උපාලි හා ජින්නාගේ ලෝකයට ගිය ගම

 ඡායාරූපය:

උපාලි හා ජින්නාගේ ලෝකයට ගිය ගම

අප කොග්ගල- දුම්රිය පොළෙන් බැස රේල් පාර දිගේ එවෙලේ පැවති ගිනි අව්වද නොතකා ගමන් කළේ මඩොල්-දූවට යෑමේ අරමුණ ඇතිවයි.

මඩොල්-දූව නවකතාවේ සඳහන් පරිදි එහි මුලින්ම ගියේ උපාලි ගිනිවැල්ලේ හා ජින්නා වුණත් ඇත්තටම එහි සැබෑ නිර්මාණකරුවා වූයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහන්ය.

ඔහු තම බාල වියේදී හා තරුණ වියේදී කොග්ගල මඩොල්-දූවට ආගිය ගමන් ගැන, තොරතුරු දන්නා අය තවමත් කොග්ගල ගමේ වාසය කරනවා. ඉන් එක්කෙනෙක් තමයි බන්දුල. දැනට සංචාරක මඟපෙන්වන්නකු ලෙස කටයුතු කරන බන්දුල එකල අවුරුදු දහයක කුඩා ළමයෙක්.

හුදෙකලා දූපතක් වූ මඩොල් දූව අතීතයේ මංපහරන්නන්ගේ සහ අපරාධකරුවන්ගේ රැකවරණ ස්ථානයක් වී තිබුණු බවයි ගම්මුන් පවසන්නේ. එමෙන්ම විෂ සහිත සර්පයන් අල්ලා ගත් විට උන් නොමරා මේ දූපතට ගෙනැවිත් දැමීම ගම්මුන්ගේ සිරිත වී තිබුණා. මාර්ටින් වික්‍රමසිංහයන් මේ තොරතුරු තම මඩොල් දූව කතාවේ අපූරු ලෙස දක්වා තියෙනවා.

මඩොල් දූව ගැන කියවා තිබුණත් එය සියැසින් දැක එහි යෑමට ඇති ආශාව ඉටුකර ගැනීමට අවස්ථාව ලැබීම නිසා අප සිටියේ සතුටින්.

අපි මුලින් ගියේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය පිහිටි පෙදෙසටයි. එහි ඇතුළු වූ වහාම මුලින්ම පෙනෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් උපන් මහගෙදරයි. “හරිම සුන්දර ගේ පොඩ්ඩක්” යැයි අප සමඟ ගිය අයකු පවසනු ඇසුණා.

ඒ කියමන හරි. යුද කාලයේ අනෙත් සියලු ගෙවල් කඩා බිඳ දමද්දී එක් යුද නිලධාරිනියක ඒ නිවස කඩා නොදමා එය තම නිල නිවස කර ගත්තේ ඒ නිසාම වෙන්න ඇති. එහි දොරකොඩ ඇති සටහනක වික්‍රමසිංහයන්ගේ උපත ගැන වැදුම් ගේ තුළ සිටි වින්නඹුව “සරම” යැයි කී අයුරු සඳහන් වෙනවා.‌

අඩි දොළහක් පමණ දිග ආලින්දයකින්ද කුඩා සාලයකින්ද කාමර කිහිපයකින්ද ගබඩා කාමරයට යාබදව ඇති දිගු පිළකින්ද යුතු ඒ සුන්දර නිවස ගැමිකමේ සරල බව නිහඬව කියාපාන්නක්.

මඩොල්-දූවට යන්නට අපට උදවු කළේ මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ කළමණාකරු බණ්ඩාර හා ජයනෙත්ති යන මහත්වරු දෙපළ.

තරමක් ඈතින් වූ කුඩා තොටුපොළට අප යන විට නිශාන්ත බෝට්ටුව සූදානම් කරගෙනයි සිටියේ. අත්කොට බැනියමක් හා කොට කලිසමක් ඇඳ සිටි නිශාන්ත හිස වටා රතු ලේන්සුවක් බැඳල ජැන්ඩියට සිටියා.

මාත් මගේ ගමන් සගයා වන මුතුත් කහ පැහැති ආරක්ෂක කබාවලින් සැරසී ඒ වන විටත් පැද්දෙමින් තිබුණු බෝට්ටුවේ ඉඳගත්තේ සීරුවෙන්. බෝට්ටු ගමන පිළිබඳ යම්කිසි චකිතයක් තිබුණද එය අඩුවුණේ නිශාන්ත පළපුරුදු කිමිඳුම්කරුවකු බව දැනගත්තාට පසුවයි.

නිශාන්තට මේ ගමන පිළිබඳ කිසිම චකිතයක් තිබුණේ නැති බව අප දැන සිටියා. ඔහු දවසට කිහිප වතාවක්ම බෝට්ටු සවාරියේ යෙදෙන කෙනෙක් වීම එයට හේතු වුණා. ගමනට ගාස්තුව රු. 500ක්. ඒත් ගමනට ගතවන කාලය හා දුර අනුව ගණන අඩු-වැඩි වෙනවා.

අපට ඉහළින් වූ රේල්පාලම යටින් මඩොල් දූව අපට දිස්වුණේ කුඩා දිවයිනක් ලෙසින්. ඔයෙහි වම් ඉවුර පැත්තේ නවීන පන්නයේ බංගලාවක්. දකුණු පසින් වූ මාළු කොටු බේරා සීරුවෙන් බොට්ටුව පැදවීමට නිශාන්ත දක්‍ෂයි. නිශ්චිත තොටුපොළක් නැතත් බැසීමට පහසු තැනක බෝට්ටුව නවතා නිශාන්ත අප ආපසු එන තුරු රැඳී සිටින්න පොරොන්දු වුණා.

ඔයට නැමී තිබුණු කිරල ගස් අතු අතරින් සැදී ඇති අඩිපාර දිගේ අප දූපතට ඇතුළු වුණා. උසට වැවුණු මඩොල් ගස්වල පඳුරු දෙපසට කර ගනිමින් අප ඉදිරියට ගියේ තරමක් අපහසුවෙන්.

ඇතැම් පැරණි ගසක් පාර හරහා බාධකයක් ලෙසින් වැතිර තිබුණා. අප එතැනින් ගමන් කළේ ගස යටින් රිංගා යෑමෙන්. ඉහළ තුරු වියනින් අහස මුළුමනින්ම වාගේ වැසී තිබුණු නිසා දිවා කාලයේත් එහි පැවතියේ අඳුරු ස්වභාවයක්. සිත බියගන්වන තරමේ පාළු නිහැඬියාවක්. වැරදුණොත් සිහි මුළා කරවන තරමේ ඒ මේ අතට විහිදුණු අඩිපාරවල්. මිනිස් පුළුටක්වත් නැහැ. මුල්වරට මෙහි ළඟා වුණු විට මාර්ටින් වික්‍රමසිංහයන්ට නිර්මාණාත්මක සිතිවිලි පහළ වීම පුදුමයක් නොවන බවයි අපට ඒත්තු ගියේ.

මඩොල් දූව අක්කර හයක තරම් ප්‍රමාණයක පැතිරුණු සුන්දරත්ත්වයෙන් පිරි රමණීය දූපතක්. එය සුන්දර බවෙන් අනූන වගේම කඩොලාන හා විවිධ ශාක වර්ගවලින් පිරි පරිසර අගයකින් යුතු දිවයිනක්.

මෙවැනි තවත් කුඩා දූපත් එකොළහක් කොග්ගල ඔය ආශ්‍රිතව තියෙනවා. ඉන් එකක් වන ගම් දූවේ පවුල් 4ක් පමණ වාසය කරනවා. ඔවුන්ගේ ජීවනෝපාය කුරුඳු වගාව. ඒ හැර වාදූව, තලාතුඩුව බෞද්ධ විහාර ඇති දූපත්. කුරුලු දූපත තව එකක්.

ඔයට මායිම්ව ඇති කඩොලාන වැටිය දූපතේ පස ඛාදනය වැළැක්වීමට සැදුණු පවුරක් වගේ. මෙහි ඇති ශාක වර්ග අතරින් මඩොල් ශාකය විශේෂයි. මෙම දූපතට මඩොල් දූවයැයි නම් පට බැඳුණේ එම ශාකය නිසා විය හැකි යැයි යන්න ප්‍රදේශවාසීන් කියනවා.

හුදෙකලා දූපතක් වූ මඩොල් දූව අතීතයේ මංපහරන්නන්ගේ සහ අපරාධකරුවන්ගේ රැකවරණ ස්ථානයක් වී තිබුණු බවයි ගම්මුන් පවසන්නේ. එමෙන්ම විෂ සහිත සර්පයන් අල්ලා ගත් විට උන් නොමරා මේ දූපතට ගෙනැවිත් දැමීම ගම්මුන්ගේ සිරිත වී තිබුණා. මාර්ටින් වික්‍රමසිංහයන් මේ තොරතුරු තම මඩොල් දූව කතාවේ අපූරු ලෙස දක්වා තියෙනවා.

“...දූපත අසල ගං ඉවුර කඩොල් ගසින් හා කිරල ගසින්ද කැරන් පඳුරුවලින්ද සෙවණ කරනු ලැබූවක්. ඝනව වැවුණු කැරන් පඳුරුවල කැරන්කොකු විශාල කළිස්සන්ට (කළු පැහැති කකුළුවන්) සමාන හැඩයක් ගත්තා. දියෙන් නැඟුණු කිරල, මුල් දූපතට මිනිසුන් ගොඩබසිනු වළකණු පිණිස සිටුවන ලද යවුල් සේ මා බිය ගැන්වුවා.

“...මිනිසුන් අතීතයේ පටන් නයින් පොළඟුන් මාපිලන් අල්ලාගෙන ගොස් දමන්නේ මඩොල් දූවෙහිය. මඩොල් දූව යකුන් අරක්ගත් තැනකැයි විශ්වාස කරන ගැමියෙක් ඒ දූපතට නොයයි” (මඩොල්-දූව 78,79 පිටු)

මඩොල් දූවෙහි රාත්‍රී කාලයේ හොල්මන් කරන අවතාරය ගැන තම නවකතාවෙහි වික්‍රමසිංහයන් විස්තර කරන්නේ අපූර්වත්වයෙන්.

“‘උපාලි මහත්තයා අර බලන්න’ යැයි කියමින් ජින්නා දූපත අනික් පැත්තේ ඉහළ පහළ යන එළියක් මට පෙන්නුවේය. ‘අර බලන්න එළිය පාත්වෙනවා. ඉස්සෙනවා. ආයෙමත් ගමන් කරනවා.’ ඵක් දිනෙක උපාලි ගිනිවැල්ලේ ජින්නා සමඟ අවතාරය සොයා රහස් පරික්ෂක ගමනක් යයි. පඳුරු අතරින් රිංගා යන ඔවුන්ට දක්නට ලැබෙන්නේ තුවක්කුවක් අතින් ගත් මිනිසෙකි.

පාළුවට ගිය මෙම හුදෙකලා දූපත දැනට ලෝ පුරා ප්‍රසිද්ධ වීමට හේතුවත් මඩොල් දූව කෘතියයි. එහි ගෞරවය හිමි වන්නේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ට. මඩොල් දූව කෘතිය හතළිස් හතර වතාවක් මුද්‍රණය කොට ඇති අතර ඉංග්‍රීසි, ප්‍රංශ, ජපන් වැනි භාෂා ගණනාවකට පරිවර්තනය වී තියෙනවා. ලෙස්ටර් ජෙම්ස් පීරිස් මඩොල් දූව සිනමාවටත් නඟා තියෙනවා.

වනය මැදට යත්ම පැරණි සෙක්කු ගලක්ද අඹ ගස් කිහිපයක්ද අපට දක්නට ලැබුණා. එයින් පෙනෙන්නේ කලින් මෙහි මිනිස් වාසයක්ද පැවති බව. දුපතේ ඉතිරි කොටස් විවිධ ශාක වර්ගවලින් වැසී තිබෙනවා. අවශ්‍යනම් අයකුට දූපත වටා යෑමටත් හැකියාව තියෙනවා. මඩොල් දූව නරඹා නැවත පැමිණීමේදී අපට පාර සොයා ගැනීමට නොහැකි වුණා. එයට හේතුව දූපත සෑම තැනකම සමානකම් තිබීම.

මඩොල් දූව නවකතාව කියවූ ඔබ එය රස ගුලාවක් බව මේ වන විටත් දන්නවා ඇති. එහෙත් මඩොල් දූව සැබෑවටම නැරඹීම ඊටද වඩා රසයක් හදවතට සමීප කරන බව ලියා නොතැබීම මතු පරපුරට කරන අසාධාරණයක්. මඩොල් දූව කියවන්න. මඩොල් දූව නරඹන්න. ඒක ඉල්ලීමක්.

ලීලානන්ද වික්‍රමසිංහ

 

 

මාතෘකා