ලේසි මේකප් එකකට අවශ්‍යම දේවල්

 ඡායාරූපය:

ලේසි මේකප් එකකට අවශ්‍යම දේවල්

මේකප් කරන්න සැලෝන්වලටම ගිය කාලේ දැන් අවසන් වෙලා. කාර්යබහුල යුවතියන් බොහෝදෙනා කාර්යාලයට, සාමාන්‍ය ගමනට බිමනට සරල මේකප් එකක් තමන් විසින්ම කරගැනීම පුරුද්දක් කරගෙන තිබෙනවා. එසේ පහසුවෙන් ඉක්මනින් සරල මේකප් එකක් කරගැනීමට අත්‍යවශ්‍ය වන ඔබේ මේකප් බෑගයේ තිබිය යුතුම දේවල් ගැනයි මේ සටහන.

ඇහිබැම සකස් කර ගැනීමට ට්විසරයක් මෙන්ම අයිබ්‍රෝ පැන්සලක් අවශ්‍ය වනවා. ඇහිබැම නිසියාකාරයෙන් පිරුණු පෙනුමක් සහිතව හැඩකර ගැනීමටත් මුහුණේ නියම හැඩය ඉස්මතු වීමටත් ඇහිබැමේ හැඩය වැදගත් නිසා අයිබ්‍රෝ පැන්සලක් මෙන්ම ඇහිබැම පීරා ගැනීමට කුඩා බ්‍රෂ් එකක්ද තිබිය යුතුය.

අයි ලයිනර් කියන්නේ ඇස් හැඩගැන්වීමේදී අවශ්‍යම කරන දෙයක්. ඒ නිසා අයි ලයිනර් එකත් අවශ්‍යයි. අයි ෂැඩෝවලින් ඇසට වර්ණවත් බවත් එක්කරනවා. නමුත් සාමාන්‍ය ගමනට බිමනට අත්‍යවශ්‍යම නැහැ. එසේවුවත් ඔබේ කැමත්ත මත අයි ෂැඩෝ වර්ණ කිහිපයක් මේකප් බෑගයේ තබාගත හැකිය.

BB ක්‍රීම් සහ ෆවුන්ඩේෂන් මේකප් එකකට අත්‍යවශ්‍යයි. විශේෂයෙන් හිරු එළියට පිලිස්සුණු සමක් තිබෙනවා නම්, BB ක්‍රීම් හෝ ෆවුන්ඩේෂන් ආලේප කිරීමෙන් සම එකම වර්ණයකින් පෙන්නුම් කිරීමටත් මුහුණට හොඳ පෙනුමක් ලබාගන්නත් පුළුවන්. BB ක්‍රීම් ආලේපය පහසු සහ ඉක්මන් වීම නිසා එය ෆවුන්ඩේෂන් ක්‍රීම්වලටත් වඩා ජනප්‍රිය වී තිබෙනවා.

ඔබට මේකප් කරන්න වෙන කිසිම දෙයක් නැති වෙලාවක වුණත් හොඳ ලිප්ස්ටික් එකකින් පෙනුමට අලුත් බවක් ලබාදිය හැකිය. පාට කීපයක ශේඩ් එකක් විදිහට හරි තද දීප්තිමත් වර්ණයක ලිප්ස්ටික් එකකින් මුළු මුහුණටම කැපී පෙනෙන වෙනසක් ලබාගත හැකිය. සාමාන්‍යයෙන් දවල් කාලයට තද මේකප් එකක් නොගැළපෙන නිසා ඒ වගේ වෙලාවට ලිප්ස්ටික් එකක් විතරක් පාවිච්චි කරලා පෙනුමට නැවුම් බවක් සුන්දරත්වයක් ලබාගත හැකි නිසා වර්ණ කිහිපයක ලිප්ස්ටික් කිහිපයක් ළඟ තබාගැනීම සුදුසුය.

මේකප් කිරීම වගේම නිවැරදිව ඉවත් කිරීමත් වැදගත්. ඒ නිසා මේකප් රිමුවර් එකකුත් ඔබේ මේකප් බෑගයේ තිබිය යුතුමයි. වෝටර්-පෘෆ් රිමුවර් එකක් පාවිච්චි කිරීම අයි මේකප් සහ ලිප්ස්ටික් ඉවත් කිරීමේදී විශේෂයෙන් වැදගත් වනවා. සාමාන්‍ය මේකප් රිමුවර් එකක් ඔබේ ළඟ නැත්නම්, මස්කාරා සහ වෝටර්-පෘෆ් අයිලයිනර් ඉවත් කරගැනීමට පොල්තෙල් හෝ බේබි ඔයිල් වැනි දෙයක් පාවිච්චි කිරීමටත් හැකිය.

මේකප්වලට අමතරව හොඳ මොයිස්චර්රයිසින් ක්‍රීම් එකක් මේකප් බෑග් එකේ තිබීම වැදගත් වන්නේ එය සමේ ආරක්ෂාවට සුදුසු නිසයි.

[ශ්‍යාමලි නිශාන්ති] අන්තර්ජාලය ඇසුරිනි

මාතෘකා