වරලස දිගු කරන පහසු සත්කාර

 ඡායාරූපය:

වරලස දිගු කරන පහසු සත්කාර

කේෂාලංකාර සහ රූපලාවණ්‍ය ශිල්පී

ප්‍රින්සස් කැරේජ් බ්‍රයිඩල් ඇන්ඩ්

සැලෝන්- දංකොටුව

ඔබගේ කෙස් කලඹේ සෑම කෙස් ගසක්ම නිරෝගී කරගැනීමට සහ කෙස් ගස ඇතුළතින් නිවැරැදි ලෙස පෝෂණය කරගත හැකි නම් කෙටි කලකින්ම දිගු සුන්දර වරලසක් ලබාගත හැකිය. අවිවේකී කාර්යබහුල ජීවිත ගතකරන ඔබට නිවසේදීම කරගත හැකි සරල සත්කාර කිහිපයක් මෙවර 'ලිය' තුළින් ගෙන එන්නෙමු.

කෙස් වර්ධනය වීමට නම් හිස් කබල නිරෝගීව තිබිය යුතුය. නිතර පිරිසුදු කිරීම සහ නිසි සත්කාර කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය කරුණු වේ.

වරලසේ පෝෂණයට අවශ්‍ය වන විටමින් අතර ෆෝලික් අම්ලය, බයොටින් සහ විටමින් ඊ ඉවහල් වේ. හිසකෙස් සෑදී ඇත්තේ ප්‍රෝටීන වර්ග 18 එකතු වීමෙන් වන අතර කෙස් ගස ශක්තිමත් වීමට සහ වර්ධනය වීමට ඉහත කී විටමින් වර්ග මුල් තැනක් ගනී.

අප ගන්නා ආහාර රටාව ගැන බොහෝ දෙනකු වැඩි සැලකිල්ලක් නොදක්වන අතර නිතර කෙටි ආහාර ලබා ගැනීම, කෘත්‍රිම ආහාරවලට හුරු වීම හිසකෙස්වලට නිසි පෝෂණයක් නොලැබීමට සෘජුවම බලපායි. එම නිසා හිසකෙස්වල නිරෝගී බව සඳහා මෙකී කරුණු කෙරෙහි සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. එම නිසා පෝෂ්‍ය ගුණයෙන් ඉහළ ආහාර රටාවකට හුරු වන්න. බිත්තර වැඩිපුර ආහාරයට එක්කර ගැනීමෙන් වැඩි විටමින් ප්‍රමාණයක් ලබාගත හැකිය. එමෙන්ම වැඩිපුර ජලය පානය කිරීම, අලිගැටපේර සහ පලා වර්ග ආදිය වැඩිපුර ආහාරයට ගැනීමද කළ යුතුය.

එසේ අභ්‍යන්තරව සිදුකරන පෝෂණයට අමතරව හිසකෙස්වල වර්ධනය වෙනුවෙන් බාහිරව කළ යුතු සත්කාරද තිබේ. බොහෝ අය කෙස් අග කොටස කපා ඉවත් කිරීම කරන්නේම නැති තරම්ය. නමුත් කෙස් වර්ධනය වීමට කෙස් කලඹේ අග කොටස මාස 3කට වරක්වත් අඟලක් පමණ කපා ඉවත් කළ යුතුය. හිස පීරන විට මුලින්ම වඩාත් විශාල දැති සහිත පනාවකින් පීරා අවසානයට කුඩා දැති සහිත පනාවකින් කෙස් කලඹේ අග සිට මුලට පීරන්න. මුල සිට පීරීම නොකළ යුතු අතර එසේ කිරීමෙන් කෙස් ගසට හානි සිදුවේ.

ඔබට ඇත්තේ ස්වාභාවික කෙස් කලඹක් නම් ඔබ නිතරම පුරුදු විය යුත්තේ ස්වාභාවික ලෙස නිපදවා ඇති ෂැම්පුවලට හුරුවීමය. සතියකට වරක්වත් තෙල් සත්කාරයක් කිරීමත් සති තුනකට වතාවක් කන්ඩිශනර් සත්කාරයක් කිරීමත් නිරෝගී කෙස් කලඹක් ලබා ගැනීමට ඉවහල් වේ. නිතරම හිසකෙස් පිරිසුදුව පවත්වාගෙන යෑමත් නෑමෙන් පසුව හොඳින් හිස වියළා ගැනීමත් කළ යුතුය. නිතර දහදිය දැමීමෙන් හිසකෙස් සහ හිසේ මතුපිට පෘෂ්ඨයත් අපිරිසුදු වන අතර ඒ ගැනද සැලකිලිමත් විය යුතුය.

කීකිරිදිය, බෙහෙත් නෙල්ලි, සුදු පොල්තෙල්, ඔලිව් තෙල් කරපිංචා කොළ යන ද්‍රව්‍ය එක්කර මඳ ගින්නේ රත්කර සාදාගන්නා ඖෂධීය තෙල් හිස්කබල මත ආලේප කිරීමත් ඉතා හොඳ ප්‍රතිඵල ලබාදෙන සාර්ථක සත්කාරයකි. ස්නානය කරන විට නිතරම ජල කරාමයට සහ ෂවර් එකට හිස කෙළින්ම අල්ලා සේදීමද නොකළ යුත්තකි. මෙමඟින් හිසකෙස් ගැලවී යා හැකිය. නිතර ෂැම්පු භාවිතය සුදුසු වන්නේද නැත. දිනක් හැර දිනක් ෂැම්පු භාවිත කිරීම ප්‍රමාණවත් වන අතර දිනපතා නෑමෙන් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් ඇති නොවේ. එමෙන්ම මඳක් ඉදුණු පලතුරු නිතර ආහාරයට එක්කර ගැනීමද හිස්කෙස්වල වර්ධනයට හේතු වේ. මෙකී සත්කාර නිතර කිරීමෙන් ඔබට ඉතා නිරෝගිමත් සහ දිගු කෙස් කලඹක් ලබාගත හැකිවනු ඇත.

[අසංක ප්‍රනාන්දුපුල්ලේ]

News Order: 
10
මාතෘකා