තිහට වැඩි නම් මෙහෙම කන්න

 ඡායාරූපය:

තිහට වැඩි නම් මෙහෙම කන්න

කාන්තාවකගේ භූමිකාව බොහෝ සංකීර්ණයි. දුවක්, සොයුරියක්, බිරිඳක්, මවක් සහ ගෘහිණියක් විදිහට වගේම වෘත්තිය ජීවිතය තුළත් ඔබ ගෙවන්නේ වගකීම් රාශියක් පිරුණු කාර්යබහුල ජීවිතයක්. ඒ වගකීම් සියල්ල නිසියාකාරව ඉටුකරන්න කාන්තාවට අත්‍යවශ්‍යම වන දෙයක් තමයි නිරෝගී සෞඛ්‍යය කියන්නේ. නමුත් අපේ බොහෝ කාන්තාවන් පවුලේ අය වෙනුවෙන් කොයිතරම් වගකීම්, යුතුකම් සම්භාරයක් ඉටුකළත් තමා වෙනුවෙන් නම් යොදවන්නේ බොහොම අඩු අවධානයක්. එය කිසිසේත්ම හිතකර වන්නේ නැහැ. ඔබ දුර්වල වුවහොත්, රෝගී වුවහොත් එයින් පවුලේ දියුණුවට විශාල බාධාවක් සිදුවන බව නිතරම මතක තබාගත යුතුය. විශේෂයෙන් කාලයක් තිස්සේ එක දිගට කායිකව මානසිකව වෙහෙසවන කාන්තාවන්ට ජීවිතයේ තුන් වැනි දශකය පසුකරන විට විවිධාකාර රෝගාබාධ ඇතිවීමේ වැඩි ඉඩක් තිබෙනවා. හදවත් රෝග, දියවැඩියාව, ඔස්ටියෝපොරෝසීස්, ආතරයිටීස්, කොන්දේ ආබාධ, ප්‍රසව රෝග සහ ඇතැම් විට විෂාදය වැනි තත්ත්වයන්ට පවා ලක්විය හැකිය. එමෙන්ම පියයුරු පිළිකා, ගැබ් ගෙල පිළිකා වැනි අවාසනාවන්ත රෝගවලට ගොදුරු වීමේ අවදානමක්ද තිබෙනවා.

එම නිසා විශේෂයෙන් වයස අවුරුදු 30 පසුකළ කාන්තාවන් තමන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ නිබඳ අවධානයෙන් සිටීම ඉතා වැදගත්. වයස අවුරුදු 30න් පසුව කාන්තාවන්ට හොඳ පෝෂණයක්ද අත්‍යවශ්‍ය වනවා. එයට හේතුව දහසක් වැඩ කටයුතු අතර අස්ථි දුර්වලතා ආදිය පහසුවෙන් ඇතිවිය හැකිවීමයි. එම නිසා එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා උපකාරී වන පෝෂ්‍ය පදාර්ථයන් සහිත ආහාරපාන දෛනික ආහාර වේලට ඇතුළත් වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම වයස අවුරුදු 35න් පසු සුවනාරී සායනයට සහභාගි වී තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමත් ඉතා වැදගත්.

සාමාන්‍යයෙන් වියපත් වීමට අකමැති වුවත් වියපත් වීම යනු වැළැක්විය හැකි තත්ත්වයක් නොවේ. නමුත් වියපත් වූවත් නිරෝගීව සිටීමට ඕනෑම කෙනකුට පුළුවන්. අවශ්‍ය වෙන්නේ උවමනාව සහ කැපවීම පමණයි. ජීවිතයේ තුන් වැනි දශකය කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදක් බව අපි මුලිනුත් සඳහන් කළේ ඒ නිසයි. එම නිසා කාන්තාවක් ලෙස ඔබට විශේෂයෙන් වැදගත් වන පෝෂණ සංඝටක පිළිබඳව දැනුවත්ව සිටීමද වැදගත් වනවා. ඔමේගා 3 මේද අම්ලය හදවතේ නිරෝගී බවට කදිමයි. සිරුර වඩවන, මතක ශක්තිය වඩවන ගුණයක්ද ඔමේගා 3 මේද අම්ලවල අඩංගුයි. ඒ වගේම විටමින්, තන්තු, යකඩ ලේ වඩවන අතර සිරුරට ශක්තිය ලබාදෙනවා. ප්‍රෝටීන් ආඝාතය හා පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන අතර අස්ථි ශක්තිමත් වීම සඳහා කැල්සියම්, විටමින් බී සහ ඛනිඡ ලවණ අත්‍යවශ්‍ය වන අතර ඒවා හිසකෙස්, නිය සහ දත්වල වැඩීමට අවශ්‍ය වනවා. එමෙන්ම මස්, මාළු ආහාරයට නොගන්නා කාන්තාවන්ගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමට සෝයා ප්‍රෝටීන් සපිරි කිරි කදිමයි. ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාවක්ද සෝයා සතු වන නිසා සෝයා ආශ්‍රිත ආහාර හදවතටද හිතකරයි.

පෝෂණය සහ නිරෝගී බව පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු මෙම කාලයේදී කාන්තා ඔබට විශේෂයෙන් ගුණදායක ආහාරපාන කිහිපයක් පිළිබඳව ඇමරිකාවේ පර්යේෂකයන් පිරිසක් විසින් විශේෂ පර්යේෂණයක් සිදුකර තිබෙනවා. මේ, අපේ රටේ කාන්තාවන්ටත් ගැළපෙන එවැනි ආහාරපාන කිහිපයක්.

සැමන් මාළු

ඔමේගා මේද අම්ල 3 සහිත සැමන් මාළු හදවතේ නිරෝගී බවට ඉවහල් වනවා වගේම ශරීර වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්ද ලබාදෙනවා. ඒ වගේම මතක ශක්තිය වැඩිකිරීමේ හැකියාවක්ද සැමන් මාළුවල තිබෙනවා.

නිවිති

විටමින් සහ තන්තුවලින් පොහොසත් නිවිති යකඩ ඌනතාව දුරලන අතර ලේ වඩවා සිරුරට ශක්තිය ලබාදෙනවා.

බිත්තර

ආඝාතය, හෘද රෝග සහ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන බිත්තරවල ප්‍රෝටීන් සහ විටමින් ඞී අඩංගු වනවා.

බෝංචි

යකඩ සහ ෆෝලේට් අඩංගු බෝංචි ගැබිනි මවුවරු සඳහා වඩාත් ගුණදායකයි. තන්තු අඩංගු නිසා ආහාර දිරවීම පහසු කරනවා.

යොදය සහිත කිරි

කොලෙස්ටරෝල් සහ මේදය රහිත යොදය සහිත කිරි වීදුරුවක් පානය කිරීමෙන් අස්ථි ශක්තිමත් වනවා. කිරිවල විටමින් බී, යකඩ ආදී ඛනිජ ලවණ අඩංගු නිසා සිරුර වෙහෙසා වැඩ කරන කාන්තාවන්ට අස්ථි පද්ධතිය නිරෝගීව ශක්තිමත්ව පවත්වාගෙන යෑමට උදවු වනවා. විශේෂයෙන් හිසකෙස්, දත් සහ නිය වර්ධනයට කිරි පානය අවශ්‍යයි.

ධාන්‍ය

තිරිඟු පිටිවලින් සෑදූ පාන්, කේක් සහ බිස්කට් වර්ග ආහාරයට ගැනීමෙන් සිරුරෙන් වැයවී ගිය ශක්තිය නැවත ලබාගත හැකිය.

සෝයා ප්‍රෝටීන්

ඔබ මස් මාංස ආහාරයට නොගන්නා කෙනෙක් නම් ඔබේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමට සෝයා ප්‍රෝටීන්වලින් සැකසූ ආහාර වැඩිපුර ආහාරයට ගන්න. ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාවක්ද සෝයාවල තිබෙන නිසා එය හදවතටත් හිතකරයි.

ඔලිව් තෙල්

ඔලිව් තෙල් කියන්නේ හදවතේ නිරෝගී බව රැකගැනීමට කැමති කාටත් හිතකර තෙල් වර්ගයක්. ඔලිව් තෙල් පිළිකා වැලඳීමේ අවදානමත් අඩු කරනවා. ආහාර පිසීමේදී ඔලිව් තෙල් භාවිත කිරීමෙන් එම පෝෂණ ගුණය ලබාගත හැකිය.

[තුෂාරා සන්දනායක]

මාතෘකා