ලංකා සවාරිය පිට පිට තෙවතාවක් දිනූ තවමත් පාපැදියට සමුනොදුන් බොනීට දැන් 69යි | ඇස පාදන රැස


ලංකා සවාරිය පිට පිට තෙවතාවක් දිනූ තවමත් පාපැදියට සමුනොදුන් බොනීට දැන් 69යි

 ඡායාරූපය:

ලංකා සවාරිය පිට පිට තෙවතාවක් දිනූ තවමත් පාපැදියට සමුනොදුන් බොනීට දැන් 69යි

බොනිෆස් පෙරේරා ශ්‍රී ලංකාවෙන් බිහිවූ අංක එකේ පාපැදි ශූරයෙකි. 1980, 1981 සහ 1982 වසරවල ශ්‍රී ලංකාවේ ඉහළම පාපැදි තරගය වූ ලංකා පාපැදි සවාරිය තුන්වරක් පිට පිටම ජය ගැනීමට ඔහුට හැකිවිණි. වසර විස්සක් පමණ මෙරට පාපැදි ක්‍රීඩාවේ යෝධයකු ලෙස වැජඹුණු ක්‍රීඩකයෙකි බොනිෆස් පෙරේරා. එම අතීත කීර්තිය යළි සිහිපත් කරමින් 2006 වසරේදී වයස අවුරුදු 50ට වැඩි ප්‍රවීණයින්ගේ තරගයේ දෙවැන්නා වීමටද ඔහු සමත් විය. ශ්‍රී ලංකාවේ පළමුවැනි ජාතික පාපැදි පුහුණුකරු ධුරයේ හිමිකරුවා වූයේ ද ඔහුමය. පසුගිය මැයි 14 වෙනිදා සිය 69 වැනි උපන්දිනය සැමරූ බොනිෆස් දැන් සීයා කෙනෙකි. සීයා කෙනෙකු වුවද ඔහු තවමත් ශාරීරික සුවතාව සඳහා කි.මී. 40-50 දුරක් දිනපතා පාපැදි පුහුණුවේ නියැලෙයි. ජැන්ඩියට හැඳ පාපැදියෙන් යන බොනී අපට හමුවූයේ ඔහුගේ පුහුණු සැසියක් අතරතුරය. පසුව අපි ඔහු හා කෙටි පිළිසඳරක නියැලුෙණමු.

පළමුවැනි රේස් එක පැද්දෙ මොන කාලෙද ?

පාසල් යන කාලෙ. එතකොට මට වයස අවුරුදු 17 යි. සති දෙකක් පුහුණුවෙලා තමයි ඒ රේස් එක පැද්දෙ. ජාඇල,වැලිගම්පිටියෙ තමයි රේස් එක තිබුණෙ. ඒකාලෙ හිටපු සයිකල් ශූරයෙක් වුණ කිංස්ලි මෙන්ඩිසුත් ඒකට පැද්දා. ඒ රේස් එක පදින්න මට සයිකලයක් තිබුණේ නැහැ. අයියගෙ සයිකලෙකින් පැද්දෙ. ඒ වෙන කොට එයා රේසිං පැද්දා. එයා ඇන්තනි රිචඩ් පෙරේරා. අයියත් දක්ෂ පාපැදි ශූරයෙක්. පස්සේ අයියාගේ ස්ටෑන්ඩර්ඩ් බයිසිකලය මට දුන්නා. ඒකත් ඒකාලෙ තිබුණ හොඳම සයිකලයක්. මම ඒකෙන් පළමුවැනියා වුණා.

එකපාරම එහෙම දිනුවේ කෙහොම ද?

මම මළල ක්‍රීඩකයෙක්. පාසල් කාලේ මීටර් 400 සහ මීටර් 800 කරල තිබුණා. ඒ වගේම ලංකාවේ හොඳම මල්ලව පොර ක්‍රීඩකයා වුණා. ඒක කළේ වත්තල සමුද්‍රා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු විධිහට. ඒත් පාසල් කාලෙමයි. ඒවයින් මට සයිකල් ක්‍රීඩාව පුහුණු වෙන්න පහසු වුණා. දරා ගැනීමේ හැකියාව පාසල් කාලෙ ඉඳලම මට තිබුණා.

කවුද උදවු කළේ ?

අයියයි, ඒකාලේ හිටපු දක්ෂ පාපැදි ශූරයෙක් වුණ එච්. ඩී. ජේ. බැසිල් දෙන්න තමයි මට සයිකල් ක්‍රීඩාව පුහුණු කළේ. ඒ අය මම පුහුණු වෙනව බලල කිව්ව ඔයා පදින්න. අනිවාර්යයෙන් දිනනව කියල. ඒ අයගේ උපදෙස් සහ මගේ දක්ෂතාවය මත මම තරගය ජයගත්තා. එකෙන් මට හම්බවුණා ‘රැලේ ’වර්ගයේ ස්ටෑන්ඩඩ් පාපැදියක්. ඒකාලේ ‘රැලේ ’වර්ගයේ ස්ටෑන්ඩඩ් පාපැදියක මිල රුපියල් 180යි. නමුත් හුඟාක් දෙනෙකුට ඒ මිලටවත් පාපැදියක් ගන්න හැකියාවක් නැහැ. ඒ ලැබුණ පාපැදිය මට තරගවලින් ඉදිරියට යන්න ගොඩක් උපකාරි වුණා.

අම්ම මොකද කිව්වේ ?

අම්මටත් සතුටුයි මම පළමුවැනි රේස් එකම දිනපු එක ගැන. ඊට පස්සෙ මම තවත් රේස් දෙක තුනක්ම දිනාගත්තා. මාකොළ සහ ලින්ටන් කියල ප්‍රසිද්ධ වෙලා තිබුණ තරග තමයි මම දිනුවෙ.

එතැනින් ඉදිරියට ගියේ කොහොම ද?

ඒ වනවිට මොරිස් කුමාර්වේල් ජනප්‍රියයි. ඔහු ලංකා සවාරි හතරක් දිනුවා. එයයි, ඩෙස්මන් ගුණවර්ධන සහ චන්ද්‍රා පෙරේරා කියන පාපැදි ශූරයෝ තුන්දෙනා පුහුණුවුණේ එකට. මොකද තුන්දෙනාම සේවය කළේ ගුවන් හමුදාවේ. ඒතුන් දෙනා මීගමුපාරේ පුහුණු වෙනවා මම දැකලා තියෙනවා.එහෙම දකින දකින වෙලාවට මමත් නිකං තියෙන බයිසිකලයක් අරගෙන යාර දෙතුන් සීයක් ඔවුන්ගෙ පස්සෙන් යනවා. එයාල පදින හැටි බලන් ඉන්නවා. එයාල යන පාරවල්වල අපිත් යන්න ගත්තා. නුවර එළියට වෙනකම් ගියා. ඒ වගේම අයියගෙයි, බැසිල්ගේ උපදෙස් නිතරම මට ලැබෙනවා.

ඊළඟ ප්‍රධාන තරගය වුණේ මොකක් ද?

1968 ලංකා සවාරිය. මොරිස් කුමාර්වේල් ලංකා සවාරිය දිනනකොට මම 6 වැනියා වෙනවා. එතකොට මට වයස 19යි. එදා මට ‍තේරුණා. පාපැදි ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුලුවන් කියලා. ඒ වගේම පාපැදි ක්‍රීඩාවට මගේ තිබුණ ආසාවත් වැඩි වුණා. ඉතින් 1969 ලංකා සවාරියත් පැද්දා. එකේ ජයග්‍රාහකයා වුණේ මට ගුරු හරුකම් කියා දීපු බැසිල්. මම දෙවැනියා වුණා. එතකොට මට අවුරුදු විස්සයි. බැසිල්ටත් හරි සතුටුයි.

එතකොට සහය දුන්නෙ කවුද?

ඊට පස්සෙ ඒ දෙන්නාම තමයි මට හැම වෙලාවෙම සහය දුන්නේ. එයාල තරග කෙරුවෙ නැහැ.

අපි ආය ලංකා සවාරි කථාවේ ඉතුරු කොටසට යමු?

නැවත ලංකා සවාරියක් තිබ්බේ 1980. ඒ වෙනකම් ලංකාව ඇතුළෙ තිබුණ වෙනත් තරගවලට සහභාගී වුණා. ඒ තරගවලින් සියයට අනූවකට වඩා මම දිනුවා.

ජාත්‍යන්තර තරග අත්දැකීම් මොනවද ?

ඒ අතර මම ජාත්‍යන්තර තරග තුනකට සහභාගීවුණා. 1978 කැනඩාවේ පොදු රාජ්‍යමණ්ඩලීය තරගාවලියට ගියා. ඒ අවුරුද්දෙම තායිලන්තයේ බැංකොක්වල ආසියානු තරගාවලියටත් සහභාගී වුණා. 1979 මැලේසියාවේ පපාපැදි තරගාවලියටත් සහභාගී වුණා.

ලංකා සවාරිවලට මොකද වුණේ ?

1980, 1981 සහ 1982 ලංකා සවාරි පිට පිටම මම දිනුවා.

ඒ සවාරි තුනෙන් අමතක නොවෙන ජයග්‍රහණයක් තියෙනවද ?

ඒ කාලේ ලංකා සවාරිය දවස් හතරක් තියෙනවා. 1982 මම අන්තිමට දිනුව ලංකා සවාරියේ තුන්වෙනි දවසේ තරග අවසානයට ලොකු සටනක් තිබුණා. හෙන්ඩර්සන්, මම සහ සුමනවීර. ස්ප්‍රින්ට් එකේදි මමයි හෙන්ඩර්සනුයි කෙහොමත් කරට කර තරගයක් දෙනවා. එදත් එහෙමයි. නමුත් ජයග්‍රාහී රේඛාවට යාර කීපයක් තියෙද්දි මගේ බයිසිකලයේ ටයර් එකක් ගැලවිලා, මාව විසිවෙලා ගිහිල්ල වැටුණේ ජයග්‍රාහී රේඛාව පහුකරලා. ඒ නිසා එදත් මම දිනුවා. ඒත් හොඳටම තුවාල වුණා. බෙහෙත් වතුර දලා, හොඳට උණු වතුරෙ බැහැලා හිටියා. එදා රෑ පුරාම, සෑහෙන වෙලාවක් මම හිටියේ උණු වතුරෙයි. එහෙම ඉඳලා පහුවදා අන්තිම තරග අදියරත් දිනුවේ මම. ඒ නිසා තුන්වෙනි පාරටත් පිට පිටම ලංකා සවාරිය දිනාගෙන ඒ අනභිබවනීය ගෞවරයට හිමිකම් කියන්න ලැබුණා.

1982 ඉන්දියාවට ගියා නේද ?

ඔව්. 1982 ඉන්දියාවේ පැවති ආසියානු තරගාවලියේදී මම ශ්‍රී ලංකාව නියෝජනය කළා. කි.මී. 180 මාර්ග පාපැදි තරගයෙන් මම 12වෙනියා වුණා. ඇත්ත කියනව නම් ඒ කාලේ අපිට තිබුණ රේසිං බයිසිකල් ඒ තරම් හොඳ ඒවා නෙමෙයි. ඒ තරගාවලියෙම ක්‍රීඩාංගණයක ධාවනපථ ඉසව්වක් (Track event) තිබුණා. මම ඒ තරගයකට ඉන්දියන් ක්‍රීඩකයෙකුගේ බයිසිකලයක් ඉල්ලගෙන තරග වැදිල 7වැනි ස්ථානය ගත්තා.

ඒකාලේ ඔබට හිටිය ප්‍රධාන ප්‍රතිවාදීන් කවුද ?

සුමනවීර සහ එච්. එච්. හෙන්ඩර්සන්. මම දිනපු තරඟ වැඩි හරියක ඒ දෙන්න තමයි දෙවැනි තුන්වැනි වුණේ.

ඔවුන්ට පසු ඔබ දැක්ක දක්ෂ පාපැදි ක්‍රීඩකයින් කවුද ?

කමල් පාලිත, වසන්ත කුමාර. ඒ වගේම දෙව් නුගේරා, චන්න නිලංග ප්‍රනාන්දු. අපි එක්ක තරග කළ ගුවන් හමුදාවේ ශ්‍රී ලාල් ආනන්ද විජේතිලක. මේ අතරින් කමල් පාලිත තමයි එදා මෙදාතුර ඉතිහාසයේ මම ලංකාවෙදි දැක්ක හොඳම ක්‍රීඩකයා.

ඔබ පාපැදි පුහුණුකරුවෙක් ?

ඔව්. ලංකාවේ පළමුවැනි ජාතික පාපැදි පුහුණුකරු වුණේ මමයි. ඒ 1992දී.

පුහුණුකරුවෙක් ලෙස ජයග්‍රාහී අත්දැකීම් තිබෙනවද ?

1992/93 ඩුබායිවල පැවැති ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාවේ පුහුණුකරු වුණේ මම. ඒ තරගයට ලෝකය පුරාම දක්ෂ ක්‍රීඩකයින් සහභාගී වුණා. ඒ ගැන මට සතුටු වෙන්න පුලුවන්. ඒ තරගයේදී කමල් පාලිත දෙවැනියටත් වසන්ත කුමාර 5වැනියටත් තරගය අවසන් කළා.

විශේෂ සම්මාන එහෙම ලැබිලා තියෙනව ද?

1993දි මට ආර්. ප්‍රේමදාස ජනාධිපති සම්මානය හිමිවුණා. ඒක මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්.

පාපැදි ශූරයෙක් ලෙස වසර කීයක් ගතකළාද ?

1966 ඉඳල 1986 වෙනකම් මම ඉදිරියෙන්ම හිටියා. අවුරුදු විස්සක්.

ඒ තරම් කාලයක් කොහොමද ජයග්‍රාහී ක්‍රීඩකයෙක් විධිහට හිටියේ ?

ඒකට මගේ අම්මා, අයියා, මට ගුරු හරුකම් දීපු එච්. ජේ. ඩී. බැසිල්. විවාහයෙන් පස්සෙ මගේ බිරිඳ. ඒවගේම 1970 ඉඳලා 1993 දක්වාම මගේ පාපැදි ජීවිතයේ හොඳම කාලයේදී, වගේම අසීරුම කාලවලදීත් මට හැම අතින්ම අතහිත දුන්නේ ලංකා දුම්කොළ සමාගම මගෙත් එක්ක හිටියා. පාපැදි, ආහාර, වෛද්‍ය පහසුකම් වැටුප් සහිත නිවාඩු වගේම උසස්වීම් පවා ලබා දෙමින් මාව දිරි ගැන්වූවා. මම අදත් ඒක බොහෝම ගෞරවයෙන් සිහිකරනවා.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා