වනගොමු සිරි විසිතුරු විමසමින් මඟ තොරතුරු

 ඡායාරූපය:

වනගොමු සිරි විසිතුරු විමසමින් මඟ තොරතුරු

ලෝකාන්තය සොඳුරු දකින්නට ගිය අයුරු

මහඑළිය තැන්න අඳුරේ ගිලෙන සුයාමය

වේලාව රාත්‍රී 8.40

හෝර්ටන්තැන්න- චිමිණි පොකුණ කඳවුරු බිම

අපේ තනියට තරු සහ වලාකුළු ඉතිරි කරපු හඳ කුමරිය හැංගිලා ගිහින්..... හමන සුළඟත් එක්ක තරග කරන ලන්තෑරුම් එළි කූඩාරම් බිම හාත්පස එළිය කළා.... පදමට තෙල් දමපු නූඩ්ල්ස් රැළිවලින් කුසේ හිස් බව පුරව ගත්තු අපිව වටකරගෙන හෝර්ටන්තැන්නේ හීතල පැතිරිලා ගියා.... කලින් දවසේ හරි හමන් නින්දක් නැති අපේ උදවිය හනි හනික නිදි දෙව්දුව වැලඳගන්න සූදානම් වුණා.... වටවෙලා කරපු සුහද සාකච්ඡාවට හොරෙන් එකා එකා නින්දට යද්දි කතා සාප්පුවේ ඉතිරි වුණේ සන්තුෂ් සහ දුලිප් පමණයි....

ගල් ගැහෙන හීතලේ- අලුත් දවසක අලුයම

වේලාව උදේ 5.30

ඇඳගෙන හිටපු ශීත කබා, දරදඬු ඇඟලුම් පසාරු කරගෙන හම් මස් නහර රිදුම් දෙන හීතල ඇට මිදුලුවලටම දැනෙද්දි හෝර්ටන්තැන්නට අලුත් දවසක් උදාවුණා... උදේ පාන්දර වැටෙන පින්න පුංචි වැස්සක් විදියට කූඩාරම් වෙලා ගනිද්දි ඉර උදාවට පැයකට විතර කලින් බිම් කළුවර මැකිලා ගියා... මුලින්ම අවදිවුණු ළහිරුත්, චතුරත් හුරුබුහුටි ගෑස් උදුනට පණ පොවල අරන් වතුර සාස්පානක් රත්කරන්න පටන් ගත්තා...

රන්වන් පාට වෙන පාන්දර අහස සරසන රිදී රේඛාවලින් මායිම් ඉරි ඇඳපු වලාකුළු යටින් හෝර්ටන් තැන්නේ තෘණ බිම්වල පිනි විසිරිලා ගිහින් අපූරු දර්ශනයක් ඇස් මායිමට අරන් ඇවිත් තිබුණා.... තැනින් තැන සරුවට හැදුණු මහරත් මල් ගස්වලට යන එන කුරුලු යාළුවෝ ඒ වෙනකොටත් දවස අරඹලා තිබුණා... පාන්දරින්ම හෝර්ටන්තැන්නට එන සංචාරයකුට විතරක් දකින්න ලැබෙන ඒ සුන්දර දර්ශනය අපි දෑහින්ම දැක්කා....

ටික වේලාවකින් අමිලගේ සුරතින් හැදුණු රසම රස මෝල්ට් කිරි එකක් ප්ලාස්ටික් කෝප්පවලට වැටිලා පිරිස අතරට ගියා... කිසිම දවසක ගෙදරදි, හෝටලයකදි විඳින්න බැරි , කියලා ලියලා විස්තර කරන්නත් බැරි අපූරු රසයක් ඒ තේ කෝප්පේ තිබුණා... සකසුරුවමට පෙරන්න තේ ගොටු නැති, සීනි, පිටි කලවම් කරන්න හැඳි නැති ඒ කඳවුරු බිමේ බීපු කිරි තේ එකේ රස ලියන මේ මොහොතෙත් දිවට දැනෙනවා...දැනෙනවා වගේ.....

හෝර්ටන්තැන්න- චිමිණි පොකුණ කඳවුරු බිම

වේලාව උදේ 6.45

ගතට දැනෙන සීතල අමතක කරලා හනි හනිකට අලුත් දවසේ කාලසටහනට අනුගත වුණු අපි ඉක්මනින්ම සූදානම් වුණා. ඊළඟ කටයුත්ත විදියට තිබුණේ පට්ටිපොලෙන් ලැබෙන අපේ උදෑසන කෑම වේල කූඩාරම් බිම කරා රැගෙන එන එක.... ඊළඟ අඩ හෝරාවෙදි උදේ කෑම වේල රසවිඳින අපිට එදා දවසේ පළමුවෙන්ම හෝර්ටන්තැන්නට පිවිසි සංචාරක කණ්ඩායම ලෝකාන්තය සොයාගෙන මාවත දිගේ ඇවිද යන අන්දම දකින්න පුළුවන් වුණා.

හෝර්ටන්තැන්න පිවිසුමේ සිට ලෝකාන්තය කරා පාගමනින් යන ගමනෙදි පිවිසුම් මාර්ග දෙකක් තියෙනවා... රතු පාලම පසුකරගෙන මීටර් 800ක් විතර පොදු මාර්ගයක පැමිණිය යුතු පිරිස අංක 01 කඳවුරු බිම ආසන්නයෙන් හමුවන තෙමංසලේදී යායුතු මාර්ගය තෝරාගත යුතු වෙනවා... වම් පස මාර්ගය තෝරාගතහොත් පළමුවෙන් කුඩා ලෝකාන්තයත් අවසානයට චිමිණි පොකුණත් විදිහට සුවිශේෂී මංසලකුණු හමුවෙනවා... දකුණට විහිදෙන මාර්ගය තෝරාගතහොත් මුලින්ම චිමිණි පොකුණත්, අනුපිළිවෙළින් බේකර්ස් ඇල්ල, ලෝකාන්තය සහ පුංචි ලෝකාන්තයත් හමුවෙනවා... කුමන මාර්ගයේ ගියත් කිසිදු මංසලකුණක් මඟහැරෙන්නේ නම් නෑ...

ලෝකාන්තය පමණක් නැරඹීම එකම අරමුණ නොවුණු අපේ කණ්ඩායම එහි වෙසෙන සත්ත්ව ඝනත්වය දකිනු රිසියෙන් පළමුවෙන් පුංචි ලෝකාන්තය හමුවන වම්පස මාර්ගයේ යා යුතුයි කියා කතිකා කර ගත්තා... ඒකට හේතුව එම මාර්ගය පුංචි ලෝකාන්තය දක්වාම විහිදෙන වන ගොමුවකින් වැසී තිබීම... උදෑසනම සක්‍රිය වන පක්ෂීන්, කුඩා සිව්පාවුන් සහ සමනලයන් දැකීම, අපේ අරමුණ වුණා...

හිරු හිනැහෙන උදැසනක - ලෝකාන්ත පිවිසුම් මඟ

වේලාව උදේ 8.15

දිගු සති අන්තයක මැද දිනය වුණු නිසාම එදා දවස හෝර්ටන්තැන්නට බොහොම කාර්යබහුල දවසක්... දහ දොළොස් දෙනෙක්ගේ කණ්ඩායම් ලෝකාන්තය සොයාගෙන බමරු වගේ පෙළින් පෙළ ඇදෙමින් තිබුණා... විදේශිකයන් වගේම දේශීය සංචාරකයන් හරි හරියට ඇවිත් හිටියා... දේශීය සංචාරකයන් බහුතරයකට වගේම, චීන, කොරියානු සම්භවයක් සහිත සංචාරකයන්ටත් තමන් ඇතුළු වී සිටින වනෝද්‍යානයේ වැදගත්කම ගැන අවබෝධයක් තිබුණ නෑ... ළිඳ ළඟ සංගමයකට පිවිසි වනිතාවන් රෑනක් සේ මහ හඬින් සිනාසෙමින්, කෑ ගසමින්, පටු මඟ දුහුවිලි අවුස්සමින් ඔවුන් ඔවුන්ගේ "නැණ පමණින්" වන සිරිය විඳ ගත්තා... සමහරෙක් ශබ්ද නඟන කුඩා ඉලෙක්ට්‍රොනික උපාංග, ජංගම දුරකථන යොදාගෙන ගීත අසමින් ගමන් ගත්තා.... ඇතුළු වන ස්ථානයේ හැර අන් කිසිම තැනක රාජකාරියේ යෙදෙන වනෝද්‍යාන නිලධාරීන් සිටියේ නැහැ... එහෙම සිටියා නම් මෙම අවිනීත ක්‍රියා වැළැක්වීමේ හැකියාවක් ලැබෙන්න ඉඩ තිබුණා... ඔවුන්ගේ ඒ හැසිරීමෙන් කලකිරීමට පත් අපි වගේම පරිසර ලෝලීන්, සැබෑවටම හෝර්ටන්තැන්න විඳින්නට ආ දෙස් -විදෙස් සංචාරකයන් පිරිසකුත් මේ මහා ජන ගඟ මැද හිටියා.....

මේ කලබලකාරී සංචාරකයන් මඟ හරින්න උපක්‍රමයක් අනුගමනය කළ අපි ඔවුන් හමුවන හැම මොහොතකම නැවතී සිට යළිත් අවට සන්සුන් වූ පසු ගමන් ආරම්භ කළා... ටික දුරක් යළිත් පරිසරය විඳිමින් නිසොල්මනේ යන අපිට පිටුපසින් නැවත ඝෝෂාකාරී කණ්ඩායමක් එනවිට නැවතී ඉඩදුන් අපි, ඔවුන් නොපෙනෙන දුරට ඈත් වූ පසු ගමන ආරම්භ කළා... මේ නිසාම ගමනාරම්භයේ සිට කිලෝමීටර් 3.5කින් තිබුණු ලෝකාන්තයට පිවිසීමට අපිට පැය තුනකට ආසන්න වේලාවක් ගත වුණා...

පිනි වියැළෙන නිමේෂය - ලෝකාන්ත පිවිසුම් මඟ

වේලාව උදේ 9.15

පැයකට ආසන්න වේලාවක මීටර පන්සියයක් පමණ දුරක් ඇවිද ගිය අපි විවෘත තණ බිම පසුකර වනතීරුවකට ඇතුළු වුණා.. කඳුකර තෙත් වනාන්තර ලක්ෂණ සහිත කීන - Callophyllum, දඹ - Syzygium, අලි කන් වගේ ශාකත්, ඒවායේ කඳන් වසා පැතිරුණු පාසි හා ලයිකනත් දකින්නට ලැබුණා.. සාර්ථක යටි වගාවක් වෙනුවට මීවන සහ අාකාස්ටීය ශාක දැකගන්නට තිබුණා... මේ අාකාස්ටීය ශාකවල නිතර නොදකින බොහොම අපූරු කුඩා කුඩා මල් පිපිලා තිබුණා... හීන් බෝවිටියා, වල්කුරුඳු, නිල් බිනර ඒ අතර ප්‍රධානයි. මීවන ශාක වැවිලා තිබුණු පස් කණ්ඩිවල සිදුරු තුළින් විවිධාකාර මැඩියන්ගේ ශබ්ද ඇසුනත් දකින්නට තරම් වාසනාවක් අපිට ලැබුණේ නෑ.. හැබැයි හොර නින්දකද, සැබෑ නින්දකදැයි පහදාගත නොහැකි පලාවන් කටුස්සකු අව්ව තපිමින් හිටිය හැටි නම් සුන්දර දසුනක් වුණා. අතරින් පතර විවෘත බිම්වල ලංකාවටම ආවේණික කුරු උණ යායවල් දකින්න ලැබුණා.

"අන්න දඬු ලේනා...."

අපි හිටිය තැනට මදක් එපිටෙන් උස් ගසෙක හිටිය දඬු ලේනකු දුටු මම අපේ ඡායාරූප ශිල්පීන්ට අවශ්‍ය ඉඟිය දුන්නේ රහසෙන් වගේ..... සතෙක් දැක්කහම පිස්සු වැටෙන්නේ අපේ ඡායාරූප ශිල්පියෝ තමයි... සතාට වැඩිය දඟලගෙන එයාල ගහන ෆොටෝ තමයි අපේ මතකය වෙනුවෙන් අවසානෙට ඉතිරි වෙන්නේ....

තවත් ටික දුරක් යද්දි අපේ පිරිසට හමුවුණේ මැඩියෙක්ව.... ඊට අමතරව දන්නා නොදන්නා කුරුල්ලෝ ගොඩ දෙනෙකුත් ඒ තුරු ගොමු තුළ අපේ පිරිසගේ රසවින්දනය පිණිස ඉතුරු වෙලා හිටියා....

හෝර්ටන්තැන්න- කුඩා ලෝකාන්තය

වේලාව උදේ 10.45

අපි හෙමින් හෙමින් කුඩා ලෝකාන්තයට ළංවෙන කොට එතැන ලොකු පිරිසක් හිටියේ නෑ... සුන්දර ජපන් යුවතියන් පිරිසක් සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින අපූරු දසුනක් අපි දැක්කා…

"කොහොමද? ලංකාව ලස්සනයිද?" ලක්ශ්‍රී ඉංග්‍රීසි භාෂාවෙන් ඔවුන්ගෙන් විමසුවා....

"අනිවාර්යයෙන්ම" ඔවුන් පිළිවදන් දුන්නා... ටික වේලාවකින් අපි සමඟ මිතුරු වූ ඔවුන් කැඩුණු සිංහලෙන්ම කථා කරන්න ගත්තා... ටිකක් පුදුම වුණත් ඒ පුදුමය නැතිවුණේ වසර ගණනාවක්ම ලංකාවේ සිටි ඔවුන් මෙරට එක්තරා ආයතනයක සේවකයන් ලෙස කටයුතු කළ බව හෙළි වීම නිසා....

"අපි සිංහල දන්නේ නෑ කියල හිතාගෙන- ඔයාලගේ සමහර කට්ටිය කැත වචන කියාගෙන යනවා... ඇයි ඒ" ඔවුන් අපෙන් ඇසූ ප්‍රශ්න ගණනාවකින් අපි නිරුත්තර වුණු එකම පැනය එයයි... අවසානයේ ඒ පිළිබඳව ඔවුන්ගෙන් සමාව පැතූ අපි ඔවුන් සමඟ ඡායාරූපයකටද පෙනී සිට, සමාජ ජාල සම්බන්ධතාද හුවමාරු කරගෙන සමුගත්තා...

තවත් ටික වේලාවක් ඡායාරූප සඳහා කාලය මිඩංගු කළ අපි ලෝකාන්තය කරා විහිදෙන පටුමඟ ඔස්සේ නැවැත ගමන ආරම්භ කළා.... තැන තැන දමා ගිය කසළ සහ හිස් බෝතල් මේ මාර්ගයේ තැනින් තැන රැඳී තිබෙන ආකාරය දකින්න පුළුවන්... පිවිසුමේදී පරීක්ෂා කර සංචාරකයන් ඇතුළු කළාට එහිදී පූර්ණ පරීක්ෂාවක් නොවන බවට මේ අපද්‍රව්‍ය හොඳ නිදසුනක්... විශේෂයෙන්ම කාන්තාවන්ගේ පූර්ණ පරීක්ෂාවක් සිදු කිරීමට නිලධාරීන් නොමැති නිසා මත්පැන් සහ මත්ද්‍රව්‍ය කාන්තාවන් ලවා වනෝද්‍යානය තුළට රැගෙන යන බව සිතිය හැකියි.

හෝර්ටන්තැන්න- ලෝකාන්තය

වේලාව උදේ 11.25

තවත් අඩ හෝරාවක පමණ ගමනකින් අපි ලෝකාන්තය කරා පා ගමනින් ආවා... වෙසක් එකට දන්සල් ළඟ තියෙන තරමේ පෝලිමක්, උද්යෝගයක් ලෝකාන්තය ළඟ තිබුණා... හැමෝම රැස්කකා ලෝකාන්තයෙන් පහළ මිටියාවත නෙත් අතරේ රඳවාගැනීමට ලොකු උත්සාහයක යෙදුණා..

පොරකාගෙන ලෝකාන්තය දිහා බලන ගොඩක් දෙනා අතරේ මට මගේ පළමු හෝර්ටන්තැන්න චාරිකාව මතකයට නැඟුණා... ඒ 1998දි... ඔහියේ ඉඳන් පාගමනින් පැමිණි අපි ෆාර් ඉන් පිවිසුමට එනකොට එතැන තිබුණේ වාහන තුනයි... එතැන තිබුණු ආපන ශාලාවෙන් ඊස්ට් රොටී කාලා ලෝකාන්තයට ආව අපිට ඉදිරියට හමුවුණේ පස් දෙනෙකුගේ කණ්ඩායමක් විතරයි... ඒ අයත් අඳුරු ඇඳුමෙන් සැරසිලා දුර දක්න අරගෙන, පරිසරය විඳින්නටම ආව අය... ලෝකාන්තයේ අද පවතින කොන්ක්‍රීට් වේදිකා එදා තිබුණේ නෑ... ගල්තලාවක වාඩි වෙලා පාමුල බලපු අපි බේකර්ස් ඇල්ල පැත්තෙන් පල්ලම් බහිද්දි ගෝන්නු රංචු පිටින් හිටියා...

සංචාරකයන් වැඩිවීම, සංචාරක සංස්කෘතියක් ඇතිවීම හොඳයි... හැබැයි එය උන්මාදයක් වී තැන නොතැන නොදැන හැසිරෙන සංචාරකයන්ගෙන් පිරීඉතිරී යනවා නම් එය පරිසර ලෝලීන් විදියට අපිට අනුමත කරන්න අමාරුයි... මේ සුන්දර බිමේ උරුමකරුවන් විදියට හෙට ඔබත් මෙතැනට පැමිණිය යුතුයි.... ඒත් ඒ පරිසරයට ගරු කරමින්, පරිසරය විඳිමින් යන ගමනකට මිසක වෙසක් සතියේ වෙසක් බලන්නට තොටළඟට, මරදානට යන හැඟුමෙන්, හැසිරීමෙන් නම් නොවෙයි....

ඡායාරූප ගැනීමෙන් පසු අපේ පිරිස පහන් සිතෙන්ම නොවුණත්, හැඟීම් මැඬගෙන බේකර්ස් ඇල්ල දක්වා වැටුණු පටු මාවතට පිවිසියා... ඒ මඟ තොරතුරු මීළඟ ලිපියෙන් ඔබට කියන්නම්...

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමඟ ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමඟ අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතුවන්න… අපේ මීළඟ චාරිකාව සුන්දර යාපනයට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 077 90 16 752 / දුලීප් 0777 043 804 / 0759 043 804

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ] [email protected]

ඡායාරූප [ප්‍රදීප් ලක්සිරි සමඟ ශාලික මධුශංඛ] Eternal Traveller වෙනුවෙන්

මාතෘකා