ගඟ මැද පාසලක්, ගුරුවරයෙක් හා ගුරුවරියක්

 ඡායාරූපය:

ගඟ මැද පාසලක්, ගුරුවරයෙක් හා ගුරුවරියක්

මොනතරම් දුෂ්කර පාසල් තියෙනවද කඳුකරයේ, කැලෑබදව, ගංගාවලින් එතෙර කර්කශ මුඩු බිම්වල. මේවාට ළං වෙනවා වගේම ඒවායේ පහසුකම් ගැනත් කියන්න බැරි තරම් කනගාටුයි.

මේ කියන පාසල තියෙන්නෙ ඉන්දියාවෙ උතුරු කෙළවරට වෙන්නයි. පාසල පිහිටලා තියෙන්නෙ විශාල ජලාශයක් මැද්දෙ. යන එක දුෂ්කර ගමනක්. වාහනයකින් සැතපුම් 10ක් විතර ගිහින් එතැන් සිට කුඩා ඔරුවකිනුත් යන්න වෙනවා. හතර වටේටම ජලයෙන් වටවෙලා. ඉහළින් නිල් අහස. එච්චරයි. වෙන කිසි දෙයක් නෑ. මනුස්ස කටහඬක් ඇහෙන තෙක් මානෙක නෑ. පාසලටම ඉන්නෙ ළමයි හත් දෙනයි. ඔවුන් ඉන්නෙ ජලාශය ඉහත්තාවෙ තියෙන ඈත පුංචි පුංචි ගෙවල්වල.

පාසලේ හිටපු ගුරුවරිය අස්වෙලා ගිහින්. ඒ නිසා මේ වනතෙක් පාසලට ගුරුවරයෙක් නෑ. ඊට පස්සෙ තමයි අලුත් ගුරුවරයෙක් ඒ පාසලට එන්නෙ. පාසලේ කළමනාකරු ඔහුගෙන් අහනවා උයන්න පුළුවන්ද ඒ වගේම පීනන්න පුළුවන්ද කියලා. මේ ප්‍රශ්නවල තේරුම අලුත් ගුරුතුමා වුණු කබීර්ට වැටහුණේ ඔහු පාසල පේනතෙක් මානයට ගියාමයි.

මුළුමනින්ම පාසල ජලයෙන් වටවෙලා තිබුණෙ. ඇත්තම කිව්වොත් ඒක ළමයිත් නැති ගුරුවරුත් නැති නිකම්ම ඉස්කෝලයක්. මෙතැනදි කබීර්ට විසඳා ගන්න ගැටලු දෙකක් තියෙනවා. එකක් දැන් ගෙදරට වෙලා ඉන්න ළමයි නැවත පාසලට ගෙන්න ගන්න එක. දෙවැනි ගැටලුව මතුවෙන්නෙ ඔවුන්ට උගන්නන්න ගියාමයි. පාසලටම හිටියේ ළමයි හත්දෙනයි. ඒ අයත් 5, 3, 2 වගේ අසමාන ශ්‍රේණිවල ළමයි. මෙතැනදි සිදුවෙන්නෙ ළමයි එකම පන්තියකට අරගෙන සමූහ ඉගැන්වීම් ක්‍රමයක් අනුගමනය කරන්නයි.

ළමයි අලුත් ගුරුවරයකුට හුරුකර ගන්න එක ලේසි නෑ. කලින් ගුරුතුමියගේ කතාව, ආදරය, ඉගැන්වීම් ක්‍රම ගැන ඔහුට දැනුමක් තිබුණෙ නෑ. ඔහුට තිබුණෙ කර්කශ දරදඬු හමුදා පුහුණුවක්.

දැන් ළමයි පාසලෙන් ගියාට පස්සෙ ගෙදර වැඩට යොමු වෙලා ඉන්නෙ. ඔවුන් ආයෙත් පාසලට එන්න කම්මැලිි වෙනවා. අනෙක් එක පාසලට එන එකත් ලේසි වැඩක් නෙවෙයිනෙ.

මෙහිදී කබීර්ට හමුවෙනවා ගුරු මේසයේ ලාච්චුවක තිබුණු සටහන් පොතක්. ඒක කලින් සිටි ගුරුතුමී ලියපු සටහන් පොතක්. නෝට් බුක් එකක්. ඒක කබීර්ට පාඩම් පොතක් වගේ වුණා. ළමයින්ට උගන්නන්නේ කොහොමද ඔවුන් සමඟ මිත්‍රශීලී වන්නෙ කොහොමද වගේ තොරතුරු බොහොමයක් එහි සටහන් කර තිබුණා.

කබීර් දිනක් වේවැල පාවිච්චි කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුණා. ළමයි සියලු දෙනාම අලුත් ගුරුතුමාව මඟහරින්න පටන් ගත්තා. ඊළඟට විභාගය ආවා. එතැනදී කබීර්ගේ අඩුපාඩු ඔහුට පෙන්වන්නට මුල් ගුරුතුමාට සිදුවුණා. මෙවර විභාගයේ ළමයින්ගේ ලකුණු මට්ටම හොඳටම අඩුවෙලයි තිබුණේ. මුල් ගුරුතුමා කීවේ කබීර් ටික දවසකට විවේක ගත්තොත් හොඳයි කියලයි.

එත් කබීර් යන්න කලින් හොඳ වැඩකුත් කරලා තිබුණා. හදිසියේම පාසල් නෑවිත් නැවතුණු ළමයෙක් ඔහුගේ නිවසට ගිහින් නැවත පාසලට ගෙන්වා ගැනීමට කටයුතු කළා. ඒ සඳහා ඔහුට නොයකුත් ඇනුම් බැනුම්වලට මුහුණ දෙන්නට වුණා .

ඒ ඉම්රාන්. ඔහු ඉම්රාන්ගෙ ගෙදර ගියා. ඒ වන විට ඉම්රාන්ගෙ පියා දර පලමින් හිටියෙ. ඉම්රාන් දර එකතු කරමින් සිටියෙ. දර එකතු කිරීමද ඉගෙන ගැනීමද වඩා වැදගත් කියන එක ඉම්රාන්ගෙ පියාට පැහැදිලි කර දෙන්න කබීර් ලොකු මහන්සියක් දැරුවා.

“ඔය ඉගෙනගැනීමෙන් ඵලක් නෑ එයා ඉන්න ඕන මම කියන විදියටයි. එයා ආයෙ ඉස්කෝලෙ එන්නෙ නෑ. එයා මට ගෙදර වැඩවලට උදවු කරාවි.” පියා කිව්වා.

කලින් සිටි ගුරුතුමිය නැවතත් පාසලට එන්නේ ඒ අතරයි. ළමයි ඇය පිළිගන්නේ ආදරයෙන්. අලුත් ගුරුතුමා කොහි ගියාදැයි සොයාබලන ඇයට දැනගන්නට ලැබෙනවා ඔහු ගුරු පුහුණු පාඨමාලාවකට බැඳී ඇති බව. ගුරු වෘත්තිය ඕනෑම කෙනකුට ඕනෑම වෙලාවක යෙදිය හැකි එකක් නොවන බව ඔහු අවබෝධ කර ගෙන තිබීම ගැන ඇය සතුටු වෙනවා.

අලුත් ගුරුතුමා ආපසු එද්දී අනවසරයෙන් ඉම්රාන් පාසලට රැගෙන යෑම ගැන උරණ වූ ඉම්රාන්ගේ පියා ඔහුට පහර දෙනවා. ළමයි හා ගුරුතුමිය ඉදිරිපිටදී සිදුවන ඒ ගැටුමේදී කිසිවිටෙක කබීර් ආපසු පියාට පහර දෙන්නේ නෑ. ඔහු ගුරුවරයකු සතු ඉවසීමේ ශක්තිය සියල්ලන් ඉදිරියේ දක්වමින් තමා ගුරු වෘත්තියට සුදුසු විශිෂ්ටයකු බව තහවුරු කරනවා.

ඇත්තම කියනවා නම් මේ කතාව එන්නේ ගඟ මැද පාසලක් ඇති තැනක සිදුවූ සිදුවීමක් ඇසුරෙන් තැනූ ‘නෝට් බුක්’ (Note Book ) කියන සිනමා පටයේ වුණාට මෙවැනි දේ පාසල්වල සිදුවෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒකයි මෙය ඔබට කියන්න හිතුණේ.

ළමයි එක්ක කටයුතු කරන එක සෙල්ලමක් නෙවෙයි. ළමයි හරිහැටි අවබෝධ කරගෙන ඔවුන්ගේ හිත් තුවාල නොකොට ගුරුකම පටන් නොගත්තොත් වැඩේ පුස්සක් වෙන බව ඔබට වැටහෙනවා නේද?

 

මාතෘකා