කටුක ගමනක සොඳුරු කතාව

 ඡායාරූපය:

කටුක ගමනක සොඳුරු කතාව

 

අලගල්ලේ කන්ද නැඟීම

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේමරැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව දුම්බර කඳුවැටියේ සැඟවුණු කඳුමුදුනකට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

[ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ]

[email protected]

ඡායා Eternal Traveller වෙනුවෙන්

[දුලිප් සිකුරාජපති] සහ අන්තර්ජාලයෙන්

(මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය)

අපි විස්කෝතුවක් දෙකක් කාලා, වතුර උගුරක් බොන නිමේෂයට අලගල්ලේ කාලගුණේ එකපාරටම වෙනස් වෙලා ගියේ ලොකු මීදුම් වලාවකුත් එක්ක.

"මෙහේ කාලගුණේ හැටි මෙහෙම තමයි… නිමේෂෙන් වෙනස් වෙනවා…" මඟපෙන්වන සමීර නිදහසට හේතු කිව්වේ…. අපේ ප්‍රමාදයට නෝක්කාඩු මුහුණකුත් මවාගෙන….

"හරියට කෙල්ලෝ වගේ…." එහෙම කිව්වේ ආදරයෙන් පැරදිලා අයින් වෙලා පයින් යන ගමන් සගයෙක්… ඒ කතාවට හැමෝටම වගේ හිනා ගියත් කතාව කියපු ඔහු නම් බැරෑරුම් මුහුණක් ආරූඪ කරගත්තා….

අපි ආපහු කඳු නැග්මට සූදානම් වුණා… අපේ කණ්ඩායමේ හිටියෙ එකම එක සාමාජිකාවක් විතරයි. ඒ නිසා කූඩැල්ලන්ගේ අවදානම ගැන වැඩි වැඩියෙන් උනන්දු වන ඇයට සැම විටම ඉදිරි පෙළ පිරිනමන්න කටයුතු කළේ ගමන ඉක්මන් කරන්න ඕන නිසා….

දැන් ටිකෙන් ටික හමුවන්නේ තේ පඳුරු පිරුණු බිමක්… සමහර තේ කට්ටිවල තේ දලු නෙළන කාන්තාවන් දකින්නත් පුළුවන්කම ලැබුණා… ඒ අලගල්ල වත්තේ තේ ඉඩම් බවත්, එම තේ දළු කැඩීමට සැතපුම් පහ හයක් ගෙවා වත්තේ වැඩට එන සේවකයෙන් සිටින බවත් ඔවුන් සමඟ කළ කෙටි කතා බහකදී දැනගන්නට පුළුවන් වුණා…

තවත් අඩහෝරාවකට ආසන්න කාලයකදී අලගල්ල තේ කම්හල ආසන්නයට පැමිණීමට අප සමත් වුණා… මීදුම් ගතිය තරමක් පහවී ගොස් තිබුණත්, හිතට බිය ගෙනෙන වැසි වලාවන්වල දසුන නම් අපට කළේ අනතුරු ඇඟවීමක්…

එහෙත් සමීරගේ සැහැල්ලුව අපිට පහසුවක් වුණා…

 

දුම්රියෙන් ඇවිත් ඉහළ කෝට්ටේ දුම්රියපොළෙන් බැහැල ආවත්, පොත්තපිටිය හරහා වාහනේකින් ආවත් මේ තේ කම්හල අසල සිට අලගල්ල නැඟිය යුත්තේ එකම පාරකයි. නමුත් රඹුක්කන ගංගොඩ හරහා ඇවිත් අලගල්ලට එන්නට තවත් පාරක්ද තිබෙන බව කියැවේ. එහෙත් එමඟින් එන්නන් අලගල්ල නඟින්නට පෙර එහි පරිවාර කන්දක් වන පූජාගල මුලින්ම නැඟ, අනතුරුව අලගල්ලට පැමිණිය යුතුය.

ලංකාවේ නිදහසත්, අලගල්ලත් අතර ඇත්තේ අපූරු සබැඳියාවකි. මෙයට පෙර වෙනත් චාරිකා සටහනකදී මම ඒ ගැන තොරතුරු සොයා බලා සටහන් කර ඇත්තෙමි. ඒ කතාවට අනුව පොත්තපිටියට ආසන්නව "තුම්පනේ" නමින් පැරණි ගමක් වෙයි. මහනුවර රාජධානියේ කෙළවරක තිබූ මේ ගම බොහෝ දෙනා විසින් කොන් කර තිබූ ගමකි. එයට හේතුව කුල ප්‍රශ්නයක් හෝ වෙනත් හේතුවක් වන්නටද පුළුවන.

රාජධානි සමයෙන් පසු ඉංග්‍රීසි පාලන සමයේදීද ඒ කෙනෙහිලිකම්වල අඩුවක් නොවූ අතර, ඒ නිසාම ඒ ගමේ වැසියෝ සමාජ දැනුමෙන් සන්නද්ධ වූවෝ නොවූහ. සුද්දාගේ පාලනයට නතුව සිටින ඔවුනට, 1948 පෙබරවාරි 04දා කොළඹදී සුද්දා නැවත රට භාර දෙන අාකාරය ගැන තිබී ඇත්තේ කුතුහලයකි. උස් කඳු මුදුනක් වන අලගල්ල මුදුනේ සිට අහස පැහැදිලි දිනෙක කොළඹ මුහුදු තීරය පවා පැහැදිලිව දැකගත හැකි නිසා නිදහස ලැබීමත් සමඟ කොළඹදී සිදුවන විශේෂ විපර්යාසයක් වේ නම් ඒ සිද්ධිය දැක ගැනීමේ අදිටනින් මේගම එදා වැසියන් නිදහස ලැබෙනදා අලගල්ල මුදුනට නැඟ තිබෙන බව පැතිර පවතින ජනප්‍රවාදයකි.

නිදහස ලැබෙනදා උදේ සිට හවස් වන තුරුත් කන්ද මුදුනේ සිට බැලූවද කිසිදු වෙනසක් දැක නැති ඔවුන්, කන්ද නොනැඟි බොහෝ දෙනාට නිදහස ලැබෙන සැටි දුටු අයුරෙන් රසකර පැවැසූ බවත්, ඒ නිසා පසුකාලීන නිදහස් සැමරුම් දිනවලට මේ කන්ද නැඟ, එහි විනෝදයෙන් ගත කර ආපසු පැමිණීම පුරුද්දක් ඇරඹුණු බවත් සඳහන්ය. දැන් තුම්පනේ වැසියන්ගේ තනියට වලගොඩ, හේන්පොල, බැද්දේවල, මාකෙහෙල්වල, බඹරගල ආදී අලගල්ල බෑවුමේ අනෙක් ගම්වල ජනයාද නිදහස් සැමරුම දා අලගල්ල නඟින්නෝය.

අලගල්ල තේ කම්හල පසුකර මඳ දුරකින් වූ අඩි පාරකින් යළි වනපෙතට පිවිසි අපේ මඟපෙන්වන්නාගෙන් මේ ගැන යළි අසන්නට සිත්වූයේ එම පුරුද්දේ අලුත්ම තත්ත්වය දැනගන්නටය.

"පටන් ගත්ත හැටි නම් දන්නේ නෑ… ඒත් තාමත් අලගල්ල කන්ද වටේ ගම්වල මිනිස්සු නිදහස් උලෙළ දවසට කන්ද නැඟලා විනෝද වෙලා ආපහු යනවා…"

දැන් අප යන මඟේ උස් ගස් අඩුය… වැඩි වශයෙන් හමුවන්නේ මානා පඳුරුය. එසේම නැග්මද ක්‍රමයෙන් වැඩි වෙයි. සැඟවී ගිය හිරු නිසා දාහය නොදැනෙයි. නමුත් ශීඝ්‍ර බෑවුම් කොටස නැඟ ගන්නට පෙර වැසි වැටේදැයි යන්න සිහි වෙන විට හිරු රැස් නොමැති වීමේ සතුටද පහව යයි. ඈතින් පෙනෙන මානයේ පසු කරගෙන ආ ගමන් මඟද ඉහළ කෝට්ටේ ආසන්නයේ දුම්රියමඟද, විවිධ ගොඩනැඟිලිද පෙනේ…

යළි කෙටි විවේකයක් අවශ්‍ය යැයි හඬක් නැඟේ… කඳු නැග්මකදී මේ අතරමැදි විවේකයට ඉඩ හසර තිබිය යුතුය. ශරීරයෙන් වේගයෙන් වැය වන ශක්තිය යළි ලබා ගන්නට හැකි ශක්තිය වඩන කෙටි කෑම වර්ග කඳු නැඟීමකදී වඩා වැදගත්ය. රටඉඳි කඳු නැඟීමකදී භාවිතා කළ හැකි හොඳම ශක්ති ජනක ආහාරයකි.

මීදුම් පින්න යට ගල් තලාවක නැවතුණු අපි රටඉඳි අැට කිහිපයකත්, විස්කෝතු කිහිපයකත් රස වින්දා…..

ගල් තලාව මත හිඳගෙන අවට බලන විට උතුවන් කන්දත්, බතලේගල කන්දත්, තෙවසරකට පෙර නාය ගිය සාමසර කන්දත් පැහැදිලිව හඳුනාගත හැකිය. එයට ඔබ්බෙන් ගම්පොළ අම්බුළුවාව කන්දත්, දොළොස්බාගේ කඳු පන්තියත් පෙනේ… පැහැදිලි දවසක නම් අහුපිනි ඇල්ල පවා අලගල්ලට පෙනෙන බව කීවත් මේ මීදුම් කාලගුණයත් සමග නම් අහුපිනි ඇල්ල අපට නොපෙනෙනු ඇත.

දැන් එළැඹ ඇත්තේ ගමනේ අවසාන අර්ධයයි. අපි කෙමෙන් කෙමෙන් අලගල්ල මුදුනතට ළඟාවෙමින් සිටින්නෙමු. අලගල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගල් තලාවකි. එම ගල් තලාව මතුපිට තැනින් තැන රැඳුණු පස් තීරූවල මානා පඳුරු යහමින් වැඩී තිබේ. අද දවසේ අලගල්ලට පැමිණි එකම සංචාරකයන් පිරිස අප පමණක් වුවද සාමාන්‍යයෙන් සති අන්තවල කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් පනහක් පමණ අලගල්ලට නඟින බව සමීරගේ අදහසයි.

හාත්පස දකින්නට ලැබෙමින් තිබූ අවසාන අවස්ථාවද අපෙන් උදුරා ගනිමින් ඝන මීදුම් වලාවක් යළිත් අලගල්ල මුදුනත වෙලා ගන්නට සූදානම්ය. එයට පෙර දකින උපරිම දර්ශනය ඡායාරූපයක් ගන්නට උත්සාහ දැරූවද, සොබාදහමේ අභියෝගය ජයගන්නට අපේ කැමරා ශිල්පීන්ට හැකියාවක් නොලැබිණි.

එකිනෙකා නොපෙනෙන ගන මීදුමට යටින් අලගල්ලේ ගල්තලාවට පැමිණියද, අලගල්ලේ මුදුනතට නඟින්නට නම් තවත් පටු ගල් කුලක් තරණය කරන්නට අපට සිදුවේ… එය තරණය කරන්නට අපහසු, අභියෝගාත්මක එකකි. ගලින් ගල නැඟ පටු දෙබොක්කාවකින් කඳු මුදුනතට මතු විය යුතු අතර එම පටු තීරුවේදී කෙනෙකුට තවත් කෙනෙකු වෙනුවෙන් සහයෝගය දෙන්නට හැකියාවක් ඇත්තේ නැත. ඇත්නම් ඒ සීමිත අවස්ථාවකි.

එහෙත් එතැනින් කිසිවකු යළි පහළට රූටා එන්නේ නම් ඒ ගමනේ අවසානය මාරාන්තික අත්දැකීමක් වන්නටද බැරි නැත. ඒ නිසා ඒ අභියෝගාත්මක තීරණය ගන්නට පෙර සෑම සංචාරකයෙක්ම දෙවරක් සිතන්නට මැලි නොවෙති.

අපිද වරක්, දෙවරක් නොව කිහිපවරක්ම ඒ අභියෝගය ගන්නේද, නොගන්නේද යන්න ඉහළටත් පහළටත් සිතා, අවසානයේ පොදු තීරණයකට ආවේ කාගෙත් කැමැත්තෙන්. එකිනෙකා නොපෙනෙන ගන මීදුම අඩු වන තුරු සිට ඒ පටු මඟ නැඟ අලගල්ල මුදුනට ළඟාවීම ඒ තීරණයයි.

අලගල්ලේ ඉහළින්ම පිහිටි ගල් කුල කටුසු කොන්ද ලෙසද, ඒ කරා ළඟාවෙන්නට ඇති පටු ගල් දෙබොක්කාව සිංහ කට ලෙසද බොහෝ දෙනා හඳුන්වන අතර කන්දේ අනෙක් අන්තයෙන් හෙවත් බටහිර අන්තයෙන් ඊළඟ කන්දට මාරුවිය හැකි පටු දෙබොක්කාව දෙකඳ ලෙසද හඳුන්වයි. අප ගමන ආරම්භයේදී දැකගත් මීයන් ඇල්ල ඇරඹෙන්නේ මේ කඳු දෙකට මැදින් පිහිටි නිම්නයෙන් ගලා යන දිය පහරිනි.

අලගල්ලේ අනෙක් ප්‍රධාන කඳු මුදුන "පූජාගල" වන අතර එහි මෑතකදී ඉදිවූ කුඩා චෛත්‍යයක්ද, කුඩා භික්ෂු ආරාමයක්ද වෙයි. අපේ ගමන් සැලැස්මේ පූජාගලට නැඟීමටද ඇතුළත්ව තිබූ නමුදු, අනපේක්ෂිත කාලගුණය නිසා සිදුවූ ප්‍රමාදය විසින් ඒ සැලැස්ම අකුලාගන්නට වන හැඩක් පෙනී යයි.

මීදුම තරමක් අඩුවූ පසු අපි සිංහ කට තරණය කරන්නට පටන් ගත් අපට ප්‍රවේශමෙන් ගලින් ගලට දෙපා තබමින්, හෙමි හෙමින් ඉහළ නැඟ, විනාඩි විස්සකට පමණ පසුව අලගල්ලේ ඉහළටම නැඟ ගන්නට පුළුවන් වුණා…

අභියෝගයක් ජයගත්තාම දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්… ඒත් අද දවසේ කාලගුණය ඒ සතුට අපිට භුක්ති විඳින්නට කිසිම සහායක් දෙන්නේ නෑ…

“අලගල්ල මෙහෙම තමයි…. ඔයාල අද දකින අලගල්ල, මේ කාලගුණය බලාපොරොත්තුවෙන් එන කිසිම කෙනෙකුට විඳින්න බැරි එකක්…. ඒ නිසා පෙරළුණු පිට හොඳයි කියලා හිතන්න…” සමීරගේ ධනාත්මක අදහසෙන් ආගන්තුක සතුටක් මවා ගත්තු අපි පොද වැස්සෙම දවල් කෑම කෑවේ විවෘත ගල්තලාව උඩදිමයි….

මඳින් මඬ වැඩි වන වැස්සේ තෙමෙමින් තවත් අඩ හෝරාවක් පමණ අලගල්ලේ ගත කළ අපි ආයෙත් පහළට බහින්න පටන් ගත්තේ ඒ වන විට සවස දෙකත් පසුවී තිබුණු නිසා….

අලගල්ල කන්ද බැස අවසානයේ නාගන්නට හිතාගෙන හිටියත්, වෙනම නාගැනිල්ලක් අවශ්‍ය නොවුණේ හවස් වරුවේ වැහැපු තද වැස්ස අපි ව හොඳින් නහවා තෙත බරිත කරපු බැවින්. ඒත් මෙහෙම ආපහු දුම්රියේ නැඟලා යන්න බැරි නිසා ඉහළ කෝට්ටේ දුම්රිය පොළට පහළින් ගලාගෙන යන හක්ඔළුවාව ඔයට පැනලා නාගත්ත අපි ස්ටේෂම පහළ තේ කඩයෙන් උණුසුම් කළු කෝපි කෝප්පයකත්, උණු උණු වඩයක රසත්, උණුසුමත් ලබමින් ගමන අවසන් කළේ හදිසියේ මතුවූ අයහපත් කාලගුණය ගැන සොඳුරු තරහක් හිතේ මවාගෙන….

ඒත් එළැඹෙන දවසක "අලගල්ල" ට එන ඔබට මෙතරම් රුදුරු අත්දැකීමක් නම් නොලැබෙන බව නම් ස්ථීරයි… ඒ නිසා අලගල්ලට ඔබත් දවසක එන්න… මතකයත්, පිය සටහනුත් පමණක් ඉතිරි කරගෙන ආපහු එන්න…

යාල්පානමේ තල් ගස් අතර සැරි සැරූ හැටි ලබන සතියේ රැසෙන්….

 

මාතෘකා