දේශීය විදේශීය සංචාරක ආකර්ෂණය දිනූ අපේ අනන්‍යතාව

 ඡායාරූපය:

දේශීය විදේශීය සංචාරක ආකර්ෂණය දිනූ අපේ අනන්‍යතාව

 

ලංකාවට එන විදෙස් සංචාරකයන් බොහෝ සෙයින් අපහසුතාවට පත්වන කාරණයක් තමයි ඇඳුම සහ පැලඳුම. විශේෂයෙන්ම ලංකාවේ පූජනීය ස්ථාන සහ පෞරාණික උරුමයන් පවතින ස්ථාන නැරඹීමට ඒන විදෙස් සංචාරකයන් මේ කාරණය නිසා ගොඩක් අපහසුතාවට පත්වෙනවා. කොහොම වුණත් ඒ කාරණය අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය දෙසින් බලනකොට නම් ඒ තරම් සුබවාදී දෙයක් වෙන්නේ නෑ. ඇඳුම නිසා යම් යම් ස්ථානවලදී ඔවුන්ව ප්‍රතික්ෂේප වීම තුළ ලංකාව කෙරෙහි සංචාරකයන්ගේ ඇති පැහැදීමත් යම් පමණකට හෝ පහළ වැටෙන බව රහසක් නෙවෙයි. මේ ගැටලුවට විසඳුමක් විදියට සමහර පූජනීය ස්ථානවලදී සංචාරකයන්ට චීත්ත රෙදි වගේ ඇඟලුම් ලබා දෙනවා අපි දැකල තියෙනවා. කොහොම වුණත් එය එතරම් ප්‍රායෝගික විසඳුමක් විදියට නම් දකින්න බෑ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබපු සිසුවියක් වන එච්. එම්. සඳුනි නිවන්තිකා මේ සම්බන්ධයෙන් විසඳුමක් සොයා ගන්න ඉදිරිපත් වෙන්නෙ ඔන්න ඔය අතරෙයි. ඒ ඇගේ විශ්වවිද්‍යාලයීය සිව්වැනි වසර ව්‍යාපෘතිය වශයෙන් “මෝස්තර නිර්මාණ ශිල්පය” තෝරා ගනිමිනුයි. ඇය ඒ ගැන කිව්වෙ මෙන්න මෙහෙම කතාවක්.

“මම මේ කාර්යයට අවතීර්ණ වුණේ සමාජ අවශ්‍යතාවක් පූරණය කරන්නයි. සංචාරකයන් ඇඳුම නිසා බොහෝ ස්ථානවලදී ප්‍රතික්ෂේප වීම අපේ රටට අමුතු කාරණාවක් නෙවෙයි. හැබැයි ඒක අපි උඩින් බැලුවම නොදැක්කට ඒ අයගෙ සමාජ තත්ත්වයට වගේම පන්තියටත් බාධාවක් වෙනවා. මේ කාරණය වඩාත්ම බලපාන්නේ ඉහළ පැළැන්තියේ තරුණ කතුන්ට වගේම විදෙස් සංචාරකයන්ටයි. සමහර විට මේ කාරණය නිසාම ඇතැම් සංචාරකයො මේ ස්ථාන නැරඹීම වගේම යළි ලංකාවට පැමිණීමත් ප්‍රතික්ෂේප කරනවා. ඒ්කට විසඳුමක් විදියටයි අපේ සංස්කෘතික අනන්‍යතාවත් රැකගෙන සංචාරකයන්ටත් ඉක්මනින්ම අනුගත වෙන්න පුළුවන් ඇඳුමක් නිර්මාණය කරන්න මම බලාපොරොත්තු වුණේ. මගේ අරමුණ වුණේ වෙනස්ම විදියේ හොඳ නිර්මාණයක් පාරිභෝගිකයාට ලබාදෙන එකයි.”

එහිදී ඇය තමන්ගේ පාරිභෝගිකයා තෝරා ගැනීමේදීත් විශේෂ සැලකිල්ලක් දක්වා තිබුණා. ඇය ඒ ගැන කිව්වේ මේ විදියට.

“මම මගේ නිර්මාණ සඳහා පාරිභෝගිකයා විදියට තෝරා ගත්තේ ඉහළ පැළැන්තියේ අවුරුදු 20 - 25 අතර තරුණියන් සහ විශේෂයෙන්ම විදෙස් සංචාරකයන්ව. ඔවුන්ව ඉලක්ක කරගෙන ඔවුන්ව ඇඳුමට ආකර්ෂණය කර ගැනීමේ උපරිම උත්සාහයක් දරමිනුයි මම මේ ඇඳුම් නිර්මාණය කරන්න පෙලඹුණේ. මේ විශේෂිත ඇඳුම් නිර්මාණවලට මම තේමාව කරගත්තේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය. මගේ නිර්මාණවල කන්සෙප්ට් එක වුණේ අනන්‍යතාව. ඒ සඳහා ලංකාවේ සම්ප්‍රදාය ඉහළින්ම රැකෙන උඩරට නැට්ටුවාගේ ඇඳුම් ශෛලිය උපයෝගී කර ගත්තා. උඩරට නැට්ටුවාගේ ආභරණ සහ ඇඳුම් විලාසය උපයෝගී කරගෙන තමයි සංචාරකයන් අපහසුතාවට පත්වෙන ඇඳුමට විසඳුමක් මම ඉදිරිපත් කළේ. ඒක අපේ අනන්‍යතාවට වගේම ඔවුන්ගේ ආකර්ෂණයටත් හේතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ලංකාවේ සංස්කෘතියේ ඉහළින්ම සිටින උඩරට නැට්ටුවාගේ සාම්ප්‍රදායික ඇඳුම සංචාරකයන්ගේ විලි වසන ඇඳුමකට යොදා ගන්නවා යැයි කියා මේ කතාව කියවන විට ඔබටත් එක්වරම සිතෙන්නට පුළුවන්. ඒත් සඳුනි ඒ ගැන කරපු පැහැදිලි කිරීමක් එක්ක ඒ අදහස සැනෙකින් අකා මකා දමන්න පුළුවන් වුණා.

“මම මගේ ඇඳුම් නිර්මාණවල මෝස්තර තෝරා ගනිද්දි උඩරට නැට්ටුවගෙ ඇඳුම්වල තියෙන වර්ණ යොදා ගත්තා. ඒ ගැන හොඳින් අධ්‍යයනය කරලා පාට 6ක් හඳුනා ගත්තා. මගේ නිරිමාණවලට වැඩි වශයෙන් යොදා ගත්තේ ඒවා. ඊට අමතරව උඩරට නැට්ටුවාගේ ඇඳුමේ ඇති විවිධ මෝස්තරත් මම මගේ ඇඳුම් නිර්මාණ සඳහා යොදා ගන්න අමතක කළේ නෑ.”

ඇගේ මුල්ම ඇඳුම් නිර්මාණය ‘කෝට් ඒකක් ’ කෝට් ඒකක් කිව්වට ඒක විදෙස් සංචාරකයන්ගේ විතරක් නෙවෙයි ලංකාවේ මෝස්තරවලට ආදරය කරන තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගන්නත් සමත් වුණා.

“මේ ඇඳුමෙ උරහිසේ ඉඳලා දිගටම තියෙන්නේ රැලි. ඒක නිර්මාණයට උඩරට නැට්ටුවගේ ඇඳුමෙ නරුපොටේ තියෙන ශෛලිය උපයෝගී කර ගත්තා. ඊළඟට මේ ඇඳුමට බීරලු වගේ කොටසකුත් එකතු කරලා තියෙනවා. ඒ සඳහා යොදා ගත්තේ නැට්ටුවගේ ඇඳුමෙ ‘අවුල්හැරය’ කියන කොටස. ඒ යොදා ගත් බීරලුවල තියෙන විශේෂත්වය තමයි සාම්ප්‍රදායිකව බීරලු කොට්ටයක් ආශ්‍රයෙන් නිර්මාණය කරන්නේ නැතිව යන්ත්‍ර ආශ්‍රයෙන් නිර්මාණය කිරීම. එයින් මිනිස් කාලය සහ ශ්‍රමය අවම කර ගන්නත් මම උනන්දු වුණා. ඇඳුමේ යට කොටසට යොදා ගත්තේ දුම්බර රටා. ඒකෙ විශේෂත්වය වුණේ දුම්බර රටාවේ හොඳපිටක්, නොපිටක් නොපෙනීමයි. වැඩි වශයෙන්ම මගේ ඇඳුම්වල රෙදි විදියට යොදා ගත්තේ හෑන්ඩ්ලූම්.”

ඇය ඇඳුම් මෝස්තර නිර්මාණයේදී පුද්ගල කොට්ඨාස වගේම ප්‍රදේශ ගැනත් අවධානය යොමු කර තිබුණා. විශේෂයෙන්ම ඇය ඉලක්ක කර ගත්තේ මධ්‍යම පළාත සහ උතුරුමැද පළාත. ඇය කිව්වේ මේ පළාත්වල සංචාරය කිරීමේදී වැඩි වශයෙන් සංචාරකයන් ඇඳුම නිසා අපහසුතාවට පත්වෙනවා කියලයි. ඒ ගැන ඇය මේ විදියට විස්තර කළා.

“සාමාන්‍යයෙන් ඇඳුම් නිර්මාණයට හෑන්ඩ්ලූම් යොදා ගත්තා වගේම ශුෂ්ක කලාපයට ගැළපෙන ඇඳුම් නිර්මාණයේදී ඒ සඳහා තුනී සහ ඇඟට පහසු රෙද්දක් උපයෝගී කර ගන්න මම අමතක කළේ නෑ. ඒ වගේම මේ නිර්මාණ අවසානයේදී වෙළෙඳපොළ වෙත යොමු කිරීමේදී මතුවන ගැටලු ගැනත් කල් තියාම හිතලයි මම ඇඳුම් නිර්මාණය කළේ. මාකට් ඒකේ ගොඩක්ම තියෙන්නේ බතික් නිර්මාණ. ඒවා ටික කාලයකින්ම අවර්ණ වෙනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් බතික් වුණත් යන්ත්‍ර යොදාගෙන කිරීමෙන් හරි ප්‍රමිතියට ඒන්නේ නෑ කියලයි මම විශ්වාස කරන්නේ. මගේ ඇඳුම් නිර්මාණවල තියෙන දුම්බර රටා, බීරලු සියල්ලක්ම විශේෂ අවධානයක් යොදලයි නිර්මාණය කර තියෙන්නේ. එහි වර්ණ රටාත් එක්ක සංචාරකයන් ඊට ඉක්මනින් ආකර්ෂණය වෙයි කියලා මම හිතනවා. ඒ වගේම අපේ රටේ අනන්‍යතාව එක්ක නිර්මිත ඇඳුම් නිර්මාණ නිසා මේ ඇඳුම්වලට සංචාරකයන්ට ඉක්මනින්ම අනුගත වීමේ හැකියාවත් ලැබෙනවා. මේ ඇඳුම් ඔවුන්ගේ ඉහළ පැලැන්තිය ආරක්ෂා කරනවා වගේම වෙනස්ම සහ අලුත්ම නිර්මාණාත්මකභාවයක් තිබීමෙන් නව්‍යතාවකින් යුතුව සමාජයට යෑමටත් ඔවුන්ට හැකියාව ලැබෙනවා.”

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ 4 වැනි වසරෙ ව්‍යාපෘතිය විදියට තමන් තෝරා ගත් දෙයින්ම තමන්ගේ රැකියාවත් නිර්මාණය කරගන්න තරම් ඇය දක්ෂ වුණා. ඇයට ඉදිරියේදී අවශ්‍ය තමන්ගේම නිර්මාණවලින් රටට වැඩක් කරන්නයි. ඒ වගේම කවුරුවත් හිතන්නේ නැති දිශාවක් ඔස්සේ සිය දක්ෂතාව මෙහෙයවන්න ඇය උත්සාහවන්ත වෙනවා. ඇගේ මේ සියලු කාර්යයන් උදෙසා සහාය දැක්වූවන්ට ස්තුති කරන්නත් ඇය අමතක කළේ නෑ.

“මම මේක කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එක විදියට තෝරා ගත් දෙයක්. ඇත්තටම මට ඒක තනිවම කරන්න පුළුවන් වුණේ නෑ. මේ සඳහා දැන ගිය සියලු වියදම් මගේ ගෙදරිනුයි දැරුවේ. ඉතින් මට මේතාක් උදවු කළ පවුලේ අයට, ගුරුවරුන්ට, අපේ ගම පරිශ්‍රයේ මට උපකාර කළ සියලු දෙනාටයි ස්තුතිවන්ත වෙනවා. මම දැනට පෞද්ගලික ආයතනයක මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරනවා. ඒ අතරේ මගේම නිර්මාණවලින් ඉදිරියට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

[චාමිකා මුණසිංහ]

මාතෘකා