ලිවීමෙන් මිල කළ නොහැකි ආත්ම තෘප්තියක් ලබනවා

 ඡායාරූපය:

ලිවීමෙන් මිල කළ නොහැකි ආත්ම තෘප්තියක් ලබනවා

ලේඛිකා දිල්හානි වික්‍රමරත්න

හිතක් සනසන්නටත් හඬවන්නටත් අකුරුවලට ඇත්තේ පුදුමාකාර බලයකි. අකුරුවලට හුස්ම ඇතැයි සිතෙන තරමටම ඇතැම් නිර්මාණ මිනිස් හදවතට සමීප වන්නේ ඒ නිසාය. හදවතට කතාකරන අකුරු අමුණන්නට හැකි හදවත් ඇත්තේ අතලොස්සක් වුවද ඔවුහු පාඨක හදවත් තුළ හැමදාමත් විරාජමාන වීමට තරම් වාසනාවන්ත වෙති. එවැනි භාග්‍යයක් හිමිකරගත් අකුරු අමුණන ළෙන්ගතු සිතැත්තියක් සහ ජනප්‍රිය නවකතාකාරිනියක වන දිල්හානි වික්‍රමරත්න 'ලිය' සමඟ කළ සොඳුරු කතාබහකි මේ.

නවකාරිනියක, ලේඛිකාවක වීමට ඔබට පෙරමඟ තැනූ අතීතය ගැන සිහි කරනවා නම්?

මම ගතකළ ස්වර්ණමය ළමාවිය ඊට ප්‍රබල හේතුවක් වන්නට ඇති. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ උඩුදුම්බර කහටලියද්ද පර්ෂද මූලස්ථ මහා විදුහලෙන්. අවුරුදු 5-10 දක්වා වූ මගේ ළමාවිය පුදුමාකාර සුන්දර කාලයක්. මම ජීවත් වූ කහටලියද්ද ගම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගමක ලක්ෂණ කැටිකරගත් ගොවිතැන ජීවනෝපාය කරගත් අව්‍යාජ ගැමියන් ජීවත් වූ ඉතාම සෞන්දර්යයාත්මක ගමක්. ඉතින් ඒ නිසාම කුඩා දරුවෙක් විදිහට මටත් ඉතාම සුන්දර සැහැල්ලු අව්‍යාජ ළමා වියක් උරුම වුණා. පරිසරයට, සොබාදහමට ආදරය කරන ඒ සුන්දරත්වය හදවතින්ම විඳගත හැකි සිතක් මට උරුම වුණේ ඒ සුන්දර ළමාවිය තුළින් ලැබූ අත්දැකීම් නිසා කියලා මම විශ්වාස කරනවා.

ලේඛන කලාව දියුණු කරගැනීමට පාසලින් ලැබුණු ආභාසය කුමනාකාරද?

ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා මම මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. මම හිතනවා කැලෑවේ පිපිලා කැලෑවේම පරවී යෑමට තිබූ මලක් වැනි මගේ දක්ෂතා ලෝකයට විවෘත කළ ස්ථානය එතැන වෙන්න ඇති. පාසලේදී මම අධ්‍යාපන කටයුතු වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වලටත් සම්බන්ධ වුණා. පාසලේ තිබුණු සාහිත්‍ය සංගම්, බෞද්ධ සංගම් සහ වාණිඡ සංගමය ආදී හැම සංගමයකටම මම සහභාගි වුණා. ලොකු ජයග්‍රහණ ලබාගත නොහැකි වුණත් ක්‍රීඩා කටයුතුවලත් යෙදුණා. මම උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. ගණකාධිකරණ අංශයෙන් ඉහළටම යෑම තමයි ඒ කාලේ මගේ බලාපොරොත්තුව වුණේ. නමුත් ඒ කාලයෙත් මගේ විනෝදාංශය වුණේ ලිවීමයි කියවීමයි. මම තරම් හොඳින් පාසල් පුස්තකාලය පරිහරණය කළ සිසුවියක් අපේ පාසල් ඉතිහාසයේම නැතුව ඇති. ඒ වගේම මම ඒ කාලේ කවි,කෙටිකතා සහ නවකතා ලිව්වා. ඒවාට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම මට පාසල තුළත් පාසල් නේවාසිකාගාරය තුළත් විශේෂ පාඨක සමාජයක් හැදිලා තිබුණා. නමුත් පාසල් අධ්‍යාපනයෙන් පසුව මම ගණකාධිකරණ ක්ෂේත්‍රය තුළ රැකියා කිහිපයකම නියැලුණා මිසක් වෘත්තීමය වශයෙන් ලේඛන කලාවේ යෙදුණේ නැහැ.

නමුත් මේ වන විට ඔබ වෘත්තීයමය ලේඛිකාවක්. ඒ ගමනේ ආරම්භය සනිටුහන් වූයේ කොහොමද?

2002 වසරේදී මම කොළඹට ආවේ ලලිත් රෝහිත එදිරිසිංහ සොහොයුරා සංස්කරණය කළ 'පාරමී' පුවත්පතේ උප කර්තෘවරිය විදිහටයි. ඒ තමයි මගේ ලේඛන දිවියේ පළමු අඩිතාලම. වසර දෙකක් පමණ මම එම පුවත්පතේ කටයුතු කරමින් අත්දැකීම් සම්භාරයක් ලබාගත්තා. අවුරුදු 22ක් වැනි ළාබාල වයසකදී උප කර්තෘවරියක් විදිහට ලැබූ ඒ අත්දැකීම් තුළ මගේ ලේඛන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වුණා කිව්වොත් නිවැරදියි. ලලිත් රෝහිත අයියා මට අවස්ථාව සහ මඟපෙන්වීම ලබාදෙමින් ලේඛන කලාවේ සමස්තයම දායාද කළා. ඒ කෘතවේදීත්වය ඔහු වෙනුවෙන් මගේ හදවතේ හැමදාමත් තිබෙනවා.

ඊළඟට 'ලංකා ඉරිදා සංග්‍රහය' කියන්නෙ මගේ වෘත්තීයමය ජීවිතයේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය සහ ස්වර්ණමය අවධිය කියලා මම විශ්වාස කරනවා. මම එම පුවත්පතට සම්බන්ධ වුණේ ගණකාධිකාරවරියක් විදිහටයි. ඒ අතරේ මම පුවත්පතේ සාහිත්‍ය කලා අතිරේකයට වගේම විදෙස් ලිපිය වැනි සංකීර්ණ ලිපිත් ලිව්වා. ඒ වගේම එම පුවත්පත් ආයතනයේ ගතකළ වසර 4ක පමණ කාලය තුළ මම මගේ වෘත්තීය මට්ටම දියුණු කරගත්තා. අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගත්තා. ඒ වගේම පවුලට මගෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටුකළා.

ඒ කාලයේදී ඔබ නවකතාකාරියක් විදිහටත් දොරට වඩිනවා නේද?

2002 වසරේදී සහෝදර ලේඛිකාවක් වන සුනේත්‍රා තුෂාරි ඩයස් සොයුරිය මාව නිශාන්ත වික්‍රමතිලක මහතාට හඳුන්වා දුන්නා. ඒ අනුව ඔහු තමයි පාරමී පුවත්පතට මම ලියූ 'ආදරේ භාවනාවකි' පොත ප්‍රකාශයට පත්කළේ. එය මුද්‍රණයෙන් පිටවූ මගේ පළමු කෘතිය වුවත් කුමක්දෝ හේතුවකට ඒ පොත එතරම් දුරට පාඨකයා අතරට ගියේ නැහැ. 2008 වසරේදී ලේඛිකාවක වන තරංගා දිසානායක මහත්මිය ඇයගේ ප්‍රකාශන ආයතනය තුළින් මගේ 'සිහින මියදුණාදෙන්' නවකතාව පොතක් ලෙස ප්‍රකාශයට පත්කළා. ඒ නවකතාව තුළින් තමයි දිල්හානි වික්‍රමරත්න කියන නවකතාකාරිය ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වුණේ. ඒ වෙනුවෙන් තරංගා සොයුරියටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වනවා. ඒ නවකතාව තුළින් ලැබුණු පාඨක ප්‍රතිචාර මගේ ලේඛන දිවියට විශාල ශක්තියක් වුණා. ඒ නිසාම 2009 වසරේදී මම 'පහන් තාරකාවි' සහ 'ආශිර්වාදිනි' නමින් ඉතා කුඩා ප්‍රමාණයේ නවකතා දෙකක් ප්‍රකාශයට පත්කළා. එතැන් සිට 'ශාක්‍ය පබ්ලිකේෂන්' නම් මගේ ප්‍රකාශන ආයතනය යටතේ මේ දක්වාම මගේ කෘති ප්‍රකාශයට පත්කරනවා.

එහෙම ආරම්භ කළ මගේ ලේඛන දිවියට මේ වන විට දස වසරක් සම්පූර්ණ වී තිබෙනවා. එම වසර 10 තුළ මා විසින් රචිත කෘති 70ක් පමණ ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ඒ අතර නවකතා 40ක් පමණ, පරිවර්තන, ළමා අධ්‍යාපන සහ ධනාත්මක චින්තන කෘති ඇතුළත් වෙනවා. අවුරුදු 10ක ගමන් මඟේ මම නෙළාගත් අස්වැන්න වන්නේ ඒවායි.

මේ ගමනේදී ඔබ මුහුණ දුන් බාධක සහ අභියෝග ගැන සිහි කරනවා නම්?

මම විශ්වාස කරන දෙයක් තමයි ජීවිත ගමනේ නැඟීම් සහ බැසීම් තිබෙනවා. විවාහයෙන් පසුව මගේ ජීවිතය තුළ අනපේක්ෂිත පෙරළි රාශියක් සිදුවෙනවා. ඒ නිසා මට කාලයක් නිර්මාණ කටයුතුවලින් තරමක් දුරට ඈත්වීමට සිදුවුණා. මම හිතන්නේ සමස්ත ජීවිතයම අභියෝගයක්. නමුත් ඒ සියලු දේට ශක්තිමත්ව මුහුණ දුන්නා කියලා මම හිතනවා.

ඔබ පුස්තකාලයක හිමිකාරියක්. ඒ ගැන වැඩි විස්තර පවසනවා නම්?

වෘත්තීයමය ලේඛිකාවක් වුණත් මම වාණිඡ පරමාර්ථයෙන් විශාල දියුණුවක් ලැබූ කෙනෙක් නෙවෙයි. නමුත් මට අවශ්‍ය වුණේ ලේඛිකාවක් විදිහට කවුරුත් නොකළ යමක්, සමාජයේ පවතින අර්ථවත් යමක් කරන්නයි. ඒ අදහසින් තමයි මම පුස්තකාලය ආරම්භ කළේ. වසර හතරක් තුළ එහි සාමාජික සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙනවා. පොත් 8000කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. මම හිතනවා එය මා ලැබූ විශාල ජයග්‍රහණයක් කියලා. මොකද කවදාවත් පොත් නොකියවූ අය පවා දැන් මගේ පුස්තකාලය නිසා පොත් කියවනවා. ඒ වගේම කියවීම තුළින් විශාල දක්ෂතා දක්වන දරුවන් පවා මගේ පුස්තකාලය නිසා බිහිවී සිටිනවා. පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙක් කළ පොත් පරිත්‍යාග හැරුණු විට පුස්තකාලයේ තිබෙන පොත් සියල්ල මම ලිවීමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගත් පොත්. ඒ කියන්නේ මේ පුස්තකාලය මේ රටේ ආදරණීය පාඨක පිරිසකගේ දායකත්වයෙන් ගොඩනැඟූවක්. ඒ තුළින් සමාජයට, සාහිත්‍යයට යම් මෙහෙවරක් සිදුවනවා නම් එහි අයිතිය සහ ජයග්‍රහණය මට පමණක් නොවෙයි මා වටා සිටින ආදරණීය සහෘදයන් සියලු දෙනාටත් අයිතියි.

ලේඛිකාවක් ලෙස ඔබේ ඉදිරි සැලසුම් සහ බලාපොරොත්තු මොනවාද?

පුස්තකාලය මීට වඩා දියුණු මට්ටමකට ගෙන ආ යුතුයි. එයින් සිදුවන සමාජ මෙහෙවර ගැන මම ඉතා තෘප්තිමත්. ඒ වගේම ලේඛිකාවක් විදිහට මගේ නවකතා අභිභවා යමින් පරිවර්තනවලට විශේෂ ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා ලබන වසරේ සිට මා අතින් නවකතාවලට සමානව පරිවර්තනත් වැඩි ප්‍රමාණයක් ලියවේවි. ලිවීම තුළ මම මියනතුරා නියලේවි. ඒ අතර මගේ දියණියගේ ජීවිතය සැපවත් කරන සිහිනයත් මට තිබෙනවා. ඇය තවම කුඩායි. ඉතින් ඇයගේ සියලු කටයුතුවල යෙදෙන අතර කාලය කළමනාකරණය කරගනිමින් මම ලේඛන කටයුතුවල යෙදෙනවා. ලිවීම තමයි මගේ එකම ජීවනෝපාය. මම විශ්වාස කරන විදිහට මේ ලෝකයේ තිබෙන තෘප්තිමත්ම රැකියාවත් මෙයයි.

ජීවිතය ජයගත් කාන්තාවක් ලෙස ජීවිතයේ ප්‍රශ්න, කරදර අබියස දුක් විඳින කාන්තාවන්ට කියන්නටත් ඔබට යමක් ඇති?

එයට මට පොදු පිළිතුරක් දෙන්න අපහසුයි. මොකද අපි එක් එක්කෙනාගේ ජීවිතවලට ආවේණික හැඩයක් තිබෙනවා. ඒ අත්දැකීම් වෙනස් වගේම එක් එක් පුද්ගලයා ඒවාට මුහුණ දෙන ආකාරයත් වෙනස්. ඒ වගේම අපි ජීවිතය අවබෝධ කරගන්නා පරිමාණයත් එකිනෙකාට වෙනස්. එම නිසා කවදාවත් කාගෙවත් ප්‍රශ්නයකට එකම අච්චුවකට දාපු පිළිතුරක් දෙන්න බැහැ. අපි ජිවිතය තේරුම් ගත යුත්තේ අත්දැකීම්වලින්. ඒ වගේම අත්හැරීම තුළ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයගත හැකියි. අනිත් දේ දරාගැනීම අපි හැම කෙනෙකුටම තිබිය යුතුයි. මම හිතනවා ඉස්සරට වඩා මම දැන් ජීවිතය අවබෝධ කරගෙන ඉන්නවා. ඒ නිසාම අපි කාටත් බලපාන ව්‍යාපාරික ප්‍රශ්න සහ අභියෝග හැරුණු විට මම වෙනත් කිසිම ප්‍රශ්නයක් ගැන කරදර වෙන්නෙ නැහැ. ඒ නිසාම සරලව සතුටින් ජීවිතය ගත කරනවා.

මෙතෙක් ආ ගමනේ ඔබේ සාර්ථකත්වයට දායක වූවන් ගැන සිහි කරනවා නම්?

මගේ ජීවිත ගමනේ මේ දක්වා කොතැනකදී හෝ සම්බන්ධ වූ හැම කෙනෙක්ගෙන්ම මගේ ජීවිතයට ලැබුණු හොඳ හෝ නරක අත්දැකීමක් තුළින් මම ජීවිතයට කුමක් හෝ පාඩමක් ඉගෙන ගත්තා. ඒ අත්දැකීම් රසවත් වුණත් නීරස වුණත් එයින් මගේ ජීවිතයට ලොකු ශක්තියක් ලැබුණා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දියණිය හැරුණාම මගේ ජීවිතයේ වටිනාම සම්පත මගේ පාඨකයන්. සාමාන්‍ය ලේඛකයකු පාඨකයන්ට දක්වන ගෞරවයට, සෙනෙහසට වැඩි ළෙන්ගතු හැඟීමක් මට ඔවුන් කෙරෙහි තිබෙනවා. මම අභියෝගවලට බිය නොවී මේ ගමන ආවේ ඔවුන් මට දුන් ධෛර්යය හා ශක්තිය නිසයි. ඒ නිසා හැමදාමත් හදවතින්ම ඔවුන්ට කෘතඥ වනවා.

යක්කල කිරිඳිවැල පාරේ අංක 70/B/4 දරණ ස්ථානයේ පිහිටි දිල්හානි වික්‍රමරත්න පුස්තකාලය ඔබ සියලු දෙනාට විවෘත බව ඇය පැවසුවේ ළෙන්ගතු සිතිනි. 077 3596233 දුරකථන අංකය තුළින් ඒ පිළිබඳ සහ ඇයගේ කෘති පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිය.

සටහන [දෙව්දුනි මධුෂිකා]

News Order: 
8
මාතෘකා