'ලියාරා' කියවන්න මොබයිල් ඇප් එකක්

 ඡායාරූපය:

'ලියාරා' කියවන්න මොබයිල් ඇප් එකක්

"ලියන්ගෙන් ලියන් වෙත ආදරයෙන්" යන තේමාව ඔස්සේ 2019 වසරේ ජනවාරි මස සිට ආරම්භ වූ ලියාරා විද්‍යුත් සඟරාව පසුගිය 21 වැනි දින තවත් කඩඉමක් පසු කළේය. ඒ ජංගම දුරකථන ඔස්සේ ලියාරා සඟ‍රාව පරිශීලනය කිරීමට හැකි වන ආකාරයට නව ජංගම දුරකථන යෙදුමක් (මොබයිල් ඇප්) ලෙස දොරට වැඩීමයි.

මෙය ශ්‍රී ලංකාවේ පළමු වරට සඟරාවක් සඳහා වන ජංගම දුරකථන යෙදුමක් (මොබයිල් ඇප්) වන අතර මෙය බාගත කර ගැනීමෙන් පරිශීලකයන්ට නොමිලේ පසුගිය මාසවල සඟරා මෙන්ම ඉදිරි සඟරාද පහසුවෙන් කියවීමට හැකියාව ලැබේ. ජංගම දුරකථනවල ඇප් ස්ටෝර් හරහා හෝ www.liyara.org/app ඔස්සේ මෙය බාගත කර ගත හැකිය.

මෙම ජංගම දුරකථන යෙදුම ජනගත කිරීම පසුගියදා පැවති අතර එම මාධ්‍ය හමුව සඳහා ලියාරා ප්‍රධාන කර්තෘ හංසනි හිදැල්ලආරච්චි සමඟ සජිනි උයන්ගොඩ, රොනිති සර්ධාතිලක, සුහර්ශනී දොඩම්ගොඩ සහ අසින්සලා රත්නායක යන මහත්මීන් සහභාගි විය.

ලියාරා සඟරාව කාන්තාවන්ගේ සුබ සිද්ධිය සහ කාන්තා සවිබල ගැන්වීම අරමුණු කරගෙන ආරම්භ වූ සඟරාවක් වන අතර මෙහි සියලුම ලිපි සැකසෙන්නේ විවිධ ක්ෂේත්‍රවල නියුතු ප්‍රවීණ කාන්තාවන් අතින් වීම විශේෂත්වයකි. එමඟින් කාන්තා උන්නතිය සඳහා වැදගත් වන නිවාස පාලනය, ආහාර, රූපලාවණ්‍ය සහ විලාසිතා, සෞඛ්‍ය, අධ්‍යාපන, නීතිය, කාලීන මාතෘකා සහ විනෝදාත්මක අංශවලට අදාළ ලිපි පළ කෙරෙන අතර හැකි සෑම අවස්ථාවකම කාන්තා ව්‍යවසායිකාවන්ට මඟපෙන්වීමද සිදු කරනු ලබයි.

 

[ශ්‍යාමලී නිශාන්ති]

මාතෘකා