යළි වරද්දා නොගත යුතු නැකත වැරදිණි

 ඡායාරූපය:

යළි වරද්දා නොගත යුතු නැකත වැරදිණි

කවියක වාහකය වන්නේ ආකෘතියයි. භාෂාව කවියේ ප්‍රකාශන මාධ්‍ය වනවා සේම රස ජනනයක් සහිතව රසිකයා වෙත කවිය රැගෙන යන බහලුම වන්නේ ආකෘතියයි. සාමාන්‍යයෙන් අප තෝරාගනු ලබන අත්දැකීම ප්‍රකාශ කිරීම සඳහා සුදුසු ආකෘතියක් පිළිබඳව අත්දැකීම විසින්ම ඉඟි කරනු ලබයි. කෙසේ වෙතත් එය නිදහස් ආකෘතියක්ද එසේ නැත්නම් සිව් පද ආකෘතියක්ද යන්න තීරණය කළ යුත්තේ කවියා විසිනි. අත්දැකීම ප්‍රකාශනයේදී කවියා හෝ කිවිඳිය කිසියම් ආකෘතියක සිරකරුවෙකු බවට පත් වුවහොත් රස ජනනය හීන වී අත්දැකීම් ප්‍රකාශනය දියාරු වී යෑමට බෙහෙවින්ම ඉඩ තිබේ. මේ නිසා කවියා ආකෘතියේ වහලෙකු නොවී ආකෘතිය කවියාගේ වහලෙකු බවට පත් කරගත යුතුය.

මනෝරි කෞෂි දිසානායක සිව් පද ආකෘතියට වඩාත් ඇලුම් කරන තරුණ කිවිඳියකි. ඇයගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන 'නැකත වැරදිණි' කාව්‍ය සංග්‍රහය තුළද මේ ඇඟෑලුම්කම බොහෝ තැන්හි දකින්නට ලැබේ. මනෝරි විශේෂයෙන්ම කවියේ රිද්මය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වයි. එය එක් අතකින් රසෝත්පත්තිය සඳහා වැදගත් වේ. නමුත් රිද්මය ගැන හෝ ආකෘතිය ගැන හෝ ශබ්ද රසය ගැන හෝ අනවශ්‍ය අවධානයක් යොමු කළහොත් කවියේ අර්ථ රසය අප නොදැනීම ගිලිහී යෑමට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසා එය නිවැරදි මාත්‍රාවකින් සමීකරණ ගත කළ යුතු වේ.

නිබ්බුත පද ගයයි මා යන අතර මග

මර දූතියන් රඟ දෙයි දෛවයක අග

මාළිග තුනක් ඇති මුත් ඉස්මුදුනෙ නැග

කූඩුව අගෙයි සැනසුම එහි කිරිලි ළඟ

(බුදු බව එපා - පිටුව 15)

මෙය බුදුන් ගේ අභිනිෂ්ක්‍රමණය නුතන අත්දැකීමකට ගළපන්නට ගත් උත්සාහයකි. මනෝරි පවසන්නේ නූතන පියාට බුදුන්ට මෙන් ගිහි ගෙය හැරදා යා නොහැකි බවයි. නමුත් කවියේ අර්ථ රසයට ආකෘතිය හා ශබ්ද රසය නිසා යම් හානියක් සිදු වී ඇත. 'දෛවයක අග', 'ඉස්මුදුනෙ නැග' වැනි වදන්වලින් ඇය හඟවන්නට උත්සාහ කරන්නේ කුමක්දැයි නොවැටහේ. එය හුදෙක් සිව්පද කවියේ මාත්‍රා ප්‍රමාණය සමාන කර ගැනීම සඳහා යෙදූවක් දැයි සැක සිතේ. විශේෂයෙන් කරුණා රසය දැනවිය යුතු අත්දැකීමක යොදා ගන්නා වදන් එම රසයට හානි නොපමුණුවන ඒවා විය යුතුය. 'සුළඟට හති', 'නිවේදිකාවෝ (සමහරක්)', 'ගැබ්බර තනි ඇතින්න', 'සැරදේ ගුරුදේවයාණනි', 'මයෙ දුවේ නුඹ' වැනි සිව් පද විරිත භාවිතා කරන තැන් වල ඇගේ මේ සිරවීම දකින්නට ලැබේ. උදාහරණයක් ලෙස මේ කවිය බලන්න.

පයේ වැදිතත් අනුන් සතු මිණි අයින් කරගන් ඔය දෙපා

ළයේ නැග එන සිතුම් කියනෙම් හෙටත් දැමුවත් මුව කපා

දැයේ ඉපැදෙන මිනිස් වර්ගය දුටිමි පාගා යන සපා

මයේ දුවේ නුඹ, පුරුෂාධිපත් ඇති ලොවට කවි දෙනු එපා

(මයෙ දුවේ නුඹ - පිටුව 45)

වර්තමාන කවිය අත්දැකීම් පාර්ශවයෙන්ද, බස සකසා ගැනීම් අතින්ද, ආකෘතිමය නිදහස් වීම්වලින්ද බොහෝ ඉදිරියට පැමිණ ඇති බව ඇතැම් ප්‍රතිභාපූර්ණ නවක කවි කිවිඳියන් ගේ නිර්මාණ විමසන විට පෙනේ. ඒ නිසා පැරණි අත්දැකීම්වල පමණක් හෝ ආකෘතිමය සිරගෙවල් වල හෝ සිර වී සිටීම කවියේ ඉදිරි ගමනට බාධා පමුණුවන්නකි.

මනෝරි ගේ 'නැකත වැරදිණි' කෘතියේ ප්‍රතිභාසම්පන්න කවි කිහිපයක්ද දැකිය හැකිය. 'පහන ගිනිබත් වුණි' වැනි නිර්මාණයක් නූතන අත්දැකීමක් පාදක කරගෙන රචනා වූවකි. ළාබාල දියණියක ගැබ් ගැනීම නිසා කම්පාවට පත් වන මවකගේ දෘෂ්ටිකෝණයෙන් ලියැවෙන මේ කවිය අප තුළද යම් කම්පනයක් ඇති කරන්නට සමත් කවියකි.

සලෙළ බඹරුන් රඟන වන පෙත

පරිස්සම ගැන බිය දැනී

දෙයියනේ මයෙ ඇස් ඇරෙන්නත්

පහන ගිනිබත් වුණ හැටී

(පහන ගිනිබත් වුණ හැටී - පිටුව 16)

නමුත් කවිය අවසන් කෙරෙන පද්‍යයේදී මනෝරි, මවගේ මුවට නගන මේ වදන් පෙළ නිසා කවියේ සමස්ථාර්ථයට හානි පැමිණේ.

ළපටි වැඩි ඇති තාම කිරි දත්

වචන පැටලුණ සාවියේ

පොළොවෙ නොගසමි මගේ පියයුරු

රැක ගනින් දුව, මගෙ දුවේ.

'මාසෙ දින හරි' වැනි කවියක ඇය කතා කරන්නේ වැඩවසම් සමාජයේ කාන්තා ලිංගික අපහරණය ගැනයි. මෙය නව්‍ය අත්දැකීමක් නොවුණද ඇය අත්දැකීම ප්‍රකාශ කරන ආකාරයේ යම් නැවුම් බවක් දැකිය හැකිය.

කරපිංච නැටි පැලඳි කන් පෙති

ලොකු හාමු හෙමිහිට කොනිත්තා

අරුංගල් මං අරන් දෙන්නම්

කිව්වේ අම්මේ දත් විලිස්සා

(මාසෙ දින හරි - පිටුව 19)

'පොලී මුදලාලි', 'නැකත වැරදිණි', 'ඩිවෝස් වෙන්න බෑ මහත්තයෝ', 'රාගම තේවත්ත පල්ලිය ළඟ', 'නොහික්මුණු රාත්‍රිය', 'සහෝදරයා මිය ගියේය', 'මහ ගස්', 'පිළිකාව' වැනි නිර්මාණ අලුත් අත්දැකීම් නොවූවද ඉදිරිපත් කරන ආකාරයේ යම් නැවුම් බවක් දිස් වේ. එහෙත් ඇතැම් තැනෙක ඇය උපයෝගි කරගන්නා වදනක් දෙකක් සමස්ත නිර්මාණයටම හානි පැමිණවීම අපරාධයකි.

හෝටලේ බිල පොඩි වුණා අත

දොරෙන් එබි උඹෙ මූණ දැක්කම

මටත් ටිප් එක ලැබෙන හින්දයි

උ‍ඹේ කුස ගිනි දැනෙන හින්දයි

පාට් ටයිම් ලෙස තෝර ගත්තේ

සළෙල උන්ටම දිය අදින එක

(නැකත වැරදිණි - පිටුව 26)

අත්දැකීමක් නිර්මාණයක් බවට පෙරැලීමේදී අත්දැකීමට ආගන්තුකව සිට එය ප්‍රතිනිර්මාණය කරණ විට රසිකයාටද එය දුරස්ථ බවක් දනවයි. සිදුවිය යුත්තේ අත්දැකීම තුළ සිට නිර්මාණය කිරීමයි. එවිට එය වඩාත් පිරුණු නිර්ව්‍යාජ නිර්මාණයක් බවට පත් වේ. ඒ පිළිබඳවද මනෝරි සියුම්ව සිතන්නේ නම් මැනවි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා