කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

සඳලප

තන් දෙකක් මොකටද
කිරි දතක් නොවැදුණ.....

බැදලත් අවුරුදු තුනක් ගිය මාසෙට
ලකුණක් එහෙම නැතිවද
වෙරළු ගැට කන්න ආසද
බාරයක් වුණොත් නරකද
පොඩි කෙල්ලටත් මාස තුන හරි ගිය පෝයට
තනිවුණ එක තමයි වැරදි වුණ වෙලේ ගෙට

අපිට නෑනෙ මෙහෙම ලේලිල
කියනවා ඇහෙන නෑහෙන ගාණට
බලාගෙන මෙගා ටෙලිනාට්‍යක
ඉන්දියන් නිළියගෙ චරිතය
මදැයි මැරෙන්නට කලින්
බලන්නට හිටිය මුනුපුරෙක්

මට උහුලන්න පුළුවන් ඒ ඔක්කොම

රත්තරන් මැණික්වල පලුදු තැන් නැතිවද
බදාගෙන ආදරෙන් කිව්වෙ ඉස්සර ඔබමද
තන් දෙකක් මොකටද කිරි දතක් නොවැදුණ
ෆෝන් එක බලාගෙන දැන් හිමින් මුමුනන
ඔයත් කියනා එකයි දරන්නට බැරි මට

මහ රෑට කාටද හිමිහිට මුමුනන
නෑහුණ ගානට මං ඉතින් නිදියන
පෙනුණාට ඔය තරම් ලස්සනට පුරහද
දන්නවද රත්තරන් හැමතැනම සඳලප

[නිලක්ෂි වික්‍රමසිංහ]


28 වරක් 1

ගෙවී අවසන් රැයක්
ඉවසගන්නට බැරිම තරමට
යටිකයේ දරුණු රිදුමක්
හඳ කැරකිලා පොළොව වටේ වටයක්

"මොකද තව නිදි
හදන්නෙ නැතිද තේ එකක්"
ඉල්ලීමක් නෙමෙයි
ඒක එයාගෙ අණක්

"මට ටිකක් අමාරුයි අද
හදාගන්නවද තේ එකක්"
කියන්න හිතුණත් එහෙම
ඒකත් මැරුණ සිතුවිල්ලක්

"කඩ කෑම කන්න බෑ
උයන්නෙ නැතිද බත් ටිකක්"
එයා එහෙම කියද්දි
කොහෙද නිදාගෙන ඉන්න හිතක්

"කෝ මැද්දෙ නැතිද
තවමත් කමිසයක්"
ඒකත් ඊතලයක්
වගේ සැර වචනයක්

පිටවෙලා යද්දිවත්
දුන්නනම් නලළට හාදුවක්
දැනෙන්නට තිබුණා හිතට
පුංචි හරි සහනයක්

මතුපිටින් පෙනුණාට
හිත නිවෙන රූපයක්
ගෑනියෙක් කියන්නෙම
වේදනාවල එකතුවක්

[සමීර මදුසංක]


පින්තූරය

පින්තූරයකට,
පවා දිය හැක්කේ
මොහොතක හැඟීමක
මතකයක් මිස

සදාකාලික,
නොවෙනස් වන හැඟීමක
මතකයක් නොවේ

[ශාමිනී නටාෂා]


හංසියකගේ ලියමන...

දිය වෙන්කරන් කිරි විතරක් බීපු මට
තේ කහටමයි තිබුණේ මෙහෙ තිබහකට
දුක ඇති තමයි මේවා ඇහුවම හිතට
මේ ටික කියන්නෙත් නොකියා බැරි කමට

තේජස රැඳුණු පියපත් එකිනෙක වැටිණි
නිල්වන් දිගැස් නිතරම කඳුළින් පෙඟිණී
සුද ඉතිරිව තියෙන්නේ තටු යට පමණී
නැන්දම්මා කියන්නෙම මට කණ කෙකිණී

නිල් විල් වලින් අපි මුළු දවසෙම නෑව
බිල්පත් ලැබී තිබුණද අම්මා ගාව
දිය නූලකට පොඩි ටැප් කටකින් ආව
කන්නට හදනවා මෙහෙ අක්කලා මාව

දුකකට හඬන්නටවත් නිදහසක් නැතී
මෙනිවස බිතු පවා ගතු කේලම් කියතී
එකමෙක හිතයි තිබුණේ තෙතමනක් ඇතී
ඈ බැළලියකි පෙන්වූ ආදරේ ගතී

සිරිතේ පරිදි කර අන් අයෙකුට නෝනා
දෙන්නට කලින් මට දන්නන්නට තිබුණා
කරදර නොකර එහෙනං නොකියම පීනා
ගමනක් යන්න තිබුණා ආපහු නේනා

[රසිකා ප්‍රනාන්දු]


මෙවන් වූ දිනයක්

විසල් වූ අහස් කුස දිය කර
සැලේ අළු වලා කැටිති දිය බිඳු ලෙස
කදුළු මෙන් බේරෙයි කොපුලෙහි
සලිත කර සිත කවි මෙන්

මෙවන් වූ දිනයක්
මතක් කළ හැක මට අද මෙන්
වැහි සීතලට යටින්
මතකයේ ගිනි උදුන් දැල් වේ
දුම් වැදී ඇස්ද රතු වෙයි

මෙවන් වූ දිනයක්
මතක් කළ හැක මට අද මෙන්
දෙතොල් පැහැ කුඩයක් යට
වැළඳ ගැනීම් බොහෝ විය
සැඩ කුණාටු අතර
දොතින් රැකගත්
ඉටිපහන් සිලක් විය ප්‍රේමය

කුණාටු මාරුතය රණ ගී ගයයි,
කඟපත් පලිහ ලෙලවයි

මෙවන් වූ දිනයක්
මතක් කළ හැක මට අද මෙන්
රත් පැහැ කුඩය චණ්ඩ සුළඟට අසුව
අතුරුදන් විය ඈත ක්ෂිතිජය අගින්

මා හදගැස්ම තවමත්
අහස්කුස සිසාරා
ඇගේ සවන් පත් සොයයි
ඇගේ ඇස්වල ඡායාව
දැල්වේ නිවේ අඩඳුර අතරින්
අතරමන් වූ තරු මෙන්

ඔව්,
මෙවන් වූ දිනයක්
මතක් කළ හැක මට අද මෙන්

[තරින්ද්‍ර ගලහේන]


ආවරණය...

ආවරණය කරන ලද දෑසකින්
නිරාවරණය වූ ලෝකය දෙස බලමි...

අදිසි පඩු පාට තොල් අග
තබාගෙන සුසුමක්
පින්තාරු ඇස් පියන් වේගයෙන් තටු සලන
රතු පාට සිනාවක දෑස් මදකට නවතමි...

තද කොට බැද දැමූ කෙස් රොදක්
තබාගෙන හිස මත
සුළඟට ඔහේ පාවයන කෙහෙ රොදක
දෑස් පා කර හරිමි...

මඳක් හිස පාත් කර
සීරුවට ඇවිද යන වීදියක
දෑත් රිසි සේ පාකොට, දුර දුවන ගමනක
දෑස් මඳකට නවතමි...

අහෝ...දෙවියනි...
වසා අගුලු ලා සියලු සිහින
ස්වර්ගස්ථ විය යුතුද?
නිරාවරණය වනු පිණිස...

[අනුත්තරා කොඩිකාර]


රහස්

රහස් මියැදුණු මොහොතක
සිතිජ වැලපුම් රේඛාව බිඳ
සුළඟ හා වෙළෙමින් රඟන
සිතිවිලි රුවලකි ස්පර්ශ නොවන

නුසුන් පෙණ පිඩැති වෙරළ මත
සැතපී ළවැලි සුව විඳ
වහල් වැලි බැමි මත ඇවිද
පොළා පනී ආදරේ රළ

විසල් දියඹෙහි නවාතැන් දෙන
සියලු රස කලම්බා දිය වැලට ගෙන
එකම ලුණු රස දිව අගට දෙන
අහස හා සස්වාමික වූ සයුර මම

[වින්යා ජයසේකර]

මාතෘකා