කඩා හැලෙනවා වෙනුවට - තාලෙට ගලා හැලෙන කිරිඳි ඇල්ලේ සිරික්කිය

 ඡායාරූපය:

කඩා හැලෙනවා වෙනුවට - තාලෙට ගලා හැලෙන කිරිඳි ඇල්ලේ සිරික්කිය

හිමිදිරි පාන්දර සීතාවකපුරය පහුකරගෙන මිණිපුරයට ඇදෙන බස් එකක්…

කන් අගුල් වැටෙන සීතලෙන් බේරෙන්න වීදුරු වහගෙන අතපය අකුළගෙන යන ගමනක්…. රෑ කළුවර ගෙවෙනකම් කුකුල්ලු ගස් උඩට වෙලා අකුළගෙන ඉන්නේ ඒ වගේ තමයි…..

බස් එකේ ගමනාන්තය නොවුණත්, අපේ ගමනාන්තය අතරමඟ මංසන්ධියක්…

පැල්මඬුල්ල… කොළඹින් කිලෝමීටර් එකසිය දහයක් දකුණෙන් තියෙන, සබරගමුවේ ප්‍රසිද්ධ නඟරයක්….

පොළොවෙන් මතුවෙන මිණිකැට පිරුණු බිමක්. ඒ මිණිකැට සොයාගන්න පොළොව එක්ක අරගල කරන පතල් පොලවල් හැමතැනම…

ඉරිදාවක් නිසා, මැණික් වෙළෙන්දෝ නිවාඩු. නැත්නම් විදුලි පන්දමක් අතට අරගත්තු සුදු සරම්කාර මුදලාලිලා හිමිදිරි පාන්දර මැණික් ගල්වලට හෙට්ටු කරන හැටි අපූරුවට බලාගන්න තිබුණා…

මැණික් වගේම වටින තවත් අපූරු තැනක් පැල්මඬුල්ලේ තියෙනවා… ඒ තමයි පැල්මඬුලු රාජමහා විහාරය. පූජා වාරයට සිරිපා පුදබිමේ තැන්පත්කොට තිබෙන සධාතුක කරන්ඬුව සහ සමන් දේව ප්‍රතිමාව අනාදිමත් කාලයක් පුරා අවාරයට තැන්පත් වුනේ පැල්මඬුලු මහ වෙහෙරේ. මෑතක සිට එය තැන්පත් වෙන්නේ ගල්පොත්තාවෙල රාජමහා විහාරයේ.. ඒත් පැල්මඬුල්ලෙම තමයි.

සබරගමු ජනකවියා පැල්මඬුල්ල වෙහෙර ගැන විස්තර කරලා තියෙන්නේ අපූරු කවියකින්.

පැල්මඬුල්ල ළඟ තැනවූ විහාරය දිව්‍ය ලෝක දහසයෙන් එකයි

සතර වටේටම ලැලි සේතු කර මකර තොරණයෙන් ආසනයයි

දොරටුපාල දෙවි කඩුවත් අරගෙන නයි දෙරණේ පිට සැතපෙනවයි

සින්දුව කීවට වස් නැත දෙවියනි ඈතට රන්කොත දිලිසෙනවයි

අපි පැල්මඬුල්ලට ආවෙ රාජකාරියකට. ඒ තව තුන් දොහකින් ඇරඹෙන සිරිපා වාරෙට පැල්මඬුල්ල විහාරයේ ලක ලැහැස්තිය විපරම් කරන්නට…හෝරා දෙක තුනකින් අහවර වුනු රාජකාරියෙන් පස්සේ ඉතිරි වුණේ නිදහස් සංචාරකයෝ දෙන්නෙක්…

"වෙලාවත් තියෙන එකේ කොහෙ හරි යමු…."

එහෙම හිතපු අපි පැල්මඬුල්ලට ඉහළ වනගොමුවෙන් පහළට කඩා හැලෙන සජීවි ධන නිධානයක් හොයාගෙන යන්න තීරණය කළා…

නිල් කැට, රතු කැට, වෛරෝඩි වගේ නානාප්‍රකාර මිණිකැට මතුකරමින් සමනොළ අඩවියෙන් පහළට ගලා හැලෙන කළුගඟේ දියකඳ සරු කරන්නට අතු ගංඟා දෙකක් කුට්ටාපිටිය කඳු මුදුනේ උතුරු සහ දකුණු බෑවුම්වලින් පටන් ගන්නවා… ඉන් එකක් පහළට ගලා යන්නේ පැල්මඬුල්ල නගරය කෙළවරින්. හරියටම කිව්වොත් ගන්කන්ද මහා විද්‍යාලය ආසන්නයෙන්.

බොහෝ සිතියම්වල මේ අතු ගංගාව කළුගඟ කියලම හැඳින්වූවත් මේ දොලේ ඇත්තම නම වෙන එකක්. ගලබඩ කිට්ටුවදි කළුගඟේ දෙවැනි ප්‍රධාන අතුගංගාව වෙන බඹර කොටුව ගඟට එකතු වෙන මේ දොළට කියන්නේ කිරිඳිඇල. බඹර කොටුව ගඟ මල්වලදී පලාබද්දල පාරේ ඉහත්තාවෙන් ඇරඹෙන ප්‍රධාන කළුගඟට එකතු වෙනවා… කුරුවිට පැත්තෙන් එන කුරුගඟ ඉඩංගොඩදි කළුගඟට එකතු වෙලා සරුසාරෙට පහළට ගලා යනවා… ඒ නිසා කිරිඳි ඇළේ පහළට ගලා එන්නේ කළුගඟේ ජලයෙන් පුංචිම පුංචි කොටසක්.

පැල්මඬුල්ලේ ඉඳන් කුට්ටාපිටියට යන්න පැයෙන් පැයට වගේ ලංගම බස් තියෙනවා.. ප්‍රවාහන පහසුව සැපයෙන්නේ බලංගොඩ ඩිපෝවෙන්.

යනකොට එක හුස්මට කන්ද. එනකොට පල්ලම. පල්ලම් බහින එක ලේසියි වගේ හිතුණට, කුට්ටාපිටියට යන්න අඩහෝරාවක් ගතකරන බස් එක, පල්ලම් බහින්න පැයක් විතර ගන්නවා.. පාරෙන් එකක් පළල ලංගම බස් එක වංගුවක් ගන්නකොට රෝදෙට ඉස්සරහින් තියෙන කොටස පාරෙන් එළියට පැනලා ඉවරයි. පස්සෙ රෝදේ එන්නේ තාර කට්ටේ අන්තිම අඟලෙන්. ඒ විස්තරයෙන්ම ගමනේ තරම හිතාගන්න පුළුවන්.

ගමන අමාරු වුණත් ලස්සන ගමක්… ගම වගේම ගමේ ඉන්න තරුණියොත් ලස්සනයි කියල හිතෙන අපූරු කතාවක් කිව්වේ බස් එකේ රියැදුරු මහත්තයා…

"මගේ ගම ඕපනායක… විසි අවුරුද්දකට කලින් බස් එකේ රස්සාවට ඇවිත් කුට්ටාපිටිය බස් රාජකාරිය පැවැරුණා… නයිට්පාක් එක කුට්ටාපිටියේ… අන්තිමේ කුට්ටාපිටියෙ බින්න බහින්නම සිද්ධ වුණා…."

කුට්ටාපිටිය ලස්සන ගමක් වගේම පරණ ගමක්. සිරිපාදෙට පිදුව රාජකීය ගම්වරයක්. මහනුවර යුගයේ රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ශ්‍රීපාදස්ථාන භාරකාරීත්වය වැලිවිට ශ්‍රී සඟරජ හිමියන්ට පැවැරූ මොහොතේ ලබාදුන් ගම්වරයක්. අදනම් කුට්ටාපිටිය ප්‍රසිද්ධ තේ වත්තක්. කුට්ටාපිටිය තේ කම්හල ගාවට විතරක් දුවන "කුට්ටාපිටිය" බස් එකෙන් බැසගත් අපි කිරිඳිඇල්ලට පාර ඇහුවා…

"අන්න අර පේන ටිකට් කවුන්ටරේ ගාවින් පහළට බහින්න…." පන්ති ගිහින් ආපහු ගෙදර එන පුංචි පුතෙක් අපිට පාර කිව්වෙ යන එන අතක් හිතාගන්න බැරිව ඉද්දි.

ප්‍රවේශපත්‍ර කවුලුවක් තිබුණට, එතැන ප්‍රවේශපත්‍ර අලෙවි කරන්නට නිලධාරියෙක් හිටියේ නෑ… ඒත් පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවත්, වනජීවී අමාත්‍යාංශයත් එකට එකතු වෙලා සිද්ධ කරන "කිරිඳි ඇල්ල සුරැකීමේ" ව්‍යාපෘතියේ නාම පුවරුවක් එතැන තිබුණා. ඒ අසලම පොහොර කවරවල දැමූ හිස් අරක්කු බෝතල් කන්දරාව කිරිඳිඇල්ල සමඟ ගොඩනැඟුණු සංචාරක සංස්කෘතිය ගැන නිහඬ කතාවක් අපිට කිව්වා…

අත්වැටවල් තනා, කොන්ක්‍රීට් පඩිපෙළ දැමූ පෙත්මඟක් ඒ අසලින්ම ඇරඹුණේ කිරිඳි ඇල්ල වෙත යන්නට විය යුතුයි. අපි ඒ පඩිපෙළේ පහළට බැස්සා.. වල් දෙල්, කැකුණ, අඹ, කැන්ද වගේ ගස් මැද්දෑවෙන් වැටුනු ඒ පඩි පෙළ දැඩි ආනතියෙන් යුතු එකක්. වනගොමුව අස්සෙන් ඇහෙන "කිරිඳි ඇල්ලේ" සද්දෙට ඉව කරමින් අපි පරෙස්සමට පහළට බැස්සා…

මීටර 940ක් උස කුට්ටාපිටිය කන්දෙන් ඇදහැලෙන කිරිඳි ඇල්ලේ උස මීටර 116ක්. ලංකාවේ උසම දිය ඇලි අතරින් හත්වැන්න "කිරිඳි ඇල්ල" යි. පැල්මඬුල්ල අවට ගොවිබිම්වලට අවශ්‍ය වතුරත්, පැල්මඩුල්ල නඟරයට අවශ්‍ය පානීය ජලයත් සැපයෙන්නේ කිරිඳි ඇලෙන්.

මීටර් තුන්සියයක් පමණ පහළට බහින කොට නැරඹුම් වේදිකාවක් හදල තියෙනවා.. එතැනට හොඳින් "කිරිඳි ඇල්ල" බලාගන්න පුළුවන්… ඒත් සම්පූර්ණයෙන් කිරිඳි ඇල්ල දකින්නට, එහි අසිරිය විඳින්නට තව තවත් පල්ලම් බැසිය යුතුමයි. අපි අසීරු වුණත් අතහරින්නට අකැමති ඒ අභියෝගය භාරගත්තේ සතුටෙන්.

නැරඹුම් වේදිකාවෙන් පසුත් කොන්ක්‍රීට් පඩිපෙළ හදල තියෙනවා… ඒත් පෙර කොටසට සාපේක්ෂව දෙවැනි කොටස අසීරුයි. අමාරුයි. රාජකාරි ගමනක ආව නිසා හිටියේ සපත්තුත් දාගෙන. ඒ අසීරු ගමනට සපත්තු දාපු දෙපා නොගැළපෙන නිසාම ඒවා ගලවලා අතරමග ගස් දෙබලක තියල ආයෙම පහළට බැස්සා.

තැනින් තැන අත්වැට කැඩී ගොස් තිබුණත්, පඩි පෙළ ගැලවී ගොස් තිබුණත් ඒ අත්වැටත්, පඩිපෙළත් අසීරු ගමන පහසු කරන්න හොඳ සහයෝගයක් දුන්නා.. මේ විදියේ ඉදිකිරීමක් නොතිබුණා නම් කිරිඳි ඇල්ලට ළඟා වෙන එක අසීරු සංග්‍රාමයක් වෙන්නට ඉඩ තිබුණා…

ලොකු සෙනඟක් කිරිඳි ඇල්ල බලන්නට පල්ලම් බසින බවක් නොපෙනුනත්, බහිනසුලු පිරිස මත්පැන් පානය සඳහාම එහි එන බව පෙනුනේ, තැන තැන තිබුණු කසළ බඳුන් හිස් මත්පැන් බෝතල්වලින් පිරී තිබුණු නිසා… ඒත් මඟ දෙපස හොඳ පිරිසුදුවට තිබුණූ නිසා "පැල්මඬුල්ල ප්‍රාදේශීය සභාව" සහ එහි සේවකයන් නිසි ලෙස රාජකාරි කරන බවට සහතිකයක් දෙන්න පුළුවන්කම තියෙනවා…

ගොරකා, වල්දෙල්, කැකුණ, දොරණ, වෙලං, දුම්මැල්ල වගේ ගස් ගොමුව මැද්දෙන් අඳුරු පඩිපෙළ දිගේ විනාඩි විසිපහක තිහක කාලයක් පල්ලම් බහින කොට කිරිඳිඇල්ල පාමුලට එන්න පුළුවන්. අපි දෙදෙනා හැරෙන්නට බාහිරින් පැමිණි කිසිවකු ඒ දවසේ එහි සිටියේ නෑ..ඉඳහිට පොළොස් කොට්ටෝරුවෙක්, ගිරා මළිත්තෙක්, සැළලිහිණියෙක් කෑ ගැහුවත් දිය ඇල්ලේ සද්දය අබිබවා යන්නට ඒ ශබ්දවලට හැකියාවක් ලැබුණේ නෑ..

ටික වෙලාවකින් එහා ඉවුරෙන් මතුවුණේ ගම්වැසියෝ දෙදෙනෙක්. ආගන්තුක අපව ඒ මොහොතේ බලාපොරොත්තු නොවුණ ඔවුන් ටිකක් විතර කලබලයට පත්වුණේ ඔවුන් සතුව පැවැති දේ නිසා.. එකෙකු අතේ රා බෝතල් දෙකක්. අනිවාර්යයෙන්ම ඒ කිතුල් රා. අනෙකා අතේ පිහියක් සහ වෙනිවැල්ගැට යැයි සිතිය හැකි දඬු කැබලි කිහිපයක්… රා මැදීම කෙසේ වෙතත් රක්ෂිතයකින් වෙනිවැල්ගැට කැපීම නම් දඬුවම් ලැබිය යුතු වරදක්. ඒ නිසාම ඔවුනගේ උත්සාහය ආගන්තුක අපව මඟහැර යෑම. අපේ උත්සාහය ඔවුන්ව සංවාදයට ගැනීම…

"මාමේ ඇල්ලේ වතුර අඩුයි වගේ නේද? මෙහෙට වැස්ස නැද්ද?"

"දැන් දවස් තුනකට උඩදිත් වැස්සා… ඒත් ඔය තරම තමයි එන්නේ … ඒ මේ දිය ඇල්ලේ හැටි."

ඔවුන් අපව මඟහැර ගිය පසු අසල ගල්තලාවක සිට සිත්සේ දිය ඇල්ලේ අසිරිය විඳින්නට අපි උත්සහ කළා.. ආනත ගල් තලාවක් දිගේ පහළට ගලා එන "කිරිඳි ඇල්ල" එකවර පහළට කඩා හැලෙන දිය ඇල්ලක් නොවෙයි. හීන් ජල තීරු දහයක් දොළහක් පහතට ගලා එනවා… ඒවා තැනකදි එකතු වෙලා ආයෙම තැනකදි වෙන් වෙනවා… හදිසියේ මතුවුණු ගල් පරේක හැපිලා දහ අතේ විසිරිලා යනවා… හරියට අපේ ජීවිතේ වගේ… භාවනාවකට කමටහන් හොයනව නම්, "කිරිඳි ඇල්ල" කියන්නේ හොඳ නිමිත්තක්.

ජීවිතේ ගැන කියල දෙන "කිරිඳි ඇල්ල" අරපරෙස්සමෙන් භාවිත කරන්නට අවශ්‍ය තැනක්. වේගයෙන් ගල් තලාව දිගේ ගලා එන වතුර පාරට හෑරුණු ජල තටාක ගණනාවක් ඒ බිමේ තියෙනවා… සුන්දර වුණත්, බියකරු මාරයා ඒ ජල තටාකවල සැඟවී සිටින්නට පුළුවන්. අපිත් ප්‍රවේශමෙන් ගල් තලා දිගේ එහෙට මෙහෙට ගිහින් ඡායාරූප අරගෙන ආයෙමත් පඩිපෙළ දිගේ ඉහළ නඟින්න පටන්ගත්තේ තවදුරටත් එහි රැඳී සිටින්නට කාලය ඉඩ නොදෙන නිසා…

කුට්ටාපිටිය තේ කම්හල ගාවට කන්ද නඟිද්දි හොඳ ගණන්… එතැන තිබුණු පුංචි තේ කඩේකින් වඩයක් කාලා, ප්ලේන්ටියක් බීපු අපි, බලන්ගොඩට යන අන්තිම බස් එකෙන් පැල්මඬුල්ලට පල්ලම් බැස්සේ ආපහු ගෙන්දගම් කොළඹට පාර හොයාගෙන.

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමඟ ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍යම නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමඟ අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍යයි නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව දුම්බර කඳුවැටියේ සැඟවුණු කඳු මුදුනකට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 077 90 16 752/ දුලිප් 0777 043 804 / 0759 043 804

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ] [email protected]

ඡායාරූප [චතුර ප්‍රදීප් හේමාල්]

Eternal Traveller වෙනුවෙන්

 

මාතෘකා