සංචාරක පරාදීස අතර ලංකාව ආසියාවෙන් එකට

 ඡායාරූපය:

සංචාරක පරාදීස අතර ලංකාව ආසියාවෙන් එකට

ඉන්දියන් සාගරයේ සුන්දර කඳුළු බිඳුව යළිත් වරක් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වී ඇත. ඒ මීට දින කිහිපයකට පෙර ආසියා මහාද්වීපයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වීමෙනි. ‘ට්‍රැවලෙමින්ග් ඩොට් කොම් (travellemming)’ නම් වෙබ් අඩවිය විසින් සිදුකළ ඡන්ද විමසීමකදී ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තය බවට තේරී පත්ව ඇත. 2019 වසරේ සංචාරය කිරීම සඳහා සුදුසුම රටවල් තෝරාගැනීම වෙනුවෙන් එම ඡන්ද විමසීම සිදුකොට තිබිණි. ශ්‍රී ලංකාව මෙලෙස සංචාරය කිරීමට සුදුසු රටක් ලෙස සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට මාස කිහිපයකට ඉහතදී ලෝ ප්‍රකට සංචාරක මාර්ගෝපදේශක සඟරාවක් වන ලෝන්ලි ප්ලැනට් සඟරාව විසින් ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දෙනු ලැබීය.

මෙවර ට්‍රැවලෙමින්ග් ඩොට් කොම් වෙඩ් අඩවිය විසින් සිදුකළ අන්තර්ජාල මත විමසුමකට අනුව ශ්‍රී ලංකාව ආසියා මහාද්වීපයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස නම් කෙරුණු අතර යුරෝපය, උතුරු ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් කලාපය, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව සහ ආසියාව කේන්ද්‍ර කර ගනිමින් එම මත විමසුම පවත්වා තිබේ. මහාද්වීප අනුව හොඳම සංචාරක ගමනාන්ත නම් කර ඇති අතර ආසියාවේ හොඳම සංචාරක ගමනාන්තය බවට පත්වීමේ භාග්‍යය මෙරටට හිමිවීම විශේෂත්වයකි. කෙටියෙන් කිවහොත් සංචාරය කිරීමට ලොව හොඳම රටවල් 6 අතර අපේ රටද ඇතුළත් වී තිබේ. ඒ අනුව 2019 වසරේදී ලොව හොඳම සංචාරක ගමනාන්ත 6 වන්නේ ශ්‍රී ලංකාව, කොලොම්බියාව, කෙන්යාව, ෆේරෝ දූපත්, මැනිටෝබා හා ටස්මේනියාවයි. ලොව විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන්ගේ ඡන්දය ඇසුරින් මෙම තෝරාගැනීම සිදුකර තිබීම විශේෂත්වයකි. එහිදී එක් එක් මහාද්වීපවල විශේෂ ලක්ෂණ සහ අනන්‍යතා සැලකිල්ලට ගෙන තිබේ. ආසියාවේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගැනීමේදී රටේ සංස්කෘතිය, ඓතිහාසික වටිනාකම්, වනජීවීන්, දර්ශනීය වෙරළ තීරය සහ ස්වාභාවික සුන්දරත්වය යනාදී සාධකවලට වැඩි වටිනාකමක් ලබාදීමට එම මත විමසුෙම් විනිසුරුවන් කටයුතු කර තිබිණි.

එමෙන්ම අවම මිල ගණන් සහ සංචාරය කිරීමේ පහසුව යනාදී කරුණු සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් දක්වා තිබේ. ලෝන්ලි ප්ලැනට් සඟරාව විසින් 2019 සංචාරය කිරීමට සුදුසුම රට ලෙස මීට පෙර ශ්‍රී ලංකාව නිර්දේශ කර තිබීමද මෙවර ආසියාවේ හොඳම සංචාරක ගමනාන්තය බවට පත්වීම සඳහා ඉවහල් වී තිබේ. මෙවර මත විමසීමේදී එම තක්සේරුව සමඟ එකඟ නොවී සිටීමට නොහැකි වූ බව ට්‍රැවලෙමින්ග් ඩොට් කොම් විනිසුරුවන් පවසා තිබිණි.

මේ සඳහා ලංකාව නිර්දේශ වීමට බලපෑ හේතු අතර යුද ගැටුම්වලින් පසුව ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින යහපත් වාතාවරණයද මූලික වශයෙන් සැලකිල්ලට ගෙත තිබිණි. ඊට අමතරව ඔවුහු විශේෂයෙන් අවධානය යොමුකර තිබුණේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික සහ පෞරාණික සුන්දරත්වයයි.

තංගල්ල ඇතුළු දකුණුලක සුන්දර වෙරළ තීරයන්, ඇල්ල ප්‍රදේශය ඇතුළු දුම්රිය ගමනාන්තයන්, පූජනීය ස්ථාන අතරින් අනුරාධපුරයත් මහනුවර සංස්කෘතික නගරයත් සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වන ස්ථාන බවද එහිදී හඳුනාගෙන තිබිණි. සුන්දර උද්භිද උද්‍යාන මෙන්ම සුන්දරත්වය හා ජල ක්‍රීඩා සඳහා ප්‍රකට ආරුගම්බේ වෙරළ තීරයද එවර ලෝන්ලි ප්ලැනට් සඟරාව සිදුකළ මත විමසුම විනිශ්චයට ලක්කළ විනිසුරුවන්ගේ අවධානයට දැඩිව පාත්‍ර වී තිබිණි. මෙරටට ආවේණික රසවත් එළවළු සහ පලතුරු, දේශීය ආහාරපාන මෙන්ම වසර ගණනාවක ඉතිහාසයක් ඇති තේ කර්මාන්තයද සංචාරකයන් බෙහෙවින් ප්‍රිය කරයි. සිංහරාජ වනාන්තරය, ගාලු පුරවරය, උඩවලව ජාතික වනෝද්‍යානය, ඓතිහාසික සීගිරිය යනු මඟ නොහැර නැරඹිය යුතු ස්ථාන බවද එම මත විමසුමේදී හෙළිකොට තිබිණි. ශ්‍රී ලංකාව තුළ සතියක් සංචාරය කළ හැකි නම් එය ජීවිත කාලයටම අමතක නොවන සුන්දර අත්දැකීමක් ලබාදෙන්නක් බවත් එහිදී සාකච්ඡාවට බඳුන් විය. ශ්‍රී ලංකාව 2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය බවට පත්වූයේ ජර්මනිය, සිම්බාබ්වේ, පැනමා, බ්‍රසීලය, ජෝර්දානය හා ඉන්දුනීසියාව වැනි සංචාරක ගමනාන්ත අභිභවා යමින් වීමද විශේෂත්වයකි. මෙම වෙබ් අඩවිය සිය මත විමසුමේදී ශ්‍රී ලංකාව යනු සුන්දර වෙරළ තීර, වනාන්තර, ඉතිහාසය සහ ආහාරපානවලින් ඕනෑම අයකුගේ සිත වසඟ කරගන්නා රටක් බවට තක්සේරු කර තිබේ. එමෙන්ම ලංකාව සංචාරක ආකර්ෂණය දිනාගැනීමට තවත් හේතුවක් වන්නේ වසරේ ඕනෑම කාලයක සංචාරය සඳහා හිතකර දේශගුණයක් පැවතීමයි.

ශ්‍රී ලංකාව එලෙස ආසියාවේ හොඳම සංචාරක ගමනාන්තය බවට පත්වද්දී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට හිතකර තවත් සම්මානයක්ද පසුගියදා හිමිවිය. ඒ පෘතුගාලයේ ලිස්බන් නුවර පැවති 25 වැනි ලෝක සංචාරක සම්මාන උළෙලේදී ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවය සම්මානයට පාත්‍ර වීමයි. මෙම සම්මානය ශ්‍රී ලංකා ගුවන් සමාගමට හිමිවූ තෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ සහ ඉන්දියානු සාගර කලාපීය වෙළෙඳපොළවල්හි ගුවන් සේවය ස්ථාවර ලෙස ස්ථාපිත වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි කරනු ලබයි. පසුගිය කාලය තුළ නව ගමනාන්ත හඳුන්වා දෙමින් ජාතික ගුවන් සේවය ගුවන් මගී ඉල්ලුම මත ගුවන් ගමන් ධාරිතාව වැඩිකිරීම මෙම සාර්ථකත්වයට හේතු වී තිබේ. ඒ අනුව ගුවන් මගීන්ට පුළුල් පරාසයක වූ තේරීම් රැසක් සමඟින් පහසු ගුවන් සබඳතා පැවැත්වීමටත් ගුවන් සමාගම කටයුතු කර තිබීම විශේෂත්වයකි.

ලෝක වෙළෙඳ සංචාරක සම්මාන උලෙළ සඳහා සංචාර සහ සංචරණ වෘත්තියවේදීන්, ලොව පුරා සිටින ව්‍යාපාර සහ විනෝද සංචාර පාරිභෝගිකයන් සිය ඡන්දය ලබාදෙන අතර පසුගිය මාස 12 තුළ ආයතන මඟින් ලබාදී ඇති විශිෂ්ටත්වය සහ කැපවීම මෙම සම්මාන තුළින් ඇගයීමට ලක් කෙරේ. ලොව විශිෂ්ටතම සංචාරක සහ සංචරණ උත්සවය වන ලෝක සංචාරක සම්මාන උලෙළේදී

ශ්‍රී ලංකා ගුවන් සේවයට මෙවැනි සම්මාන හිමිවීම සංචාරක ක්ෂේත්‍රයට තක්සේරු කළ නොහැකි වටිනාකම් සපයන්නකි.

එවැනි වටිනාකම්වලින් ශ්‍රී ලංකාව ලෝක අවධානයටත් සංචාරක ආකර්ෂණයටත් ලක්වෙද්දී සංචාරක ක්ෂේත්‍රය පසුබෑම්වලින් තොරව පවත්වාගෙන යෑමට ඒ පිළිබඳ බලධාරීන්ට තිබෙන වගකීමද අමතක කළ නොහැකිය. විශේෂයෙන් පසුගිය කාලයේ රටේ ඇතිවී තිබූ දේශපාලන අස්ථාවරභාවය නිසා වසර අවසානයේ නිවාඩුව ගතකිරීමට මෙරටට පැමිණීමට නියමිතව සිටි විදේශීය සංචාරකයන් සියයට 20ක් පමණ තම සංචාර අවලංගු කරගෙන තිබූ බවද වාර්තා විය. එසේ සංචාර අවලංගු කිරීම මෙරට සුළු, මධ්‍ය හා මහා පරිමාණ හෝටල්වල සේවයේ නියුතු හෝටල් සේවකයන්ටද බලපාන තත්ත්වයක් බව නොරහසකි. ඔවුන්ට පමණක් නොව සංචාරක ක්ෂේත්‍රය නිසා ඍජු සහ වක්‍ර ආදායම් ලබන විශාල පිරිසකටද එම තත්ත්වය හිතකර නැත.

එහෙත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා අනුව පසුගිය වසරේ අවසන් කාර්තුවට සාපේක්ෂව වැඩි සංචාරකයන් ප්‍රමාණයක් 2018 වසරේ අවසන් කාර්තුවේදී මෙරට සංචාරය සඳහා පැමිණ තිබේ. එසේ නම් එය සුබවාදී තත්ත්වයකි. එවැනි සුබවාදී ලකුණුවලට මෙවැනි ජාත්‍යන්තර මත විමසීම් තුළින් මෙරටට හිමිවන තත්ත්වයන්ද ඉතා වැදගත් වේ. එහෙත් එම සුබවාදී ලකුණු පවත්වාගෙන යෑමේ වගකීමක්ද තිබේ. රට කෙතරම් සුන්දර වුවත් සංචාරයට හිතකර වුවත් සංචාරකයන්ට මෙරටට පැමිණි පසු සුළු හෝ ගැහැටක් විඳින්නට සිදුවේ නම් එය රටටම අපකීර්තියකි. විශේෂයෙන් පසුගිය කාලයේ සංචාරකයන්ට හා හෝටල් හිමියන්ට අඩන්තේට්ටම් කරමින් දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වූ මාෆියා කල්ලි පිළිබඳවද බැහැර කළ නොහැකිය. එවැනි ක්‍රියාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. සංචාරකයන්ට සහ හෝටල් පරිපාලනයට හානිදායක එවැනි කණ්ඩායම් පාලනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය විටින් විට බලධාරීන්ට අවධාරණය කරනු ලැබීය. යම් කීර්තියක් හෝ ගෞරවනීය තත්ත්වයක් හිමිකර ගැනීම පහසු නැත. එහෙත් එම තත්ත්වය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යෑම ඊටත් වඩා අසීරුය. එම නිසා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද ලොවෙන් ලැබෙන පැසසුම් සහ ගෞරවය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වගකීම පැහැර හැරිය නොහැක්කේ තම රටෙහි කීර්තිය යනු පුරවැසියන් ලබන ඉහළම ගෞරවය වන නිසාය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා

ජනප්‍රිය ලිපි