මුස්ලිම් විවාහ හා දික්කසාද පනතින් මතු වූ කිඹුල් කඳුළු

 ඡායාරූපය:

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතින් මතු වූ කිඹුල් කඳුළු

සංහිඳියාව ඇත්තේ කුරිරු යුද්ධයට ගොදුරුවූවන් සඳහා පමණක් යැයි ඇතැමකුගේ මතයයි. එය

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම එක හා සමානව වැදගත් වන සහ බලපාන සංකල්පයකි. රජය විසින් දිවයින පුරා සිදුකරන ලද උපදේශනවලින් පෙනී ගියේ සමානාත්මතාවය සහ සාධාරණත්වය අත්‍යවශ්‍ය සංකල්ප වන අතර අනතුරේ ඇති හෝ අනතුරට ලක්ව ඇති කණ්ඩායම්වලට සහන සැලසීම සඳහා විශේෂිත ක්‍රම සලකා බලා ඔවුන්ගේ අවශ්‍යතාව ඉලක්ක කොටගත් ආධාර අවශ්‍ය බවයි. (CTF හි අවසන් වාර්තාව - ඉං, 59)

මෙහිදී කාන්තාවන් පුරුෂාධිපත්‍ය සමාජ සන්දර්භය තුළ අනේකවිධ ගැටලුවලට මුහුණ දෙන අතර ඒ හේතුවෙන් කාන්තාවන් ඉතා අවදානම් තත්ත්වයක සිටින අය ලෙස හඳුනාගෙන තිබේ. (CTF හි අවසන් වාර්තාව - ඉං, 59) සංහිඳියාව පිළිබඳ අපගේ අවබෝධය හෝ සැලකිල්ල බොහෝ දුරට අපගේ පශ්චාත් ගැටුම් සන්දර්භයට පමණක් සීමා වී ඇතත් කාන්තාවන් මුහුණ දෙන අවදානම සහ අසමානතාවන් ගැටුම්වලට පෙර සහ පසු කාලයකට විහිදේ. මෙය සමාජයේ මුල් දිව ඇති ප්‍රශ්නයකි.

අප රට විවිධ සංස්කෘතීන් සහ ආගම්වලින් සැදුම්ලත් රටකි. නමුත් අප රටේ පැවතිය යුත්තේ එක් නීතියකි. සංස්කෘතීන් ආරක්ෂා විය යුතු අතර සැමට පොදු නීතියද ක්‍රියාත්මක විය යුතුය. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) මෑත කාලීනව සාකච්ඡා වන වැදගත් කරුණක් සහ උණුසුම් මාතෘකාවක් බවට පත්විය. යුධමය තත්ත්වය තුළ හා ඉන් පිටතද කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට නොහැකි වන්නේ කෙසේද යන්න මෙම පනත තුළ අනාවරණය වී තිබේ. බොහෝ කාන්තා කණ්ඩායම් එම්.එම්.ඩී.ඒ. සහ ක්වාසි අධිකරණ පද්ධතිය හරහා කාන්තාවන් මුහුණදෙන ගැටලු මෙන්ම විඳින අසමානතා පිළිබඳවත් එතුළින් අයිතිවාසිකම් උල්ලංඝනය වීම ගැනත් කතා කර ඇත. මෙය අද ඊයේ මතු වූ මාතෘකාවක් නොව, 1950 දශකයේ සිට එම්.එම්.ඩී.ඒ. ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හඬනැඟී ඇත.

එම්.එම්.ඩී.ඒ. හි ප්‍රතිසංස්කරණය කළ යුත්තේ මොනවාද?

එම්.එම්.ඩී.ඒ. හි විවාහ සඳහා අවම වයස පිළිබඳ සඳහනක් නොමැති අතර වයස අවුරුදු 12ට අඩු ගැහැනු ළමයින්ගේ විවාහයට ඉඩ ලබාදෙයි. මේ පනතේ 23 වැනි වගන්තියෙන් කියැවෙන පරිදි වයස 12ට අඩු ගැහැනු දරුවකු වුවත් මුස්ලිම් ක්වාසි අධිකරණ විනිසුරුවරයකුගේ අනුමැතිය ඇතොත් කෙනකුට විවාහ කරදිය හැකිය.

·මනාලියගේ කැමැත්ත අවශ්‍ය නොවන අතර ඒ වෙනුවට කාන්තාවන් විවාහයට පෙර සිය පිරිමි ඥාතියකුගේ හෝ ක්වාසිවරයකුගේ අවසරය කැමැත්ත ලබාගත යුතුය. (ක්වාසි යනු නීතිමය අධිකාරියක් සහිත බදු අරමුදල් සහිත වන තනතුරකි.)

·දික්කසාද කොන්දේසි පුරුෂයන්ට හා කාන්තාවන්ට එක හා සමාන නොවේ

·බහු භාර්යා සේවනයට භාර්යාවගේ අවසරයකින් තොරව හෝ ස්වාමිපුරුෂයාට බිරින්දෑවරුන් කිහිපදෙනකු නඩත්තු කිරීමට ඇති හැකියාව තිබේද යන්න තහවුරු කිරීමකින් තොරව වුවද අවසර දෙනු ලැබේ.

·කාන්තාවන්ට ක්වාසිවරයකු වීමට ජූරි සභිකයන් හෝ ක්වාසි මණ්ඩලයේ සාමාජිකයන් වීමට අවසරයක් නොමැත.

ළමයකුගේ මනස වර්ධනය වන කාලයක් ඇත. එමෙන්ම සෞඛ්‍යමය හේතූන් නිසාවෙන්ද මෙම කරුණු වෙනස් විය යුතුව ඇත. තවද බලෙන් විවාහ වීම තුළද මානසික නිදහස යනාදී මූලික දෑ මෙහිදී ඇහිරී යයි.

මෙතරම් කාලයක් තිස්සේ විසඳුමක් නොතිබුණේ ඇයි?

මෙම ඉල්ලීම විසඳීම සඳහා වරින් වර කමිටු කිහිපයක් 1970 සිට පිහිටුවා ඇති නමුත් යල් පැනගිය එම්.එම්.ඩී.ඒ. සඳහා ගොදුරු වූ මුස්ලිම් කාන්තාවන්ට විසඳුමක් ලබාදීම සඳහා නිරන්තරයෙන් ඉතිහාසය පුරා අපොහොසත් වී ඇත.

එම්.එම්.ඩී.ඒ. වෙත සංශෝධන යෝජනා කිරීම සඳහා 2009දී ජනාධිපති නීති උපදේශක සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කරන ලදි. වසර 9කට පසුව 2018දී ඉතා විශාල මහජන පීඩනයක ප්‍රතිඵලයක් ලෙස කමිටු වාර්තාවක් ඉදිරිපත් කළේය. කෙසේ වෙතත් කාන්තාවන්ට බලපාන තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව එකඟතාවකට පැමිණීමට කමිටුවට නොහැකි වූ අතර ඒ සෑම එකකදීම ඉස්ලාමීය නීතිය වඩාත් ඉස්මතු විය.

එම්.එම්.ඩී.ඒ. හි කිසිදු ප්‍රතිසංස්කරණයක් නොමැතිව වසර 50කට වැඩි කාලයක් ගතවී ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50%කට වඩා වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සිටින අතර 2019 වසර තරම් තාක්ෂණික අතින් දියුණු දැනුම සොයායන කාලයකදී පවා කාන්තාවන් යල් පැනගිය පදනම් විරහිත නීතිවලට ලඝු කර තිබීම ඉතා සෝචනීය සහ පුදුමයට කාරණාවක් වේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව එම්.එම්.ඩී.ඒ. පිළිබඳ මහජන කථිකාව ඇතැම් දේශපාලන පක්ෂ ඔවුන්ගේ පක්ෂග්‍රාහීත්වයට සරිලන පරිදි කුමන්ත්‍රණය විකෘති කිරීම දැකගත හැක. මෙය ජාතිවාදය සඳහා දඬු මුගුරක් ලෙස යොදා ගැනීමට සැරසේ. සමස්ත මුස්ලිම් ප්‍රජාවම ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා ඔවුන්ගේ ජනවාර්ගිකත්වය මත පදනම්ව කොන් කළද මෙහිදී එම්.එම්.ඩී.ඒ. මුස්ලිම් ප්‍රජාව පෙළීම සඳහා වන අමතර මෙවලම් ලෙස භාවිත කිරීම ඉතා පහත් ක්‍රියාවකි. එහෙත් ඉහත කී දේශපාලන පක්ෂ හෝ දේශපාලන චරිත සැබවින්ම මුස්ලිම් කාන්තාවන් පිළිබඳ දුක් වූවාද යන්න ගැටලුකාරීය. එසේ වූවානම් මේ පිළිබඳ ඔවුන් පෙර සලකා බැලිය යුතුව තිබුණි. නමුත් මුස්ලිම් කාන්තාවන් සඳහා වන නිසි තැන සැබවින්ම ලැබුණේ යහපාලන ආණ්ඩුව යටතේ වීම වැදගත්ය. එපමණක් නොව සැලකිය යුතු කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවට දායක කරනු ලැබුවේද 2015න් පසුවය. කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කිඹුල් කඳුළු හෙළීම වෙනුවට එය ක්‍රියාවෙන් පෙන්වීම අවශ්‍ය වේ. නමුත් මේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව සිදුවූයේ ප්‍රචණ්ඩකාරී මැර පිරිස අහිංසක සිවිල් වැසියන්ගේ නිවාස හා වෙළෙඳසල් ගිනිබත් කිරීමයි. මෙයින් මුස්ලිම් කාන්තාව තවත් පීඩාවට පත්විය. අන්තවාදයට එරෙහිව සටන් කිරීමේ කුරිරු හා නින්දිත උත්සාහයක් වෙනුවට මෙම කණ්ඩායම් අනෙක් අතට මුස්ලිම් ප්‍රජාවට භීෂණය ගෙනදුන්හ.

එම්.එම්.ඩී.ඒ ප්‍රතිසංස්කරණ ජාතිවාදී මෙවලමක් ලෙස භාවිත නොකළ යුතුය. එසේ කිරීමෙන් වින්දිතයන් විශාල ලෙස සමාජයෙන් කොන්වනු ඇත. පළමුව කාන්තාවන් වශයෙන්ද පසුව මුස්ලිම්වරුන් ලෙසද පනත ප්‍රතිසංස්කරණය කිරීම සුළුතරයේ අවශ්‍යතා සපුරාලීම හා ක්‍රියාවට නැංවීමකි. එය මුස්ලිම් ජනයා පීඩාවට පත්කිරීමට හෝ පහත් කොට සැලකීමට භාවිත කොට, සංවාදය සැබෑ ප්‍රශ්නයෙන් ඉවතට හරවා ගැනීමට ඇතැමුන් දැරූ උත්සාහය නිර්ලජ්ජිතය. මෙය ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම කාන්තාවන්ට සමාන ගෞරවයක් සහ මුස්ලිම් කාන්තාවන්ට සමාන නියෝජිතායතනයක් සහ අයිතිවාසිකම් ලබාදීමේ දැඩි අවශ්‍යතාවක් මත සිදුවූවකි. ඔවුන්ගේ සංස්කෘතික, ආගමික විශ්වාසයන්ට ගරු කිරීම හෝ හෑල්ලුවට ලක් කිරීමට මෙහිදී ක්‍රියා නොකළ යුතුය. එය කාන්තා හිංසනය වළකා ඔවුන්ට සමානාත්මතාව ලබාදීමට සහ සාමය ගොඩනැඟුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ මාවතකි.

මාතෘකා