සුන්බුන්වැ ගිය ජීවිත අතර ඇවිද ගියෙමි

 ඡායාරූපය:

සුන්බුන්වැ ගිය ජීවිත අතර ඇවිද ගියෙමි

එදා උදෑසන අපට ඉතුරු කොට ගොස් ඇත්තේ සුන්බුන් වැ ගිය ජීවිත පමණි. ඒවා ගැන මා ලියන්නේ මොනවාද? මම අද උදෑසන අවදි වූයේ මීට මසකට පෙර මගේ ජීවිතය හා දැන් මගේ ජීවිතය අතර ඇති වෙනස මෙනෙහි කරමිනි. මට මගේ ආදරණීයයන් අහිමි වී තිබේ. මට මගේ නිදහස අහිමි වී තිබේ. මට මගේ මිත්‍රත්වයන් අහිමි වී තිබේ. කණපිට හැරී ගිය ජීවිත දිනෙන් දින මට මුණ ගැසෙමින් තිබේ. ජීවිතය අනියත බව හැබෑවකි. එහෙත් මගේ ජීවිත කාලය තුළ නැවත නැවත මිනිසුන්ගේ ජීවිත හාරා පාදමින් මෙලෙස ඇවිද යන්නට වේ යැයි මා සිතුවේ නැත.

නළලේ විභූති ඇඳි හුරුබුහුටි ඔහු පියාගේ අතේ එල්ලෙමින් පල්ලියේ ගේට්ටුව අසලට පැමිණියේය. මා සිටියේ සුන්බුන් අතර ඇවිදිමිනි. මම ඔහුට අත වැනුවෙමි. ඔහු හීන් හිනාවක් සලමින් මා අසලට පැමිණියේය. මඩකලපුව සියොන් දේවස්ථානයේ අසල්වැසි නිවසේ මව, පියා සහ වැඩිමහල් සොයුරිය සමඟ ඔහු පදිංචිව සිටියේය.

ඔයාගේ නම මොකක්ද?

‘ඉමේයානන්’

ඔහු ශබ්දය නොනැඟෙන සේ මට කීවේය.

වයස?

14යි.

ඔහු කඩිනමින් කීවේය. දැන්ම ඔහු මා සමඟ හිතවත් වී ඇත. “මං දැන් එනකොට බැනර් එකේ දැක්කේ. එදා මගේ අතට චූටි බබෙක් දුන්නනේ ඉණිමගෙන් උඩ ඉඳලා. එයාගේ අත ළඟ චූටි ලේ පැල්ලමක් විතරයි. කොහේවත් තුවාල තිබ්බේ නෑ. ඒ වුණාට හෙල්ලුණේවත් නැති හින්දා මං බයට අම්මගේ අතට දුන්නා ටක් ගාලා. එයාගේ රූපේ තිබ්බා බැනර් එකේ දැන්. මැරිලා කියලා දැනන් හිටියේ නෑ මං. යනකොට ඔයාට පෙන්නන්නම්”

ඔහු කියාගෙන ගියේය. මා ගල් ගැසිණි. ඒ ජීවිතය. ඔහු ඒ කියන්නේ හුස්ම ගත් ජීවිත ගැනය. දැන් එවන් කතාවලින් මගේ කන් අගුල් වැටී තිබේ. ඒ නිසාම යළිත් ඒවා ඔබට නොලියමි. ‘ඉමේයානන්’ ප්‍රමිලාගේ එකම පුතුය. ඔහු පල්ලියේ ඔබ මොබ සැරිසරමින් මේ ඉතුරුව ගිය කැළැල් දෙස බලයි.

“මැවිලා පේනවා මට. මායි තාත්තයි බයික් එකේ ඉස්සෙල්ලම ආවේ පල්ලියට සද්දෙයි දුම් යන්නේ ඇයි කියලයි බලන්න. දුව රෑට බය වෙලා දවස් ගාණක් රෑ නිදා ගත්තේ නෑ. පල්ලිය ඉස්සරහින් යන්න බැරුව තිබ්බ නිසා අපේ ගේයි පල්ලිය අතරෙයි තිබ්බ පිටිපස්සේ තාප්පේ කැඩුවා අපි මිනිස්සුන්ව ගන්න. මං හිතුවේ ෂෙල් එකක් කියලා. ඉස්සර ඒ සද්දේ හුරුයි. ඒත් අවුරුදු 10කට පස්සේ එහෙම වෙන්න විදියක් නෑනේ. පස්සේ තමයි පල්ලියේ දුම් යනවා දැක්කේ. මං මහත්තයාට කිව්වා ඉක්මනට ගිහින් බලන්න කියලා. පස්සේ අපි ඔක්කොම ආවා.”

එතැන් පටන් ඔබත් මමත් දන්නා කතාවය. ඇතැම් විට නොදන්නා කතා ඇතුළේ ඔබත් මමත් වරු ගණන් හොරෙන් කඳුළු පිස දමමින් දිවා රෑ මාසයක් පුරා අසන කතන්දරය. ජීවිතය තත්පරයකින් වෙනස් වී තිබේ. මා ජීවිත අහිමිව ගිය දරුවන්ගේ අම්මාවරුන්, සහෝදරයන්ගේ සහෝදරියන්, සැමියන්ගේ බිරින්දෑවරුන් හමුවීමට නොගියෙමි.

අහිමි වීම් ගැන වැළපෙමින් සිටින මිනිසුන්ගෙන් මා නැවත අසන්නේ මොනවාද?

ඒවා අසන්නට මට දිරියක්ද ඒවා වචනවලට පෙරළා දහස් හිත් පාරන්නටද මට ඕනෑ නැත. එහෙත් ඒ වෙනුවට ඔවුන් ඉතිරි කොට ගිය පුංචි පුංචි මතක සමඟ සැරිසැරුවෙමි. පල්ලියේ තැනින් තැන ඇත්තේ ඒවාය.

ඒ අතර එක්කෝ තැනින් තැන වැටී ගිය බාටා සෙරෙප්පු කෑලිය. නැත්නම් දේව වැකි, පැන්සල්, පෑන්, පොත්පත්ය. නැත්නම් පාස්කුව වෙනුවෙන්ම මිලදී ගන්නට ඇතැයි සිතිය හැකි සපත්තු, කාසි, දැවී ගිය ෆොටෝ කෑලි අතර මිනිසුන්ගේ ලේ තැවරී දැන් කළුව ගොස් ඇති පොළොව මම දුටුවෙමි.

එදා උදෑසන දේවස්ථානය කොහොම තියෙන්නට ඇද්ද?

දරුවන්ගෙන් පිරී ඉතිරී ගිය, සිනහ රැලි ඇසෙන, ගීතිකා ගැයෙන, සැරසිලි, පහන්, සුවඳ පිරි ජීවයකින් මේ භුමිය වෙළාගෙන තිබුණු බවට ඕනෑ තරම් සාක්ෂි මට හමු විය. ඒ බොහෝ තැන්වලින් මගේ කැමරා කාචය මම හිතා මතාම ඈත් කළෙමි.

ඒ අතර පාස්කු සැමරුමට එදා සකස් කර තිබු ආහාර තැනින් තැන පනු ගහනයට යටත්ව තිබෙනවා මම දුටුවෙමි.

දෙවියන් කොහිදැයි මම කල්පනා කළෙමි. එයට පිළිතුරක් මම නොදනිමි. ඒ වෙනුවට මා දුටුවේ නරුමයන් ක්ෂණයකින් විනාශ කළ මනු ලොවය.

මීට පෙර බුලට් වැදී හිල් වී ගිය බිත්ති මා වැඩි හරියක්ම දැක ඇත්තේ උතුරේ හෝ වන්නියේය. දැන් ඒවා සුලබ ලකුණු වී දැයි මට සිතේ. පිපිරීම හමුවේ මේසා විශාල කොන්ක්‍රීට් හා දැවැන්ත ගල් බැමි පළුදු වී ඇති තරමට එහි සිටි මිනිසුන්ගේ ලේ මස් ඇට නහර ගැන මා ඔබට අමුතුවෙන් ලිවිය යුතු නොවේ.

“මං එනකොට බයික් එකක් ගිනි ගන්නවා. ඉස්සෙල්ලම කළේ ඒක අයින් කරන එක. ගින්දරට පුපුරලා යන නිසා ඒක අයින් කළා. මගේ අතේ මිනිස්සු 3 දෙනකු විතර නැති වුණා. අපි පුළුවන් තරම් දේවල් කළා. කවුරුත් හරියට දැනන් හිටියේ නෑ මොකද වුණේ කියලා. බෝම්බයක් කියල නම් කීයටවත් මං හිතුවේ නෑ. එක පාරකුත් පල්ලියේ සවුන්ඩ් සිස්ටම් එක පිපිරිලා ඔය වගේ සද්දයක් ආවා. මං හිතුවේ ආයෙත් එහෙම වෙලා වෙන්න ඇති කියලා. කට්ටිය එක එක කතා කිව්වා. කොළඹත් පුපුරලා කියලා දැන ගත්තේ පස්සේ. පැයකට විතර පස්සේ තමයි දැන ගත්තේ සුවිසයිඩ් බෝම්බර් කෙනෙක් කියලා.”

එසේ කියන්නේ ඉමේයානන්ගේ පියාය. ප්‍රමිලාගේ සැමියා වන ඔහු නගුලේෂ්වරන්ය.

නගුලේෂ්වරන් ඇතුළු පල්ලිය අසල ජිවත් වූ සියලු අසල්වැසියන් ප්‍රහාරයේ ගොදුරු බවට සෘජුව පත් වූ පවුල්වල අය සේම තවමත් එකී කම්පනයෙන් පෙළෙති. ප්‍රහාරය එල්ල වන මොහොතේ පල්ලිය ඉදිරිපිට තම නිවසේ මිදුලේ වාඩි වී සිටි අසල්වැසියකුගේ එක් කනක් දැන් ශ්‍රවණ ආබාධිත තත්ත්වයට පත් වී ඇති බවද ඔහු මා සමඟ කීවේය.

මේවා නැවත නැවත නොලියන්නට මට වුවමනා වී තිබේ. එදා පාස්කු ඉරිදාවේ දහසක් බලාපොරොත්තු පොදි බැඳ පල්ලියට ගිය මිනිසුන් නැවත නිවසට ආවේ නැත. ඒ වෙනුවට මිනිසුන් මළ සිරුරු ලෙස පැයෙන් පැයට ගණනය විය. නැවත ආ මිනිසුන්ගේ හදවත් සිදුරු වී තිබුණි.

මම උපතින් බෞද්ධයකු වීමි. ගෙවී ගිය වෙසක් සතියම මා ගත කළේ අතීතය විසින් අපට අහිමි කරන ලද මිනිසුන්ගේ සුසුම් මැද දැන් ජීවිතය ගෙවා දමන මිනිසුන් සමඟය. එහිදී සිංහලයන්ද, දමිළයන්ද මුසල්මානුවන්ද යන සියල්ලෝම මට මුණ ගැසුණි.මා සියොන් දේවස්ථානයේ ඇවිද ගිය පියවරක් පියවරක් පාසා නැවත කල්පනා කළෙමි. නැවත එන්නට පිටත් වූ මට මගේ හදවතේ බර හොඳටෝම දැනුණි. මම ඇවිද යන අතරේ ආයෙත් කල්පනා කළෙමි.

මුලින් ජාතියේ නාමයෙන් පැමිණි මර බිය දැන් ආගමේත් ජාතියේත් යන නාමයන් දෙකේම ඈඳී බළල් අත්වලින් මෙහෙයවෙමින් තිබේ. අප අවදි විය යුත්තේ මේ හැඬුම් නැවත නොවෙන්නටය. මේ රිදුම් නැවත නොවෙන්නට මිස අපේ රිදුම් අනෙකා පිට යැවීමට නොවේ. අපේ මනුෂ්‍යත්වය අප නැවත නැවත පරීක්ෂා කළ යුතුව මේ මොහොත ගෙවෙමින් තිබේ.

“ඔය ඔතන බලන්න. එයා තමයි ඉන්නේ.”

මම සියොන් දේවස්ථානයේ පියවරක් පියවරක් පාසා දුරට ගිය සිතිවිලිවලින් අවදි වීමි. ඒ ඔහු කී බැනර් එකය. ඉමේයානන් මට පෙන්වන්නේ ඔහු කලින් කී ඔහුගේ අතේ සිටි සිඟිති දියණියගේ රුවකි. ඇය දැන් ඇත්තේ දෙව් මව්ගේ තුරුලේය. ඒ කිතුනු භක්තිකයන්ගේ විශ්වාසය විය හැකිය. බැනරය පුරා මා දුටුවේ ඈ පමණක් නොවේ. බොහෝ සිඟිත්තන් එහි විය. ඒ නිසාම කිව යුතු යමක් නොදන්නා මම ගොළුව බලා සිටියෙමි.

ආදරය ඕනෑවටත් වඩා වපුරන්නට තැනූ තැන් අපට තිබියදී අප ඉතිහාසය පුරාම ඒ වෙනුවට වපුරා ඵල නෙළා ඇත්තේ වෛරයේය.අප දෙවියන් දකින්නේ කොහිද? මම නැවත මගෙන් ඇසුවෙමි. මම නොදනිමි. මම මිනිසුන් සොයමි. මගේ රටේ මිනිසුන් මට තවදුරටත් අහිමි කර ගත නොහැකිය.

පල්ලියෙන් නික්මෙන්නට මොහොතකට පෙර ආදරය, ප්‍රේමය නැවත මට හමු විය. එහෙයින් මනුෂ්‍ය බලාපොරොත්තුවක් මම කැමරාවේ සටහන් කොට ගත්තෙමි.

[ඉෂාරා ධනසේකර]

මාතෘකා