ඇස් ඇති අයට ආලෝකය පෙන්වන පියා සහ දියණිය

 ඡායාරූපය:

ඇස් ඇති අයට ආලෝකය පෙන්වන පියා සහ දියණිය

හතරවැනි කැලෑසියට යන විට නිමලසේනට ලෝකය දකින්නට තිබුණු අවස්ථාව සම්පූර්ණයෙන් වළක්වන්නට තරම් දෛවය නපුරු විය. නමුත් 1966 වර්ෂය ඔහුගේ ජීවිතය කඩඉම් වර්ෂය විය. ඒ තම වැඩිමහල් සොහොයුරිය විවාහ වූ සැමියා නිසාවෙනි. නිමලසේනගේ මස්සිනා ඔහුව රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළු කිරීමට කටයුතු කළේය.

ගායනයටත් සේම වාදනයටද තම දියණියගේ ඇති හැකියාවන් දැඩි විමසිල්ලන් පසු වූ මවුපියෝ ඇය විධිමත් ලෙස සංගීතය හැදෑරීමට යොමු කළහ. අලුත්ගම ප්‍රදේශයේ සංගීත ආචාරවරියක වූ උඳුලා පෙරේරා යටතේ සංගීතය හැදෑරූ සේපාලිකා අද විදුලි ඕගනය හා සර්පිනාව වාදනයට එකසේ දස්කම් දක්වයි. තම හැකියාවන් දියුණු කරගත් මෙම පියා හා දියණිය විෂය ක්ෂේත්‍ර දෙකක් පිළිබඳ තම නිවසේ උපකාරක පන්ති පවත්වනවා යැයි පැවසුවහොත් පාඨක ඔබ මවිතයට පත්වනු ඇත. නමුත් සත්‍ය එයයි.

දෑස පෙනෙන මිනිසුන් සමඟ හරි හරියට වැඩ කරනා දෘශ්‍යාබාධිත පුද්ගලයන් ගැන කොතකුත් අපට අසන්නට දකින්නට ලැබේ. එවැනි දෘෂ්‍යාබාධිතයන් තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමේදී දෑස පෙනෙන තම පවුලේ සාමාජිකයන්ගේ සහාය නිරතුරුව ලැබේ. නමුත් අද අපි ඔබට කරුණු කියන්නේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම දෘශ්‍යාබාධිත වූ පවුල් ඒකකයක් ගැනයි. පවුලේ සියලු දෙනාම දෘශ්‍යාබාධිතයන් වුවද ඔවුන් එකිනෙකාට වෙනස් වූ අපූරු කුසලතාවන්ගෙන් පරිපූර්ණ බවට ලද තොරතුරු අනුව අප ඔවුන් සොයා මතුගම ඉත්තෑපානට ගියෙමු. ඉත්තෑපාන, පන්සල පාර "සමාධි" නිවසේ ජීවත්වන මෙම පවුල් ඒකකයේ ගෘහමූලිකයා පී.එම්. විමලසේන නම් වෙයි. මෙම නිවසේ ස්වාමි දියණිය ප්‍රේමා නම් වූවාය. නිමලසේනගේත් ප්‍රේමාගේත් සෙනෙහෙ කැදැල්ලට ආලෝකය ගෙනා දියණිය සේපාලිකා මිහිරානිය. මවත් පියාත් දියණියත් වූ මොවුන් තිදෙනාම දෘශ්‍යාබාධිතය.

අපගේ කථානායකයා වූ නිමලසේන ඉපදී ඇත්තේ 1957 ඔක්තෝබර් 04 වැනි දින අද ඔවුන් ජීවත්වන ඉත්තෑපාන ගමේදීය. සහෝදර සහෝදරියන් තිදෙනකු සිටින පවුලක බාලයා ලෙස උපන් නිමලසේන කුඩා කලදීම සාමාන්‍ය දරුවකු සේ ඇස්වල පෙනීම තිබී ඇත. පාසල් අධ්‍යාපනයට යොමු වන විට ක්‍රමක් ක්‍රමයෙන් ඔහුගේ පෙනීම දුර්වල වී ඇත. ඒ තම කුඩා කල මතකය ඔහු අපට මෙසේ පැවසීය.

"මම ඉත්තෑපාන අත්ථදස්සි විද්‍යාලයේ හෝඩියේ පන්තියට ඇතුළු වුණා. එහෙම ටික දවසක් යනකොට මට කළුලෑල්ල පේන්නෙ නැතිව ගියා. මම කියන දේ හොඳින් අහන් ඉඳලා ගුරුතුමිය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුරුදු වුණා. එන්න එන්නම මගේ පෙනීම අඩු වුණා. 1961 කොළඹ ඇස් රෝහලේ ඇස්වල ඔපරේෂන් එකක් කළා. ස්නායු දුර්වලතාවක් තියෙනව කියලා වෛද්‍යවරු කියලා තිබුණා."

හතරවැනි කැලෑසියට යන විට නිමලසේනට ලෝකය දකින්නට තිබුණු අවස්ථාව සම්පූර්ණයෙන් වළක්වන්නට තරම් දෛවය නපුරු විය. නමුත් 1966 වර්ෂය ඔහුගේ ජීවිතය කඩඉම් වර්ෂය විය. ඒ තම වැඩිමහල් සොහොයුරිය විවාහ වූ සැමියා නිසාවෙනි. නිමලසේනගේ මස්සිනා ඔහුව රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළු කිරීමට කටයුතු කළේය. ඒ නිමලසේනගේ මවුපියන්ග‍ේ විරෝධය මැදය. එහි නේවාසිකව අධ්‍යාපනය ලැබූ නිමලසේන 1969දී තම ඇස් සඳහා සිදුකළ දෙවැනි සැත්කමට මුහුණ දුන්නේය. මහ මුහුද මැද සිදුකළ එම සැත්කම ගැන ඔහුට හොඳ මතකයක් ඇත.

“කොළඹ වරායට ඇමරිකන් නැවක් ආවා. ඒ නැවේ නම "ඕක්" ඒක පාවෙන රෝහලක්. රත්මලාන පාසලෙන් මාව ප්‍රතිකාර සඳහා එහේ එක්ක ගියා. නැවේ සිටි විදේශීය වෛද්‍යවරු මගේ ඇස් ඔපරේෂන් කළා. සම්පූර්ණයෙන් පෙනීම ලබා දෙන්න බැහැ කිව්වා. මට කන්නාඩියක් දුන්නා.”

බේල් ක්‍රමය යටතේ අධ්‍යාපනයට හුරු වූ ඔහු අ.පො.ස. (සා.පෙළ) සමත්ව කලා අංශයෙන් අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටියේය. පාසල් කාලය තුළ නිමලසේන විවිධ හැකියාවන්ගෙන් පිරිපුන් කැපී පෙනෙන ශිෂයකු විය. විවාද කණ්ඩායමේ දක්ෂ කථිකයෙකු වූ ඔහු සාහිත්‍ය සංගමය, බෞද්ධ සංගමය, සමාජ විද්‍යා සංගමය ආදී සංගම් කිහිපයක විවිධ නිලතල දැරීය. තම පාසල් වියේ මතකය ඔහු අප සමඟ පැවසීය.

“මට පුංචි කාලයේ ඉඳන්ම මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුණා. ඉංග්‍රීසි ගැන මෙලෝ දෙයක් දන්නේනැති කාලයෙත් නිවාඩුවට ගෙදර ආවාම බොරු වචන කිය කිය ඉංග්‍රීසියෙන් කතා කරනවා. මෙන්න සුද්දෙක් ඇවිත් කියලා අක්කල මට හිනා වෙනවා. හැබැයි මට ඉස්කෝලෙන් අයින් වෙනකොට යම් තරමකට ඉංග්‍රීසි ගැන දැනුමක් තිබුණා. උසස් පෙළින් පස්සේ ඇක්වයිනාස් එකේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරා ඒ දැනුම දියුණු කර ගත්තා.”

නිමලසේනගේ කථාවට බාධා කරමින් අප ඒ අසල වුන් ප්‍රේමාට අවස්ථාවක් දෙමින් නිමලසේනව දැන හැඳිනගත් අයුරු විමසන්නට විය.

මම දන්නෙත් නැති කාලෙක ඉඳන් මෙයා මට ආදරේ කරළා යැයි ලැජ්ජාවෙන් යුතුව පැවසුවාය.

නිමලසේනගේ සමකාලීන ශිෂ්‍යාවක් ලෙස එම පාසලේ ඉගෙනුම ලැබූ ප්‍රේමා එහි ක්‍රීඩා නායිකාවද වූවාය. සියලු අංශයන්ගෙන් කැපී පෙනෙන ශිෂ්‍යයකු වූ නිමලසේන ඇය හා වසර එකොළහක ආදර සබඳතාවක් පැවතිණි. මේ ආදර සබඳතාව ඇති වූ අයුරු මතකදැයි පසෙක වූ ප්‍රේමාගෙන් නැවත අප ඇසූ විට ඇය හයියෙන් සිනාසුනා මිස වෙන කිසිවක් නොකීවාය. එයට සරිලන ලෙස උත්තර බඳින්නට දක්ෂයකු වූ නිමලසේන එම වාරයද තමන් සතු කර ගනිමින් මෙසේ පැවසීය.

“ඕක ඉතින් මහත්තයෝ අපේ පන්ති කාමරයේ යතුර හින්ද ඇති වෙච්ච දෙයක්” ලෙස පැවසුවේ අපගේ මුවගට සිනහවක් එක් කරමිනි. මොකක්ද ඒ යතුරේ කතාවයයි හාරා ඇවිස්සූ විට “දවසක් පන්තියේ යතුරු කැරැල්ල මම මෙයාට දෙන්න ගියා. එක පාරටම යතුර බිම වැටුණා. අපි දෙන්නටම පේන්නේ නැහැනේ. දෙන්නම එක පාරම යතුර ගන්න පාත් වෙනවා. ඒක දැනුනට පස්සේ දෙන්නම එක පාර නැඟිටිනවා. හැබැයි එක්කෙනකුටවත් යතුර අහුලගන්න බැරි වුණා. මේ විදිහටම දෙපාරක්ම යතුර අහුල ගන්න අපට බැරි වුණා. මේක දැනගත්තු පන්තියේ ළමයි මහ හයියෙන් හිනාවුණා.”

එදා ඇතිවෙච්ච බැඳීම කෙළවර වූයේ වසර එකොළහකට පස්සේ ප්‍රේමා නිමලසේනගේ මනාලිය ලෙස නිවසට කැන්දාගෙන ඒමෙනි. ඒ වන විට නිමලසේන සම්භාණ්ඩ සංස්ථාවේ රැකියාව නිරත වූ අතර ප්‍රේමා ලිප්ටන් තේ සමාගමේ රැකියාව කළේය. නිමලසේන හා ප්‍රේමාට නැවුම් බලාපොරොත්තු එක්කරමින් 1983 අවුරුද්දේදී සේපාලිකා දියණිය උපත ලැබුවාය. කුඩා කලදීම ඇයගේද පෙනීම සම්බන්ධව ගැටලුක් ඇති බව අවබෝධ කරගත් ඔවුහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූහ. එහිදී දියණිය පරීක්ෂාකර බැලූ වෛද්‍යවරයා වයස අවුරුදු දහයේදී කාච බද්ධ කිරීම කළයුතු බව පවසා ඇත. වයස අවුරුදු එකොළහ පිරුණු පසු කාචයක් බද්ධ කිරීම සිදුකර ඇත. නමුත් එම ශල්‍යකර්මය තුළින් ඇයගේ පෙනීමේ වෙනසක් සිදුනොවිණි. මේ සියලු අභියෝගයන් හමුවේ නිමලසේන හා ප්‍රේමා දෙමහල්ලෝ සේපාලිකා දියණිය පෙරපාසල් වයසේ සිට රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළු කළේය. නේවාසිකව එහි අධ්‍යාපනය ලැබූ සේපාලිකා අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන්ද සමත් වූවාය. තම පියාගේ ආභාසය ලැබූ ඇයටද කුඩා කල පටන් සංගීතය කෙරෙහි සුවිශේෂ හැකියාවක් පැවතිණි.

නිමලසේනටද ගී පද රචනය පිළිබඳ හැකියාවක් ඇත. රත්මලාන අන්ධ විදුහලේ සාහිත්‍ය සංගමයේ අදත් ගායනා කරන තේමා ගීතයේ ගී පද රචකයා ඔහුය. තම දියණියට හා බිරිඳට ගයන්නට යුග ගීතයක්ද රචනා කළ බවද ඔහු අප සමඟ පවසයි. ඉත්තෑපාන වැඩිහිටි සමිතියට ඔහු රචනා කොට දුන් ගීතය ප්‍රාදේශීය මණ්ඩල තරගවලින් ප්‍රථම ස්ථානය ලබා ඇත. අදත් ගම් ප්‍රදේශයේ බොහෝ දෙන‍ෙක් පිළිගැනීමේ ගීත රචනා කර ගන්නට නිමලසේන සොයා එයි. ඒ ඇඟිලි තුඩින් අතගගා ලීවද ඔහුගේ පද රචනාවල ඇති සාර්ථකත්වය නිසාය.

ගායනයටත් සේම වාදනයටද තම දියණියගේ ඇති හැකියාවන් දැඩි විමසිල්ලන් පසු වූ මවුපියෝ ඇය විධිමත් ලෙස සංගීතය හැදෑරීමට යොමු කළහ. අලුත්ගම ප්‍රදේශයේ සංගීත ආචාරවරියක වූ උඳුලා පෙරේරා යටතේ සංගීතය හැදෑරූ සේපාලිකා අද විදුලි ඕගනය හා සර්පිනාව වාදනයට එකසේ දස්කම් දක්වයි. තම හැකියාවන් දියුණු කරගත් මෙම පියා හා දියණිය විෂය ක්ෂේත්‍ර දෙකක් පිළිබඳ තම නිවසේ උපකාරක පන්ති පවත්වනවා යැයි පැවසුවහොත් පාඨක ඔබ මවිතයට පත්වනු ඇත. නමුත් සත්‍ය එයයි. කාව්‍යශේකරයේ පැවසූ ආකාරයට උගතමනා ශිල්පයෙන් අද ඔවුන්ට රැකවරණයක් ලැබී ඇත. නිමලසේන මහතා පාසල් දරුවන්ට නිවසේ ඉංග්‍රීසි විෂය සඳහා උපකාරක පන්ති පවත්වයි. සේපාලිකා දියණිය යටතේ දරු දැරියන් සංගීතය හදාරයි.

මේ කතා බහ අතරතුර තම දියණිය ඇමතූ නිමලසේන මහතා ගීත කිහිපයක් වාදනය කරන ලෙස ඇයට පැවසීය. එම ඉල්ලීම සතුටින් බාරගත් සේපාලිකා රාග කිහිපයක් ඉතාමත් මියුරු ලෙසින් වාදනය කළේය.

සමුගන්නට මොහොතකට පෙර ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු ඇසූ විට සේපාලිකා පැවසුවේ තව දුරටත් සංගීතය හැදෑරීමට තමන්ට දැඩි කැමැත්තක් ඇති බවයි. එය ගමේ සිට සිදුකළ නොහැකි බැවින් නගරයට යායුතු බව ඇඟේ අදහසයි. තම දියනියගේ අවිහිංසක බලාපොරොත්තුව ඉටුකිරීම වෙනුවෙන් නිමලසේන මහතා පියකු ලෙස තමන් ගන්නා උත්සාහය අප සමඟ පැවසීමටද අමතක නොකළේය.

"අපි උත්සාහ කරන්නේ කොහොමහරි මොරටුව රත්මලාන පැත්තට පදිංචියට යන්න. එහෙම ගියොත් විතරයි අපේ දුවගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. මම මේ ගැන ලිපි මගින් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කළා .අපිට ගෙයක් දෙන්න කියලා. මම බලාපොරොත්තු වෙනවා ඒ ඉල්ලීම ඉටුවේවි කියලා. එහෙම වුණොත් අපේ දරුවගේ අනාගතය ගැන බයක් නැතිව අපිට මැරෙන්න පුළුවන්"

නිමලසේනලා ජීවත්වන කුඩා නිවස ඇති ඉඩමටද නඩුවක් පවතින බවත් තමන් ජීවත්වන්නට කරන සටන අමතරව නඩු හබ සඳහා යෑමට සිදුවීම ගැන ඔහුට ඇත්තේ කලකිරීමකි.

දෑස පෙනෙන මිනිසුන් සමඟ උරෙන් උර ගැටෙමින් සමාජයට බරක් නොවුණු මොවුන් දෑස් පෙනෙද්දීත් සමාජයට බරක් වූවන්ට ආදර්ශයක් නොවන්නේද?

මාතෘකා