වැලි මිදුල

 ඡායාරූපය:

වැලි මිදුල

මහාචාර්ය ස්ටෙෆාන් හෝකින් සීයා ඉදිරි වසර 200 තුළ අපේ පෘථිවිය ගැන කියූ අනාවැකි හත

 

මහාචාර්ය ස්ටෙෆාන් හෝකින් සීයා ඉපදුණේ 1942දී එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ගමේ. අවුරුදු 21දී දරුණු ස්නායු රෝගයකට මුහුණ දෙන්න ඔහුට සිදු වුණා වගේම අංශබාග රෝගයෙයන් එක්තැන් වුණා. ලෝකයේ ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයකු වූ මහාචාර්ය ස්ටෙෆාන් හෝකින් ඒ අසනීප තත්ත්වයේ ඉඳගෙනම තම පර්යේෂණ කටයුතු සිදු කළේ විශේෂ පරිගණකයක උදව්වෙන්. 2018 දී මහාචාර්ය ස්ටෙෆන් සීයා මිය ගියා. එතකොට වයස අවුරුදු 76ක්. ඒ වෙනකොට විශ්වයේ කළු කුහර සොයා ගැනීම ගැන ඔහු නොබෙල් සම්මානයෙන්ද පිදුම් ලබලා. මේ තමයි මහාචාර්ය ස්ටෙෆන් හෝකින් සීයා ඉදිරි අවුරුදු 200 තුළ අපේ පෘථිවිය ගැන කියපු අනාවැකි හත.

අංක 07 : ජාන වෙනස් කළ එන්නත්වලින් මිනිසාටම හාන සිදු වන බව

මිනිසාගේ රෝග සුව කිරීම සඳහා සතුන්ගේ ජාන වෙනස් කර නිපදවන වෛරස් වර්ග අනාගතයේදී මිනිසාගේම පැවැත්මට හානිදායක වීම. උදා:- පිළිකා වැනි රෝග බහුල වීම

අංක 06 : ආගන්තුක ග්‍රහලෝක වලින් පැමිණෙන පිටසක්වල ජීවීන් අපේ පෘථිවිය ආක්‍රමණය කරන බව

අංක 05 : අපේ පෘථිවිය ඇතුළු විශ්වය අවසානය කරා ගමන් කරන බව

විශ්වයේ ආලෝකය අඩු වී විශ්වය ක්‍රමයෙන් අඳුරට ගමන් කිරීම මෙයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙනවා

අංක 04 : රොබෝවරුන් මිනිසුන් වෙනුවට පැමිණීම

කෘත්‍රිම දැනුම හා කෘත්‍රිම බුද්ධිය ලබා දී අපේ පහසුවට නිර්මාණය කරන රොබෝවරුන් ගෙන් මිනිසුන්ට හානි සිදුවීම

අංක 03 : න්‍යෂ්ටික අවි ආයුධ නිසා මිනිසුන් හා මිනිස්කම විනාශ වන බව

අංක 02 : ඉදිරි වසර 100 තුළ අපට ජීවත්වීම සඳහා වෙනත් ග්‍රහලෝකයක් සොයා ගත යුතු බව

පරිසර දූෂණය ඉහළ යෑම, වසංගත රෝග වේගයෙන් පැතිරීම, සම්පත්වල හිඟකම සහ ජනගහනය ඉක්මවා යෑම මෙයට හේතු වෙනවා.

අංක 01 : පෘථිවිය දැවෙන ගිනි බෝලයක් බවට පත්වන බව

ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා ඉදිරි වසර 600 ගත වන විට පෘථිවියේ උෂ්ණණත්වය ෆැරන්හයිට් අංශක 480ක් දක්වා ඉහළ යන නිසා සල්ෆුරික් අම්ලය වැඩි වීම මෙයට හේතුව ලෙස මහාචාර්ය හෝකින් සීයා පෙන්වා දෙනවා.

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය, ‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය.

..............................................................................................................................

 

රවිඳුගේ සිහිනය

කර්තෘ- කරුණා පෙරේරා

 

මෙය යොවුන් නවකතා පොතකි. එහෙත් අපට නිතර කියවන්නට ලැබෙන පොත්වලට වඩා වෙනසක් මේ පොතේ ඇත. වැඩිපුරම අපට කියවන්නට ලැබෙන්නේ ගම්බද ළමයින් ගැන හෝ රහස්පරීක්ෂක වැඩ කරන ළමයින් ගැන කතාය. එහෙත් මේ පොතේ තිබෙන්නේ කොළඹ නගරයේ කුඩා නිවසක ජීවත් වන ඉතා දුප්පත් ළමයකු ගැන කතාවකි. එය රවිඳු නමැති ළමයාගේ කතාවයි. ඔහුගේ නංගිගේ නම සමනලීය.

රවිඳුගේ තාත්තා රබානක් ගසමින් බස්වලට නැඟ සිංදු කියා ඉතා සුළු මුදලක් උපයාගන්නා කෙනෙකි. එම මුදල ඔවුන්ට කෑම ගැනීමටත් පාසල් පොත්පත් ගැනීමටත් ප්‍රමාණවත් නැත. ඒ නිසා රවිඳුගේ අම්මා පොහොසත් ගෙවල්වල වැඩපලවලට උදව් වී ඔවුන්ගෙන් ලැබෙන කෑම බීම ටිකක් රවිඳුටත් සමනලීටත් ගෙනත් දෙයි. ඒ අනුව ඔවුන් ඉතාම දුකෙන් ජීවත් වන පවුලකි.

රවිඳුගේ පාසල් මිතුරු මිතුරියන් අතර මිගාර, ගංගා, සුපුන් වැනි බොහෝ දෙනෙක් වෙති. නමුත් ඔවුන්ගේ දෙමාපියන් ඔවුන් රවිඳු සමග යහළු වී සිටිනවාට කැමති නැත. ඒ රවිඳුලා ඉතා දුප්පත් නිසාය.

ඒ වගේම රවිඳුගේ යහළුවන්ගේ දෙමාපියෝ ඔවුන් අමතර පන්තිවලට යවා, ගෙදරදීද හොඳින් උගන්වා විභාග සමත් කරවීමට උත්සාහ කරති. නමුත් රවිඳුට පාඩම් අසා ගැනීමට කිසි කෙනෙක් නැත. ඒ නිසා ඔහු තවත් අසරණ වෙයි.

රවිඳුගේ නංගි උත්සාහවන්ත ළමයෙකි. "අපට වඩා දුප්පත් ළමයි හොඳට ඉගෙනගෙන ලොකු තැන්වලට ගිහින් තියෙනවා." එසේ කියමින් ඇය තම අයියා දිරිමත් කරයි.

ජයග්‍රහණ ලැබීමට නම් උත්සාහයෙන් කටයුතු කළ යුතු බව මෙම කතාවෙන් කියවෙයි. මෙහි ඇතුළත චිත්‍ර ඇඳ තිබෙන්නේ ගාමිණී වීරසිංහ මාමාය.

[ෂෝන් යතින්ද්‍ර රාජපක්ෂ]

7 ශ්‍රේණිය F

කොළඹ රාජකීය විදුහල

 

..............................................................................................................................

 

ළමයින් අනාගත

බාර ගැනීමට නම්

ළමයින් රටක ජීවනාලිය යැයි කවුරුත් කියති. එසේ නම් ඔවුන් ඒ සඳහා හැඩගැස්විය යුතුය. ඒ සඳහා ඔවුන්ට හොඳ ශාරීරික හා මානසික සෞඛ්‍යයක් අවශ්‍ය වේ. නායකත්වය දැරිය හැක්කේ ඔවුන් නිරෝගී වූ විටය. විනයගරුක වූ විටය. ඒ ගැන ළමයින්ද වැඩිහිටියන්ද අවබෝධ කර ගත යුතුය.

[තරුෂි උමේෂා]

6-2 ශ්‍රේණිය, බෝමිරිය ජාතික පාසල.

 

..............................................................................................................................

 

ඇමේසන් අමකතද?

ඇමේසන් වනය ගිනි ගැනීම ගැන බොහෝ අය කතා කළහ. දැන් කාටවත් ඒ ගැන වගේ වගක් නැත. එවැනි තත්වයක් නැවත ඇති වීම වළක්වන්නේ කෙසේ දැයි කිසිවෙක් නොසිතති. ඇමේසන් පමණක් නොව ලොවපුරා පරිසර පද්ධතිවල ඉරණම මෙයයි. ලංකාවේ අපටද එය අදාළය. පරිසර විනාශය නිසා අනාගතයේ මිනිසා ඇතුළු සියලු සතුන්ගේද පැවැත්ම අවසන් වනු ඇත. ඒ වන විට පිළියම් යොදන්නට කිසිවකු ඉතුරු නොවනු ඇත.

[චතුර උදාර]

6 ශ්‍රේණිය, ශාන්ත ජෝශප් විදුහල, වෙන්නපුව.

 

..............................................................................................................................

කුඩලිගම

 

සිංහල කවි කලාවේ නොනිවෙන එළිය

ඔබගේ කිවි බව නිතැතින් පැහැදිලිය

මහදේ මේ උතුරන සිතුවිලි වලිය

කවියක් නොදී අද දෙන්නේ කඳුළැලිය

 

හද තුළ උතුරනා නොයෙකුත් හැඟුම් වැල

ජීවිත කතර මට ගෙනෙනා රුඟුම් කැල

ඒවා එකතු වී උතුරන නැඟුම් රළ

කවියක් නොවී සිත කරගති ලැගුම් හල

 

කවිකම කනට කොඳුරනු මට නිතර දැනේ

ඒ කවිකම මට නිතරම සුවය ගෙනේ

කවියක් ලියන්නට පෑනක් ගන්න දිනේ

මවගේ වදනින් කවි මළගමක් තැනේ

 

මා හද තුළ කවිකම උඩ පනින දිනේ

මවගේ පියාගේ මැසිවිලි කනට දැනේ

කරනුයෙ කිමද කවිකම යට නොයන තැනේ

මගෙ කම්මුල් මොහොතක් තෙත් බරව දැනේ

 

කවිකම පලක් නැත පවසන බිමක් මැද

මම කවි ලියන්නෙමි හැම බාධකය සිඳ

ඔබගේ සොඳුරු වුවනත මගෙ සිතේ ඇඳ

ගංගාවක් ව බැස යන්නෙමි ඉවුරු බිඳ

 

මවගේ හඬ තවමත් මගෙ කනට දැනේ

නොසතුටු පියාගේ මූණත් මැවී පෙනේ

අද මේ පාත් වූ හදවත හැඬූ හෙණේ

කවියෙක් වුණේ කිමදැයි මට කියනු මෙනේ

 

[අබ්දුල් උමාර් සහන් නෙත්මිණ]

10 ජී ශ්‍රේණිය

කොළඹ සහිරා විදුහල

 

..............................................................................................................................

 

 

 

කැවුම්

 

අන්දරේ දිනක් තම පියාට තම නුවණේ තරම පෙන්වීමට හිතාගෙන තැටියක කැවුම් දෙකක් තබාගෙන පියා ළඟට ගියා.

“අප්පච්චි මෙතන කැවුම් කීයක් තිබෙනවාද?”

පියා තැටිය මත කැවුම් දෙකක් පමණක් තිබෙන බව දැක “ඔතන තියෙන්නේ කැවුම් දෙකයි” යනුවෙන් කිව්වා. අප්පච්චී තමා දුන් ලනුව කෑ බව දත් අන්දරේ තවත් උද්යෝගීමත් වී මෙහෙම කිව්වා.

“අප්පච්චී වැරදියි. මෙතන තියෙන්නේ කැවුම් දෙකක් නෙවෙයි. තුනක්.”

“මට නම් පේන්නේ දෙකයි. පුතාට කැවුම් තුනක් කියලා ඔප්පු කරන්න පුළුවන්ද?”

“ඔව් ඔව් මට පුළුවන්. දැන් බලන්න. මෙන්න එකයි. මෙන්න දෙකයි. දැන් දෙකයි එකයි කීයද? තුනයි නේද? මෙතන කැවුම් තුනක් තියෙනවා.”

“හැබෑ නේන්නම්. මටයි වැරදුණේ. මෙතන කැවුම් ගෙඩි තුනක් තියෙනවානේ.” පරාජය පිළිගනිමින් පියා කිව්වා.

“අපි එහෙනම් මේ කැවුම් ගෙඩි තුන බෙදාගෙන කමු.” එසේ කියා පියා කැවුම් බෙදුවා.

“මේ කැවුම මට. මේක අම්මට. ඉතුරු එක පුතා කන්න.” අප්පච්චිව පැරදවීමට සිතුවත් අන්තිමට පැරදුණේ තමාම බව වැටහුණු අන්දරේට ලැජ්ජා හිතුණා.

..............................................................................................................................

 

 

හිස් පුරවමු!

 

පරම පවිත්‍ර ධවල පැහැය තවරාගත් රන්මැලිසෑ කොත්කැරැල්ල හරිත තුරැහිස් අතරින් උදෑසන පැහැබර අහස දෙස කර ඔසවා බලාගෙන ඉන්නවා. නැවුම් ඉර එළියේ උණුසුම්ම ආදරය ළඟ පුංචි දළුකොළ ඇහැඅරිද්දි, කහම කහපාට ඇහැළ මල් මා යන මාවත දෙපස ගස්වලින් පහළට එල්ලෙමින් සුළඟත් එක්ක ගොඩක් ලොකු කතාබහක යෙදෙනවා. ඇහැළ ගස්වලට එපිටින් පාර දෙපසම තියෙන කුඹුරු යායෙන් සුළඟ අරන් එන සුවඳ ලේ නහර පවා කිතිකවමින් ඇඟ පුරා දුවනවා. ඒ වෙන කිසිවක්ම නෙවෙයි, මල්වතු ඔයේ සිසිලසින් ජීවය ලබන මේ මිටියාවතේ සරුසාර පසින් හමන මඩ සුවඳ.

මම පාසල් මාවතට හැරුණා. දැන් නම් මඩ සුවඳ වෙනුවට දැනෙන්නේ, නාගරික පරිසරයේ සදාතනික පිළීගඳ! හැම තැනක්ම සුදෝ සුදු ඇඳුමින් සැරසුණ පාසල් ළමයින්ගෙන් පිරිලා. ලොකු කුඩා පාසල් බස්රථවලින් බැසගන්න ළමයින් පාසල් මාවත ඉදිරිපිට සීරුවෙන් හිටගෙන ඉන්න පාසල් තුනට වෙනවෙනම බෙදිලා වෙන් වෙලා යනවා. මමත් ඒ සියගණනක් දෙනාගෙන් එක් කෙනෙක්. පාසලෙන් නියම කරපු සපත්තු ජෝඩුවක් පැළදගෙන පාසලෙන්ම නියම කරපු මිම්මට මහපු නිලඇඳුමක් ඇඳගෙන පාසලෙන්ම නියම කරපු පොත් ටිකත් උස්සගෙන පාසලට යන තවත් එක ශිෂ්‍යයෙක්.

තමන්ගේ බරටත් වඩා විශාල පොත් බෑග් කරලාගත්ත පුංචි පංතිවල පුංචි නංගිලා මල්ලිලා පෝලිමේ පාසලට ඇවිදගෙන යනවා. එයාලව දකින විට මට සිහිවෙන්නෙ මාවම. දැන් නම් මගේ බෑග් එකේ විෂයන් තුනකම සටහන් ලියන්නට තියෙන්නෙ එක පොතයි. ඒ දැන් අපේ ගුරුවරු උගන්වන අතර රවුමක් ඇවිත් පොතට උඩින් එබිලා ටොකු අනින්නෙ නැති නිසා. ඒත් හයේ හතේ අටේ පන්තිවල ළමයි තවමත් විෂයන් අටක පිටු දෙතුන්සීය ඉක්මවන තරමේ පෙළපොත් හා අභ්‍යාස පොත් ඔසවාගෙන යා යුතුයි. ඒ දවස්වල මම ඉස්කෝලෙ ආපු හැමදවසකම ඔසවගෙන ගියපු ඒ බර මට නම් ජීවිත කාලෙටම අමතක වෙන්නෙ නෑ. මොකද කියනවනම් ඒ බර ගැන සදාතනික සටහනක් මගේ දකුණු අතේ ඉතුරුවෙලා තියෙනවා.

ඒ වෙනකොට මම හයේ පන්තියේ. අකමැත්තෙන් වුණත් සුවිසාල පොත් බෑග් එක හැමදාකම උස්සගෙන යන්න මටත් සිද්ද වුණා. මම ඉස්කෝලෙ ඇරිල ගෙදර ගියේ පයින්. අවුරුදු ගාණකින් අලුත්වැඩියා නොකරපු තාර පාරෙ ගල් ගැලවිලා පාරෙන් උඩට හැමතැනකම උල් උල් මතුවෙලා තිබුණා. (තවමත් එහෙමයි) වාහනයකටවත් හරියට යන්න බැරි ඒ පාරෙ ගල් උඩින් පැන පැන දුවපු දවසක මාව කකුල් පැටලිලා පාර මැද වැටුණා. ඒක පුංචි අනතුරක්. ඒත් මගේ පොත් බෑග් එක වැටුණේ උල් ගල් අතරට හිරවෙලා තිබුණ මගේ පුංචි දකුණු අත මතට. දකුණ අත බිඳුණා! ඒකට ශෛල්‍යකර්මයකුත් කළා. ඒත් ශෛල්‍යකර්මය කරපු අතේ තුවාල කැලළ තවමත් එහෙමමයි. ඉදින් අපේ විෂය නිර්දේශවල බර පුංචි මනසට විතරක් නෙවෙයි ගතටත් දරන්න බැහැ කියන එක ඒ දෙයින්ම පේනවා නොවෙද?

මම අපේ පන්ති කාමරයට ඇතුළු වුණා. ඒත් සිසුන් පනහක් ඉන්න අපේ පන්තිකාමරය සම්පූර්ණයෙන්ම හිස්. අපේ පන්තිය විතරක් නෙවෙයි කලා, වාණිජ, විද්‍යා, ගණිත බේදයක් නැතිව දහතුන ශ්‍රේණි පන්තිකාමර සෑම එකක්ම හිස් ! එකම හේතුව ටියුෂන් පන්ති.

අපට නිදහස් අධ්‍යාපනයෙන් කොතරම් අවස්ථා සම්පත් ලබා දීල තිබුණත් පාසලට වඩා අද අපට ටියුෂන් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත්තේ බොහෝ විට පාසල් ගුරුවරුන්ගේ නොහැකියාව හෝ වෙනයම් දෙයක් නිසා නෙවෙයි විෂය නිර්දේශයන්හි බරසාර බව නිසයි. පාසල් කාලච්ඡේද ප්‍රමාණය විතරක් ආවරණය කිරීම තුළින් කිසිසේත්ම අවසන් කර ගත නොහැකි විෂය නිර්දේශය සාර්ථකව අවසන් කිරීමට නම් දිනකට පැය හය හතක් වැඩ කරන ටියුෂන් පන්තිය අත්‍යන්තයෙන්ම අවශ්‍ය වන බව සිතන පාසල් ගුරුවරුත්, අපි පාසලට වඩා ටියුෂන් පන්තියට මූලිකත්වය දීම ගැන නිහඩයි.

කෙසේ වෙතත් මා හිතන හැටියට නම් මෙලෙස සෑම උසස්පෙළ ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක්ම පාසල අමතක කර ටියුෂන් පන්ති යාම අනවශ්‍යයයි. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකු සුළු වශයෙන් හෝ තව කෙනෙකුට සමාන නොවන නිසා ඇතැම් සිසුන්ට අධ්‍යාපනය තුළදී යම් යම් දේ එක්වරම ග්‍රහණය කර ගත නොහැකි විය හැකියි. බොහෝ දෙනාට පහසු වන විභාග සමහරෙකුට ඉතා අපහසු වන්නේත්, බොහෝ දෙනාට අපහසු විභාග සමහරෙකුට ඉතා පහසු වන්නේත් මෙකී අධ්‍යාපනය තුළ වන පුද්ගල විවිධත්වය නිසාමයි. එබැවින් දුර්වල සිසුන් උදෙසා ටියුෂන් සංස්කෘතියක් පැවතීමේ වරදක් නැති නමුත් 'හැමෝම යන නිසා' අප කව්රු කව්රුත් පාසල අමතක කර ටියුෂන් යෑම නොකළ යුතුයි.

 

..............................................................................................................................

 

 කවිෂ් ශාදේව් කුමාරසිරි 6 ශ්‍රේණිය, ආනන්ද විද්‍යාලය

 

 

..............................................................................................................................

 

 

ඉමේෂා ගගනි 3 ශ්‍රේණිය, කෑ/පුවපිටිය කනිටු විදුහල.

 

 

..............................................................................................................................

 

 

ප්‍රමාෂි නවෝද්‍යා 5 ශ්‍රේණිය, ගා/පොරවගම කනිටු විදුහල.

..............................................................................................................................

 

ලෝරා සෙනෙවිරත්න 3 බී, මියුසියස් විදුහල.

 

 

 

 

 

මාතෘකා