පරසිදු චිමිනි පොකුණ අද්දර ගතවෙන රැයකි සුන්දර

 ඡායාරූපය:

පරසිදු චිමිනි පොකුණ අද්දර ගතවෙන රැයකි සුන්දර

සඳ නැති රැයක තරු එළියෙන් කූඩාරමේ ගත කළ හැටි හෝර්ටන්තැන්න

අග්‍රා බෝපත් නිම්නය දකිමින් වේලාව සවස 1.30

හෙමින් හෙමින් කිරිගල්පොත්ත බහින්න ගත්තු අපේ පිරිවර මේ වෙනකොට කණ්ඩායම් තුනකට බෙදිලා ගිහින් තිබුණා.... ඒකට හේතු කාරණා කිහිපයක් තිබුණා... පළමු හේතුව වුණේ අපේ කූඩාරම් ටික ඉදිකිරීම..... හවස 3 වෙනකොට පට්ටිපොළ දෙසින් වන හෝර්ටන් පිවිසුම වසා දමන නිසා අපේ කණ්ඩායමේ කුඩාරම් සහ අනෙකුත් බඩු බාහිරාදිය රැගත් වාහනය ඒ වෙලාව වන විට ලෝකාන්ත පිවිසුමට එන බව දැනුම් දිලා තිබුණා... ඒ බඩු ටික බාරගන්න ඕන නිසා සම සංවිධායක දුලිප් වගේම චතුර සහ අමිලත් ඒ වෙනුවෙන් ඉක්මන් ගමනින් පල්ලම් බැස්සා....

අරවින්ද භූමි මූලික කරගත්තු දෙවැනි කණ්ඩායමේ හිටියේ බඩගිනි කාරයෝ රංචුව....මොකද උදේ කෑමෙන් පස්සේ පැය ගණනාවක් ප්‍රධාන ආහාරයක් නැතිව හිටපු සමහරුන්ට බඩගින්න හොඳටම දැනිලයි තිබුණේ....

අවසාන කණ්ඩායමේ මාත්, ශාලිකත්, ප්‍රදීප් ලක්ශ්‍රී, ලක්ෂ්මන්, ළහිරු, දමින්ද, සන්තුෂ් ඇතුළු පිරිස හිටියා... අපේ අරමුණ වුණේ හවස් වරුවේ වනතීරු වලින් එළියට බහින ගෝනුන්, කුරුල්ලන් දෙනෙතෙතින් දකිමින්, තෙවැනි ඇසින් මතක සටහන් ගනිමින් හෙමින් යන ගමනක්....

පිරිසක් එක්ක යන සංචාරයකදි එකිනෙකාගේ රුචිකත්වය/ ශරීර යෝග්‍යතාව අනුව කණ්ඩායම් ගතවීමක් සිදුවෙනවා.... ඒක ගැන සංචාර සංවිධායකයින් විදියට අපි අවබෝධයෙන් සිටිය යුතුයි... දිවියන්, වල් ඌරන් වගේ සතුන් ගැවසෙන හෝර්ටන් තැන්න වගේ වන සංචාරයකදී කිසිදු ගමන් සගයෙකු තනිව වන මං පෙත දිගේ ඇවිද යාමට ඉඩ නොදීම වැදගත්.... ඒ නිසා සංවිධායක වරයා විදියට අවබෝධයෙන් යුතුව කණ්ඩායමේ පසුපසම සාමාජිකයා විදියට මම ගමන් ගත්තා...

මුලින්ම තියෙන ශීඝ්‍ර බෑවුම ඉවසිල්ලෙන් බැස්සහම, ඊළඟ දුර යන්න තියෙන්නේ අඩු ආනතියක් සහිත තැනිතලා මාර්ගයක... විටින් විට හමුවන දිය පාරකින් දෙකකික් හිස් වූ ජල බෝතල් පුරව ගත්තු අපි හමුවන තුරුලතා, මල්ගොමුවල අසිරිය දකිමින් පහළ බැස්සා... තවත් ටික දුරක් පහළ බහින අපිට මං පෙත ඉදිරියෙන් බටදඬු කැලය බිඳගෙන යන සතෙකුගේ ශබ්දයක් ඇසුණා....

"ගෝනෙක්....." ඉස්සරහින් හිටපු සන්තුෂ් කිව්වා....

"අන්න... අර හරියෙන් දිව්වේ...."

අපි සීරු මාරුවට මංපෙත දිගේ සන්තුෂ් දැක්වූ මානයට ගියා.... ඇත්ත, මං පෙත අයිනෙන් බට දඬු කැළය ඇතුළට වන්නට පොළවේ සතෙකු විවේක ගත් සලකුණු දකින්න පුළුවන්... පුංචි ගස් තැළිලා- නැමිලා ගිහින්.... කුර සටහන් කිහිපයකුත් තියෙනවා....

"අනිවාර්යයෙන් "ගෝනා"..... උන් අව්ව සැර වැඩි වෙලාවට හෙවනකට වෙලා විවේක ගන්නවා.... විමසිල්ලෙන් යමු " කුර සටහන් දිහා බලපු මම කිව්වා...

වනදිවි පිරිවර කලඑළි බසින මොහොත වේලාව සවස 3.00

අපේ අවසාන කණ්ඩායම ආපහු දෙකට කැඩිලා.... ලක්ෂ්මන්, ශාලික ටිකක් විතර ඉදිරියට ගියා.... සියුම් පාරිසරික ඡායාරූපවලට අවශ්‍ය තරමට වෙලාව ගනිමින් ලක්ශ්‍රී සමඟ ඉතිරි පිරිස පිටුපසින්.... මම ඒ සියලු දෙනාට පිටුපසින්....

කොළඹ උණුසුමට හුරු වුණු අපට විඩාව නොදැනුණත්, හෝර්ටන් තැන්නට සෘජුව වැටුණු හිරු රැස් තුනී වෙලා ගිහින්.... දහවලට වන වදුලු වල විවේක ගත්තු කුරුලු කෙවිලියන් තමන්ගේ රෑ අහර කිස වෙනුවෙන් කලඑළි බැහැලා.....

ඒත් අපේ විමසුම් ඇස් හොයන්නෙම ගෝනෙක්ව.... (හෝර්ටන් තැන්නේ ඇවිත් ගෝනෙක් දැක්කේ නැත්නම් ඒක ලොකු අඩුවක්) ඉන්දු උප මහාද්වීපයේ වගේම ගිණිකොණ දිග ආසියාවෙදීත් හමුවෙන මුව පවුලේ සාමාජිකයන්ගෙන් ලොකුම සාමාජිකයා තමයි ගෝනා කියන්නේ. ගෝනා ක්ෂීරපායී සත්වයෙක්.අපිට ලංකාවේදී හමු වන්නේ Rusa unicolor unicolor කියන උප විශේෂය.

ගෝනෙකු සාමාන්‍යයෙන් උරහිස් දක්වා සෙන්ටිමීටර් 102-160ක් විතර ඒ කියන්නේ අඟල් වලින් නම් අඟල් 40-60ක් විතර උසට වැඩෙනවා. ඒ වගේම මෙයාල කිලෝ ග්‍රෑම් 546ක්, රාත්තල් වලින් නම් රාත්තල් 1200ක් විතර බර වෙනවා. මෙයාලගේ හිස සහ ශරීරය මීටර් 1.62 - 2.7ක් විතර දිගට වර්ධනය වෙනවා. ඒකට තව සෙන්ටිමීටර් 22-35ක විතර පුංචි වලිගෙකුත් එකතු වෙනවා.

සෙන්ටිමීටර් 110ක් විතර වෙච්ච විශාල රළු අං යුගලයක් සම්පූර්ණයෙන්ම වැඩුණු සතුන්ගේ දැකගන්න පුළුවන්. හැබැයි ගොඩක් මුව විශේෂවල වගේම ගෝනුන්ගෙත් පිරිමි සත්තුන්ට විතරයි මේ විදියට අං යුගලයක් පිහිටන්නේ.

මොවුන් ප්‍රධාන වශයෙන්ම වන භූමිවල ජීවත් වන අතර වගාවන්, තෘණ වර්ග , කොළ අතු, ජලජ ශාක වර්ග ආදිය උලා කමින් දිවි රැකගන්නවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය වගේ රටවල තියෙන ජාතික උද්‍යානවල වගේම රක්ෂිත වනාන්තර වගේ ආරක්‍ෂිත ප්‍රදේශවල රංචු විදියට දිවි ගෙවනවා දැක ගන්න පුළුවන්. හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ශ්‍රී ලංකාව තුළ මොවුන් නිරීක්ෂණයට ඇති හොඳම ස්ථානය බවට පත් වෙලා තියෙනවා.

දිවියන්ගේ ප්‍රියතම ආහාරයක් විදියට මොවුන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රෝගී සතුන් හා පැටවුන් කිඹුලන්ගේ වගේම නරියන්ගේ ආහාර බවට පත් වෙනවා. වාසස්ථාන විනාශ වීමත් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත් වීමත් නිසා මොවුන් තර්ජනයට ලක්වෙලා තියෙනවා.(තොරතුරු උපුටාගැනීම - srilankanbiodiversity බ්ලොග් අඩවියෙන්)

හෙමින් හෙමින් වන ගොමුවක් ඇතුළතින් ආව අපේ ඉදිරියෙන් අක්කර ගණනාවක් පුරාම පැතිරුණු තෘණ බිමක්.... අනිවාර්යයෙන් මෙතැන පිහිටීම අනුව ගෝනා සිිටිය යුතුමයි.... මගේ හිත මට එහෙම කිව්ව…

'කවුරුවත් කලබල නොකර - කෝටුවක් කැඩෙන තරමටවත් සද්දයක් නොකර යමු.... මේ හරියේ ගෝන ඉන්න පුළුවන්...." දැන හුරුවෙන්, දැක හුරුවෙන් ලැබිල තිබුණු පළපුරුද්දෙන් සිරීපාදේ වන්දනාවේ යන නඩේගුරෙක් වගේ මගේ වචන ඉස්සර වුණා....

වනතීරු මායිමේ ඉඳන් අපි පස් දෙනෙකුගේ නෙත් දහයක්, අංශක 280ක විතර වටපිටාවක සිසාරා බැලුවා... අනුමාන කළ විදියටම වන භූමි කෙළවරේ තිදෙනෙකගෙන් යුත් ගෝන්නු රංචුවක් හිටියා..... කැමරා වල කාච සුසර කරමින් - සුදුසුම කෝණ සොයමින් ලක්ශ්‍රීත්, ළහිරුත්, තරමක් ඈතින් ශාලිකත් , ලක්ෂ්මනුත් රාජකාරි ආරම්භ කළා....

වන අරණ නිසල වන සුයාමය වේලාව සවස 4.30

හෙමින් හෙමින් වට පිට අසිරිය බලමින් ලෝකාන්ත පිවිසුම දක්වා අපි එනකොට පෙර කණ්ඩායම් දෙකේ සහෘදයින් අපි වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරලා තිබුණා.... ෆාර්- ඉන් කාර්යාලයේ ගබඩාකරපු අපේ බෑග් එළියට අරගෙන, වනජීවී නිලධාරීන් ලවා අවශ්‍ය පරික්ෂා කිරීම් සිදුකරවා ගෙන තිබුණා. ඊළඟට පට්ටිපොළ සිට අමිල විසින් රැගෙන ආ කූඩාරම් උපාංග වාහන නැවතුමේ සිට ලෝකාන්ත පිවිසුම දක්වා රැගෙන විත් තිබුණා...

යකෙක් වෙනුවට දෙතුන් දෙනෙක් කන්න තරමට බඩගින්නේ හිටපු අපි කෑම පාර්සල් ටික හොයාගෙන යනකොට දමින්ද සහෘදයා ඒවා මුරකරමින් කෑම ශාලාවට වෙලා හිටියා...

ඒ වෙනකොට හෝර්ටන් තැන්නට රාත්‍රිය උදාවෙමින් තිබුණා... අසිරිය විඳින්නට පැමිණි සංචාරකයන් ආපසු යාම සඳහා තම තමන්ගේ වාහන වලට ගොඩවෙමින් හිටියා... ඔහිය පාරේ සුප්‍රසිද්ධ කළු පාලම පහුකරගෙන වාහන එකින් එක පිටවෙද්දි, පට්ටිපොළ පාරේ මහඑළිය බංගලාව පහුකරගෙන පල්ලම් බහින වාහනත් අපිට පෙනුණා…

තවත් විනාඩි කිහිපයකින් කෑම කාලා අහවර වුණු අපි ෆාර්- ඉන් කාර්යාලය අසලට ඇවිද යන විට දවසේ සේවය අවසන් කළ නිලධාරීන්ද පිටවීම ආරම්භ කරලා තිබුණා... හෝර්ටන් තැන්න, කඳවුරු බිම් වෙන්කරගත්තු අපිට අයිති වෙමින් තිබුණා.. ආඩම්බරය මුසු ගෞරවය හිස් මුදුනට ගත්තු අපි සැඳෑ හිරු බැසයන අවරදිගට විහිදුණු ලෝකාන්ත මාවත දිගේ පියවර මැන්නා... නිකම්ම නොවේ, කුඩාරම් බිමට අවශ්‍ය බඩු බහිරාදිය පොදිත් බෙදා හදාගෙන.....

චිමිනි පොකුණේ ඉහත්තාව වේලාව සවස 5.40

හට්ටි මුට්ටි පොදි ගහගෙන, කොට්ට පැදුරු කිහිලි ගන්නගෙන මිටර 1,200ක දුරක් රළු පාර දිගේ ඇවිදගෙන ආව අපි විනාඩි තිහ හතළිහක ගමනකින් සුන්දර චිමිනි පොකුණ ගාවට ආවා... දුලිප්, ළහිරු, අමිළ වගේ අපිව හුරු පුරුදු අපේ සහෘදයින් ඉක්මනින්ම කූඩාරම් ඉදිකිරීම ආරම්භ කර තිබුණා... අපේ පිරිස කඩිසර කරන්න හිතාගෙන බලංගොඩ පැත්තෙන් හමාගෙන ආව පුංචිම පුංචි වැහි වලාකුළක් ආසිරි මල් වරුසාවකුත් තිළිණ කළා... තවත් විනාඩි විස්සකදි විතර කූඩාරම් බිම ඉදිකරපු අපි ගමන් මලු ඒ තුළ අසුරා රෑ කෑම වෙනුවෙන් උදුන් සූදානම් කළා...

අමාවක පෝය පහුවෙලා දවස් කිහිපයක් ගත වෙලා තිබුණු නිසා සඳ කුමරිය පෑල දිග අහසේ කෙළවරින් මතුවෙලා තිබුණේ තවත් ටික වේලාවකින් අග්‍රා බෝපත් කන්දට මුවා වෙලා නිවාඩු යන්න බලාගෙන... ඒ පෙරවදන අභියෝගයක් කරගත්තු අපි ලන්තැරුම් එහෙම පත්තු කරගෙන කූඩාරම් බිම ආලෝකමත් කළා...

රෑ කෑමට සැකසූ නුඩ්ල්ස් පට්ටිපොළින් ලැබිලා තිබුණා... ගත වෙහෙසන සීතල නිසා අනුපාන ලෙස සකසන කුකුළුමස් කරිය යළි අප විසින් උණුසුම්ව පිළියෙල කරන්නට නියමිතව තිබුණා. පරිසරයේ සීතල නිසාම කොළඹදී විනාඩි දහයට පැහෙන වතුර සාස්පාන පැහෙන්න විනාඩි තිහක් ගියා... හොද්ද හැදෙන්න පැයක් විතර ගියා....

ඒ අතරතුර කාලෙදි 'වතුරට අධිපති ග්‍රහයා නීච වෙලා තිබුණු' දුලිප් සහ දමින්ද හැර ඉතිරි සියලු දෙනා සීතලම සීතල චිමිනි පොකුණට බැහැලා නා කියා ගත්තා....

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව සුන්දර යාපනයට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 077 90 16 752/ දුලිප් 0777 043 804 / 0759 043 804

 

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ] [email protected]

ඡායා- Eternal Traveller වෙනුවෙන් ප්‍රදීප් ලක්සිරි සමඟ ශාලික මධුශංඛ

මාතෘකා