ඇඳුමේ ලස්සනට පාටත් වැදගත්

 ඡායාරූපය:

ඇඳුමේ ලස්සනට පාටත් වැදගත්

බොහෝ කාන්තාවෝ තමන්ගේ ආකර්ෂණීය බව ඉස්මතු කිරීමට නෙයෙක් දෑ සිදු කරති. විශේෂයෙන්ම තමන් ඇඳ සිටින ඇඳුම පිළිබඳ ඔවුන් බොහෝ සෙයින් සැලකිලිමත් වෙති. ඇඳුමකින් නිසි අලංකාරයක් ලැබීමට නම් එය තමන්ගේ ශරීර ප්‍රමාණයට සහ සමේ වර්ණයට උචිත විය යුතුය. ඒ ආකාරයට ඇඳුම් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මෙසේය.

ගැළපෙන පාට තෝරන්නේ කොහොමද?

ඇඳුම් සඳහා පාට තේරීමේදී සිරුරේ පාට, ශරීර ස්වභාවය හා වයස, සහභාගි වන අවස්ථාව, කාලය යන සියලු කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. එමෙන්ම තනි වර්ණයක් තෝරාගන්නවාද නැතිනම් වර්ණ කීපයක සංයෝගයක් තෝරාගන්නවාදැයි තීරණය කරන්න. කළු සමක් ඇති අයට ළා වර්ණ සුදුසු වන අතර පැහැපත් සමක් ඇති අයට තද වර්ණ ගැළපේ. එමෙන්ම ළා වර්ණ, උණුසුම් වර්ණ (රතු, කහ , රඹ වැනි) දීප්තිමත් වර්ණ ශරීර ප්‍රමාණය විශාල කර පෙන්වයි. තද වර්ණ (නිල් , කොළ, දම් වැනි සිසිල් වර්ණ) අළු වැනි අඳුරු වර්ණ ශරීර ප්‍රමාණය කුඩාකර පෙන්වන බවද අමතක නොකළ යුතුය. උත්සව අවස්ථාවන් සඳහා පාට තෝරා ගැනීමේදී උදේ කාලයට ළා පාට, සවස් කාලයට තද වර්ණ හා රාත්‍රී කාලයට ඉතා තද වර්ණ භාවිත කළ හැකිය.

පාට තෝරා ගැනීමේදී ශරීර වර්ණය පමණක් නොව අවස්ථාව හා වයස අනුවද වෙනස් විය හැක. වැඩිහිටි තලතුනා වයසින් යුතු අය හා ළදරුවන් සඳහා තද වර්ණ , දීප්තිමත් වර්ණ නොගැළපෙන අතර තරුණ අයට ඒ ඒ අවස්ථාවට අනුව, එම වර්ණ යොදා ගත හැකිය‍. තරුණ අය වුව ද ආගමික හා සංස්කෘතික පැවතුම් ගැන සැලකිලිමත් විය යුතුය. උදාහරණයක් වශයෙන් අවමඟුල් උත්සව වැනි ඒවා සඳහා සුදු, අළු, ළා නිල්, දම් වැනි ළා වර්ණද ඇතැම් සංස්කෘතීන් අනුව කළුද යොදාගත හැකිය.

මුද්‍රිත රෙදි තෝරා ගැනීමේදී වර්ණ කිහිපයක් යොදා ඇති අවස්ථාවල ඒවායේ වර්ණ ගැළපීම ගැනද සිතිය යුතුය. සුදුසු වර්ණ හා මෝස්තර පිළිබඳ තීරණය ගත් පසු තෝරාගනු ලබන රෙද්ද, කල්පවත්නා, පහසුවෙන් සෝදා පිරිසුදු කළ හැකි එකක්ද යන්න සිතා බැලිය යුතුය. ගෙදර දොර භාවිතයට හා නිතර පාවිච්චියට ගන්නා රෙදි විශේෂයෙන් කල්පවත්නා ඒවා විය යුතුය. උත්සව අවස්ථා සඳහා අඩු මුදලකින් වැඩි අලංකාරයක් ලබා දෙන ඒවාද, කුඩා ළමුන් සඳහා නම් වර්ණය වෙනස් නොවන සියුම් ළා වර්ණ හා කුඩා මෝස්තරවලින් යුත් ඒවාද තෝරා ගැනීම නුවණට හුරුය.

ඇඳුම් තෝරා ගැනීමේදී ඔබේ ආශාව කෙබඳු වුවත් ඔබේ අවශ්‍යතාව අනුව ආර්ථිකයට ඔරොත්තු දෙන ආකාරයේ ඒවා තෝරා ගැනීමටද වගබලා ගත යුතුය. ඔබ ළඟ ඇති මුදල ඥානාන්විතව හා සංවිධානාත්මකව යොදා ගැනීමෙන් ඉතා වටිනා ප්‍රයෝජනවත් ඇඳුම් සකස් කරගත හැකිවේ. තමාට සහභාගී වීමට ඇති උත්සවයක් පාසා රුපියල් දහස් ගණනක් වැයකොට සකස් කර ගන්නා ඇඳුම් කට්ටල වෙනුවට ඉතා සුළු මුදලක් වැයකොට සුළු වෙහෙසකින් නිර්මාණශීලීව නිමකර ගන්නා ඇඳුම් කට්ටලයක් උත්සව අවස්ථාවකට මෙන්ම ඊට පසු සාමාන්‍ය අවස්ථාවකට වුවද පාවිච්චි කළ හැකිය. මෙහිදී තමාට ගැළපෙන තනි පාටක් තෝරාගෙන තමාගේ ශරීර හැඩය අනුව සුදුසු මෝස්තරයකට අලංකාර කර ගත හැකිය. ඒ සඳහා ඇප්ලික් කිරීම, විසිතුරු මැහුම් වර්ග යෙදීම, බ්‍රේඩිං, ලේස් , රිබන්, පබලු , කෘත්‍රිම මල් ආදිය උපයෝගී කර ගත හැකි වේ. ස්වයං නිර්මාණයක් වීම නිසා එහි ඇති වටිනාකමද වැඩිය.

උපදෙස්- නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු ගෘහ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානි, කථිකාචාර්ය

රාණි එදිරිසිංහ මහත්මියගේ

“ ප්‍රායෝගික ගෘහ කළමනාකරණය“ කෘතිය ඇසුරිනි

[මදාරා මුදලිගේ]

මාතෘකා