කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

මකුළුවා

සිටියි ලොකු මකුළුවෙක් නිසොල්මන් වී සිටිනත
මකුළුවෙකි ඌ පාට නැති සිරුරක් දරන
කයෙන්, සිරසෙන්, උදරයෙන් ලේ ගලන

දිටිමි මම අද ඌ ළගට එන යුරු
සැම අතට විහිදමින් රුදු ලෙස
උගේ නොගිනිය හැකි පාද
එසඳ සිතුවෙමි මම උගේ නොදිසි ඇස් ගැන
ඒවාය මකුළුවාගේ මාරක නියමුවන්

මකුළුවෙකි ඌ බියෙන් සැලෙනා
ගලක මතුපිට ඇලී සිටිනා
තබාගෙන උදරය එක පසෙක
හරවගෙන හිස වෙන දෙසක

අනේ මේ අසරණ සතා හට පාද අපමණ තිබුණට
නොහැකි විලසය ඌට උගේ හිත හදා ගැනුමට
එවැනි මොහොතක ඌ සිටින යුරු දැක පත්ව කුහුළට
විමසිලිමත්ව සිටියෙමි මේ යාත්‍රිකයා ගැන මම සැම විට

සිටියි ලොකු මකුළුවෙක් උදරයත් දරාගෙන
හිස හැරුණු දෙස වෙත යා නොහැකි විලාසෙන
එසඳ සිතුවෙමි මම උගේ ඇස් ගැන
නොගිනිය හැකි තරම් වූ පාද ගැන,
කොතරම් විමසිලිමත් දැයි මම මේ යාත්‍රිකයා ගැන!


(ස්පාඤ්ඤ ජාතික කවියකු වූ සේසාර් වැලෙජෝ විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි.)

සේසාර් වැලෙජෝ
(1892 - 1938)
පෙරුවියානු කවියකු, ලේඛකයකු, නාට්‍ය රචකයකු සහ පුවත්පත් කලාවේදියකු වූ සේසාර් ඒබ්‍රහම් වැලෙජෝ මෙන්ඩෝසා 1892 මාර්තු 16 වැනිදා පෙරුවියානු ඇන්ඩීස් කඳු ආශ්‍රිත සැන්තියාගෝ දි චූකෝ නමැති ගම්බද ප්‍රදේශයකදී උපත ලැබීය. අධික දරිද්‍රතාව හේතුවෙන් කලක් අධ්‍යාපන කටයුතු අත හැර දමා කම්කරුවකු ලෙස සේවය කළ ඔහු පසු කලෙක නැවත අධ්‍යාපන කටයුතු අරඹා ස්පාඤ්ඤ සාහිත්‍යය පිළිබඳ විශ්වවිද්‍යාල උපාධියක් හිමි කරගත්තේය. සිය මුළු ජීවිත කාලය පුරාම පළ කර ඇත්තේ කාව්‍ය සංග්‍රහ තුනක් පමණක් වුවද, 20 වැනි සියවසේ බිහි වූ විශිෂ්ටතම කවියකු ලෙස ඔහු සැලකෙයි. ඒ වන විට පැවැති සාහිත්‍ය ප්‍රවණතාවන් අභිභවා යන ආකාරයේ නව නිර්මාණ ශෛලියක් ඔහු හඳුන්වාදුන් අතර, ඔහුගේ කාව්‍ය නිර්මාණ සංග්‍රහයන් සියල්ල එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. විවිධ සම්මාන ගණනාවකින්ද පිදුම් ලබා ඇති ඔහු භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස පැරිසියේ කටයුතු කරමින් සිටියදී 1938 අප්‍රේල් 15 වැනිදා මිය ගියේය.
[අජිත් නිශාන්ත]

*******************

නොසිදුණු කවි උල්පත

ගාටමින් යන බස් රියේ
දහ අතේ දුවන මිනිසුන් ඇති නගරයේ
බඩ ගින්දරේ ඔර්ලෝසු කටු ගනිමින්
හනි හනිකට ආවේ
කවියට පෙම් බඳින මිනිසුන් දැකගන්න

මහා වියතුන්, මැද ඇදුරන් මැද
හුදකලා වූවත් සබ අබතුර
හදේ ඇත දුක්බර ම කවියක් ලියැවෙමින්
පුටුවකට බර දී ඔහේ හිටියාට

ඇගැයුමක් ලැබේ යැ යි, නෙත බලා සිටියාට
සල සිත් නො විණි, කවිකමට පෙම් බැඳ
රසවත් ව ලියූ කවි ගැඹුර මැන බලන විට
ආසයි මගේ කවියක් විඳගන්න, සරසමින් කවි දැහන

හිරු බසින යාමයේ
පැය ගණන් බස් රියේ
දැවී දාවල් දාහයේ
වෙහෙස වු මිනිසුන් මැද
හැම සිදුවීමක් ම පෙනුණා මුල මැද අග

විඳීමක් නොමැති ව සමු ගත්තාට කම් නැත
නිහඬ වෙමි මම, සිඳී නැත කවි උල්පත
කඳුළක් නො ආවත් යුවලැස
නෙත සිසිල් පිනි පිරෙයි නුවණැස

ළදැරියක බව හැඟෙයි මා තව ම කවිකමට

[උත්‍රා කුමාරි රණසිංහ]

**********************

රිදුම් ඉවසන දා

කරන්ට් කැපුවොත් මිසක
නතර වීමක් නොවන
සික්ස් එයිට් රිද්මයට
අසල්වැසියා අඳෝනා නගන දාය...

ඔක්කාරයට නංවන දුම්රොටු
හතර වටින් වා තලය හා මුහුවන
මළගිය කැළි කසළ
ආදාහනය වන දාය...

සදහටම බස්වල
නිදිකිරා වැටෙන මට
දවාලක ඩිංගක්
නිදියන්න හදනකොට
නෑයින්ට අප දකින්නට
එන්නට හිතෙන දාය...

තේ කෝප්පයක්
කවි පොතක් එක්ක
තනි වෙන්න යද්දී
අම්මාට මිදුලේ
වල් වැවී ඇති බව පෙනෙනෙ දාය...

අද ඒ දාය...

රිදුම් ඉවසන දා,
ඉරිදා ය.

[රසිකා ප්‍රනාන්දු]

******************

සමනලී

කළු ගඟේ පාවෙන පිති
කැස කැවෙන වන් දෙව් මැති
බොරළු ගිල සේ මත් පෙති
කඳු නිදාපං ඒ ඇති..!!

සමනලී මල් කුමුදුනී
රොන් උරා හල කඳුලනී
දෑ තලා මැව් තරඟනී
හඬ හඬා කඳු ඇහිඳිමී

බෝතල් කළ මිනිස්කම්
පාලනයේ උදක්කම්
ඔබ පැළඳූ පදක්කම්
සමනලියට මලක් නම්..?

[සජිත් පට්ටියකුඹුර]

*****************

සිසිරයෙහි ඇදි සිතුවම්...

සිත්තරෙකු සිටී
සිසිරයෙහි අග
තානායමක් ළග

ගිරි දුදුළු සිඹිමින්
නික්ම යන
සුරත් පැහැ විදිමින්

ගේහසිත සිතුවමකි
ඔහු අසල
කාමාලිංගන පිරුණු

රාමුවෙහි මල් වැලකි
ඔහු ළයෙහි
රුධිරයෙන් පැන නැගුණු

නිහඬවම
කෝපි බඳුනක් නිවෙයි
ටීපෝවෙ හිස මත

ගෙවුණ දා
කදුළු සායම් බිඳකි
මහලු තෙලි තුඩ අග

[චින්තක සමන් හේරත්]

****************

ඒ තමයි උපනන්ද

රුවාගෙන පඬු පැහැති
කමිස සාක්කුවෙ කොනක
බිරින්දා මිටෙන් මිට එකතු කළ සොච්චම...
ඔව් ඉතින් සින්න වෙන දිනය අද
පරතෙරක් නොපෙනෙනා ප්‍රේමයේ රන් මුදුව..!

හංදියේ සුරා සැල් පෙරසේම
අත වනයි උපනන්දට...
මවාදී ස්වර්ගය...
බිරියගේ රුව මැවෙයි, යළි හැරෙයි
ඒ තමයි උපනන්ද...!

මිතුරු සුවඳක් ඇවිත් ටවුම මැද
හීනියට සලයි පෙර මතක පොද
කන්තෝරු බෑගයෙන් බිමට පැන
කෑමොර තියයි රතු විදුලි බිල
බිරියගේ රුව මැවෙයි, යළි හැරෙයි
ඒ තමයි උපනන්ද...

ඈත ඝන රැස් විදා බබළනා තැබෑරුම
මෑත දත් විලිස්සන බිරියවන් උකස් පොළ
තිරසාර අදිටනින් පියනගයි, යළි හැරෙයි
ඒ තමයි උපනන්ද...

මිතුරු කරපිටින් විත් නිවහනේ දොරකඩට
ඇරන් සුපුරුදු ලෙසම කවුලු දොර
එබෙයි ගිනි හිරුමලක් මැදියම...
නන්දේ... තමුසේ බැන්දේ අරක්කු ද මාවද?
ඒ තමයි උපන්න්දගේ බිරිය...!

[නිශාන්ත මල්ලව ආරච්චි]

*******************

තරු ගෙවල්

ඉස්කෝලෙ තරගයට
මං ඇන්දෙ අහස් චිත්‍රය
තරු ගොඩක් තිබුණාට
මං ආස අර ඈත පුංචි තරුවට

කළුවර ඇවිත් රෑට
වාඩි වෙනකොට කවුළුව ළඟ
අකුරු කරන්නට පාළුවට
දැල්වුණේ කුප්පි ලාම්පුව

සමහර දාට ඉකි ගගා
කලියෙන්ම නිදා ගන්නවා ලාම්පුව
ඉස්කෝලෙ ගෙදර වැඩ බාගෙට
පොත වැහෙනවා පාළුවට

පුරුද්දට වගේ මං
අහස දිහා බලනවා එතකොට
දුර ඈත පුංචි තරු ගෙවල්
පෙනී නොපෙනී යනව හිමිහිට

අපේ වාගෙම එයාලගෙ ගෙදරත්
ලාම්පු නිවෙනවා කලියෙන්ම
වෙන්න ඇති නේද අම්මේ
හිත හදා ගන්නවා මං එහෙම

[හරිත් කෝනාර]

*********

පරුවතයක පැතුම

කෙනෙක් ඇත්නම් අහල පහළක
දෑත හුරු පරුවත කලා
පිනක් වෙත් මේ හූල්ලන මට
කර දෙවන් වනයට වලා
පාළු මූසල මිනිස් පුළුටක්
නැති කැලේ ගඟ ළඟ බලා
හිදිමි කාටත් නැතුව මං හරි
විසාලෙට අසරණ වෙලා

පාසි පෙඳ කොළ සීර දිය වැල්
ගලා යන මගෙ පපු කඳෙන්
මියෙන්නට බැරි නිසා දවසක
ගලක් ලෙසටම හිටි වනින්
තලා යකුලෙන් කොටා බඳ මැද
කපා පතුරුද සීරුවෙන්
අනේ මහතුනි තනා දෙනු මැන
බුදුරුවක් මා පිට ගලෙන්

පාද කමලෙට සිවුරු රැල්ලට
කැපෙන පතුරට තුනට හතරට
නැතිය රිදුමක් කිසිත් මෙගතට
පැතුම තව ඇත නිවන් පුරයට

[අංජලී හේරත්]

මාතෘකා