කැඩෙන්නෙ නැතුව කට්ලට් හදමු

 ඡායාරූපය:

කැඩෙන්නෙ නැතුව කට්ලට් හදමු

කට්ලට් කියන්නේ බොහෝ උත්සව අවස්ථාවලදී අවශ්‍ය වන ආහාරයක්. නමුත් කට්ලට් හදද්දි ගෘහණියන්ට මතුවන ප්‍රශ්නයක් වන්නේ කට්ලට් බදින විට පුපුරන්නෙ නැතිව බැදගන්නෙ කොහොමද කියන එකයි. ඒ ප්‍රශ්නෙට පිළිතුරුත් එක්ක රසවත් කට්ලට් එකක් සාදාගන්නා ආකාරයයි මෙවර ඉදිරිපත් කරන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය-

කටු හැර හොඳින් පොඩිකරගත් සැමන් හෝ තම්බාගත් මාළු (ලුණු ,කහ සහ ගොරකා දමා මාළු තම්බා ගන්න), තම්බාගත් අල,ඉතා සිහින්ව ලියාගත් ලොකු ලූනු ගෙඩියක්, අවශ්‍ය නම් ඉතා සිහින්ව කපාගත් අමුමිරිස්, නැටි ඉවත් කර ඉතා සිහින්ව ලියාගත් කරපිංචා ස්වල්පයක්, කුරුඳුපොතු කැබැල්ලක්, රම්පේ කැබැල්ලක්, කහ ස්වල්පයක්, තුනපහ ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු රස පදමට, මිරිස් කුඩු ස්වල්පයක්, කැමති නම් ඉතා සිහින්ව චොප් කරගත් සුදුලූනු ස්වල්පයක්

සාදන ක්‍රමය-

මුලින්ම සැමන් හෝ මාළු හොඳින් පොඩි කරගෙන ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් එක්කර ගන්න.

තම්බාගත් අල හොඳින් පොඩි කරගන්න. ලොකු කෑලි තිබුණොත් කට්ලට් එක පිපිරීමට පුළුවන්. පොඩිකරගත් අලවලටද ලුණු ස්වල්පයක් එක්කර කලවම් කරගන්න.

දැන් භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමා රත්වන විට එයට සිහින්ව ලියාගත් ලූනු, සුදු ලූනු, කරපිංචා, රම්පේ දමා ටිකක් තෙම්පරාදු කරගන්න. එය තෙම්පරාදු වූ පසු මාළු හෝ සැමන් ටික දමා කලවම් කර එයටම කහ, තුනපහ, මිරිස්, ගම්මිරිස් සහ රස පදමට ලුණු එක්කරගන්න. සැරට අවශ්‍ය නම් ගම්මිරිස්වලට කැමති අය ගම්මිරිස් වැඩිපුර එකතු කරගන්න. එයටම කුඩු කරගත් කරදමුංගු, කරාබු නැටි එකතු කරන්න. අවසානයේ එයට අල එකතු කර හොඳින් කලවම් කරගන්න. මෙම මිශ්‍රණය ස්වල්ප වේලාවක් නිවෙන්නට හරින්න.

ඒ අතර බඳුනකට බිත්තරයක්, පාන් පිටි, ලුණු ස්වල්පයක් සහ අවශ්‍ය පමණට වතුර එකතු කර කට්ලට් දැවටීමට පිටි මිශ්‍රණය සාදා ගන්න. එහිදී මෙහිදී වතුර වෙනුවට කිරිද ගත හැකිය. මෙහිදී භාවිත කර ඇත්තේ ෆ්‍රෙෂ් මිල්ක්ය. මෙය ඝන නැති තරමක් දියාරු මිශ්‍රණයක් ලෙස සාදා ගන්න. වෙනම බෝල් එකකට කට්ලට් තැවරීම සඳහා පාන් කූඩු දමාගන්න.

දැන් මුලින් සාදාගත් අල- සැමන් මිශ්‍රණයෙන් ටික ටික ගෙන හොඳින් තද කරමින් අවශ්‍ය ප්‍රමාණයේ බෝල සාදා ගන්න. බෝල සාදන විට පිට පනින ලූනු, කරපිංචා කැබලි ඇත්නම් ඒවා අයින් කරන්න. රම්පේ සහ කුරුඳු පොතු කැබලිද මිශ්‍රණයෙන් ඉවත් කරන්න.

ඉන්පසු සාදාගත් කට්ලට් බෝල පිටි මිශ්‍රණයේ ගිල්වා පාන් කුඩු තවරා ගන්න. එසේ දෙවරක් පාන් කුඩු තවරාගත් විට කට්ලට් එකට හොඳ පෙනුමක් ලැබෙන අතර ඉක්මනින් මැලවෙන්නේද නැත.

එසේ සාදාගත් කට්ලට් හොඳින් රත්කර ගත් ගැඹුරු තෙලට දමා දෙපැත්ත හරවමින් බැදගන්න. කට්ලට් බෝල වැහෙන්නට තෙල් තිබිය යුතු අතර නැත්නම් කට්ලට් පුපුරයි. රන්වන් පැහැ වන තෙක් බැදගත් කට්ලට් ටිෂු පේපර්ස් දැමූ පිඟානක් මත අතුරා ගන්න.

[සූපවේදිනී චාමලී මදනායක]

News Order: 
7
මාතෘකා