දාහය නිවමින් සිසිල ගෙනෙන උන්නච්චිය

 ඡායාරූපය:

දාහය නිවමින් සිසිල ගෙනෙන උන්නච්චිය

කලපු දිය දෙබෑ කරමින් ගමන් අරඹන වව්නතිව් මහාමාර්ගය රන්වන් කරලින් නැමී බරවූ කෙත් යායන් පසුකරමින් ඉදිරියට ඇදෙයි. කලකට පෙර ත්‍රස්තවාදයේ ගිනිදැල්වලින් දැවෙමින් ගිනියම් වූ පෙදෙස් පසුකරමින් දිවෙන මාර්ගයෙහි තවමත් ඉතිරිව ඇති නටබුන් ඒ අමිහිරි අතීතයේ බියකරු බව මැනවින් කියාපායි. ඒ අමිහිරි අතීතය යටපත් කරමින් හාත්පසම යළි දලුලා පිබිදෙද්දී මේ ගමන් මඟ කෙලවර හමුවන උන්නච්චිය වැවද දාහය නිවමින් පරිසරය සිසිල් කරවීමට තම දායකත්වය ලබාදෙයි.

නොවැම්බර් සිට ජනවාරි දක්වා ඊසානදිග මෝසම් සුළං සමයේ පමණක් වර්ෂාව ලැබෙන අවුරුද්ද මුළුල්ලේම නියත ඉහළ උෂ්ණත්වයක් සහිත පහතරට වියළි කලාපයේ පිහිටි උණුසුම් මඩකලපුවේ ගිනියම නිවා සිසිල් කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි ආයිත්තමලය, උන්නච්චිය වැව පිහිටා තිබේ. මඩකලපුව නගරයේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් අතිශය සුන්දර ඉසව්වක පිහිටි සුවිශාල වාරි ව්‍යාපෘතියක් වන උන්නච්චයි වැව මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි විශාලම වාරි යෝජනා ක්‍රමයද වේ. පතුලේ විශාලත්වය හෙක්ටයාර 2000ක් පමණ වන කිලෝමීටර් 1.5ක පමණ දිගකින් යුත් වේල්ලකින් සමන්විත උන්නච්චිය වැව අක්කර අඩි 55,000ක පමණ ජල ධාරිතාවකින් යුක්ත වන අතර එය පවුල් 50,000ක පමණ ජල අවශ්‍යතා සපුරයි. කිලෝමීටර් 37ක් පමණ දුරක් දක්වා විහිදුණු කිලෝමීටර් 261ක ජල මාර්ග පද්ධතියක් සහිත උන්නච්චිය වැව මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දරම ජලාශය ලෙසද නම් දරා සිටී.

මෙම වැව පිහිටි ප්‍රදේශය උන්නිච්චායි/උන්නච්චිය (UNICHCHAI) ලෙස හැඳින්වීම නිසා මෙම වැවද උන්නිච්චායි වැව/උන්නච්චිය වැව ලෙසින් හැඳින්වීම සිදු කරයි. මෙරට බොහෝ වැව්වල පුරාණය අතීත රජ සමය දක්වා දිව යන නමුත් උන්නච්චිය වැව අක්කර 19,000ක ගොවිතැන් වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම වෙනුවෙන් 1900දී පමණ වැඩ ආරම්භ කරන ලද යෝජනා ක්‍රමයකි. නැඟෙනහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ පළාත් පිළිබඳ 1916 පරිපාලන වාර්තාවට අනුව මෙම වැව ප්‍රායෝගික ලෙස නිමකර මුල්වරට පුරවනු ලැබ ඇත්තේ 1916 වසරේදීය. මෙම වැව පිහිට ප්‍රදේශය උන්නිච්චායි ලෙස හැඳින්වූවද නැඟෙනහිර පළාතේ ප්‍රධාන මුදලි තනතුර දැරූ එස්.ඕ. කනගරත්නම් විසින් 1921 රචනා කරන ලද “Monograph of Batticaloa District” නම් ග්‍රන්ථය මඟින් පෙන්වා දෙන්නේ අතීතයේ මෙම ප්‍රදේශය “වන්නිච්චි ප්‍රධානන්ගේ වැව” යන අරුතින් “චන්නිච්චිකුලම්” නමින් හැඳින්වූ බවය. ඒ අනුව අතීතයේ සිටම මෙහි කුඩා ජලාශයක් තිබෙන්නට ඇතැයි සැලකෙන අතර පසුකාලීනව මෙම ප්‍රදේශය උන්නච්චිය ලෙස හඳුන්වා තිබේ. මෙසේ ඉදිවූ උන්නච්චිය වැව 1957.12.25 දින ඇතිවූ සුළි සුළං හා ගංවතුර නිසා හානියට පත්වූ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් 1959-60 අතර කාලයේදී සෙරොව්ව සහිත නව පාලමක් සමඟින් වඩාත් අලංකාර වැවක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදි.

පසුකාලීනව උන්නච්චිය ප්‍රදේශය ත්‍රස්තවාදී ග්‍රහණයට නතුවූ අතර මෙම අතිශය සුන්දර ජලාශයද ඒ හේතුවෙන් අභාවයට පත්විය. නැඟෙනහිර පළාත ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමෙන් පසුව මෙම ජලාශයට යළිත් සංවර්ධනයේ ආලෝකය වැටුණු අතර ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් 2005.12.07 දින මෙම ජලාශයෙහි වැව් බැම්ම නැංවීමේ කටයුතු ආරම්භ කොට 2009.10.30 දින එහි කාර්යයන් නිම කරන ලදි. ඒ සමඟම වැවෙහි තිබූ පැරණි පාලම වෙනුවට මීටර් 6ක පරතරයක් සහිත මීටර් 174ක් දිග නව පාලමක් සහ විශාල මධ්‍යම වාන් දොරටුවක්ද ඉදිකරන ලදි. මෙලෙස උන්නච්චිය ජලාශය වඩාත් අලංකාරව හා සුන්දරව ප්‍රතිනිර්මාණය කිරීමත් සමඟ

කෘෂිකර්මාන්තයට අමතරව පානීය ජලය ලබා ගැනීම, ධීවර කර්මාන්තය සහ සංචාරක කටයුතුද වැව අශ්‍රිතව ආරම්භ විය.

මෙම ජලාශය මඟින් මඩකලපුව ප්‍රදේශයට ඝන මීටර් 50,000ක පානීය ජල ධාරිතාවයක් ලබා ගැනීම අපේක්ෂා කළ අතර ඒ මඟින් දකුණින් පිහිටි කාත්තාන්කුඩි සහ උතුරින් පිහිටි චෙන්කලාඩි සහ එරාවූර් ප්‍රදේශයන්ට පානීය ජලය ලබා ගැනීමටද බලාපොරොත්තු විය.

මේ වන විට උන්නච්චිය වැව කෙත්වතු පෝෂණය කරමින්, පානීය ජලය ලබා දෙමින්, මඩකලපුවේ දාහය නිවමින් සහ සංචාරකයන් දෑස් පිනවමින් සොබාදහමෙහිම කොටසක් බවට පත්වී තිබේ. කෘත්‍රිම ජලාශයක් වුවද අද එය සොබා දහමේ නිර්මාණයක් තරමටම පරිසරය හා බැඳී පවතී. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ලක්ෂණ සහිත අක්කර 67,840ක ජල පෝෂක ප්‍රදේශයකින් මේ වැව සමන්විත වන අතර එය වන අලි ඇතුළු ජීවීන් රැසකට වාසස්ථාන සපයයි. මෙම ජලාශය හා ඒ වටා පිහිටි ජල පෝෂක කලාපය නිසා වියළි කලාපයේ පිහිටියද උන්නච්චිය ප්‍රදේශය තුළ දිනය පුරාම සිසිලසක් පවතී.

සුන්දර පරිසරයක් පවතින නිසා කෘෂි කාර්මික හෝ පානීය ජල ප්‍රභවයකට වඩා මෙය ප්‍රකට වී ඇත්තේ සංචාරක ගමනාන්තයක් වශයෙනි. පානීය ජල ප්‍රභවයක් නිසා වැවෙහි දිය නෑම තහනම් නමුත් සොරොව්ව ඉදිරියේ ජලය ගලා යන සීමාව සංචාරකයන්ගේ ප්‍රකට දිය නෑමේ ස්ථානයක් බවට පත්වී තිබේ. පිහිනීම හා කුරුල්ලන් නිරීක්ෂණයට පැමිණෙන්නෝද විශාල වශයෙන් මෙහිදී දැකිය හැකිය. වසරේ ඇතැම් කාලයන්හිදී පක්ෂි නිරීක්ෂණයට උන්නච්චිය ජලාශය කදිම ස්ථානයකි.‍

උණුසුම් මඩකලපුවට පැමිණෙන සංචාරකයන් උන්නච්චියේ සිසිලස විඳීමට අමතක නොකරති. ත්‍රස්වාදයේ උණුසුම නිවී යද්දි සිසිල් වන උන්නච්චියේ සුන්දරත්වය විඳීමට පැමිණෙන පිරිස ක්‍රමයෙන් ඉහළ යෑම නිසා පරිසර ත්‍රස්තවාදීන්ගෙන් බේරීමටද උන්නච්චියට සිදුවී තිබේ. උන්නච්චිය සුන්දරත්වය විඳීමට මෙන්ම මිනිසාගේ එදිනෙදා අවශ්‍යතා සපුරන ජල මූලාශ්‍රයක්ද නිසා වඩාත් වගකීම් සහගත ලෙස හැසිරීම මෙහි එන අයගේ පරම යුතුකම විය යුතුය. ඒ වග මතකයේ තබාගත හැකි නම් උන්නච්චි වැව උණුසුම් මඩකලපුව සදා සිසිල් කරනු නොඅනුමානය.

[අසිරු වේදිත කරුණාරත්න]

News Order: 
2
මාතෘකා