කවුරුන්ද ඉතින් මා?

 ඡායාරූපය:

කවුරුන්ද ඉතින් මා?

කවුරුන්ද මා දරුවකු මිස, තුටුපහටු වන එක ලෙසා?
මගේ නම යළි යළිදු ඇසෙන හඬ නිහඬවම අස අසා:
සීරුවෙන් සිට සිටිනෙමි අසා - ඉන් වෙහෙස නොදැනෙන නිසා

එසේමය ඔබටත් ඔබේ නමත
සිතුවාද අන් කිසිත් එහි නැත කියා
නෙක වරනැගුම් දෙක තුනක් හැරපියා?
(ප්‍රකට ඇමෙරිකානු කවියකු වූ වෝල්ට් විට්මන් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

වෝල්ට් විට්මන්
ඇමරිකානු කවියකු, විචාරකයකු හා පුවත්පත් කලාවේදියකු වූ ඔහු වර්ෂ 1819 මැයි 31 වැනිදා ලෝන් අයිලන්ඩ් දූපතේ හන්ටින්ටන් නමැති ප්‍රදේශයේදී උපත ලැබීය. ඇමෙරිකානු කාව්‍ය ක්ෂේත්‍රය තුළ වඩාත්ම කැපීපෙනෙන කවියා ලෙස ඇගයීමට පාත්‍රව සිටින ඔහු නිදහස් කාව්‍ය සම්ප්‍රදායේ පියා ලෙසද සැලකෙයි. ඔහු නිර්මාණකරණයේ යෙදී සිටි කාල වකවානුව වන විට ආන්දෝලනාත්මක යැයි සැලකුණු කාව්‍ය නිර්මාණ රැසක් ඔහු විසින් රචනා කරන ලද අතර, විශේෂයෙන්ම 'ලීව්ස් ඔෆ් ග්‍රාස්' (Leaves of Grass) යන නමින් පළ වූ ඔහුගේ කාව්‍ය නිර්මාණ සංග්‍රහය දැඩි සේ ලිංගික කරුණු ඇතුළත් අසභ්‍ය ප්‍රකාශනයක් ලෙසද සලකනු ලැබිණි. ප්‍රථම වරට 1855දී ඔහුගේම ප්‍රකාශනයක් ලෙසනිකුත් වූ එම කෘතිය 1892 වසරේ ඔහු මියයන තුරුම ඔහු අතින් වරින්වර සංස්කරණය විය. දීර්ඝ කාලයක් කාව්‍යකරණයේ යෙදී සිටි ඔහු 1892 මාර්තු 26 වැනිදා මියගියේය. මේ වසරේ මැයි 31 වැනිදාට ඔහුගේ 200 වැනි ජන්ම සංවත්සරය සැමරෙයි.
[අජිත් නිශාන්ත]

මාතෘකා