වියපත් වීම පාලනය කරන හැටි

 ඡායාරූපය:

වියපත් වීම පාලනය කරන හැටි

ජීවිතයේ සුන්දරම අවදිය තරුණ විය කිවහොත් එය මුසාවක් නොවෙයි. යොවුන් බව හැමදාමත් රඳවා ගැනීමට අකමැති කෙනෙක් ඉන්නවා කිවුවොත් එය අරුමයක්. කොහොම වුණත් වියපත් වීම, වයසට යෑම කියන්නේ ස්වාභාවික සංසිද්ධියක්. කෙනකු වියපත් වීම ඇරඹෙන්නේ සම තුළින් කිවහොත් එය නිවැරදියි. සම රැලි වැටීම කියන්නේ වයසට යාම බාහිරව පෙන්නුම් කරන මූලික ලක්ෂණයක්. නිතර නිතර අධික හිරු රශ්මියට නිරාවරණය වීම, ජීවන රටාව, ජලය ප්‍රමාණවත් තරම් පානය නොකිරීම වගේම නිසි පෝෂණය නොලැබීම ආදී කරුණු නිසා කෙනකුගේ සමට සැබෑ වයසටත් වඩා වයස්ගත පෙනුමක් අත්විය හැකිය.

රුව ගැන සිතන ඔබටත් සමේ වියපත් පෙනුම ගැටලුවක් වී ඇත්නම් ඊට නිවසේදීම පහසුවෙන් කරගත හැකි සත්කාර කිහිපයක් පිළිබඳවයි මේ සටහන.

රෝස වතුර කියන්නේ සමට හොඳ තෙතමනයක් ලබාදෙන ද්‍රව්‍යයක්. රෝස වතුර සහ ග්ලසරින් තේ හැඳි 2ක් වතුර සහ ලෙමන් යුෂ ස්වල්පයක් හොඳින් එකට මිශ්‍රකර පුළුන්වලින් මුහුණෙහි හොඳින් ගල්වන්න. දිනපතා නින්දට යාමට පෙර මෙම සත්කාරය සිදුකර පසුදා උදෑසන පිරිසුදු ජලයෙන් මුහුණ සෝදා හරින්න.

හරිත තේ එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ග්‍රීන් ටී කියන්නේ හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. එය මැරුණු සම අලුත්වැඩියා කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම ලෙමන්වල තිබෙන ආම්ලික ගුණය සම පිරිසුදු කිරීමට උපකාරී වෙනවා. ඒ නිසාම ලෙමන් ස්වාභාවික ටෝනර් එකක් ලෙස භාවිත කළ හැකිය. පළමුව ග්‍රීන් ටී එක්කොට තේ කෝප්පයක් සාදා එය හොඳින් සිසිල් වන්නට හරින්න. ඉන්පසු එයට නැවුම් ලෙමන් යුෂ ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. දැන් පිරිසුදු කපු පුළුන්වලින් සාදාගත් ග්‍රීන් ටී ද්‍රාවණය මුහුණෙහි හොඳින් ගල්වන්න. විනාඩි 20-25ක් මෙම සත්කාරය සිදුකරන්න. දිනකට දෙවරක් පමණ මෙය සිදුකිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

මී පැණි කියන්නේ කුරුලෑ සහිත සමට ප්‍රතිකාරයක්. මී පැණිවල ඇති එන්සයිම සමට තෙතමනය ලබාදෙනවා. පිපිඤ්ඤ යුෂ ස්වල්පයකට මී පැණි ස්වල්පයක් එක්කොට මෘදු පේස්ට් එකක් ආකාරයට සාදාගෙන පිරිසුදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සීතල වතුරින් සෝදා හරින්න. සතියකට දෙවරක් පමණ මෙම සත්කාරය සිදුකරන්න.

කිරි කියන්නේ සම වියපත් වීම පාලනය කරන තවත් සත්කාරයක්. කිරිවල අඩංගු ලැක්ටික් අම්ලය සම එල්ලා වැටීම පාලනය කරන අතර මුහුදු ලුණුවල වයසට යාම පාලනය කරන ද්‍රව්‍ය අඩංගු වෙනවා. කිරි සහ ලුණු සම ප්‍රමාණයන්ගෙන් ගෙන හොඳින් කලවම් කර මුහුණේ ආලේප කර විනාඩි පහක් පමණ තිබෙන්නට හැර පිරිසුදු වතුරින් සෝදා හරින්න. සතියකට වරක් පමණ මෙම සත්කාරය කිරීමෙන් මුහුණ පිරිසුදු වී මැරුණු සම ඉවත් කරගත හැකිය. ඒ වගේම එයින් එල්ලා වැටෙන සමට තද ගතියක් සහ නව පෙනුමක්ද එක්කර ගත හැකිය.

[තුෂාරා සන්දනායක]

------

නිර්මාංස අයටත් ප්‍රෝටීන් ආහාර

වෙජිටේරියන් එහෙමත් නැත්තම් මස්, මාංශ නොකන නිර්මාංස අයට ඇතිවිය හැකි ප්‍රධාන පෝෂණ ගැටලුවක් තමයි ප්‍රෝටීන් ඌනතාව. නමුත් නිර්මාංස වීම ප්‍රෝටීන් නොලැබීමට හේතුවක් නොවේ. අපි දිනපතා කෑමට ගන්නා ආහාරපාන අතර ඉතා හොඳ වර්ගයේ ප්‍රෝටීන් බහුල ආහාර තිබෙනවා. ඔබ නිර්මාංස අයෙක් නම් මෙම ආහාරපාන දෛනික ආහාරවේලට එකතු කරගැනීමෙන් ප්‍රෝටීන් ඌනතාවයෙන් මිදිය හැකිය.

පරිප්පු:- හොඳම නිර්මාංස ප්‍රෝටීන් ප්‍රභවයක් වන පරිප්පු ග‍්‍රෑම් 100ක ප්‍රෝටීන් ග‍්‍රෑම් 9ක් අඩංගු වනවා. ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පරිප්පුවල බිත්තරවල අඩංගු ප්‍රෝටීන්වලට සමාන ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වන බවයි.

නිවිති:- නිවිති කෝප්පයක තැම්බූ බිත්තරයක අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය අඩංගු බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. නිවිති කොළ යාන්තමින් ස්ටීම් කර ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගත හැකි අතර නිවිති ග‍්‍රෑම් 100ක ප්‍රෝටීන් ග‍්‍රෑම් 5.3ක් අඩංගු වෙනවා.

සෝයා බෝංචි:- සෝයා බෝංචි කියන්නේ නිර්මාංස කයන් සඳහා හොඳම ප්‍රෝටීන් ආදේශකයක්. සෝයා ග‍්‍රෑම් 100ක ප්‍රෝටීන් ග‍්‍රෑම් 36.7ක් අඩංගු වෙනවා.

ගෝවා:- විටමින් සී අඩංගු ගෝවා ප්‍රෝටීන්වලින් සහ තන්තුවලින් පොහොසත්. ගෝවා ග‍්‍රෑම් 100ක ප්‍රෝටීන් ග‍්‍රෑම් 2.6ක් අඩංගුයි.

ආමන්ඩ්:- අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සපිරි ධාන්‍ය වර්ගයක් වන ආමන්ඩ්හි කැල්සියම් සහ යකඩද අඩංගු වනවා. ආමන්ඩ් ග‍්‍රෑම් 100ක ප්‍රෝටීන් 9ක් අඩංගු වනවා.

රටකජු බටර්:- රටකජු බටර් හොඳ ප්‍රෝටීන් අතිරේකයක් වුණත් එය දිනකට හැඳි 2ක පමණක් සීමා කිරීම සුදුසුයි.

 

[ශ්‍යාමලි නිශාන්ති]

------------

නිරෝගීව හැඩට ඉන්න ABC ජූස් එකක්

ABC ජූස් එකක් කියන්නේ මොකක්ද කියලා ඔබට හිතෙනවා ඇති. ඒ ගැන කීමට පෙර මේ දිනවල තිබෙන උණුසුම් කාලගුණය නිසා සමට සිදුවන හානිය ගැන දැනුවත් විය යුතුය. වියළි උණුසුම් කාලගුණය තුළ විසබීජ ආසාදනය වීමට වැඩි ඉඩක් තිබෙනවා වගේම එයින් වැඩිපුරම හානි වන්නේ අපේ සමටයි. හිරු රශ්මියට වැඩිපුර නිරාවරණය වන විට සම වියළි බවට පත්වනවා වගේම කුණු දුහුවිලි ආදිය සම මත රැඳීමෙන් සමේ නිරෝගී බවට මෙන්ම සුන්දරත්වයටද හානි සිදුවනවා. එම නිසා හැකිතරම් අපේ සමේ තෙතමනය ආරක්ෂා කරගන්නා අතරම සම පිරිසුදුව තබාගැනීමද අත්‍යවශ්‍යයි. ඒ සඳහා ආහාරපානවලින් සිදුවන්නේ විශාල මෙහෙයක්. ඒ අතරින් සෞඛ්‍යසම්පන්න පාන වර්ග නිතර ගැනීම සුදුසුයි.

ඉතින් ABC ජූස් යනු එවැනි අපූරු පානයක්. සමේ නිරෝගී බව රැකගැනීමට සහ අක්මාවේ නිසි ක්‍රියාකාරීත්වයට මෙම පානය උපකාරී වනවා.

ABC ජූස් එක සකස් කිරීමට ඇපල් (Apple), බීට්රූට් (Beetroot) හා කැරට් (Carrot) යන පලතුරු තුන් වර්ගයම යොදා ගන්නා නිසයි එය ඒ නමින් හැඳින්වෙන්නේ. විටමින් A, B, C, E, K යන සමට හිතකර විටමින් වර්ග සහ සින්ක්, තඹ, පොටෑසියම්, යකඩ, මැග්නීසියම් හා පොස්පරස් ආදී ඛනිජ ලවණ රැසක් මෙම පානය තුළ අඩංගු වනවා.

ABC ජූස් එකේ අන්තර්ගත ඇපල් ඉහළ විටමින් සී අන්තර්ගතයකින් සහ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සමන්විතයි. එය සිරුරේ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැඟීමට උදවු වනවා. බීට්රූට්වල අඩංගු විටමින් A, C, B, යකඩ, පොටෑසියම්, මැග්නීසියම් හා තඹ අක්මාව ආරක්ෂා කරන අතර අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමටද උපකාර කරනවා. විටමින් A, B1, B2, B3, B6, C, E සහ මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම් සහ ප්‍රෝටීන වැනි වටිනා පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත කැරට් සම පැහැපත් කර දිදුලන පෙනුමක් ලබාදෙනවා. එමෙන්ම එහි විටමින් A බහුල බැවින් ඇස්වල පෙනීමද වැඩි කිරීමට උදවු වෙනවා. එමෙන්ම සිරුරේ විස නැසීමටද උපකාරී වන කැරට් තරබාරුව මට්ටු කිරීමටද ඉවහල් වනවා.

එවැනි පෝෂණීය ගුණ රැසකින් සමන්විත ABC ජූස් එක සාදා ගන්නේ මේ ආකාරයටයි.

සමාන ප්‍රමාණයේ බීට්රූට් ගෙඩියක් සහ ඇපල් ගෙඩියක්, එම ප්‍රමාණයේ කැරට් අලයක්, අවශ්‍ය පමණට ජලය, සීනි, දෙහි යුෂ සහ ලුණු ස්වල්පයක් මේ සඳහා අවශ්‍ය වෙනවා.

පළමුව පොතු හැරගත් ඇපල්, බීට්රූට් සහ කැරට් පොතුහැර කුඩා කැබලිවලට කපා බඳුනකට දමාගන්න. එය බ්ලෙන්ඩරයට දමා වතුර ස්වල්පයක් එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු එයට ලුණු ස්වල්පයක්, දෙහි යුෂ ස්වල්පයක් සහ අවශ්‍ය නම් පමණක් සීනි ස්වල්පයක්ද එක්කර අවශ්‍ය පමණට ජලයද එක්කර ගන්න. සුදුසු වීදුරුවකට දමා අයිස් කැට කිහිපයක්ද එක්කර පිළිගන්වන්න. හැකිතරම් නැවුම්ව මෙම ABC ජූස් එක පානය කිරීම සුදුසු වන අතර සිසිල්කර හෝ ශීතකරණයේ ගබඩා කර තබා පානය කිරීමෙන් එහි ගුණාත්මකභාවය අඩුවිය හැකිය.

 

[තුෂාරා සන්දනායක]

මාතෘකා

ජනප්‍රිය ලිපි