කෙටි කෑම කෑවම බර අඩු වෙනවද?

 ඡායාරූපය:

කෙටි කෑම කෑවම බර අඩු වෙනවද?

වෛද්‍ය කේ. කේ. ජී. [ලහිරු ප්‍රබෝධ]

දිස්ත්‍රික් මූලික රෝහල දික්ඔය

තරබාරුකම වත්මන් සමාජයේ බොහෝ දෙනකුට තිබෙන ගැටලුවක්. එය දැන් රෝගී තත්ත්වයක් බවට පත්වී තිබෙනවා. තරබාරුකමට ප්‍රධාන හේතුවක් වන්නේ අධික ලෙස අනවශ්‍ය මේදය සිරුරේ තැන්පත් වීමයි. මෙය වෙනත් රෝග තත්ත්වයන් ගණනාවකට අතවැනීමක්ද වනවා. වර්තමානයේදී මෙය සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් මුහුණ දෙන ගැටලුවක් බවටද පත්වී තිබෙනවා. විශේෂයෙන් මෙරට ඉතා අඩු BMI අගයක් හිමි පුද්ගලයන් අතර පවා හෘද රෝග දක්නට ලැබීම කනගාටුවට කරුණක්.

ඔබ බොහෝ දෙනකු අසා තිබෙන BMI අගය ඕනෑම අයකුට ගණනය කළ හැකියි. එය ඔබේ බර කිලෝග්‍රෑම්වලින් ගෙන උසෙහි වර්ගයෙන් (මීටර්වලින්) බෙදූ විට සොයාගත හැකියි. මෙහි සාමාන්‍ය අගය වන්නේ 18.5-24.9 වන අතර 25-29.9ත් අතර නම් අධි බර (Over weight) ගණයටත් 30ට වැඩි නම් තරබාරු (Obesity) ගණයටත් අයත් වනවා.

අයකු තරබාරු වීමට බලපාන හේතු රාශියක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ කැලරි බහුල ආහාර අධික ලෙස ගැනීම සහ ශාරීරික ව්‍යායාම අඩුවීමයි. ඊට අමතරව ජානමය සාධක සහ වෙනත් හෝර්මෝන ආශ්‍රිත රෝග මෙන්ම ඇතැම් ඖෂධ වර්ගද හේතුවිය හැකියි.

එම නිසා උදරය ඉදිරියට නෙරාඒම සහ ඔබ අධික ලෙස මහත් වී තිබීම සුළුවෙන් තැකීම ඔබ විසින් කරන අනුවණම ක්‍රියාවකි. එයට හේතුව තරබාරු බව අනාගතයේදී ඔබට හිමිකර දෙන රෝග ගැන දන්නවා නම් ඔබ වහාම සිරුරේ බර අඩුකර ගැනීමට ක්‍රියා කරන නිසයි. අධික තරබාරු බව නිසා ඔබට අධික කොලෙස්ටරෝල් තත්ත්වය, අධි රුධිර පීඩනය, හෘද රෝග, ආඝාත/අංශභාග තත්ත්වය, පෙණහලු රෝග, ගැස්ට්‍රයිටීස්, පිත්තාශ ගල්, අග්න්‍යාශ ප්‍රදාහය, අක්මා රෝග, ගර්භණී වීමට නොහැකි විම (PCOD), ආතරයිටිස් වැනි රෝග ඇති වීමට පුලුවන. තවද ගලනාල, ආමාශ, බඩවැල, ගුද මාර්ගය අක්මා, පිත්තාශ, වකුගඩු, ආදියෙහි ද පිළිකා රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා.

මේ නිසා බර අඩුකර ගැනීම රෝග ගණනාවකින් වැළකී සිටීමට ඔබට මහඟු උපකාරයක් සලසනවා. එම නිසා ඔබත් තරබාරු බවින් පෙළෙන්නකු නම් නිසි වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම ඉතා වැදගත්.

බර අඩු කරන බෙහෙත් නැද්ද? එය බොහෝ දෙනා අසන ප්‍රශ්නයක්. මෙතරම් දියුණු වෛද්‍ය ලෝකයේ ඒ සඳහා බෙහෙත් නැතිවිය හැකිද? ඇත්තටම ඒ සඳහා ඖෂධ තිබෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ හෝද හෝද මඩේ දාන පුරැද්ද නැතිකර ගන්නා තුරු කාටවත් බෙහෙත්වලින් බර අඩු කරගන්න බැහැ. ඒ කියන්නේ මෙහිදී අත්‍යවශ්‍ය කාරණාව වන්නේ ඔබගේ ජීවන රටාව වෙනස්කර ගැනීමයි. ඒ වෙනස ඇතිකර ගැනීම තුළින් ඔබට අනවාර්යයෙන්ම බර අඩුකර ගැනීමට හැකියාව ලැබෙනවා.

පළමු කාරණාව වන්නේ ඔබ ගන්නා ආහාරයි. ඔබ දිනකට ගන්නා කැලරි ප්‍රමාණය මෙහිදී වැදගත් වනවා. ඒ කියන්නේ ඔබ කන කෑමවලින් අධික ශක්තියක් ශරීරයට ලැබෙනවා නම් ශක්තිය නිපද වීමට ශරීරය තුළ ඇති මේදය භාවිත කිරීමක් සිදුවන්නේ නැහැ. එසේ නම් ඔබ කළ යුත්තේ ශක්තිය අඩු ආහාර ගැනීමයි. මෙහිදී ශක්තිය වැඩි ආහාර මොනවාද යන්න ඔබ හඳුනාගත යුතුයි.

සියලුම කෙටි කෑම (Short eat), පැණි බීම වර්ග, බිස්කට් වර්ග ආදිය ඒ කාණ්ඩයට අයත් වනවා. එවැනි ආහාර ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න. ඒ වෙනුවට ඔබ එළවලු, පලතුරු, ඇට වර්ග, පැණි රස නොකළ දියර කිරි, බිත්තර, මාළු, මස් ආදිය ආහාරයට ගන්න. එමෙන්ම සංතෘප්ත මේදය (පොල් තෙල්, බැදුම්, මාගරින්) අවම ප්‍රමාණයක් සහ අසංතෘප්ත මේදය (කජු, අලිගැටපේර, කොට්ටම්බා, වට්ටක්කා ඇට ආදිය) වැඩිපුර ආහාරයට ගන්න.

අනෙක් වැදගත් කාරණාව වන්නේ ව්‍යායාම සිදුකිරීමයි. සාමාන්‍ය ව්‍යායාම් නම් සතියකට මිනිත්තු 150ක් සහ සංකීර්ණ ව්‍යායාම් නම් සතියකට මිනිත්තු 75ක් සිදුකිරීම වැදගත්.

තුන්වැනි කාරණාව ලෙස සඳහන් කළ හැක්කේ ඔබගේ බර අඩු කිරීම සඳහා යථාර්ථවාදී ඉලක්කයක් පැවතිය යුතු වීමයි. එමෙන්ම ඔබගේ ආහාර පිළිබඳ සටහනක් ඔබම තැබීම ඔබට ඔබව මැන ගැනීමට උපකාරී වන්නක්. එමෙන්ම ප්‍රධාන ආහාර වේල්වලට අමතරව ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කරන්න.

ඉහත සඳහන් ක්‍රම අනුගමනය කිරීම තුළින් මාස කිහිපයක් තුළ ඔබේ ශරීරයේ බර අඩු කරගෙන නිවැරදි BMI අගයක් ළඟාකර ගත හැකියි. ඖෂධ හෝ ‍වෙනත් පියවර සඳහා යොමුවීමට පෙර මෙය අත්හදා බැලීම ඉතා වටිනා බවද සඳහන් කළ යුතුමය.

------------

ආර්තවහරණය ලෙඩක්ද?

වෛද්‍ය [ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ]

මනෝඋපදේශිකා

ශ්‍රී ලංකා වෘත්තීය මනෝඋපදේශකයන්ගේ සංගමය,

ශ්‍රී ලංකා පදනම් ආයතනය

කාන්තාවකට ඔසප් වීම සිදුවන්නේ කවදාදැයි අනාවැකි කීමට විශ්වාසදායක විද්‍යාගාර පරීක්ෂණයක් නොමැත. රාජෝනිවෘත්ති යන වචනයේ තේරුම "අර්තව ප්‍රවෘත්තියේ අවසානය" හෝ ඔසප් වීම නැවැතීමයි. මෙය රෝගී තත්ත්වයක් ලෙස රාජෝනිවෘත්ති සම්භාව්‍යයන්හි වෙන වෙනම විස්තර කර නැත. නමුත් රාජෝනිවර්ති-කලා ගැන සියලුම ආචාර්යවරු පාහේ සඳහන් කරති. වෙනස්වන ජීවන රටාව, ආහාර පුරුදු සහ සමාජ ආර්ථික ප්‍රමිතීන් නිසා ආර්තවහරණය සිදුවන වයස අඩු වෙමින් පවතී.

ආර්තවහරණය යනු වයසට යෑමේ සාමාන්‍ය ක්‍රියාවලියේ කොටසක් ලෙස සිදුවන ස්වභාවික සිදුවීමකි. නමුත් එය මෑත කාලයේ කාන්තාවන් අතර ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. ඔසප් වීම ක්‍රමානුකූල හා අක්‍රීය ඩිම්බකෝෂ ක්‍රියාකාරීත්වය අතර ක්‍රමානුකූල හා ස්වාභාවික සංක්‍රාන්ති අවධියක් වන අතර මෙය කාන්තා ජීවිතයේ වසර කිහිපයක් ගත කරයි. ආර්තවහරණය සංක්‍රාන්තිය විවිධාකාර වූ සොමාටික් හා මානසික වෙනස්කම් මඟින් සංලක්ෂිත වේ. කාල පරිච්ඡේදය නොසැලකිලිමත් විය හැකිය. නැත්නම් විවිධ රෝග ලක්ෂණ මඟින් පෙන්නුම් කළ හැකිය. මෙවැනි රෝග ලක්ෂණ සමූහය "ආර්තවහරණ සින්ඩ්‍රෝමය" ලෙස හැඳින්වේ.

සාහිත්‍ය විවරණයට අනුව ආයුර්වේදයේ ඔසප් වීම පිළිබඳව ශරීරයේ ජරා පත්ව අවස්ථා සමඟ කටයුතු කරයි. ජරා සහ රාජෝනිවෘත්ති ප්‍රකාශ වන්නේ ස්‍රෝතස් සහ අග්නිවල ක්‍රියාකාරී හැකියාව ක්‍රමානුකූලව අඩුවීම නිසා පටක පෝෂණය ප්‍රමාණවත් නොවීමෙනි. රජොනිවෘත්ති යන වචනයේ තේරුම “ආර්තව ප්‍රවෘත්ති අවසානය” හෝ “ඔසප් වීම නතර වීම” යන්නයි. ස්වභාවික සංසිද්ධියට අනුව "කිසිවක් විනාශ කිරීම පිටුපස කිසිදු හේතුවක් නොමැත. එය නිෂ්පාදනය කිරීමට වගකිව යුතු සාධක නොමැතිකම එහි විනාශයට හේතුවක් විය හැකිය".

ආයුර්වේද සම්භාව්‍යයන්හි රජෝනිවෘත්තියේ ලක්ෂණ පිළිබඳව සෘජු සඳහනක් නොමැති හෙයින් රජෝනිවෘත්ති රෝගීන් විසින් පෙන්නුම් කරන සායනික රෝග ලක්ෂණ වන්නේ ධාතුක්ෂය ලක්ෂණයන්ගේ ප්‍රකාශිත දෝසයන්ය. වාතජ ලක්ෂණ ලෙස හිසරදය, ස්පන්දනය, කෝපය, ශබ්දය නොඉවසීම, දුර්වලතාව, උදරයේ විස්තාරය, මල බද්ධය, කාංසාව, මතකය අඩුවීම, යෝනියේ වියළි බව, මුත්‍ර පිටකිරීමේදී අපහසුතාවයට පත්වීම ප්‍රධානව දැක්විය හැකිය.

පිත්තජ ලක්ෂණ ලෙස උණුසුම් දියර, දහඩිය දැමීම, නුරුස්නා බව), යෝනි දාහය (දැවෙන සංවේදනය), යෝනි දර්ගන්ධ්‍යා (දුර්ගන්ධය), මුත්‍රාදා (මුත්‍රා වල දැවෙන සංවේදනය) ආදී ලක්ෂණ පහළ වේ.

කඵජ ලක්ෂණ ලෙස බර වැඩිවීම, යෝනි කණ්ඩු (කැසීම), යෝනි ශ්‍රාව ගැලීම දැක්විය හැකිය.

ආයුර්වේද සම්භාව්‍යයන්හි නිසි වයසේ රාජෝනිවතිට කිසිදු ප්‍රතිකාරයක් ලබා දී නොමැති අතර එය ස්වභවාජ් ජීවන තත්ත්වයකි. නමුත් ආයුර්වේදයේ මූලික කරුණු අනුව කාලානුරූපීව සමෝශෝදන හා රසයාන චිකිත්සාව ලෙස ජීවන තත්ත්වය වැඩි දියුණු කරන ප්‍රතිකාර දක්වා ඇත. ශරීරය වැඩිහිටි භාවයේ ග්‍රහණය දෙසට ගමන් කරන විට අවුරුදු 50ක් ලෙස රාජෝනිවෘත්තියගේ වයස ලෙස සඳහන් වේ. ආචාර්ය අරුන්දත්තගේ අදහස වන්නේ ඉහත සඳහන් කළ වයස ස්ථාවර වයසක් නොවන බවයි. මේ සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් තිබිය හැකිය. එයට බලපාන වෙනස්කම් හා සාධක සලකා බැලීමේදී පාරිසරික හෝ කාන්තාවකගේ පෞද්ගලිකත්වය ලෙස තාර්කිකව උපුටා දැක්විය හැකිය. සෞඛ්‍යය නඩත්තු කිරීමේදී ආයුර්වේදය ආහාර සහ විහාර සඳහා වැඩි වැදගත්කමක් ලබා දී ඇති බැවින් මෙම උච්චාවචනය සඳහා මෙම සාධකද සලකා බැලිය යුතුය.

අකලට සිදුවන ඔසප් නතර වීම යනු මාසික ඔසප් චක්‍රය නැවැත්වීම පමණක් නොව එය හෝමෝන අසමතුලිත වන ජීවන රටාවේ හා ශරීරයේ සංක්‍රාන්ති අවධියකි. ආයුර්වේද සම්භාව්‍යයන්හි එය සඳහන් කර නොතිබුණද ආචාර්ය චරක විසින් රෝග ගණන් කළ නොහැකි බව ආයුර්වේද රෝග විනිශ්චය ප්‍රවේශය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ දෝෂාගේ මැදිහත්වීම මත පදනම් වූ රෝග ලක්‍ෂණ මත බව සඳහන් කරයි. මේ අනුව ඔසප් නතරවීමේ සින්ඩ්‍රෝමය දෝෂාගේ පදනම මත හොඳින් වටහා ගත හැකිය.

 

-----------

උතුරු වැහි !

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

නොනවතින වැස්ස සහ ගංවතුර කාලයට මට සින්නම්මා සිහිවේ. වැහි වැඩි කාලයට කුමන හෝ බොරු ලෙඩක රෝග ලක්ෂණ පවසා රෝහල් ගතවන ඇය එසේ එන්නේ ගෙදර කවුරුත්ම නැති නිසාය. තමන්ගේ නිවස ගංවතුරෙන් යට වේ යැයි බිය නිසා මෙලෙස රෝහල් ගතවන ඇය බාහිර බොහෝ අමාරුකම් කියා නැවතෙන්නම ඕනෑ යැයි කියා කෙසේ හෝ රෝහල්ගත වේ.

ඇඳක් ඇත්නම් විගහින් පැමිණ අල්ලාගෙන සියලු සන්තක දේ ඒ යට ගොඩ ගහගෙන දින ගණනක් සිටින ඈ වැස්ස තුරුල් වීම හෝ වාට්ටුවේ කාර්යමණ්ඩලය හා බහින් බස් වීම හෝ මේ මොන හේතුවක් නිසා හෝ ඇගේ කැමැත්තෙන්ම පිටව යයි.

"මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා නෝනා. ඒත් මාව බලන්න එන්නේ නෑනේ. ඔක්කොම ඉන්නෙ කොළඹ. මමයි මහත්තයයි මෙහෙ තනි වුණා. අන්තිමට මම විතරයි ඉතුරු." ඇයට අනුව සියල්ලන්ම උසස් රැකියාවල නිරත වෙන්නන්ය.

" මම දරුවන්ට හොඳට ඉගැන්නුවා. ඒකයි ඒගොල්ලො හොඳ ඉහළ රැකියා කරන්නේ. ඉගැන්නුවේ නැත්නම් අද එයාලත් මෙහෙ කොහොම හරි කුලී වැඩ කර කර හරි ඉන්නවනේ" ඇය දුක්බරව පවසයි. "ඒත් ඉගැන්නුව එක හොඳයි නේද නෝනා" ඇයම යළි අසයි.

විටෙක දරුවන් මෙහි ඈ සමග නැති වීම ගැන දුක්වෙයි. විටෙක දරුවන්ගේ දියුණුව ගැන පුරසාරම් දොඩා ඇය සතුටු වෙයි. "අඩු තරමේ මේ තරම් උසස් රැකියා කරන දරුවන්ගෙන් එක්කෙනෙකුට හරි බැරිවුණාද මේ අම්මට ඇඳුමක්, කෑමක්, හරියට ඉන්න සල්ලි ටිකක් එවන්න " වාට්ටුව බාර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා කියයි.

ඇත්ත... ඔවුන් තම හෘද සාක්ෂියට පිටුපා සැපසේ සතුටින් ජීවත් වනවා විය හැකිය. නමුත් යම් දිනක තම මව විඳි දුක් කරදර මතකයට නැඟෙන කලෙක ඔවුන්ටම ජීවිතය පුරාවට බොහෝ පසුතැවිලි වන්නට සිදුවනු ඇත. මා කලකට ඉහතදී සේවය කළ මානසික සෞඛ්‍යය ඒකකය මඟින් බොහෝ මහලු නිවාසවලට මාසික සායන සඳහා අපව යොමු කෙරිණ.

ඒ මහලු නිවාසවල සිටියේ යුද්ධයෙන් පසු ඉතිරි වූ නිවාස නොමැති වයස්ගත වූවන් සහ දරුවන් අතහැර දැමූ මහලු අම්මලා තාත්තලාය. ඔවුන් බලන්නට මසකට වරක් රෝහලේ වෛද්‍යවරු පැමිණෙන තුරු ඔවුන් සිටියේ නොඉවසිල්ලෙනි. වෛද්‍යවරුන් වන අප ඔවුනට නෑදෑයන් වගේය. ඔවුන්ගේ දරුවන් සේ සිතා අප සමඟ විහිළු තහළු කරන්නත් අපට අවවාද දෙන්නත් යම් විශේෂ ආහාරයක් තිබේනම් එය අප වෙත පුදන්නත් ඔවුහු සැදී පැහැදී සිටිති. එසේ සිටි බොහෝ අය ඒ පොල් අතු නිවස්නවල සැප පහසුකම් අඩු ඇඳන්වල වැතිර සිටියේ බොහෝ අසරණවය.

"මේ අයගේ දරුවන් ගොඩක් ඉන්නේ පිටරට... අඩු තරමේ එක දරුවෙක් ඩොලර් සීයක් එව්වා නම් දරුවො පස් හය දෙනෙක් එකතු වුණොත් තමන්ගේ මවුපියන්ව හොඳ ගෙදරක, අත් උදවුකාරයෙක් එක්කම තියන්න පුළුවන් නේද ? " අපේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා ගෝනි කඩමාල්ලක වැතිර සිටි මවක පෙන්වා එසේ පැවසුවා මතකය. ඇයගේ දරුවන් සියල්ලෝම සිටින්නේ පිටරටය.

වන්නියේ මිනිසුන් ගංවතුරින් නිවෙස් අහිමිව බැට කෑවද ඩෙංගු, වෛරස් උණ, මී උණ වැනි රෝගාබාධ පැතිරී ගියද වන්නි පොළොවට මේ ගංවතුර ආශිර්වාදයක්ම විය. ඒ ගංවතුරින් පසු ඉතිරි කර යන රොන්මඩ මේ පසෙහි සාරවත් බව වැඩි කරන හෙයිනි.

එකල එක් දිනක් තුළ ඩෙංගු වෛරසයෙන් පීඩා විඳි රෝගීන් දහ පහළොස් දෙනකුවත් කායික රෝග වාට්ටුවේ සිටීම අපට නම් පුදුමයක් නොවිණ. මාස දෙක තුනක් එක දිගට පැය විසිහතරම වාට්ටුවේ රැඳෙමින් එහි සිටි එකම සීමාවාසික වෛද්‍යවරිය වූ මා කෙරෙහි බොහෝ දයාබරිත වූ විශේෂඥ වෛද්‍යතුමිය පැවසුවේ ඒ කිසිවකුත් ජීවිත හානියක් නොමැතිව බේරාගැනීමට අපට හැකිවීම ආශිර්වාදයක් බවය.

ඉදිරිපසම තිබූ ඇඳන් කිහිපයෙහි අසාධ්‍යම ලෙඩුන් සිටි අතර ඔවුනට සම්බන්ධ කර තිබූ රුධිර පීඩනය හෘද ස්පන්දන, ශරීරගත ඔක්සිජන් ප්‍රතිශතය ආදිය මනින උපකරණයේ තිරය මත පෙන්නුම් කරන්නේ ඒවායේ අඩු වැඩි වීමය. නොනවත්වා නැගෙන බීප් බීප් බීප්... හඬද එකල වාට්ටුවේම ගෙවී ගිය අපේ ජීවිතේම කොටසක් මෙන් නිතර මතකයට නැඟේ.

“අනේ ඩොක්ටර් ඔයා ඔය හිනාවෙලා කතා කරාට මූ කරපුවා දන්නවනම්...”ඩෙංගු උණ වැලඳී අසාධ්‍යව වැතිර සිටි සෙබළ තරුණයා මා වෙත දමා ගැසුවේ තරහා වචන අහුරකි.

ඒ අල්ලපු ඇඳේ සිටියේ අත්අඩංගුවේ සිටි LTTE සාමාජිකයෙකි. සංහිඳියාව වචනෙන් ලියන්නට කොයිතරම් ලේසි වුණත් ප්‍රායෝගිකව එය කියා දී හිත් හැදීම ඉතා අපහසු කාර්යක් විය. මේ තරුණයන් දෙන්නා එකම රටක දෙපැත්තේ සිට යුද්ධය නිසාවෙන් බැටකෑ පුද්ගලයන් වීම ඊට හේතුවයි.

“ ඉතින් බලන්නකෝ ඔය දෙන්නටම ඩෙංගු! මදුරුවට දෙන්නම එකයි. යුදධෙ දැන් ඉවරයිනේ.” සිනාමුසු මුහුණින් ඔහුට එසේ කියා මා එතැනින් නික්මුණෙමි.

නැවත දහවල් සායනික වටයේදී මා වාට්ටුවට ආ විට “ ඔයා හරි ඩොක්ට.. ඔයා ලොකු කතාවක් කියලා දුන්නා” කියූ ඒ සෙබළ සොයුරා අනෙක් ඇඳේ සිටි කෙනා සමග සිනහ වෙමින් කතා කරනු මම දුටුවෙමි. උතුරු කොන කතා විටෙන් විට හිතේ අහුමුළුවල තිබී එබිකම් කරයි. දැන් උතුරු කතා පොත “අනිත් කොන” ලියා පළකොට අවුරුදු පහක්ම ගතවී ඇත.



සංස්කරණය [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා