සමේ වියළි බව දුරලන ස්වාභාවික සත්කාර

 ඡායාරූපය:

සමේ වියළි බව දුරලන ස්වාභාවික සත්කාර

ඔබ කාන්තාවක් නම් කොපමණ වයසට ගියත් සිරුරේ අලංකාරය සහ නිරෝගී බව ගැන නිරන්තරයෙන්ම සැලකිලිමත් විය යුතුය. මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් අපේ සමට සිදුවන හානිය සුළුපටු නැහැ. ඔබේ සුන්දරත්වය රැක ගැනීමට නම් සතියකට වරක් හෝ සම සඳහා රූපලාවණ්‍ය සත්කාරයක් කිරීමට අමතක නොකළ යුතුය.

මේ දිනවල බොහෝදෙනකුට බලපාන ප්‍රධානම ගැටලුවක් වන්නේ අධික ලෙස සම වියළීමයි. වියළි සම ඉක්මනින්ම වියපත් වන බව අප කවුරුත් දන්නා කරුණක්. ඔබේ සමද වියළි බවෙන් යුක්ත නම් ඒ පිළිබඳ සිතින් තැවෙමින් නොසිට නිවසේදීම කළ හැකි ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාර සඳහා යොමුවීම සුදුසුය. එයින් ඔබට නිකරුණේ රූපලාවණ්‍යාගාරවලට ගොස් වියදම් කරන මුදල් හා වටිනා කාලයද ඉතිරි කරගත හැකිවා පමණක් නොව සමේ පැහැපත් බව හා තෙතමනය නිරතුරුව රඳවා ගනිමින් ලස්සන රූ සපුවකට උරුමකම් කීමටද හැකිය. එම නිසා ඔබත් මේ පුංචි පුංචි ස්වභාවික සත්කාර සතියකට වරක් හෝ නිවසේදී අත්හදා බලන්න.

ඔලිව් තෙල්

ඔලිව් තෙල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ සෞඛ්‍ය සම්පන්න මේද වර්ග නිසා ඒවා සම මත ආලේප කිරීමෙන් සමේ වියළි ස්වභාවය ඉක්මනින්ම තුරන් කර ගැනීමේ හැකියාව පවතිනවා. දිනපතා රාත්‍රී නින්දට පෙර සම මත ඔලිව් තෙල් ස්වල්පයක් ආලේප කිරීම පුරුද්දක් කරගතහොත් සම වියළීම පිළිබඳ ප්‍රශ්න ඇතිවීම අවම කරගත හැකිය. නමුත් ඔලිව් තෙල් ආලේප කිරීම දහවල් කාලයේදී නොකළ යුතුය. එයට හේතුව ඔලිව් තෙල් ආලේප කිරීමෙන් අනතුරුව සම හිරු එළියට නිරාවරණය වීම මඟින් සම අවපැහැ ගැන්වීමක් සිදුවීමයි. මේ සත්කාරය රාත්‍රියට වඩාත් සුදුසු වන්නේ ඒ නිසයි.

යොදය සහිත කිරිපිටි

කිරිවල ඇති තෙතමනය නිසා ඒවා පානය කිරීමෙන් සහ ආහාරයට ගැනීමෙන් සිරුරේ වියළි බව සහ කසනසුලු තත්ත්වයන් නැතිකර ගැනීමේ හැකියාව පවතිනවා. මී කිරි, නැවුම් දියර කිරි, යෝගට් ආදිය වැඩිපුර ආහාරයට ගැනීමෙන් සමේ තෙතමනය රඳවා ගැනීමට මෙන්ම සමේ දීප්තියද වර්ධනය කරගැනීමට ඔබට පුළුවන්.

පිරිසුදු පොල්තෙල්

පොල්තෙල් යනු වියළි සමකට හොඳම ප්‍රතිකාර ක්‍රමයක්. සිරුරට අහිතකර විස රසායන අඩංගු රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිත කරනවාට වඩා මෙය සෑම අතින්ම සිරුරට හිතකරය. රාත්‍රී නින්දට පෙර දෑත් සහ දෙපාවල ආලේප කිරීමෙන් වියළි බව නැතිකර සුමුදු සමක් ඔබට ලබාගත හැකිය.

කෝමාරිකා

කෝමාරිකා යනු සමකට ලබාදිය හැකි විශිෂ්ට ගණයේ ස්වභාවික දිව ඔසුවක් කිවහොත් නිවැරදිය. සම මත පිලිස්සීමක් සිදුවූ විට එම ස්ථානය මතට කෝමාරිකා ගෑමෙන් වේදනාව සහ දැවිල්ල අඩු වී සහනයක් දැනෙනවා මෙන්ම එම ස්ථානයේ මැරුණු සම ඉවත් වී අලුතින් සම නිපදවීමද ඉක්මන් වනවා. කෝමාරිකා නිතර නිතර පානය කිරීම මඟින් සිරුරේ උෂ්ණ ගතියත් කෝමාරිකා මදය සම මත ආලේප කිරීමෙන් සමේ වියළි ස්වභාවයත් ඉවත් කර දැමීමේ හැකියාවද කොමාරිකා සතුව තිබෙනවා.

මොයිස්චරයිසර් ක්‍රීම්

කාර්යබහුල ජීවිත රටාව නිසා බොහෝ දෙනකු සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීමටද හුරු වී තිබෙනවා. වායුසමනය කළ කාර්යාලවල වැඩි කාලයක් ගතකරන විට සමේ තෙතමනය රැකගැනීම සඳහා එය පහසු සත්කාරයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එය සමේ තෙතමනය යම්තාක් දුරට හෝ රඳවා ගැනීමට උපකාරී වෙනවා. නමුත් එය සමට හිතකර පිළිගත් ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය වූ මොයිස්චරයිසර් වර්ගයක් වීම අත්‍යවශ්‍යයි.

ඔබේ සම උපතින්ම වියළි ස්වභාවයක් උසුලනවා නම් එසේත් නැත්නම් කිසියම් හේතුවක් මත අධික වියළි ස්වභාවයකට ලක් වී තිබේ නම් ඉහත ප්‍රතිකාර ක්‍රමවලට අමතරව දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, දිනපතා සමබල ආහාර වේලක් ලබාගැනීම, උෂ්ණාධික ආහාරපානවලින් වැළකීම, තද අව්වට නිරාවරණය වීමෙන් වැළකීම සහ වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය විටමින් වර්ග ලබාගැනීම ආදිය තුළින් නිරෝගී පැහැපත් සමක් හිමිකර ගත හැකිය.

[නිමාෂා සඳරුවනි]

-------------

හිසකෙස් රකින යෝගට්

නිරෝගී දිදුලන වරලසක් යනු හැම කාන්තාවකගේම පැතුමයි. එහෙත් වැඩිපුරම කෙස් සම්බන්ධ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේද කාන්තාවන්ය. මානසික ආතතිය, නිසි පෝෂණයක් නොලැබීම, ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම, දැඩි අව් රශ්මියට නිරාවරණය වීම මෙන්ම වැඩි කාලයක් වායුසමීකරණ තුළ සිටීම නිසාද හිසකෙස්වල නිරෝගී බවට හානි විය හැකිය. එම තත්ත්වයන්ගෙන් වැළකී සිටීමෙන් හිසකෙස්වල නිරෝගී බව රැකගත හැකි අතර ඊට අමතරව පහත සඳහන් සත්කාර තුළින්ද නිරෝගී දිගු වරලසක් ලබාගත හැකිය.

යෝගට් සහ කෙසෙල් සත්කාරය

යෝගට් යනු හිස්කබල නිරෝගීව තබාගැනීමට උදවු වන සත්කාරයකි. එයින් හිස් කබලේ pH අගය සමබරව පවත්වාගෙන යෑමට උපකාරී වේ. පෝෂණීය ආහාරයක් වන කෙසෙල් සහ යෝගට් මිශ්‍රණය හිස්කබල ගැඹුරු පිරිසුදු කිරීමක් සිදුකරන අතර හිසකෙස් වැඩීමද කාර්යක්ෂම කරයි.

මෙම සත්කාරය සඳහා හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි බාගයක්, යෝගට් තේ හැඳි 1ක්, මී පැණි 3ක්, ලෙමන් යුෂ මේස හැන්දක් අවශ්‍ය වේ. පිරිසුදු බඳුනක් ගෙන එයට ඉහත කී සියල්ල එක්කරන්න. එය හොඳින් මිශ්‍රකර බුරුසුවක් ආධාරයෙන් හිසකෙස් මත හොඳින් තවරන්න. විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර මෙය පිරිසුදු වතුරින් සෝදා හරින්න. එදින හිසකෙස්වලට කන්ඩිෂනර් යෙදීමෙන් වළකින්න.

යෝගට් සහ ඔලිව් තෙල් සත්කාරය

යෝගට් සහ ඔලිව් තෙල් සංයෝගයෙන් හිසකෙස් වැටීම පාලනය කිරීමට සහ හිසකෙස් පළුඳු වීම වළක්වා ගැනීමට හැකිය.

මේ සඳහා ඔලිව් තෙල් තේ හැදි 1ක්, යෝගට් කෝප්ප 1ක්, වතුර කෝප්ප 1ක් සහ ලෙමන් යුෂ කෝප්ප 1ක් අවශ්‍ය වේ.

පළමුව ලෙමන් සහ වතුර හොඳින් මිශ්‍රකරන්න. ඉන්පසු එයට ඔලිව් තෙල් සහ යෝගට් එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. දැන් මෙම මිශ්‍රණය ඔබේ හිසකෙස්වල හොඳින් තවරා විනාඩි 20-25ක් තිබෙන්නට හරින්න. පසුව පිරිසුදු වතුරින් හෝ මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න. ඉන්පසු ලෙමන් යුෂවලින් හිසකෙස් සෝදා හරින්න.

යෝගට් සහ මීපැණි

හිසකෙස්වල තෙල් ස්වභාවය පාලනය කරමින් හිස් කබල සහ හිසකෙස් පිරිසුදුව පවත්වාගෙන යෑමට මෙම සත්කාරය උපකාරී වේ.

මේ සඳහා යෝගට් කෝප්ප 1ක්, මී පැණි මේස හැඳි 1ක්, ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2ක් අවශ්‍ය වේ.

පළමුව යෝගට්, මී පැණි හා ඇපල් සයිඩර් විනාකිරි බඳුනකට එක්කර මිශ්‍රණයක් සාදා ගන්න. එය ඔබේ හිසකෙස් මත ආලේප කර විනාඩි 30ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු සාමාන්‍ය ජලය සහ මෘදු ෂැම්පු වර්ගයක් භාවිත කර හිසකෙස් සෝදා හරින්න.

[ශ්‍යාමලි නිශාන්ති]

------------------

කුඩා දරුවා උණුසුමින් ආරක්ෂා කරන හැටි

මිනිස් සිරුර නිරෝගීව පවත්වාගෙන යෑම සඳහා සිරුරේ උෂ්ණත්වය නිසි මට්ටමක පැවතීම අවශ්‍ය වේ. දහඩිය, විකිරණය සහ සන්නයනය ආදී කරුණු නිසා උෂ්ණත්වය අඩු වැඩි වීම සිදුවිය හැකිය. සාමාන්‍යයෙන් සිරුර සිසිල් කිරීමේ යාන්ත්‍රණයක් ස්වාභාවිකවම සිදුවන අතර කුඩා දරුවන්ගේ එම ක්‍රියාකාරීත්වය අඩු බැවින් ඒ පිළිබඳ නිබඳ සැලකිල්ලෙන් සිටිය යුතුය.

කුඩා දරුවන්ගේ සම ඉතා සියුමැලි බැවින් ඔවුන් අධික උෂ්ණත්වයට නිරාවරණය වීම සෞඛ්‍යයට හිතකර වන්නේ නැහැ. ඊට හේතුව ඔවුන්ගේ අභ්‍යන්තර ශරීර ඉන්ද්‍රියයන් ඉතා සංවේදී වීමයි. එම නිසා නිතරම දරුවන් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා කර තැබීමට උනන්දු විය යුතුය. ඒ සඳහා දරුවන්ගේ සිරුරේ උෂ්ණත්වය ඉහළ යා හැකි හේතු හොඳින් හඳුනාගත යුතුය.

ඒ අතර විජලනය මුල් තැනක තිබෙන අතර ශරීරය සඳහා ජලය ඉතා වැදගත් වේ. ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට, අපද්‍රව්‍ය ඉවත් කිරීමට, ශරීරය අභ්‍යන්තර වාෂ්පීකරණය කිරීම, ආහාර දිරවීම යනාදිය සඳහා ජලය අවශ්‍ය වේ. ශරීරයේ තිබිය යුතු ජල අන්තර්ගතය අහිමි වන විට ඉබේම විජලනය සිදුවෙයි. එම තත්ත්වය වහා පාලනය නොකළහොත් මරණය පවා සිදුවිය හැකිය. දරුවාට නිසි පෝෂණයක් නොලැබෙන විට ඔහුගේ ශරීරය දුර්වල වන අතර මන්දපෝෂණය නිසා ශරීරයේ උෂ්ණත්වය ඉහළ යයි. එමෙන්ම එය සෞඛ්‍යය සම්බන්ධයෙන් තවත් සංකූලතා ඇති කිරීමටද හේතු වේ.

ඊට අමතරව කාලගුණය උණුසුම් වන විට දරුවා අධික තාපයට ලක්විය හැකිය. එම නිසා අව් රශ්මියෙන් ඔහු වළකාගෙන ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට ඉඩ සැලසිය යුතුය. උණුසුම් ඇඳුම් ඔහුට නුසුදුසු වන අතර උණුසුම් කාලගුණයක් සහිත දිනයකදී වාහනයක ඇතුළත තාපය පිටත පරිසරයටත් වඩා නරක විය හැකිය.

ඔබේ දරුවා එවැනි තත්ත්වයකට පත්ව ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ වන්නේ දහඩියකින් තොරව ශරීර උෂ්ණත්වය වැඩිවීම, වියළි මුඛයක් සහිතව පිපාසයෙන් පසුවීම, සම වියළීම, හිසරදය සහ කරකැවිල්ල, නොසන්සුන් බව, හෘදස්පන්දනය අඩුවීම, හුස්ම ගැනීමේ අපහසුතා, සිහිය නොමැති වීම, වමනය, අධික විඩාව හා නිදිමත ආදියයි.

එවැනි තත්ත්වයකදී හැකි ඉක්මනින් දරුවා අධික උෂ්ණත්වය සහිත පරිසරයෙන් ඉවත් කළ යුතු අතර ඔහු විජලනයට පත්වී ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය. දරුවා යම් තරමක සිහිසුන් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පසුවේ නම් එම අවස්ථාවේදී ඔහුට ආහාරපාන ලබාදීමෙන් වැළකිය යුතුය.

[තුෂාරා සන්දනායක]

මාතෘකා

ජනප්‍රිය ලිපි