සල කඳු මුදුනේ ඉදිවී ඇති සාම චෛත්‍යය ගැනත් කිව යුතුමයි. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට එල්ලවූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ජනයා සිහිපත් කරවමින් හා මුළුමහත් ලෝකයේම නැවත වරක් එවැනි මහා ව්‍යසනයක් ඇති නොවනා ලෙසට ප්‍රාර්ථනය කරමින් ජපානය විසින් සාමය හා සහජීවනය සංකේතවත් කරමින් ලොව පුරා සාම චෛත්‍යයන් ඉදිකරනු ලැබූ අතර රූමස්සල කඳු මුදුනේ කිරි පැහැයෙන් බබළන්නේ එම චෛත්‍යයයි.

ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයක් කිව්වොත් නිවැරදියි. ප්‍රාකාර තුනක් සහිත ඝන කළුගල් යොදාගෙන ඉදිකර ඇති වත්මන් ගාලු කොටු පවුර 1663 වසරේදී ලන්දේසින් විසින් ඉදිකරන ලද අතර 1796 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් යටත් කර ගත් පසු ඔවුන් ගාලු කොටුව නොවෙනස් කර දිස්ත්‍රිත් පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර තිබෙනවා. ගාලු කොටුව තුළ මුහුදු වෙරළට ආසන්නයෙන් ඉදිකරන ලද ප්‍රදීපාගාර කණුව, මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වන කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ඔරලෝසු කණුව මෙන්ම ගාල්ල ජාතික කෞතුකාගාරයත් ගාලු පුරවර සිරි බලන්න එන කෙනෙක් නැරඹිය යුතුම ස්ථානයි. ඒ වගේම ලංකාවට වගේම දකුණු ආසියාවටම තියෙන එකම සමුද්‍ර කෞතුකාගාරය පිහිටා තිබෙන්නෙත් ගාල්ලේ. ජල යාත්‍රා, සමුදුර පරිසර පද්ධති, කඩොලාන ආශ්‍රිත දෑ මෙන්ම සමුදුරට අයත් සියලුම ජීවී, අජීවි සංඝටක එහිදී දැක බලා ගන්න පුළුවන්.

දෙණියාය පිහිටි පුංචි හෝර්ටන් තැන්න නමින් හඳුන්වන 'මෝර්නින් සයිඩ්' කියන්නෙත් ඉතා සුන්දර ස්ථානයක්. A17 ලෙස හඳුන්වන මාදම්පෙ , රක්වාන දෙනියාය හරහා ළගාවිය හැකි සුන්දරම ස්ථානයක් වන එය කඳු පංතිවලින් වූ අපූරු සුන්දර පරිසරයක්. ඒ වගේම ගිං ගඟේ සමනලිය ලෙස හඳුන්වන දෙණියායේ පිහිටි හත්මාලෙ ඇල්ල කියන්නේ සිංහ රාජ වනාන්තරයෙත් කොටසක්. දුර්ලභ ගණයේ වඳ වී යන බොහෝමයක් සත්ව කොට්ඨාස පවා ජීවත්වන ඉතා මනස්කාන්ත භූමි ප්‍රදේශයක්. ඒ ගමන යන අතරතුර හමුවන ඉපැරැණි හියාරේ ජලාශය කියන්නේ දකුණේ තියන පැරණිම ජලාශය. අක්කර 48ක් තරම් විශාල භූමි ප්‍රදේශයක පැතිරී ඇති මෙම ජලාශය අතීතයේදී මුළු ගාලු පුරයටම ජලය සැපයූ බවත් පැවසෙනවා. මාතර දෙවුන්දර ප්‍රදීපාගාරය වගේම දෙවුන්දර දේවාලයද දකුණු ලක සුන්දරත්වයට නිහඬ සාක්ෂි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා