පැණිබීම ගැන ඇත්ත මොකක්ද?

 ඡායාරූපය:

පැණිබීම ගැන ඇත්ත මොකක්ද?

ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සෑම පස් දෙනකුගෙන්ම එක් අයකු එනම් සමස්ත ජනගහනයෙන් සීයට 20කට වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත. කොළඹ හා නාගරික ප්‍රදේශවල දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව ඇති අය සීයට 59.3කි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 10%ක ප්‍රමාණයක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇතැයි අනුමාන කෙරෙයි. 2050 වසර වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සීයට 50කට එනම් හරි අඩකට දියවැඩියාව වැළඳිය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි.

පැණිබීම ඇඟට අගුණ බව කියන්නේ අදක ඊයේක නොවේ. පැණිබීමවල ඇති අධික සීනි ශරීරයට අහිතකර බව නොරහසකි. එසේම ඇතැම් පැණිබීම වර්ගවලින් අධික කහට පැල්ලම් සහිත වැසිකිළි පෝච්චි පවා අතිශයින්ම පිරිසුදු වන බවට කටකතා පැතිර ගොස් තිබේ. කනින් කොනින් ඇසෙන ආරංචි මිස පැණිබීම ගැන හරියටම දන්නේ මොනවාද? ඇත්තටම පැණිබීම ශරීරයට අහිතකරද? එසේනම් ඒ කුමනාකාරයෙන්ද යන්න බොහෝ දෙනකුට ඇති ගැටලුය. කොකාකෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ හිටපු පර්යේෂණ හා සංවර්ධන කළමනාකරුවකු වන ආචාර්ය වී. යූ. රත්නායක සමඟ සිදුකළ සාකච්ඡාවක් සමඟින් පැණිබීම ගැන යථාර්ථය විමසා බැලීම කිරීමට අපි සිතුවෙමු.

සීනි යොදා සකස් කරන ලද ඕනෑම බීම වර්ගයක් පැණි බීම ලෙස හැඳින්විය හැකිය. කුමන දේවල් එක් කළද ඕනෑම පානයක් පැණි රස නම් එය පැණිබීම වේ. හකුරුවර්ග, විවිධ පැණිවර්ග ආදී සියල්ලම සීනි වර්ග යටතට ගැනෙයි. සීනි වර්ගවල යම් යම් ප්‍රභේද තිබිය හැකිය. 2017 වසරේ ශ්‍රී ලංකාවට සීනි මෙට්‍රික් ටොන් 497,952ක්ද 2018 වසරේ සීනි මෙට්‍රික් ටොන් 644,675ක්ද ආනයනය කළේය. එසේ ආනයනය කරන ලද සීනිවලින් කෙරෙන එකම කාර්ය වන්නේ පරිභෝජනයයි. පාරිභෝජනය සඳහා මිස සීනි ආශ්‍රිතව වෙනත් කිසිදු නිෂ්පාදනයක් සිදුකෙරෙන්නේ නැත.

සීනි පරිභෝජනය ඕනෑම මිනිස් ශරීරයකට අගුණ දෙයකි. ශරීරයේ සීනි පාලනය කිරීම සඳහා ශරීරයට ප්‍රතික්‍රියා දැක්විය හැකි නම් ගැටලුවක් නැත. නමුත් බොහෝ මිනිස් ශරීරවලට එසේ ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාවක් නැත. එසේ ශරීරය ප්‍රතික්‍රියා නොදැක්වීම හේතුවෙන් දියවැඩියා තත්ත්වය ඇති වේ.

ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සෑම පස් දෙනකුගෙන්ම එක් අයකු එනම් සමස්ත ජනගහනයෙන් සීයට 20කට වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත. කොළඹ හා නාගරික ප්‍රදේශවල දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව ඇති අය සීයට 59.3කි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 10%ක ප්‍රමාණයක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇතැයි අනුමාන කෙරෙයි. 2050 වසර වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සීයට 50කට එනම් හරි අඩකට දියවැඩියාව වැලඳිය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ පැණිබීම බෝතල්වල සීනි මට්ටම සඳහන් කළ යුතු බවට තීරණයක් ගෙන එය ක්‍රියාත්මක වෙමින් පවතී. රතු පාටින් අධික සීනි මට්ටමත්, කහ පාටින් මධ්‍යම සීනි මට්ටමත් කොළ පාටින් අඩු සීනි මට්ටමත් දැක්වීමට ඒ අනුව පියවර ගැනිණ.

සාමාන්‍යයෙන් ජනප්‍රිය පැණිබීම වර්ගවල පැණිබීම මිලිලීටර් සීයකට සීනි සීයට දහයක්, පහළොවක් යනාදී වශයෙන් අන්තර්ගත වේ. එනම් ග්‍රෑම්වලින් නම් සීනි ග්‍රෑම් 10ක් 15ක් වන ප්‍රමාණයකි.

නිවසක තේ කෝප්පයක ධාරිතාව මිලිලීටර් 150කි. සීනි හැන්දක් යනු ග්‍රෑම් 5කි. සීනි හැඳි දෙකක් යොදා තේ එකක් බොන්නේ නම් තේ එකක් බීමේදී සීනි ග්‍රෑම් 10ක - 12ක අතර ප්‍රමාණයක් ශරීරයට එක් වෙයි.

මේ ආකාරයට ගන්නා සීනි දහනය කිරීමට නම් ශරීරය අධික ලෙස වෙහෙසවිය යුතුය. උදාහරණයක් ලෙස රැකියාවට බර වැඩ කරන මිනිසුන් සීනි හැඳි එකක් දෙකක් වැඩිපුර ආහාරයට ගැනීම එතරම් ගැටලුවක් නොවේ. ඒ ඔවුන් ශක්තිය වැය කරන බැවිනි.

දිනකට පුද්ගලයකු සීනි වශයෙන් කිසියම් හෝ ප්‍රමාණයක් ශරීරයට එක් කරගැනීමේ කිසිදු ඵල ප්‍රයෝජනයක් නැත. මිනිසුන් ආහාරයට ගන්නා කෑමවල අවසාන ප්‍රතිඵලය වන්නේ සීනි නිෂ්පාදනයයි.

ශරීරයට ආහාර මඟින් එකතු වෙන විෂබීජහරණය සඳහා ස්වභාවික ආමාශ අම්ලයක් නිපදවයි. ඇතැම් ජනප්‍රිය බීමවර්ගවල පවතින අම්ලවල PH අගය එහි PH අගයට සමාන වේ. එවැනි බීම වර්ග භාවිත කිරීම නිසා ආමාශයට නිකුත් කරන ද්‍රාවණයේ ආම්ලික තත්ත්වය අඩුවීමක් සිදුවන්නේ නැත. එම බීම වර්ග පානයෙන් සිදුවන්නේ ආම්ලික තත්ත්වය වැඩි වීමක්ය.

එසේම බීමවර්ග සෑදීමේදී (ජලයට) කාබන්ඩයොක්සයිඩ් එකතු කිරීමක් සිදු කරයි. කාබන්ඩයොක්සයිඩ් ජලයට එකතු කිරීමෙන් පසුව ඇතිවන තත්ත්වය රසායන විද්‍යාත්මකව හඳුන්වන්නේ කාබෝනික් ඇසිඩ් යනුවෙනි. එම අම්ලය නිසාද ශරීරයේ ආම්ලිකතාව වැඩි වේ. ඇතැම් ශරීරවලට මෙම ආම්ලිකතාව පාලනය කළ හැකි මුත් හැම ශරීරයකටම එසේ පාලනය කළ නොහැකිය. එවිට ශරීරයේ ආම්ලිකතාව වැඩි වේ. එම නිසා ගැස්ට්‍රයිටීස්, වමනය, බඩ ඉදිමීම වැනි රෝග හා රෝග ලක්ෂණ ඇති වේ.

බීම වර්ග යොදා වැසිකිළි සේදිය හැකි බව ඇතැම් අය කියන්නේ ඒවායේ ඇති ඇසිඩ් වර්ග නිසාය. ඒ අනුව එහි සත්‍යතාවක් තිබිය හැකිය.

එසේම සාමාන්‍යයෙන් පැණිබීම බෝතලයේ ප්‍රමාණය මෙන් තුනහමාරක ගුණයක් පැණිබීම බෝතලයට ගෑස් (කාබන්ඩයොක්සයිඩ්) එකතු කරයි. උදාහරණයක් ලෙස මිලිලීටර් 300ක බෝතලයකට මිලිලීටර් 1050ක ප්‍රමාණයක ගෑස් එකතු කරයි. ඇතැම් බීමවල බෝතලය මෙන් පස්ගුණයක් ගෑස් එකතු කරන අවස්ථාද ඇත. මූඩිය අරින විට බුබුළු වශයෙන් හඬ නඟමින් ඉතිරී යන්නේ එම ගෑස් පිටවීමත් සමඟිනි.

පැණිබීම වර්ග සඳහා පාට (LAKES) වර්ග එකතු කරයි. සාමාන්‍යයෙන් ශරීරයට එකතු කරගන්නා ආහාර පාන, බොහෝ බෙහෙත් වර්ග ආදිය ක්‍රියාවලියක් ඔස්සේ රුධිර පටක බාධකයන් (Blood tissues barrier) හරහා ගොස් රුධිරයට එකතු කරයි. එසේ රුධිරයට එකතු නොකරන කොටස මලපහ සහ මුත්‍රා ලෙස ශරීරයෙන් බැහැර කරයි. පැණිබීමවල නිසි ප්‍රමිතිගත පාට වර්ග අඩංගු වන්නේ නම් එම පාටවල අනු, රුධිර පටක බාධකයන් හරහා ගමන් කරන්නේ නැත. එයට හේතුව පාට වර්ගවල අනු රුධිර පටක බාධකයන් හරහා ගමන් කළ නොහැකි තරම් විශාල වීමයි. එසේ රුධිර පටක බාධකයන් හරහා ගමන් කොට රුධිරයට එකතු වූ පාට වර්ගයක් තිබේ නම් පහකරන මුත්‍රා එම පාට වර්ගයට හැරී තිබෙනු දැකිය හැකිය.

පැණිබීම සහ ආහාර සඳහා එකතු කළ යුතු පාටවර්ග සහ භාවිත කළ යුතු ප්‍රමාණයන් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිති ඉදිරිපත්කොට තිබේ. බීම වර්ග සඳහා ලීටරයකට මිලිග්‍රෑම් 5ක් පමණ අදාළ වර්ණ යෙදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත. ඊට වැඩිය වර්ණ යෙදීම ශරීරයට අහිතකර බව එයින් ගම්‍ය වේ. සමාගමක නිෂ්පාදනය කරන ලද යම් බීම වර්ගයකට ආදේශක ලෙස බීම වර්ග සකස් කිරීමේදී, පාට වර්ග සමාන කිරීමට යෑමේදී සම්මත ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් පාට වර්ග පැණිබීමට එකතු විය හැකිය. එසේම ආහාර සඳහා භාවිත කිරීමට නිෂ්පාදනය කරන පාටවර්ග වෙනුවට; වෙනත් අරමුණු සඳහා භාවිත කරන පාට වර්ග (උදාහරණ ලෙස බිත්ති වර්ණ ගැන්වීමට යොදාගන්නා පාටවර්ග ආදිය) ආහාර සහ පාන නිෂ්පාදනය සඳහා යොදා ගැනීමද ශරීරයට අහිතකර වේ.

එසේ නම් පැණිබීම වර්ග පමණක් නොව ආහාර ද්‍රව්‍ය ගන්නා විට ප්‍රමිතිගත, සෞඛ්‍යාරක්ෂිත, ජනතාවගෙන් වැඩි පිරිසකගේ විශ්වාසය දිනූ ආහාර සහ පාන වර්ග භාවිත කිරීම වඩා ඇඟට ගුණය.

ඇතැම් රටවලට ආහාර සඳහා භාවිත කරන පාට වර්ග සම්බන්ධයෙන් ඔවුන් සකසා ගත් ප්‍රතිපත්තියක්ද ඇත.

එසේම සීනි රහිත බීම වර්ගද වෙළෙඳපොළේ ඇත. එයින් අදහස් වන්නේ ස්වභාවික සීනි නොදමා එහෙත් සීනි වෙනුවට කෘත්‍රිම සීනි වර්ගයක් යෙදීමයි. එම කෘත්‍රිම සීනි ස්වභාවික සීනි ඒකකයට වඩා පන්සිය ගුණයක් පැණි රස භාවයෙන් ඉහළය. එනම් ආහාර හෝ පාන නිශ්චිත ඒකකයක් රස ගැන්වීම සඳහා කෘත්‍රිම සීනි යෙදිය යුත්තේ ස්වභාවික සීනි ඒකකයකින් පන්සීයෙන් එකකි. එනම් උදාහරණයක් ලෙස රස ගැන්වීම සඳහා ස්වභාවික සීනි ග්‍රෑම් එකක් යොදනවා නම් ඒ වෙනුවට කෘත්‍රිම සීනි යෙදිය යුත්තේ ස්වාභාවික සීනි ග්‍රෑම් එකෙන් පන්සීයෙන් කොටසකි. එය කුඩාම අගයකි.

කෘත්‍රිම සීනිවර්ගවල කැලරි නැත. එනම් ඒවා පරිහරණය කිරීමෙන් ශරීරයට ශක්තිය එකතු වන්නේ නැත. එමඟින් දියවැඩියා තත්ත්වයට පත් වන්නේ නැත.

නිවසේ කෘත්‍රිම සීනි පරිහරණය කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් ඇත. එනම් ඒවා භාවිත කළ යුතු ප්‍රමාණය ප්‍රමාණාත්මකව විශාල නොවීමයි. උදාහරණයක් ගනිමු. කේක් කිලෝ එකක් හැදීමට යොදනා පිටි, සීනි ආදියේ ප්‍රමාණයක් ඇත. කේක් කිලෝ එකක් හැදීමට ස්වභාවික සීනි ග්‍රෑම් 250ක් යොදන්නේ නම් කෘත්‍රිම සීනිවලින් යෙදිය යුත්තේ ග්‍රෑම් 250න් පන්සීයෙන් එකකි. එය ඉතා කුඩාම අගයකි. එවිට කේක් එක; කිලෝ එකක් ලෙස නිමැවෙන්නේ නැත. නමුත් බීම වර්ග නිෂ්පාදනය කිරීම සඳහා කෘත්‍රිම සීනි වර්ග භාවිත කළ හැකිය. ඒවාට අවශ්‍ය ප්‍රමාණය නිමැවීම සඳහා ජලය ඇති තරම් එක් කළ හැකිය.

කෘත්‍රිම සීනිවර්ගද ශරීරය තුළදී දිරවිය හැකි නම් එය ගැටලුවක් නොමැති බව විද්‍යාත්මක මතයයි. එසේම කෘත්‍රිම සීනිවර්ග යොදන ප්‍රමාණය ඉතාම කුඩා බැවිනුත් එහි හානිය අවම විය හැකිය.

පැණිබීම වර්ගවලට යොදන පාට වර්ගවලට අදාළ E අංක ආදිය බීම බෝතලයේ පැහැදිලිව පෙනෙන සේ මුද්‍රණය කර තිබේ. එසේම පැණිබීම බෝතලයක පැණිබීම මිලිලීටර් සීයක අඩංගු සීනි ප්‍රමාණය හොඳින් පැහැදිලි වන සේ මුද්‍රණය කර තිබේ. අඩංගු ඇසිඩ් වර්ග, අඩංගු අනිකුත් ද්‍රව්‍ය පිළිබඳව එහි සඳහන් කර ඇත. විද්‍යාත්මක දැනුමක් නැත්නම් ඒවා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අපහසුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් මේ සමාජයේ වෙසෙන සාමාන්‍ය පාරිභෝගිකයකු ලෙස පැණිබීම වර්ග බොනවාද නොබොනවාද බොනවා නම් ඒ කොතරම් ප්‍රමාණයක්ද එසේ නම් ඒ කුමන වර්ගද ආදිය පිළිබඳ තීරණයක් ගැනීමට තරම් තොරතුරු මේ ලිපියේ ප්‍රමාණාත්මකව ඇතැයි සිතමු. එම තොරතුරු පිළිබඳ සැලකිලිමත් වෙමින් පැණිබීම ගැන තීරණයක් ගැනීම පාඨක ඔබට බාර කරමු.

 

මාතෘකා