ජීවිතය වෙනස් කරන දවසක්

 ඡායාරූපය:

ජීවිතය වෙනස් කරන දවසක්

"අපිට මොන වැලන්ටයින් ඩේද?" කෙනකුට එහෙම හිතෙන්න පුළුවන්. "ජීවිත කාලයම ආදරේ වෙනුවෙන් ජීවත් වන අයට ආදරේ වෙනුවෙන් එක දවසක් විතරක් ඇයි?" තවත් කෙනෙකුට එහෙමත් හිතෙන්න පුළුවන්. ඔබ බිරිඳක් වුවත් පෙම්වතියක් වුවත් හැම මිනිස් හිතක් වගේම ඔබත් ආදරයට ආදරය කරනු නිසැකයි. ආදරේ වෙනුවෙන් එක දවසක් වෙන්කිරීම අරුත්බර නැති බව ඇතැම් අය පැවසුවත් කාර්යබහුල ජීවිත ගෙවන අඹුසැමියන්ට ඔවුන්ගේ ආදරය අලුත් කරගන්නට ආදරවන්තයන්ගේ දවසත් කදිම අවස්ථාවක්. ඒ නිසාම මේ ආදරවන්තයන්ගේ දිනයේදී ඔබටත් ඔබේ සැමියාටත් වෙනස් ආකාරයේ ආදරණීය අත්දැකීමක් ලබාගත හැකිනම් එයින් ඔබ දෙදෙනාගේ සබඳතාව අලුත් වනු නිසැකයි.

රතු රෝස මල්, චොක්ලට්

රතු රෝස මල්, චොක්ලට් කියන්නේ ආදරයේ සංකේතයන්. පෙම්වතුන් ලෙස ආදරය කරද්දී නම් එවැනි දේවල් හුවමාරු කරගැනීම සුලබ දසුනක්. නමුත් විවාහයෙන් පසුව රෝස මලක් සැමියාට බිරිඳට දුන් දවසක්වත් ඇතැම් විට ඔබ මතකයේ නැතිව ඇති. එහෙම නම් මේ ආදරවන්තයන්ගේ දිනයේදී සැමියාට රතු රෝස මලකින් සුබ පතන්න. ඒ වගේම චොක්ලට් එකක් හෝ සැමියා වඩාත් කැමති රසකැවිල්ලක් සාදා දී ඔහුව සතුටු කරන්න.

සුබ පැතුම් පතක්

පෙම්වතියක ලෙස ඔබ ඔහුට සුබ පැතුම්පත් කොතෙක් නම් දී ඇත්ද? නමුත් විවාහයෙන් පසු ඒ සියල්ල අතපසු වූවා විය හැකිය. වෙළෙඳපොළෙන් මිලදී ගත් සුබ පැතුම්පතක් වෙනුවට ඔබේ සුරතින්ම සාදාගත් සුබපැතුම් පතකින් ඔහුට සුබ පතන්න. එහි ඔබ දෙදෙනාගේ ආදරය ගැන ආදරණීය හැඟීම්බර කවි පෙළක්, නිසඳැසක් හෝ සටහන් කිරීමට අමතක නොකරන්න. ඔබට එවැනි නිර්මාණාත්මක හැකියාවක් නොමැති නම් අඩුම තරමේ එහි "මම ඔබට ආදරෙයි" යන්නවත් සඳහන් කරන්න.

ආදරයේ පළමු දවස

හැම ආදරවන්තයන්ගේ දිනයකදීම ඔබ දෙදෙනාගේ පළමු හමුවීම සිදුවූ දිනය සිහිපත් කරන ආදරණීය දවසක් බවට පත්කර ගත හැකි නම් එයින් ඔබ දෙදෙනාගේ බැඳීම තවත් ශක්තිමත් වනු ඇත. අඹුසැමියන් අතර පවතින නොහොඳ නෝක්කාඩු, සිත්තැවුල් අමතක කර ආදරය අලුත් කරගන්නට එය අවස්ථාවක් කරගන්න.

ඔහු කැමති ඇඳුමක්

ආදරය කරන කාලයේදී ඔබ නිතර සැරසුණේ ඔහු කැමති විලාසිතාවලින් බව දැන් ඔබට අමතක ඇති. ඒ නිසාම ඒ කාලයේ ඔබ වෙතින් දුටු සුන්දර ආදරණීය පෙම්වතිය ඔහුටත් දැන් අමතක වෙලා ඇති. ඒ නිසාම ඔබ දෙදෙනාගේ බැඳීම යම් තරමකට හෝ දුරස් වෙලා නම් ඒ බැඳීම් අලුත් කරගැනීම මෙවර ආදරවන්තයන්ගේ දිනයෙන් ආරම්භ කරන්න. ඔහු කැමති විලාසිතාවේ ඇඳුමකින් සැරසී ඔහු මවිතයට පත්කරන්න.

දෙදෙනාගේම දවසක්

ඔබ බිරිඳක් නම් දහසක් වැඩ කටයුතු අතරේ ඔබ සහ සැමියා වෙනු‍වෙන් වෙන්වූ දිනයක් ගතකරන්නට දිගු කලකින් අවස්ථාවක් නොලැබුණා විය හැකිය.

දරුවන්ගේ කටයුතු අතර ඔබ දෙදෙනාට ආදරයෙන් ගත කරන්නට ලැබෙන අවස්ථාවද අඩුවිය හැකිය. එම නිසා මේ ආදරවන්තයන්ගේ දවසේදී දෙදෙනා එකට ගතකරන්න. එක්ව ගමනක් යන්න. දෙදෙනා වෙනුවෙන් පුංචි සාදයක් සූදානම් කර විනෝද වන්න.

 

[තුෂාරා සන්දනායක]

-----------------------

සමාජ මාධ්‍ය භාවිතය ප්‍රවේශමෙන්

යුවතියන්ගේ සහ කාන්තාවන්ගේ සිත ඉතා ඉක්මනින් සොඳුරු දසුන් වෙත ඇදී යාමත් ඒ නිසාම ඇතැම් විට ක්ෂණික තීරණ ගැනීමට යොමුවීමත් සිදුවිය හැකිය. ඒ හේතුව නිසා වර්තමානයේදී බොහෝ තරුණ දියණිවරු සහ කාන්තාවෝ විවිධාකාර ප්‍රශ්නවලට මුහුණ දෙති. ඇතැම් විට එම ඛේදාන්තයන් කෙළවර වන්නේ ඔවුන්ට තම ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවීමෙන් විය හැකිය.

එවැනි ප්‍රශ්න අතර පරිගණක අපරාධ මුල් තැනක පවතී. පරිගණක අපරාධ හැඳින්වීමට Computer Crime, Internet crime, E- Crime, Hi- Teach Crime, Cyber Crime සහ Cyber Criminology යනාදී නාමයන් භාවිත කරයි. පරිගණක, පරිගණක උපාංග, හෝ පරිගණක ජාල උපයෝගී කරගනිමින් කරනු ලබන අපරාධ 'පරිගණක අපරාධ' වශයෙන් හඳුන්වනු ලබයි.

අන්තර්ජාලයේ හරහා රවටා පුද්ගලික ෙතාරතුරු ලබා ගැනීම (Phishing), අනවසරයෙන් දත්ත ලබා ගැනීම (Hacking), පරිගණක මෘදුකාංග සොරකම, සයිබර් ත්‍රස්තවාදය (Cyber Terrorisum) පරිගණක මඟින් සිදු කරන අසභ්‍ය දෑ, කළු සල්ලි සුදු කිරීම, කෙඩ්‍රිට් කාඩ් වංචාව, පරිගණක වෛරස් ඇතුළු කිරීම, ව්‍යාජ ලිපි ලේඛන සැකසීම, කාමෝද්දීපනය (Pornography) සහ ළමා කාමෝද්දීපනය (Child Pornography) යනාදී වශයෙන් පරිගණක අපරාධ වර්ගීකරණය කළ හැකිය.‍

සමහර අවස්ථාවලදී අපරාධ සඳහා පරිගණක බැඳෙන අවස්ථා බහුලය. ඇතැම් සොරුන් විසින් විශාල ගනුදෙනු හා මූල්‍ය වංචා සඳහා පරිගණක යොදා ගැනෙන ප්‍රතිශතය වැඩිය. පරිගණක භාවිතයෙන් සාප්පු සවාරි යාමේදී සිදුවන වංචා පරිගණකය භාවිතයෙන් අනියමින්ද සිදු වේ. එවැනි අපරාධයන් අතර මුදල් සොරෙන් ඉපැයීම, අපරාධ ව්‍යාපාර, ළමා ලිංගික හැඟීම් උත්තේජනය කළ හැකි මුද්‍රිත හා දූෂ්‍ය මාධ්‍ය සහ පරිගණක මඟින් සිදු කරන ලිංගික අඩන්තේට්ටම් යනාදිය පෙන්වා දිය හැකිය. ජාතිවාදී ඇතැම් දේවල් උලුප්පා දැක්වීම, සංවේදී කරුණු, ප්‍රශ්න ඇති කරන සුළු පණිවිඩ මුදා හැරීම මෙන්ම ලිංගික හැඟීම් උත්තේජනය කිරීමට පාදක කරගත් ඇතැම් වැඩසටහන් යනාදිය වශයෙන් ඒවා දැක්විය හැකිය.

විශේෂයෙන්ම වර්තමානයේ කාමයට ඇති ආශාව හේතුකොට ගෙන කාන්තාවන් හා ළමයින් ගොදුරු කරගෙන සිදුකරන කාම අපරාධ, නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම, තර්ජනාත්මක බිය වැද්දීම් ෆේස්බුක් සමාජජාලය හරහා වැඩි වශයෙන් සිදුවේ. ඉන්ටර්නෙට් චැට් රූම් මඟින් පාසල් වයසේ දරුවන් ලිංගික වැරදි සඳහා පොලඹවා ගැනීමේ නව ප්‍රවණතාවන්ද වර්තමානයේදී දැකගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ යුක්තිය අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුනිල් රාජනෙත්ති මහතා පවසයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පරිගණක හදිසි ප්‍රතිකාර සංසදයේ ෙජ්‍යෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු, රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ මෙවැන්නකි.

"අප ආයතනයට හමුවන බොහොමයක් සිදුවීම් අපරාධයන්ට වඩා සිද්ධීන් ලෙස ගත යුතු ඒවාය. විශේෂයෙන්ම 'මුහුණුපොත' ආශ්‍රිතව හමුවන ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් සිද්ධීන් වන අතර ඊමේල් මඟින් වංචනික ලෙස මුදල් සොරකම් කිරීම ආදිය අප හඳුන්වනු ලබන්නේ අන්තර්ජාල අපරාධයන් ලෙසටය. ඒ වගේම අනවශ්‍ය පුද්ගලයකු විසින් කෙනකුගේ මුහුණුපොතට ඇතුළු වීමක් කළහොත් එයද අපරාධයක් ලෙස අපට හැඳින්විය හැකිය. මුහුණුපොතෙහි කාන්තා රූප අසභ්‍ය ලෙස පළ කිරීම, ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යෑම වැනි දෑ පිළිබඳව පැමිණිලි බොහෝ ප්‍රමාණයක් පසුගිය කාලය තුළදී අපට ලැබී තිබෙනවා. ඒ සියලු අපරාධයන්ට ගොදුරු වූ පුද්ගලයන් තම මුහුණුපොතට මිතුරන් 2000-3000ක් අතර ප්‍රමාණයක් එක් කර ගෙන සිටිනවා. එහෙත් ඒ සියලු දෙනා පිළිබඳ ඔවුන්ට කිසිදු අනන්‍යතාවක් හෝ අවබෝධයක් නැහැ. ඒ ආකාරයට කරන්නන් වාලේ කරන්නා සේ බොහෝ මිතුරන් තම ගිණුමට එක් කර නොගෙන සැබෑ සහ සත්‍ය වශයෙන්ම දැන හඳුනන කිහිපදෙනකු පමණක් තම ගිණුමට එකතු කර ගන්නේ නම් එවැනි අවදානම් තත්ත්වයන්ගෙන් මිදිය හැකිය.”

ඒ වගේම පහත සඳහන් ක්‍රියාමාර්ග තුළින්ද සයිබර් අපරාධවලින් මිදී සිටිය හැකිය.

·තමන් හොඳින් හඳුනන, හිතවත් අය පමණක් තම මුහුණුපොතෙහි මිතුරන් ලැයිස්තුවට එකතු කර ගැනීම.

·තවත් කෙනකුට ලෙහෙසියෙන් අනුමාන කළ නොහැකි පරිදි තම මුර පදය (පාස්වර්ඩ්) සකස් කර ගැනීම.

·තම මුහුණුපොතෙහි රිකවරි ඔප්ෂන් එක මඟින් තමන්ගේ ගිණුම ආරක්ෂාකාරී ලෙස තබා ගැනීම.

එකී ආකාරයට අවබෝධයෙන් කටයුතු කළහොත් අන්තර්ජාලය මඟින් සිදුවන අර්බුදකාරී තත්ත්වයන් අවම කර ගත හැකිය.

එමෙන්ම ඔබගේ ජංගම දුරකථනය ඔබ වඩාත්ම විශ්වාස කරන පුද්ගලයකුට හැර වෙනත් කිසිදු කෙනකුට පරිහරණය කිරීමට ඉඩ ලබා නොදීමද ඉතාමත් වැදගත් කරුණකි. ඔබේ ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීම සඳහා යම් ව්‍යාපාරික ස්ථානයකට ගෙන යෑමට පෙර ජංගම දුරකථනයෙහි තිබෙන ඔබගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප සියල්ලක්ම ඉවත් කිරීමට වගබලා ගත යුතු වේ.

එමෙන්ම ඔබ යම් ඡායාරූපයක් ගැනීමට පෙර එම ඡායාරූපය කෙබඳු ස්වරූපයක් ගන්නේද? එයින් ඔබට වන බලපෑම කුමක්ද? යන්න පිළිබඳව විශේෂයෙන්ම කාන්තාවන් දැනුවත් වී සිටිය යුතුය. ඊට හේතුව වර්තමානයේදී බෙහෝ පරිගණක අපරාධයන්ට යොමු වන්නේ ඡායාරූප හේතුවෙනි. අන්තර්ජාලය මඟින් තාක්ෂණය පරිහරණය කිරීමේදී නිවැරදිව දැනගෙන සිටීම මඟින් මෙම අපරාධයන් අවම කර ගැනීමට පුළුවන. ඔබේ මුහුණුපොතෙහි Settings නිවැරදිව සක්‍රිය කර ගැනීම මඟින් වර්තමානයේ දක්නට ලැබෙන බොහෝ අසභ්‍ය ක්‍රියා හා වංචනික ක්‍රියා මැඬපැවැත්විය හැකිය.

 

[මාධාරා මුදලිගේ]

--------------------

පාද ලස්සනට තියාගන්න හැටි

ලස්සන කියන්නේ මුහුණේ සුන්දරත්වය පමණක් නොවේ. හිසේ සිට පාදාන්තය දක්වාම සුන්දර පෙනුමක් ඇති කාන්තාවක්, දකින අයගේ ආකර්ෂණයට ලක්වීම නිතැතින්ම සිදුවන්නකි. මුහුණ කෙතරම් සුන්දර වුවත් දෙපා ඉරිතැළුණු වියළි පෙනුමකින් යුතු නම් ඇතැම් විට එයින් පෞරුෂත්වයට පවා හානියක් සිදුවිය හැකිය. එම නිසා මුහුණේ සුන්දරත්වය රැක ගැනීමට දරන උත්සාහයෙන් බිඳක් හෝ පාද වෙනුවෙන්ද දැරිය යුතුය.

පාද සුන්දරව තබා ගැනීමේදී පිරිසුදුකම අංක එක ලෙස සැලකිය හැකිය. මුහුණ සෝදන හැම විටකම සබන් යොදා පාදද හොඳින් සේදිය යුතුය. සෝදන හැමවිටකම වතුර හොඳින් ඉවත් වන සේ පිරිසුදු රෙදි කඩකින් පාද පිස දැමීමද කළ යුතුය. නැතිනම් පාදවල ඇඟිලිකරු අතර වතුර රැඳීමෙන් ඇඟිලි වණ වීමටද ඉඩ තිබේ. එමෙන්ම එසේ නිතර පාදවල වතුර රැඳීම නිසා පාදවලින් දුගඳක් හැමීමද සිදුවේ.

ඊට අමතරව පාද සුන්දරව තබාගැනීම සඳහා නිවසේදීම කළ හැකි සත්කාර තිබේ. පාදවල සම වියළි දුර්වර්ණ ස්වභාවයක් ගැනීම මෙන්ම යටි පතුල් පැලීම බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවකි. ඒ සඳහා නිවසේදීම කළ හැකි සත්කාරයක් ලෙස කෝමාරිකා සත්කාරය හැඳින්විය හැකිය.

සූරාගත් කෝමාරිකා මදය තේ හැඳි 2ක්, ලෙමන් තේ හැන්දක් සහ විනාකිරි, ලුණු සහ විනාකිරි තේ හැන්ද බැගින් ගෙන බඳුනකට දමා එයට මඳ උණුසුම් වතුර මේස හැඳි දෙක තුනක්ද එක්කර හොඳින් කලවම් කරගන්න. එම ද්‍රාවණය තුළට දෙපා දමාගෙන විනාඩි 10-15ක් විවේකයෙන් ගත කරන්න. ඉන්පසු පියුමික් ස්ටෝන් එකකින් යටි පතුල් හොඳින් අතුල්ලමින් මැරුණු සම ඉවත් කරගන්න. අනතුරුව පිරිසුදු වතුරින් හොඳින් සෝදා පිරිසුදු තුවායකින් හොඳින් පිස දමන්න. දැන් මොයිස්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් හෝ බොඩිලෝෂන් වර්ගයක් පාදවල ගල්වා හොඳින් සම්බාහනය කරන්න. මෙසේ දිනපතා දෙපා පිරිසුදු කිරීම පුරුද්දක් කරගන්න.

එසේ පිරිසුදු කිරීමට අමතරව පාදවල නියපොතුවල නිරෝගී බව සහ සුන්දරත්වය ගැනද සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා නිය කොටට කපා පිරිසුදුව තබාගත යුතුය. නිය නිය ආලේපන ගල්වනවා නම් එකම නිය ආලේපනයක් දිගු කාලයක් නිය මත තිබෙන්නට හැරීම සුදුසු නැත. සති දෙකකට වරක් හෝ නිය ආලේපන ඉවත් කළ යුතු අතර යළි නිය ආලේපන ගැල්විය යුත්තේ දින කිහිපයකට පසුවය. එයට හේතුව දිගටම නිය මත ආලේපන තිබීමෙන් නිය අවපැහැ ගැන්වීම සිදුවන නිසාය. ඊට අමතරව නිය කැඩී යෑම, පළුඳු වීම වළක්වා ගැනීමට නියවලට නිසි පෝෂණයක් ලැබිය යුතු බවද මතක තබාගන්න. ඒ සඳහා කැල්සියම් අඩංගු ආහාරපාන ඇතුළු සමබල ආහාරවේලක් ගැනීම සහ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමද අවශ්‍ය වේ.

මාතෘකා