සිරිලක කුරුලු ලොව නිල් පැහැයෙන් සරසන ශ්‍රී ලංකා අඳුරු නිල් මැසි මාරාවා

 ඡායාරූපය:

සිරිලක කුරුලු ලොව නිල් පැහැයෙන් සරසන ශ්‍රී ලංකා අඳුරු නිල් මැසි මාරාවා

ඩස්කි බ්ලූ ෆ්ලයි කැචර් යන ඉංග්‍රීසි නාමයෙන් සහ ඉයුමියස් සෝර්ඩිඩස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකා අඳුරු නිල් මැසි මාරාවා ලංකාවට ආවේණික ජාත්‍යන්තර රතු දත්ත පොතට අනුව තර්ජනයට ලක්වී ඇති කුරුලු යාළුවෙක්. ප්‍රමාණයෙන් මේ යාළුවා ගේ කුරුල්ලකුට සමානයි. මේ අඳුරු නිල් මැසි මාරාවාට ඒ නම දීලා තියෙන්නේ එයාලා මැස්සන් අල්ලාගෙන ආහාරයට ගන්නා නිසා. මධ්‍යම කඳුකරයේ මීටර් 600කට වඩා ඉහළ ඝනව හැදුණු වනාන්තර ප්‍රදේශවල ජීවත් වෙන්න මේ යාළුවන් කැමතියි.

ශ්‍රී ලංකා අඳුරු නිල් මැසි මාරාවා අඳුරු නිල් පැහැයක් ගන්නවා වගේම මේ යාළුවන්ගේ ලය සහ බඩ ප්‍රදේශය වඩාත් ලා නිල් පැහැයෙන් යුතුයි. ගස්වල පහතින් ඇති අතුපතර අතර සිටිමින් ඉගිලෙන මැස්සන් සහ වෙනත් කෘමි සතුන් අල්ලාගෙන ආහාරයට ගන්න මේ යාළුවන් හරිම කැමතියි.

වියළි කොළ, පෙඳ පාසි වගේ දේවල් එකතු කරලා බිම ඉඳලා මීටර් 02ක් විතර ඉහළින් හදන ලස්සන කූඩුවක, අඳුරු නිල් මැසි මාරා කිරිල්ලිය අවුරුද්දේ මාර්තු සහ මැයි අතර වගේම අගෝස්තු සහ සැප්තැම්බර් කාලයේ දමන බිත්තර 02කින් තමයි මේ යාළුවන්ගේ බෝවීම සිදුවෙන්නේ. අද වෙනකොට වගා කටයුතුවලට කැලෑ එළි කිරීමත් පළිබෝධනාශක යෙදීම ඉහළ යෑමත් නිසා ශ්‍රී ලංකා අඳුරු නිල් මැසි මාරා යාළුවන්ගේ ජීවත්විමට තර්ජන අතිවෙලා. මේ කුරුළු යාළුවන්ට ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය රැකලා දෙන එක අපේ වගකීමක්.

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය

ශ්‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය.

 

...................................................................................................................................................................................

වන සටන - කේ ජයතිලක

මෙය අමුතුම ආරක ළමා නවකතාවකි. කිරිඅප්පු නමැති අයකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා වන ඩිංගි හා ටිකිරි මේ කතාවේ ප්‍රධාන මිනිස් චරිතයි. මේ කතාව ගොඩනඟා තිබෙන්නේ කැලයේ ජීවත්වන අලි ඇතුන්ගේ පටන් කූඹීන් දක්වා වූ ලොකු කුඩා සියලු සතුන් සම්බන්ධ කරගෙනයි.

දිනක් තාත්තාත් පුතුන් දෙදෙනාත් කැලයේ සුදුසු තැනක් එළි පෙහෙළි කරගෙන අලුත් නිවසක් සෑදීමට සිතාගෙන කැලයට ගියා. ඔවුන් එහිදී කළ කතාබහ නරියකුට ඇසුණා. නරියා මේ කතාව කැලේ රජතුමා වන ඇතාට දැනුම් දුන්නා. එමෙන්ම මුළු කැලයේම සතුන් රැස්කරවා රැස්වීමක්ද පැවැත්වුවා. එහිදී සතුන් විවිධ අදහස් පළ කළා. කැලේ කපා නිවාස ඉදිකිරීම කුමන ආකාරයකින් හෝ නතර කළ යුතු බවට එහිදී තීන්දු වුණා.

මෙහිදී මුලින්ම වැඩකොටසක් පැවරුණේ වේයන්ටයි. කැලේ ලොකු සතුන් සිටියදී පුංචි වේයන් සටනට සම්බන්ධ කරගැනීම අසාධාරණ බවට මතයක් පළවුණා. එහෙත් සටනට හවුල් වී ලොකු සතුන්ගේ විශ්වාසය දිනා ගත යුතු බව ලොකු වේයන්ගේ අදහස වුණා. සටන දිගටම පැවතුණා.

මේ කතාවේ පුදුම හිතෙන හා දුක්බර සිදුවීම් රැසක්ද ඇතුළත් වෙනවා.

කැලේ ජීවත්වන සතුන්ගේ නිදහස නැති කිරීම වරදක් බව මේ කතාවෙන් අවධාරණය කෙරෙනවා.

 

[ෂෝන් යතින්ද්‍ර රාජපක්ෂ]

7 ශ්‍රේණිය F කොළඹ රාජකීය විදුහල

 

...................................................................................................................................................................................

හිරු උදාව

 

විහඟුන්ගේ කිචිබිචි නාදය මත්තේ

ඉර මාමා එබී බලයි අර පැත්තේ

තුරුවැල්වල මල් පිපෙයි අග ඉත්තේ

උදයේ අසිරිය ලොවටම කිව යුත්තේ

 

ළමයින් උදයට කිරි කොක්කු වගේ

පේළියකට යයි පාසල් බොරළු මගේ

මිනිසුන් කඩිසරයි කළු කූඹියන් වගේ

උදෑසනම ගම මී වදයක් වාගේ

 

පොඩි පොඩි පිණි බින්දු වැටෙයි තණකොළ මත්තේ

සුදු පාටින් ඕලු පිපෙයි වැව මත්තේ

ඉද්ද මලුත් පිපිලා අතු අග ඉත්තේ

මල් සුවඳින් ගම සුන්දර වී ඇත්තේ

 

නිර්මිත මාරසිංහ

10 ශ්‍රේණිය

නික/වාරි/අඹකඩවර ධර්මරාජ මහ විදුහල

...................................................................................................................................................................................

ඇට්ටේරියා මල

 

හිරු එන්න ඉස්සරම

ඇඟසළුව පොරෝගෙන

ගමන් යන්නට හදන

පොකුරුමිටි අතු පතර

 

දසතටම මල් පොකුරු

සුවඳ විහිදාගෙනම

එලා සුදු පාවඩය

හිරු එන්න කියාගෙන

 

පොළෝ තලයේ දසත

එලියවෙයි සැමදාම

ඇට්ටේරියා මලේ

සුවඳ විහිදෙයි දසත

 

පූර්ණ සම්පත්

12 කලා

කුලි/ කනදුල්ල මහා විද්‍යාලය

 

 

 

 

 

මාතෘකා