බබා තනිවම නිදි කරන හැටි

 ඡායාරූපය:

බබා තනිවම නිදි කරන හැටි

අලුත් අම්මලාට තිබෙන දහසක් ප්‍රශ්න අතරේ හැමවෙලාවෙම ඔබේ උණුසුමටම තුරුලු වී සිටීමට කැමති කිරිකැටියා තනිව නිදිකිරීමත් විශාල ගැටලුවකි. විශේෂයෙන් පළමු වරට මවක් වූ කාන්තාවකට නම් එය විශාල හිත් රිදවීමකුත් ගෙන දෙන සිදුවීමකි. එහෙත් බිලිඳාට සුව පහසු නින්දක් ලැබීමට නම් ඔහු තනිව නින්දට හුරු කළ යුතුය. එය දරුවා නිශ්චිත නිදි රටාවකට හුරු කිරීමට උදවු කරන අතර ඔබටද බාධාවකින් තොරව ඔබේ කටයුතු කරගැනීමට පහසුවක් ගෙනදෙන්නකි.

සාමාන්‍යයෙන් දරුවකු ඔහුගේම නිද්‍රා රටාවකට හුරුවීමට වයස අවුරුදු 6ක් පමණ ගතවන නිසා ඊට පෙර කාලයේදී දරුවකු තනිව නින්දට හුරුකරවීම මවුපියන් විසින් කළ යුත්තකි. ඔබ නිවසේ කටයුතුවලට අමතරව රැකියාවකද නිරත වන මවක් නම් එසේ දරුවා තනිව නින්දට හුරුකරවීම අත්‍යවශ්‍ය වන්නේ දරුවා රාත්‍රිය පුරා කිහිපවරක් අවදිවීමෙන් ඔබේ නින්දට බාධාවන නිසයි. එය පසුදා ඔබට කාර්යාලයට ගොස් නිසි පරිදි වැඩ කටයුතු කරගැනීම අසීරු කරන තත්ත්වයක් ඇති කරන්නකි.

එසේ ළදරුවා තනිව නින්දට හුරු කිරීම සඳහා පහසුවෙන් කළ හැකි පියවර කිහිපයක් තිබේ. පළමුව දරුවා නිදි කරවීමට සුදුසුම ස්ථානය තෝරාගත යුතුය. සුව පහසුව, ආරක්ෂාව, පිරිසුදු වාතාශ්‍රය ලැබීම නිසැකවම දරුවා නිදි කිරවීමට තෝරාගත් ස්ථානයේ තිබිය යුතුමය. දරුවා ටිකෙන් ටික වැඩෙන විට ඔහුගේ හෝ ඇයගේ රුචිකත්වයට ගැළපෙන ලෙස අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න. කෙසේ වෙතත් ඔබේ නිදන කාමරයේම ස්ථානයක් දරුවා වෙනුවෙන් වෙන්කිරීම වඩා සුදුසු වන්නේ ලාංකේය මවුවරු කිසිසේත් දරුවාගෙන් සම්පූර්ණයෙන් මිදී සිටීමට අකමැති වන නිසාය.

නියමිත ස්ථානය සූදානම් කරගත් පසු දරුවා නිදි කරවීමට නිශ්චිත වේලාවක්ද තෝරාගන්න. මුලදී අසීරුවුවත් නිදාගැනීම සඳහා එකම වේලාවක් තෝරාගත් විට ළදරුවා ක්‍රමයෙන් එයට හුරුවේ.

එමෙන්ම නින්දට යැවීමට පෙර දරුවා සෑම අතින්ම සුව පහසුව සිටිනවා දැයි සැකහැර දැනගන්න. නින්දට පෙර හොඳින් පිරිසුදු කළ දරුවා යළි තෙමාගැනීමක් කරගෙන තිබේ නම් වහාම තෙත ඇඳුම් මාරු කර ඔහු සුව පහසු තත්ත්වයට පත්කරන්න. එමෙන්ම සිරුරට තද ඇඳුම්ද දරුවාගේ සුව නින්දට බාධාවකි. විශේෂයෙන් රාත්‍රියට සුදුසු වන්නේ ඉතා මෘදු සැහැල්ලු ඇඳුම්ය.

ඊට අමතරව බොහෝ ළදරුවන් රාත්‍රියේදී විටින් විට අවදි වීමට හේතුව ඔහුගේ කුස හොඳින් පිරී නොතිබීම නිසාය. එම නිසා අනිවාර්යයෙන්ම නින්දට පෙර හොඳින් දරුවාගේ කුස පුරවන්න. නමුත් කෑම දුන් සැණින් දරුවා නින්දට යැවීමද සුදුසු නැත. අවම වශයෙන් කෑම කැවීමෙන් පසු පැය භාගයක්වත් දරුවා අවදිව තබාගන්න.

එමෙන්ම දරුවා සෙම්ප්‍රතිශ්‍යාවෙන් හෝ අධික සීතල නිසා නාසය අවහිර වීමකින් පෙළෙන්නේ නම් එයද ඔහුගේ නින්දට බාධාවක් විය හැකිය. එම නිසා එවැනි අවහිරවීමක් ඇත්නම් ළදරුවාගේ නාසය ප්‍රවේශමෙන් පිරිසුදු කරන්න.

අධික පීඩාකාරී ශබ්ද සහිත පරිසරයක් සහ අපිරිසුදු වාත්‍රාශය සහිත පරිසරයක් කිසිසේත් දරුවාට සුව නින්දක් ලබානොදෙන බවද අමතක නොකරන්න. එම නිසා අනවශ්‍ය ශබ්දවලින් දරුවාගේ නින්දට බාධා නොවීමට සැලකිලිමත් වන්න. නිදාගැනීම සඳහා නිශ්ශබ්ද හා සාමකාමී වාතාවරණයක් ලබාදීම අත්‍යවශ්‍ය වන අතර එවැනි ඝෝෂාකාරී, විස්මයට පත්වන ශබ්දයක් නිසා අවදි වන ළදරුවකු යළි නින්දට පත්කර ගැනීමට ඔබට වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. විශේෂයෙන් ඔබේ දරුවා නිදා සිටින ස්ථානය අසල රූපවාහිනිය තබා නොගැනීමට වග බලා ගන්න.

එහෙත් ඇතැම් දරුවන් මවගේ ගැබ තුළ සිටින කාලයේදී පවා සංගීතයට හොඳින් ප්‍රතිචාර දක්වන අතර ඔවුන් මොලොව උපත ලැබීමෙන් පසුවද සංගීතයට ඉතා ප්‍රිය වේ. එවැනි දරුවන් නිදිකර වීමට මෘදු සංගීත රාවයක් වාදනය කළ හැකිය. එය ඔබේ දරුවාට සැහැල්ලුවෙන් නිදහසේ සැතපීමට උදවු වනු ඇත.

උණුසුම් ආලෝකයක් යටතේ නිදා ගැනීමටද ඇතැම් ළදරුවන් කැමති නැත. එවැනි දරුවන් මෘදු ආලෝකයක් යටතේ නිදි කරවන්න. දරුවාට හුදකලාවක් නොදැනෙන ලෙස ඔහු කැමති ආකාරයේ වර්ණවත් සුරතල් සෙල්ලම් සතුන් දරුවා නිදාගන්නා ස්ථානයේ තබනවා නම් දරුවාගේ ශ්වසනයට බාධාවක් නොවන අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත අසාත්මිකතාවන් ඇතිනොවන ආකාරයේ සෙල්ලම් බඩු තෝරා ගන්න. නැතිනම් ඔබේ දරුවාට හුස්ම ගැනීමට අපහසු විය හැකිය.

විශේෂයෙන් දරුවා සඳහා භාවිත කරන හැම දෙයක්ම දූවිලිවලින් සම්පූර්ණයෙන්ම තොර විය යුතුය.

[තුෂාරා සන්දනායක]

-------------------

දිළිඳු පවුල් නඟා සිටුවන 'SOS' පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන

නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවකු බිහිකිරීමට ශක්තිමත් පවුල් පසුබිමක් ඇති කිරීම අනිවාර්ය වේ. කායික හා මානසික වශයෙන් පූර්ණ දරුවකු බිහිවන්නේ දරුවාගේ මූලික අවශ්‍යතාවන් සපුරාලීමට අවශ්‍ය ශක්තිය ඇති පවුලක් තුළින් පමණි. නමුත් ඒ වාසනාව අහිමි දරුවන්ද අප අතර සිටිති. එවැනි දරුවන් පිළිබඳ වගකීම වටහා ගනිමින් ඔවුන්ට වර්ධනය වීමට හා ඔහුගේ / ඇයගේ පූර්ණ හැකියාවන් කරා ළඟාවීමට උපකාර කිරීමේ අවශ්‍යතාව SOS ශ්‍රී ලංකා ළමා ගම්මාන සංවිධානය මනාව වටහාගෙන සිටී.

විශේෂයෙන් දිළිඳු හා දුප්පත් පවුල්වල දරුවන්ගේ කායික මානසික වර්ධන කිරීම සඳහා සුදුසු පරිසරය නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේම පවුල තුළ දරුවාට සුවපහසුව ජීවත්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම SOS ශ්‍රී ලංකා ළමා ගම්මාන සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන' තුළින් සිදුවේ. මෙහිදී සිදුවන්නේ දරිද්‍රතාව, වෙන්වීම් ඇතුළු විවිධ හේතු නිසා බිඳවැටුණු පවුල් පරිසරය වසර 5ක ක්‍රියාවලියක් ඔස්සේ නැවත නඟාසිටුවා ඒ තුළ දරුවාට සිය පවුල සුදුසුම වාසස්ථානයක් බවට පත්කිරීමයි. අදාළ දැනුම හා නිපුණතාවන්ගෙන් එම පවුල්වල මවුපියවරු දැනුවත් කිරීම තුළින් ඔවුන් සවිබල ගැන්වීම තුළින් ඔවුන්ට ඔවුන්ගේ දරුවන් රැකබලා ගත හැකි මූල්‍යමය ස්වාධීන බව සහ ශක්තිමත් බව ලබාදීමට SOS ආයතනය ඔවුන්ට උපකාරී වේ. සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කෙරෙන මෙම සත්කාරය මේ වන විට මෙරට විවිධ ස්ථාන 9ක ක්‍රියාත්මක වන අතර ඒ තුළින් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් 3500කට පිළිසරණ සැලසී තිබේ.

අදාළ රාජ්‍ය බලධාරීන් සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කළ පුළුල්, සම්පූර්ණ සහ විධිමත් ශක්‍යතා සමීක්ෂණයක් මඟින් මෙම වැඩසටහන සඳහා සුදුසු පවුල් තෝරාගැනේ. දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා පෝෂ්‍යදායී ආහාර ලබාදීම, දුර්වල අධ්‍යයන අංශ වැඩිදියුණු කිරීම සඳහා ළමුන් සඳහා අමතර පුහුණු පන්ති, උපදේශනය, දැනුවත් කිරීමේ වැඩසටහන්, නිවාරණ වැඩසටහන්, වාර්ෂික වෛද්‍ය පරීක්ෂාවන් සහ ළමා යෞවන සමාජ ආදියද මෙම වැඩසටහනට ඇතුළත් වේ. මෙම වැඩසටහනෙහි සමස්ත අරමුණ මූල්‍යමය ස්වාධීනත්වය හා ස්වයංපෝෂිත භාවය ඇතිකර පවුල නඟාසිටුවීම මඟින් එහි වෙසෙන දරුවන්ට සුවපහසු සුරක්ෂිත අනාගතයක් උදාකර දීමයි. ඒ තුළින් දරුවන්ගේ යහපත වෙනුවෙන් දිගුකාලීන රැකවරණ විසඳුම් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

පවුලේ ශක්තිමත් කිරීමේ වැඩසටහනට අමතරව මෙම පවුල්වල මවුපියන්ට ස්වයං රැකියාවල නියැලීමට අවශ්‍ය ආධාරක පහසුකම් ලබාදීමද ඒ තුළින් දිගුකාලීන ස්ථාවර ආදායම් මාර්ගයක් සහිතව තමන්ව රැකබලා ගැනීමට ඔවුන්ට හැකියාව සැලසීමද විශේෂත්වයකි. SOS ළමා ගම්මානයේ පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන තුළින් මෙම සමාජ සේවා සියල්ලම නොමිලේ සපයනු ලබන අතර ලෝක බැංකුව ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කිරීමෙන් පසුව මෙම සංවිධානයට විශාල අභියෝගයක් එල්ල වී තිබේ. එනම් 'SOS' ශ්‍රී ලංකා ළමා ගම්මානයේ ව්‍යාපෘතීන් සඳහා සිය ආයතනය විසින්ම අරමුදල් සම්පාදනය කරගැනීමට සිදුවීමේ අභියෝගයයි. එම අභියෝගය ජයගැනීම සඳහා හැකි අයුරින් ඔබටත් දායක වීමට හැකිනම් එය තවත් පවුලක් නඟාසිටුවීමට කරන උපකාරයකි.

 

[ශ්‍යාමලි නිශාන්ති]

-----------------

සුන්දර දෙතොලකට ගෙදරදීම සත්කාර

සුන්දර දෙතොලක් කියන්නේ කාන්තා මුහුණේ සුන්දරත්වය වැඩි කරන අංගයකි. එහෙත් දෙතොල් අවපැහැ ගැන්වීම කියන්නේ බොහෝ යුවතියන්, කාන්තාවන් මුහුණ දෙන ගැටලුවකි. වැඩිපුර තේ, කෝපි පානය කිරීම, හිරු එළියට අධික ලෙස නිරාවරණය වීම සහ ගුණාත්මක නොවන බාල තොල් ආලේපන භාවිතය නිසා දෙතොල් අවපැහැ ගැන්වීම සිදුවිය හැකිය. ඒ ආකාරයට අවපැහැ ගැන්වුණු දෙතොල්වලට නිවසේදීම කළ හැකි රූපලාවණ්‍ය සත්කාර කිහිපයක් ගැනයි මේ දැනුවත් කිරීම.

ආමන්ඩ් තෙල්- ආමන්ඩ් තෙල් සම අලුත්වැඩියා කිරීමට උපකාරී වේ. රාත‍්‍රී නින්දට යෑමට පෙර ආමන්ඩ් තෙල් ස්වල්පයක් දෙතොල් මත ආලේප කරන්න.

ලෙමන් සහ මී පැණි- දෙහි යුෂ මඟින් තොල්වල දීප්තිමත් පෙනුමක් ඇතිකරන අතර මී පැණි කදිම මොයිස්චරයිසර් එකක් ලෙස ක්‍රියා කරයි. පිරිසුදු මී පැණි ස්වල්පයක් සහ ලෙමන් යුෂ තේ හැඳි 1ක් ගෙන හොඳින් මිශ්‍රකර දෙතොල් මත ආලේප කර පැයක් පමණ තිබෙන්නට හැර පසුව තෙත රෙදි කඩකින් මෘදුව පිසදමන්න.

බීට්රූට්- බීට් රූට් කදිම තොල් ආලේපනයකට සමානය. බීට්රූට් යුෂ ස්වල්පයක්, මින්ට් කොළ 3-4ක් සහ ආමන්ඩ් තෙල් බිංදු කිහිපයක් හොඳින් මිශ්‍රකර එම ආලේපය දවසකට දෙවරක් දෙතොල් මත තවරන්න.

ග්ලිසරින්- සමේ තෙතමනය රඳවා ගැනීමට උපකාරී වන ග්ලිසරින් තොල්වල වියළි බව නැතිකර දීප්තිමත් පෙනුමක් ලබාදෙයි. රාත්‍රී නින්දට යෑමට පෙර කපු රෙදි කැබැල්ලක තැවරූ ග්ලිසරින් ස්වල්පයක් දෙතොල් මත තවරන්න. මෙය දිනපතා භාවිත කිරීමෙන් රෝස පැහැති නිරෝගී දෙතොලක් ලබාගත හැකිය.

ඇපල් සයිඩර් විනාකිරි- ඇපල් සයිඩර් විනාකිරි බිංදු කිහිපයක් ජලය සමග මිශ්‍රකර කපු රෙදි කැබැල්ලක තවරා විනාඩි 10-15ක් දෙතොල් මත තබන්න. පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය අම්ලයක් නිසා සම මත වැඩිපුර තැවරීමෙන් වළකින්න.

බේකින් සෝඩා- මියගිය සෛල ඉවත් කිරීමට බේකින් සෝඩා උපකාරී වේ. බේකින් සෝඩා තේ හැන්දක් ජලය සමග මිශ්‍රකර එම පේස්ට් එක දෙතොල් මත තවරා විනාඩි 10ක් පමණ තිබෙන්නට හැර සාමාන්‍ය පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

කෝමාරිකා- කෝමාරිකා සම පෝෂණය කර සමට නිරෝගී පෙනුමක් ලබාදෙයි. කෝමාරිකා මදයේ ඇති ජෙලි ස්වභාවයෙන් යුතු ද්‍රව්‍ය ගෙන එය දෙතොල් මත ආලේප කරන්න.

[මේරියන් අල්මේදා]

 

මාතෘකා