සිකනලුන්ට මැණික් තිබුණා නම් ලංකාවේ ලොකුම පොහොසතා මම!

 ඡායාරූපය:

සිකනලුන්ට මැණික් තිබුණා නම් ලංකාවේ ලොකුම පොහොසතා මම!

සති කිහිපයක් ඔහු හමුවීම පසුපසට යෑම පිළිබඳ ලියුම්කාරිනියට ඇත්තේ පසුතැවීමකි. ඇන්ස්ලම් මහතා කෙතරම් කාර්යබහුල වුවද මේ වෙනුවෙන් කාලය වෙන් කර ගනී. මෙම ලිපිය සම්පාදනයට කරුණු එක් රැස් කිරීමට මට වඩා වෙහෙසෙන්නේ ඔහු යැයි සිතේ. අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන කාරණාවල සාරාංශය ඊට පෙර දින මට සටහන් කර එවීමට ඔහු වගබලා ගනී. එහෙත් ඒ ඔහුගේ පිළිවෙළය. මෙතරම් සතුන් ගැන සෙවීමට, ඒ සොයාගන්නා කාරණා සටහන් කිරීමට, ඒ ඇසුරෙන් ලිපි හා කෘති සකස් කිරීමට ඔහුට ඇත්තේද අපට මෙන්ම දිනයේ පැය 24 පමණි. එහෙත් ඔහු එය කළමනාකරණය කරගන්නා ආකාරය අපූරුය.

“කතාව පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. අපි මේ හැම පර්යේෂණයක්ම කරන්නේ වනජීවී හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතිව. කියවන අයව දැනුවත් කරන එක වටිනවා ඒක ගැන. මොකද මගෙන් කීප දෙනෙක්ම ඇහුවා ඕනම කෙනෙකුට එහෙම සත්තු අල්ලලා පර්යේෂණ කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම එහෙම සත්තු අල්ලන්න කාටවත් හිතුමතේ බැහැ. අපි වන සංරක්ෂණ එකෙන් ලිඛිත අවසරය අරගෙන ඒක පෙන්නලා තමයි වැඩ කරන්න පටන් ගන්නේ. ඒ වගේම මේකට මූල්‍ය අනුග්‍රහය Mohamed Bin Zayed Species Conservation Fund එකෙන් දෙන්නේ.”

සිකනලා පිළිබඳ බොහෝ මතක මා සතුව තිබේ. කුඩා කල නිවස සකස් කිරීමට පෙර සාලයෙහි බිත්තිය ආසන්නයේ එක මත එක ගොඩගසා තිබූ ලෑලි අස්සෙහි සිකනලකු සිටියා මතකය. සර්පයකු දුටුවාක් මෙන් උගෙන් බේරී පලා යෑමට තැත් කළ මට සිදුවූයේ දින කිහිපයක් ඇඳටම වී සිටීමටය. සිකනලාට බියෙන් පැන දිවූ සය හැවිරිදි මා සිටියේ ලෑලි ගොඩට යට වීය. එතරම් ඌට බිය වීමට හේතුව වූයේ අත්තම්මා මට පවසා තිබූ දෙයකි.

“සිකනලා කෑවොත් ඉතින් බේත් කරනවා බොරු. තාත්තට අහසේ තරුයි මූදේ මඩයි හොයන් එන්න වෙයි.”

එය සැබෑවක් නොවන බව ඇන්ස්ලම් මහතා පවසන්නේ මහ හඬින් සිනාවෙමින්ය.

“එහෙම මැරෙනවා නම් මේ වෙද්දි මම සිය වතාවක් විතර මැරිලා තියෙන්න ඕන. උන් මාව ඕනතරම් විකනවා. පොඩි විසක්වත් ඇඟට යන්නේ නැහැ මගේ නම්. සිකනලෙක් දෂ්ට කළාට බය වෙන්න දෙයක් නැහැ. එහෙම වෙලාවට ස්පිරිට් ටිකක් තියන්න. ඒ ඇති.”

වලිග දෙකක් ඇති සිකනලකුගේ ඡායාරූපයක් ඔහු මට පෙන්වූයේ ‘මේ දිහා බැලුවත් වාසනාව ලැබෙනවා’ කියාය. ඔහු පවසන බොහෝ දේ අපභ්‍රංසය. වලිග දෙකේ සිකනලුන් මා මීට පෙර දැක හෝ අසා තිබුණේ නැත.

“මොකක්ද ඩොක්ටර් ඒ වාසනාවේ කතාව?”

“මිනිස්සුන්ගේ මතයක් තියෙනවා වලිග දෙකේ සිකනලුන් ළඟ මාණික්‍යයක් තියෙනවා කියලා. එහෙම බලනවනම් මම තමයි මේ වෙද්දි ලංකාවේ ඉන්න පොහොසත්ම මිනිහා. මට මොනතරම් වලිග දෙකේ සිකනලුන්ව මුණගැහිලා ඇත්ද? ඒත් ඉතින් ඇන්ස්ලම් නම් තාම දුප්පත්.”

මේ ලිපියේ පිටපත සංස්කරණය කරගෙන යද්දී ඇන්ස්ලම් මහතාගේ ඒ කතාවට අපූරු පිළිතුරක් දුන්නේ අපේ ප්‍රධාන උප කතුවරයාය. ඔහු කියන්නේ, ඇන්ස්ලම් මහතා දුප්පත් වී ඇත්තේ සිකනලුන්ට මාණික්‍ය නැති නිසා නොව එය සිකනලාගෙන් ලබාගන්නා හැටි නොදන්නා නිසා බවයි. වලිග දෙකේ සිකනලුන්ගෙන් මාණික්‍යය ගන්නා හැටි ඔහු නම් දනී. ඒ මෙසේය:

කිරි හට්ටියක් ගෙන, කිරි ඈත් මෑත් කර එහි පතුලේ තරමක සිදුරක් විදිය යුතුය. ඉන් පසුව සිදුර වැසෙන්නට කිරි කැටියක් තබා ඒ හට්ටිය හිස් කිරි හට්ටියක් මත තැබිය යුතුය. වලිග දෙකේ සිකනලා ගැවසෙන තැනක මේ කිරි උගුල තබනු ලැබේ. කිරි කෑමේ ආසාවෙන් පැමිණෙන සිකනලා, මාණික්‍යය කිරි මත වමාරා කිරි කෑමට පටන් ගනී. කිරි මත කිඳාබසින මාණික්ක්‍යය අර සිදුරෙන් හිස් හට්ටිය මතට වැටේ. ඉතින් සිකනලා කිරි කා ගිය පසු, හට්ටිය ඔසොවා මැණික ගත හැකිය. ජයසිරි අයියාට මේ කතාව කියා දී ඇත්තේ ඔහුගේ අත්තම්මාය. එහෙත් ඔහුද තවමත් දුප්පතෙකු වී සිටින්නේ වලිග දෙකේ සිකනලකු ඔහුට තවම මුණගැසී නැති නිසාය.

ලෝකයේ උරග විද්‍යාඥයන් පර්යේෂණ කර සොයා ගෙන ඇත්තේ සිකනලුන් විශේෂ 1,700ක් පමණ ඇති බවයි. ඒ සිකනලුන් භෞමික, රුක්වාසී, පාංශු හා ජලජ වශයෙන් වේ. ජලජව වෙසෙන සිකනලුන් ලංකාවෙහි ජීවත් නොවේ. බොහෝ සිකනලුන් දිවාචරය. එහෙත් ඉන් කිහිප දෙනකු පමණක් රාත්‍රියෙහි හැසිරෙයි. උන් බොහෝ දෙනා තම වර්ගයා බෝ කරන්නේ බිත්තරවලින් වන අතර පැටවු වශයෙන් බිහිකිරීමද වර්ග කිහිපයක් විසින් සිදු කරයි. එහෙත් පැටවු බිහිකරන සිකනලුන් ලංකාවෙන් වාර්තා වී නොමැති බව ඇන්ස්ලම්ද සිල්වා මහතා පැවසුවේය.

“දැනට අපි ලංකාවේ සිකනල් විශේෂ 34ක් පමණ සොයාගෙන තියෙනවා. ඉන් සියයට 85ක් පමණ ලංකාවට ආවේණික විශේෂයන්. මේ වෙද්දි මං, වෛද්‍ය උකුවල, සමීර කරුණාරත්න සහ මෙන්ඩිස් වික්‍රමසිංහ එක්ක එකතුවෙලා දැනට අපි ලංකාවේ ඉන්න සිකනලුන්ගේ ජාන සහ වර්ගීකරණය සම්බන්ධයෙන් දීර්ඝ පර්යේෂණයක් කරනවා. ඒ වගේම මෑතකදි අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය හදාරන ශිෂ්‍යයන් සමඟ ගවේෂණයක් කළා. ඒක කළේ යගිරිල කැලයේ. ඒ කැලය ජපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සිදුකරන තැනක්.”

සිකනලුන් පිළිබඳ කිසිම තැනක දීර්ඝ සඳහනක් මා විසින් කියවා නොමැති නිසාම ඇන්ස්ලම් මහතාගෙන් ඒ පිළිබඳ විමසුවෙමි.

“පැරණි වෙද පොත්වල සිකනලුන්ගේ සපා කෑමට බෙහෙත් යෝජනා කරලා තියෙනවා. රොබර්ට් නොක්ස් එදා හෙළදිව කෘතියේ පවා ඒ ගැන සඳහන් කරලා තියෙනවා මට මතකයි. සිකනලා කියන සතා කලාතුරකින් දෂ්ඨ කරන බවත් පොල්වතු අසල ජීවත්වෙන බවත් සඳහන් වෙනවා. ලංකාවේ පළමුවරට විද්‍යානුකූලවම සිකනලකු ගැන වාර්තා කළේ ජෝන් එඩ්වඩ් ග්‍රේ. එයා පාංශු සිකනලුන් දෙදෙනෙක්ව හොයාගත්තා. මේ වර්ගේ ටික දෙනෙක්ගේ කකුල් නෂ්ටාවශේෂ වෙලා. පොඩි කකුල් තියෙන අයත් ඉන්නවා. සමහර අයගේ පස්සේ කකුල් විතරයි. සර්පයෙක් වගේ සිකනලකුත් මේ අතරේ ඉන්නවා. විලියම් පීටර්ස් කියන විද්‍යාඥයා තමයි සුලබ ලක්හීරලුවා (Lankascincus fallax) ඉස්සෙල්ලම ලංකාවෙන් විද්‍යානුකූලව වාර්තා කළේ.”

“විද්‍යානුකූලව වාර්තා කරනවා කියන්නේ මොකක්ද ඩොක්ටර්?”

“අපිට සතෙක් හමුවුණාම අපි කරන්නේ ඒක ප්‍රසිද්ධියට පත් කරන එකනේ. හැබැයි ඒක ලංකාවේ ප්‍රසිද්ධියට පත් කරලා වැඩක් නැහැ. ලෝකයේ තියෙන ප්‍රසිද්ධ විද්‍යා සඟරාවක ඒක පළ කරන්න ඕන. ඒවට කියන්නේ ඉන්ඩෙක්ස් ජර්නල්ස් කියලා. එතකොට තමයි වටින්නේ; ඒ වගේම ලෝකයේම පිළිගැනීමට ලක්වෙන්නේ. සුලබ ලක්හීරලුවා සාමාන්‍යයෙන් ලංකාවේ සෑම ගෙදරකම වගේ ඉන්නවා. ගම්වල වගේම නගරවලත් දකින්න ලැබෙනවා එයාව.

“එඩ්වඩ් කෙලාට් කියන්නේ ලංකාවේ ඉපදුණු ඕලන්ද ජාතිකයෙක්. එයා වෛද්‍යවරයෙක්. සත්තු ගැන පළමු සත්ත්ව විද්‍යා පොත ලිව්වේ එයා. සත්ත්ව විද්‍යාවේ නූතන පියා ලෙසත් ඔහුව හඳුන්වනවා. එයා වැඩකාරයෙක්. ඒත් ඉතින් අවුරුදු 40දී එයා මැරුණා. සුමුදු ලක් හීරලුවා (Lankascincus taprobanensis) මුල්වරට සොයාගත්තේ එයා. පිදුරුතලාගලදි තමයි අපිට මෙයාව හමුවුණේ. අපි පිදුරුතලාගල නැග්ගෙම මෙයාව හොයන්න. සුමුදු ලක් හීරලුවා උස් කඳුකරයේ ඉන්නවා කියලා වාර්තා වෙලා තිබුණා. අපිට අවශ්‍ය වුණේ ලංකාවේ උසම තැන මෙයා ඉන්නවද කියලා බලන්න.

“ඇමරයිල්ඩ් හේලි කියන්නේ ලංකාවේ කෞතුකාගාරයේ පළමු අධ්‍යක්ෂකවරයා. එයා ලංකාවේ උරගයන් සහ උභයජීවීන් ගැන ගොඩක් පොත් ලිව්වා. එයා තමයි වැලි සිකනලා (Eutropis bibronii) මුලින්ම විද්‍යානුකූලව වාර්තා කළේ. මූද කිට්ටුව තමයි මෙයාලා ඉන්නේ. වැල්ලේ ඉන්නේ. වැලි අස්සට යන්න පුළුවන් මෙයාට. මෙයාලා හරි අපූරු සත්තු. වැලි සිකනලුන්ගේ ඇහේ විනිවිදව පේන සිවියක් තියෙනවා. එයාලා වැලි අස්සට යන්න කලින් ඒ සිවිය දා ගන්නවා. එතකොට ඇහැට වැලි යන්නේ නැහැ. එයා වගේ කඩිසර සිකනලෙක් මම කවදාවත් දැකලා නැහැ. අපි එයාලව ගෙනැල්ලා පර්යේෂණවලට භාවිත කරනවා. අපිට අවසර තියෙනවා ඕන තැනකින් සාම්පල් තුනක් අල්ලන්න. මෙයාව 2017දි තමයි මුලින් වාර්තා වුණේ. ලංකාවේ මෙයා නැහැ කියලා කලින් වාර්තා කරලා තිබුණේ ආචාර්ය තසුන් අමරසිංහ කියලා විද්වතෙක්. ඒත් 2017දිම චුන්ඩිකුලම් කැලේදි මම වැලි සිකනලෙක්ව හොයාගත්තා. ඒක සූ ටැක්සා කියන විද්‍යා සඟරාවේ පවා පළවුණා.”

ඔහු සිකනලුන් සොයමින් ලෝක ප්‍රපාතයකට ගිය ගමනක අත්දැකීම් ලබන සතියෙහි කීමට පොරොන්දු වෙමු. සිකනලුන් දුටු විට බිය නොවී සිටිය යුතු බව පමණක් එතෙක් මතකයේ තියාගනිමු.

සටහන [නදී මාණික්කගේ]

ඡායා [ඇන්ස්ලම් ද සිල්වා]

[පණ්ඩුක ද සිල්වා]

News Order: 
0
මාතෘකා